Showing posts with label ඇත්තටම වෙන දේවල්. Show all posts
Showing posts with label ඇත්තටම වෙන දේවල්. Show all posts
Saturday, 12 May 2018
ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...!
අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!
අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට හොඳ මස් හොද්දක් එක්ක බත් ගිලින්න පුලුවන් වෙන නිසා..තාත්තාගේ වම් අතේ ඇඟට තද කරගෙන තඩි බ්‍රවුන් පේපර් බෑග් එකක් පුරෝලා එලොලු එක්ක හැංගිලා හබරල කොලේ ඔතලා තියෙන මස්කුට්ටිය ඩෝප් මරගාතේම එයාම කපලා අම්ම දාලා දෙන තුන පහ බස බස ගාල අතගාලා දුන්නම අම්මා උයන මස් හොද්ද දිව්‍ය රහයි...ඔය මස් කුට්ටිය කිව්වට ඒකේ බ්‍රේස් කටු (තාත්තා එහෙම කිව්වට ඒවා රිබ්ස්) පීකුදු පොඩ්ඩක් එහෙමත් තියෙනවා ඉතිං...! ඒ කාලේ ඉව්වෙ දර ලිපේ..මැටි හට්ටියේ...!
ඔහොම කාල බීලා හැදිච්ච අපිට කෙලෙව්වානේ මේ තලේබාන් බුධු පැටව්..ඔය අනූව දශකයේ ටියුශන් මාස්ටර්ලා ටිකක් පෙව්වා ලමයින්ගෙ ඔලුවලට ඊෂ්වර විංශතියද මොකක්ද අට මගුලක්, ඉතින් කොල්ලො කෙල්ලො මස් නොකා ඉන්න පටන් ගත්තනේ...සිංහලෙන් මස් කියන්නේ හරක් මස් වලට..චිකන් කියන්නේ වෙජිටබල් වගේ එකක්, හාල් මැස්සො ඉස්සො එහෙම නිකන් මුකුනුවැන්න වගේ උන්ට...අනූව දශකයේ ටියුෂන් ගිය අය නොව අද ඉතිං රජ කරන්නේ..නැද්ද..?
මටනං ලෝකේ කොහේ රවුං ගහලා ආවත් මොන ජාතියේ නානාප්‍රකාර කෑම ජාති අනුභව කලත්, හරක් මස් ටිකක් උයාගෙන කනකන් ඉස්පාසුවක් නෑ..ඒ හැටි සහ පුරුද්ද....! තම්බි එක්ක තියෙන ආරෝවට පෝක් කන සිංහලයෙක් නං නෙවෙයි ඕන් මං නං....! ඒ උනාට පෝක් කනව ඉඳලා හිටලා..!
කොහොමෙන් කොහොමහරි මම හරක් මස් හදන්නේ නං අපේ අම්ම හදපු විදියටමයි...ඒ උනාට හරිහමන් මස් කිලෝ එකක් හොයාගන්න එකත් එකතරා විදියක ශාස්ත්‍රයක් වෙලා දැන්...රාජගිරියේ නං ඔබේසේකරපුර පාරේ මැද හරිය තියෙන මස් කඩේ, හැබැයි අර පොල්ගස්මුල්ල හංදියේ තියෙන මස් කඩේ නං නෝ ගුඩ්....තලවතුගොඩ ඉසුරුපාය ගාව තිබ්බ මස් කඩේ ගිය සුමානේ ඉඳන් කොහේ ගියාද නෑ..පන්නිපිටියේ මාකුඹර හංදියට කලියෙන් මහරගම පැත්තට වෙන්න තියෙන මස් කඩෙ ෂෝයි...!
තව කේස් එකක් තියෙනව, ඔය කොළඹ තියෙන මම ඔය උඩින් කිව්ව මස් කඩ බොහෝමයක් මුස්ලිම් එව්වා, ඉතිං හලාල් සීන් එකට තමා අපිට මස් හම්බෙන්නේ..ඒ උනාට වත්තලින් එහා, රාගම, කඳාන, ජාඇල, සීදූව, ලියනගෙමුල්ල, මීගමුව, කොච්චිකඩේ වගේ පැති වල තියෙන්නේ ක්‍රිස්තියානි මස් කඩ..එව්වගේ මස් වල රහ වෙනස් ඉතින් ෂෝක් විදියට...!
ඊයේ මාතර බතූතා පාරේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ගිහින් ගංජා ගන්නව වගේ බෝම අමාරුවෙන් මස් කිලෝ එකක් හොයාගත්ත...! නැත්තං ඉතින් තංගල්ලේ බස්ටෑන්ඩ් එක ගාව මස් කඩේට යන්න ඕනී..දික්වැල්ලේ වීදියේ යෝනකපුරේ මොහොමඩ්ගේ චිකන් කඩෙනුත් මම ගියාම පොඩ්ඩක් ඉන්නය කියලා මස් කිලෝ එකක් ගෙනත් දෙනව ඉතිං...!
රත්නපුරේ නං මාර්කට් එකේ කෙරෝලේ මාලු කඩේට අල්ලපු මස් කඩේ හොඳයි..අනික් කෙලවරේ මස් කඩේට ගියාම..ආ අප්පෝ ..කියලා එහෙන් මෙහෙන් වහලා අමුනපු මස් ටිකක් ඔතලා දෙනව..!
ඇති දැං අරහේ මෙහෙ ගියා...මේ ලියන්න හිතුවෙ අපේ අම්මගේ මස් හොද්ද මම හදන විදිය..අම්මා හැදුවෙත් මෙහෙමමයි, අම්මා අද ගියත් (ගියොත්) හදල දෙන්නෙත් මෙහෙමයි....!
එකක් මතක තියාගන්න, හැමෝටම මස් කඩේකින් නියමාකාරයට මස් ලබා ගන්න බැරි බව..හරිහමන් මස් ටිකක් ගන්න සෑහෙන කාලයක් මස් කඩ මුදලාලි සමග සම්බන්ධකං පවත්තන්න ඕනි..මම කෙටි ක්‍රමයක් හොයාගත්තා, හැබැයි ඒ ක්‍රමේ ටිකාක් වෙන්න එක්ස්පෙන්සිව්..කන බොන වෙලාවට කව්ද ඔව්වා බලන්නේ...!
මෙහෙමයි...!
මට මස් කිලෝ එකක් නම් ඕනි මම කියන්නේ මට මස් කිලෝ දෙකක් දෙන්න කියලා..ඉතිං නාන්නාදුනන මස් මුදලාලි දන්න ජාති දාලා අරහෙන් මෙහෙන් කපලා මස් කිලෝ දෙකක් දෙනවා...කපන කොට මම නෙවෙයි කියන්නෙ ඔය කෑල්ල එපා අර කෑල්ලෙන් දාන්න, තෙල් කෑලි දාන්න එපා වගේ ඕනේ නැති කථා...මුදලාලි අහනවා කටු ඕනිද කියලා..අන්න එතකොට කියන්න ඕනි මට රිබ්ස් වලින් රුපියල් දෙසීයක විතර දෙන්න කියලා..එතකොට මුදලාලි පොඩි හිනාවක් දානවා...සමහර විට ටික දවසක් යාවි ඒ හිනාව දැකගන්න.. ඒ හිනාව ආව දවසෙ ඉඳන් ඔබට හොඳ මස් ලැබේවි...කිලෝ දෙක ගෙදර ගෙනත් අනවශ්‍ය දේවල් අයින් කලාම මස් කිලෝ එකක් හරි ඊට ටිකාක් වැඩියෙන් හරි උයන්න ගන්න පුලුවන්...!
උයන්න ඉස්සරවෙලා පොඩි වැඩ ටිකක් තියෙනව කරන්න.!
මස් අරන් ගෙදර ආව ගමන් රතුලූනු ගෙඩි හයක් හතක්, සුදුලූණු බික් හතරක්, අමු මිරිස් කරල් හයක්, සේර ගහක්, රම්පා ඉත්තක්, ඉඟුරු අඟලක විතර කෑල්ලක්, කරපිංචා ඉති දෙකක්, දෙහි ගෙඩි තුනක්, ලොකු අර්තාපල් අලයක්, වතුර තියෙන භාජනයකට දාන්න...ඒ පෙඟෙන්න,දෙහි පෙඟෙන්න ඕනි නෑ, ඒ උනාට දාන්නකෝ....!
ඊලඟට මස් ටික කටු වෙනමයි මස්වෙනමයි අරන් ලොකු කෑල්ල පිටින් හෝදන්න..කටු වෙනම හොඳට හෝදලා උයන භාජනයට දාන්න..ඊටපස්සෙ මස් ටික කපන්න...කපනකොට එකම හැඩේට නොහිටින්න එක එක හැඩ වලට හැබැයි හතරැස් කියුබ්ස් වගේ නොහිටින්න, පිරමිඩ් වගේ හැඩේ හිටින්න කපන්න බලන්න...එහෙම තමයි... කරන ඕන මගුලක් ආදරෙන් ආසවෙන් කරන්න ඕනි හරිය...කපලා ඉවර උන මස් ටික තව එක පාරක් හොඳට හෝදලා අර කටු ටික දාපු මස් උයන භාජනේටම දාන්න..මම නම් පාවිච්චි කරන්නේ මැටි හට්ටි..පුරුද්ද...!!
දැන් අර වතුරට දාපු රතුලූනු, සුදුලූනු, අලගෙඩිය එහෙම සුද්ද කරල අරගෙන අලගෙඩිය අටකට කපලා, ලූනු ලියලා, සුදු ලූනූ, ඉඟුරු, සේර, කරපින්චා රම්පේ ඔක්කොම කපලා මස් වලට එකතු කරන්න...ඒකටම අඟලක විතර කුරුඳු කෑල්ලක් අතින් පොඩි කරලා දාන්න, උලුහාල් තේ හැන්දකින් භාගයක්, එනසල් ඇට තුනක්, කරාබු නැට්ටක්, අබ කුඩු තේ හැඳි බාගයක්, කහ කුඩු තේහැඳි බාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ ලුනු තේ හැඳි දෙකක් එකතු කරන්න...ඊට පස්සේ අර දෙහි ගෙඩි තුන කපලා, මස් එක උඩට මිරිකලා හොඳින් අනාගන්න...!
අනපු මස් භාජනේ පැත්තකින් තියලා, පොඩි සාස්පානක් ලිපේ තියලා කොත්තමල්ලි මේස හැන්දක් දාලා පුච්චගන්නේ නැතුව බැදගන්න..!
ඊට පස්සේ සූදුරු තේ හැන්දකුයි මාදුරු ඇට දහයක් විතරයි ,ගම්මිරිස් ඇට දහයක්, කරපිංචා කොල දෙකතුනක් හීනියට කඩලා ඒ වගේම බැදගන්න...ඒ බැදගත්ත දේවල් ගර්යින්ඩර් එකට දාන්න, මිරිස් කුඩු මේස හැඳි හතරක් අර සාස්පානෙම පුච්චගන්නේ නැතුව බැදගෙන ඒවත් ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු වෙනකන් අඹරගෙන මස් වලට එකතු කරගන්න, ඊට පස්සෙ බැදපු නැති මිරිස් තේ හැන්දකුත් මස් එකට එකතු කරලා, අපේ තාත්තා අනනවා වගේ හොඳට අනලා පැත්තකින් අරන් තියන්න..!
දැන් හොඳ ලොකු පොල් ගෙඩියක් අරන් කාට හරි කියලා ගා ගන්න....:)..මොනා කලත් මට පොල් නං ගාන්න බැරිය...දැන් ගාපු පොල් ටික බ්ලෙන්ඩර් කරගෙන, මිටි කිරියි දිය කිරියි හදාගෙන කිරි ජාති දෙකම එක පාරට මස් භාජනේට එකතු කරලා හොඳට හැඳිගාලා ලිපේ තියන්න....!
ඉස්සරවෙලා විනාඩි දහයක් විතර වැඩි ගින්නේ ඉදෙන්න ඇරලා, බොස බොස ගාලා හොද්ද පැහීගෙන එනකොට මද ගින්නට අඩු කරලා තව විනාඩි වීස්සක් විතර ඉදෙන්න අරින්න..ඊට පස්සේ හොඳටම ගින්දර අඩු කරලා තෙල් පෑදිලා හොද්ද බොර වෙනකන් තියලා බාගන්න...!
ඔය මස් හොද්ද බත් එක්කත්, රොටී එක්කත්, පාන් එක්කත් කන්න ඇහැකි..අද රෑ උයපු මස් හොද්ද හෙට දවල්ට තමා ඉතින් රහම....!
මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ඔය කියපු විදියට මස් හොද්ද හදලා කැමට දුන්නම අපේ බ්ලොග් මස්තාන්, අටම් අයියා කියපි, ටල් අම්මගේ මස් හොද්ද කෑවාට පස්සෙ මස් හොද්දක් කෑවෙ අද අයියේ කියලා...!
ඉතින් කව්ද මේ ටල් අම්මා.....!
අටමා කියන්නේ මෙන්න මෙහෙම....!
ඕක මතක නැද්ද හත් දෙයියනේ , ටල් අම්මා ගුනරත්න ගොයියගේ අඹුව , සීකුදුමරික්කාර්ගේ ගෝලයගේ ගෑණී , සීකුදු මරික්කාර් ජේ ආර්ගේ බාප්පගේ පුතා , ඌගේ හොදම ගෝලයගේ ලොකු කෙල්ල අපේ අම්මා , අපේ අම්මගේ ......... තාත්ත ගූණරත්න බාසුන්නැහේ ,.. එයාගේ පවුල පියසීලි හාමිනේ ........ එ් ඇවිල්ලා කේ , වී රත්නපාලගේ ගෑණිගේ අම්මා , කේවී රත්න පාලගේ ගෑණි තමයි චන්දාවති ...... අන්න එයාගේ අම්මා ගේ බාල මල්ලි ....... ටල්ලා ........ ටල්ලගේ අම්මා ......... තමයි ............. අපිට ......... ටල්අම්මා උනේ.....!
ජයවේවා....!
ප.ලි.
අත්ගුනේ කියල දේකුත් තියෙනවනෙ..ඒක පුරුද්දෙන් එන දෙයක්..ඉතිං ඔය තේ හැඳි මේස හැඳි වගේ ප්‍රමාන දාන එක මැනැලා කිරලා කරනකොට එන රහයි, අතේ පුරුද්දට වැටෙන ප්‍රමානයි අනුව ටල් අම්මගේ සහ අපේ අම්මගේ මස් හොද්දේ රහට කිට්ටුවෙන එක හරි ඈත්වෙන එක හරි වේවී...!
ආ...තව දෙයක් අර බ්ලොග් පත්තරයක් කරන මාතලන් එහෙම කෑමට එනව නං ලුණු වැඩියෙන් දාන්න...එයා හම්බන්තොට ලේවාය ගාව ගොඩාක් කල් ඉඳලා තියෙන්නේ..!
Tuesday, 16 January 2018
කිරි අම්මාවරුන්ගේ දානය - Dedicated for Twins
![]() |
| Gustav Klimt, Mother and Child |
කිරිකෝඩු හවඩි ඉඟ වට හැඩට
නුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටට
එනමුදු
මව් නිදිවැරූ යාමයන් එමට බැව්
නොදැන බෑඟිරි ගසනා මා පුතුනි
බිඳලනු කෙසේද
තනි මා,
තිඹිරි ගෙයින් පීදුන
ඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්
මා පිය සබඳ වූ නුඹ මව්
එනමුදු
සෙව්වෙමි පීරා ගෝත්‍රය පුරා
ඔවුන් ළඟමය පිළිතුරත්.....!
මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගාන
හිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙන
කිරි අම්මාවරුන් පෙරහර
වඩින්නේ ම'පුතුනේ තුන්මහ පුරවන්නයි
තුන්මහකින්
ගෙයි මහ උලුවස්ස නොපැන්න පෙම්බර නුඹ මවගේ දෑසත්
කිරියා මුසු රසමසුවලින් පිරි තෙල්පහන් දහයක් දැල්වූ පැදුරත්
පාර කියන්නේ අප තිදෙනාටම
අලුත් ලෝකයකටමය ම'පුතුනේ....!
කිරිඅම්මාවරු අප අතැර පිටවෙන මොහොතේ මහ උලුවස්සෙන්
තුන්මස් හිරගෙය බිඳ දමමි මා මව් සෙනෙහසින්...!
ඈ අප........
ඔබගේත් මගේත්
මව් නිසාමැයි පුතුනේ...!
පිදුම - ලොකූටත් අංජුට සෙනෙහසින්
Friday, 23 June 2017
ඈ.....!
![]() |
| The Wait and the Reward by Anna Rose Bain - 2014 |
ජූනි මාසේ පස්වෙනිදාට කලියෙන් කරන්න කොච්චර වැඩනං තියෙනවද...( ඇය කුළුඳුලේ දරාගෙන... බෝල ගෙඩියක් වගේ හුරතලේ බෑ...)
සීලිම දිහා බලාගෙන කල්පනාකරන්නේ මේ මාසේ කැම්පස් සීසන් එක කඩි බාප්පගෙන් ගන්න රුපියල් පනස් හයක් කොහෙන්ද හොයාගන්නේ කියලා..
දරුගැබ දරා ඉඳිතෑකි... කොහොමද මේ අහිංසකයාට කියන්නේ තව දවස් දෙක තුනකින් දෙන්නටම වැඩට යා ගන්න සීසන් එකත් නෑය කියලා..
කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් පහු උනත් කඩිබාප්පා ලංගමේ නිසා තාම කැම්පස් සීසන් එක අරන් දුන්නට..ඒ මනුස්සයාත් අපේ බෝට්ටුවේ නිසා සල්ලි නොදී ඒක ඉල්ලනත් බැ..
ගෙදර හරියකට තිබුන ඔක්කොම එකතු කරලා ඇනෙක්සියේ අක්කාට රෙන්ට් එක ගෙව්වේ පෙරේදා...ආපහු විසිපහ පඩි හම්බෙන්නේ...පඩි අරන් දවස් හයක් යනකොට මෙහෙම වෙන්නේ අපේ වැරද්දකට නෙවෙයිනේ..
එයාගේ එක්දාස් එකසීයෙන් තුන්සිය විසිපහක් ඇනෙක්සියට දුන්නාම ඉතිරියයි, මගේ නමසිය තිස්පහෙනුයි අපි දෙන්නා අරපරිස්සමින් ජීවත් වෙන්න ට්‍රයි කලාට,බලාගෙන ඉන්න බැරිම තැන මම පෙරේදා වැඩ ඇරිලා එන ගමන් එයාට එයා ආස අත්කොට උඩින් දාන කමීසෙ අරන් ආවේ....දැන් සීසන් එකට සල්ලි නෑ...
ඇහැරවන්නත් දුකයි පොඩි එකා වගේ පැත්තට හැරිලා අල්ල උඩ මූන තියාගෙන නිදි...!
{}{}{}{}{}{}{}{}{}{}{}{} {}{}{}{}{} [][][][][][][][]
හයිලෙවල් පාරෙන්, නියඳගල පාරට වාහනේ හරවන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මතක් උනේ සීසන් එක ගන්න සල්ලි නැතුව හිටපු කාලේ මීට රසවත් නේද කියලා..මීට අවුරුදු තිස්පහකට එහා කුළුඳුලේ ගැබ්බරව ජිනන්දගේ කඩේට හයිලෙවල් පාර දිගේ තනියම ඇවිදගෙන ගිහින් රුපියල් පනස් හයක් ඉල්ලුවාම ඒ මනුස්සයා පුදුම වෙලා බලා හිටිය හැටි තාම මතක් වෙනවා...ඊට පස්සේ රුපියල් පනස් හයේ ඒවා කීයක් පහු වෙන්න ඇද්ද අද අපි දෙන්නා ඉන්න තැනට ඒ ගන්න....
{}{}{}{}{}{}{}{}{}{}{} {}{}{}{}{} [][][][][][][][]
පාර වැරදුනා නේද කියල අහන්න වම් පැත්ත බලනකොට, අහිංසකයා කඳුළු පුරෝගෙන මා දිහා බැලුවා......
"ජිනන්දගේ කඩේ එතන නෑ නේද අම්මි දැන්....."
අපි දෙන්නාම හැමදාමත් එකම විදියට හිතන නිසා වෙන්නැති අපි මෙතනට ආවේ...!
Saturday, 18 February 2017
හුටා..සුද්දා අදත් වහලා බං....!
මම දකුනට පෙම් බැන්දේ බොහෝම ඉස්සර..ඒක දිග කථාවක් උනත් ටික ටික එහේ මෙහේ ලිව්වා...!
කොහොමෙන් කොහොම හරි දැන් වෙනකොට මම මගේ ජීවිතේ බෙදාගෙන දවස ගෙවන කෙනෙක්, ඒ කියන්නේ මම දෙබිඩ්ඩෙක්, දෙබිඩ්ඩෙක් කිව්වට ඩුවල් සිටිෂන්ශිප් එහෙම ගත්ත අය වගේ දෙබිඩ්ඩෙක් නෙවෙයි, ඩුවැලිටි එකේ ජීවත්වෙන කෙනෙක් සාර්ථක විදියට, ඒ කිව්වේ වටපිටාව, පවුල්, වෘත්තිය අරවා මේවා අවුල් නොකරගෙන , ජීවත්වෙන දෙබිඩ්ඩෙක්....!
සාර්ථක වෙන්න හේතුව මට ඇඩ්ඩ්‍රස් නැති කම, මම ඉපදුනේ අම්පාරේ සෙන්ට්‍රල් කෑම්ප් එකේලු, ඉස්කෝලම ගොඩකට ගියාලු, රටවල් තුන හතරක ජීවත් උනාලු, ඉතින් ඇරියස් අඩුයි...දේවල් බෙදාහදාගෙන ජීවත් වෙන්න ඇති වෙන්න පන්නරය හම්බෙලා තියෙන්නේ මේක කියවන ඔබලා වගේ දේවල් දන්න අයගෙන්...! ඉතින් අවුල් අඩුයි...!
වර්තමානය කියල දෙයක් තියෙනෙවනේ..අන්න ඒකේ මම දෙබිඩ්ඩෙක් වෙන්නේ මගේ කාලය 60%-40% ප්‍රතිශථයට ( ස්පෙලින්ග් වැරදියි මම හිතන්නේ..) නගරයයි ගමයි අතරේ බෙදාහදාගෙන ජීවත් වෙන නිසා..අහන්න එපා ඕන් හැට මොකක්ද, හතලිහ මොකක්ද කියලා අපේ ලොකු අම්මාවත් දන්නේ නෑ ඒක හොඳේ...!
ඒ උනාට මේ වෙලාවෙ නම් මම ඉන්නේ ගමේ..ඒ කියන්නේ දකුනේ..හැබැයි මේ මගේ ඉපදුන ගම නෙවෙයි (විසිරි ඇහුවා එක දවසක් එහෙම..තව නූලෙන් ඉන්ජෙක්ශන් ගහනවා ඒ ඇත්තී මට..මම හරි බයයි ඔය කටු වලට..අපි ඉබ්බොන්ට හරි ලව් හරිය..)
හරි ගමට එමු...මාතරින් කතරගම පැත්තට යනකොට, දෙවුන්දර, ගන්දර, තලල්ල, හුන්නදෙනිය, බතීගම එහෙම පහුකොලාම එනවා ඔය අපි කොළඹ ඉඳන් ගාලු පාර කියන එක දෙකට බෙදෙන නගරයට..ඇත්තටම...පාරම්පරිකව අපේ ඇත්තෝ කතරගං ගියේ ඒ අපි කියන ගාලු පාර , ඒ කියන්නේ මුහුද අද්දරින් කතරගම පැත්තට ඇදෙන පාරේ ඔය කිව්ව නගරෙන් ඒ කියන්නේ දික්වැල්ලෙන් හැරිලා බෙලිඅත්ත හරහා තංගල්ලට ගොහින්.
දික්වැල්ල ටවුම මැදින් වමට හැරුනාම යෝනකපුර මැදින් වැවුරුකන්නල හරහා වලස්ගලින් දකුනට ගියාම බෙලිඅත්ත, එතනින් වමට හැරුනාම රදම්පොල...ඒත් දැන් මහවෙල පාර හදලා දික්වැල්ල පහුකොරාන ප්‍රයිවට් බස්නං යන්නේ ගොඩාක් වෙලාවට මහවෙල පාරේ තංගල්ල පැත්තට, ඒ උනාට තාමත් සීටීබී බස් නං යෝනකපුර අස්සෙන් බෙලිඅත්ත හරහා තමා ඉතින් තංගලු යන්නේ..!
ඉතින් මේ දික්වැල්ලට මම පෙම් බැන්දා 2001දී......!
ඒ සෙනෙහස ආත්ම ගානක් පතාගෙන ආ බැඳීමක්..ඒත් ඒ ඇත්ති දැන් දිව්‍යලෝකේ ඉඳන් මම කරන කියන ඔක්කොම බලාගෙන ඉන්නවා..ඒ ඇත්ති එලොව ගියේ මට ජීවිතයක් දීලා..ඒවා යුතුකං කියලයි මට කියල දුන්නේ එතුමිය ඉතින්...අහනව එහෙම නෙවි ඕන් ඒ කවුද බොලේ කියාලා...ඒවා බොහෝම ප්‍රයිවට් ඉන්ෆොර්...! ( පස්සේ කියන්නං අනේ..ඒක වෙනම පෝස්ට් එකක් ඉතින්..)
ඔය දික්වැල්ලේ තියෙනව හරිම ලස්සන පැත්තක් ඌරුගමුව කියල (මටම හරියන පැත්ත )..මම මගේ හැටේ හතලිහේ දෙබිඩි ජීවිතේ ගෙවන්නේ ඔන්න ඔය කියන ඌරුගමුව වසමේ..දන්දෙනියේ..හැබැයි ලුණු ගන්න හරි සිදාදියට, ඒ කියන්නේ දික්වැල්ලට එන්න එපැයි..ලුණු නෙවෙයි අනේ අර ෆුඩ්සිටි එකේ අයිනක තියෙන චූටි කවුන්ටරේ...රසම රස ලස්සනම ලස්සන බෝතලවල දාලා කෑන් වල දාලා (අයියූ අපිනම් ඔය කෑන් එක්ක නෑ හොඳේ..) තියෙන එව්වා ගන්න හැමදාම පුරුද්දට, අර මොණරු මගේ පැපොල් වගාවට උදේම ලෑන්ඩ් කරනවා වගේ, මමයි අටම් අයියයි සරායි (ආ අටම් අයියත් දැන් දෙබිඩ්ඩෙක්..හෙට අනිද්දා තවත් එක්කෙනෙක් එනවා... එයාට අපි එයාමකන්ඩිෂන් කරපු කාමර කෑල්ලක් ගහනවා මේ දවස්වල..) යනවා ඉතින්...!
අපි හරි පිළිවෙලට ජීවත්වෙන දෙබිඩ්ඩෝ..ඒ කියන්නේ හැම දේම ප්ලෑන් කරනවා..එහෙම නැතුව දෙබිඩ්ඩෝ නෑ නෑ ගොවියෝ වෙන්න බෑ මෙයා...ඉතින් අපි හැම හවසම, ඒ කියන්නේ උදේ ඉඳන් පොලොව ගහකොළ එක්ක හැප්පිලා, ගහකොළ කියන්නේ, පොල්, ගම්මිරිස්, කුරුඳු, අඹ, පැපොල්, දොඩම්, බුලත් යනාදී ගහකොළ හොඳේ...සෑට මොනාද කරන්නේ කියන එක එහෙම මාස්ටර් ප්ලෑන් ගහලා එහෙම තමයි ලේස්ති වෙන්නේ...ෆුඩ් සිටිය නම් හැමදාම (පෝය ඇරෙන්න ) අපි වෙනුවෙන් අපි වගේ එකට ඉන්නවා..ඒ උනාට මේ සුද්දා...හුහ්....!
මෙහෙමයි..දික්වැල්ලේ වැඩියෙන්ම ඉන්නේ ෆුඩ්සිටි සුද්දෝ.ඒත් මේ... ඒ සුද්දොන්ගෙන් එකෙක් නෙවී...අපේ සුදු මල්ලි...දික්වැල්ල හංදියේ ඉන්න අතිසාර්ථක ව්‍යාපාරිකයා...සුදු මල්ලියා..ඔය පහල පින්තූරේ ඉන්නේ..අන්න එයා..!
බලන්නකෝ ඉතින්...!
එයා තමයි අපිට උපරිම සහයෝගය (ඒ කිව්වේ හැන්දෑව සොඳුරුම ආකාරයකට ගෙවීමට ) දෙන කෙනා..ඒ උනාට එයාට ඕනි දවසට විතරමයිනේ එයා බිස්නස් ඒක කොරන්නේ...!
අපේ මාස්ටර් ප්ලෑන් ඔක්කොම සුනුවිසුනු කරනවා මේකා...හැබැයි දෙයියනේ කියලා මෑන්ස් හිටිය දවසට අපි දිව්‍යලෝක සැප ලබන්නේ..(හැලපයියට ඉරිසියා වෙන්න ඕනි ඕන් දැන්..) ....!
මෙතනින් එහා ලියනවා වෙනුවට, ඔය පහල තියෙන පින්තූර ටික බලන්නකෝ..එතකොට තේරුම් ගනීවි හැමෝම මොකෝ මම (මම විතරක්ම නෙවෙයි අටම් අය්යා, සරා..ලඟදීම තවත් අතිසාර්ථක ජීවියෙක්) ඇයි මේ අහිංසක දකුනේ හැංගිච්ච ගමකට මෙච්චර සෙනෙහේ බැන්දේ කියලා...!
![]() |
| ඒකක් රුපියල් 20 යි මේ පැටිස්...! |
![]() |
| රුපියල් හයේ වඩේ...ඊට එහායින් තියෙන ඒවා මාරයි...! |
![]() |
| සුදුමල්ලියාගේ නෝනා වගේ චිකන් බදින්න අපිට නම් බෑය..! |
![]() |
| බයිට් සෙට් එක හදනකං කෑමට සුදුමල්ලියාගේ නෝනාගේ පාන් ටෝස්ට් සහ කට්ලට්ස්...! |
බොස් මොනාද බයිට් එකට දාන්නේ...?
ආ..සුදු මල්ලි..මට චිකන් කෑලි හතරක් කපලා, පැටිස් හයක් කපලා හදලා දෙන්න..ආ කඩල ටිකකුත්..පනහක වගේ හොඳේ...
බොස් දැල්ලෝ දාන්නද දෙකක් තුනක්....
හා...!
බොස්..කෑමට...?
ඉඳිආප්ප දාන්න සුදුමල්ලි...!
බොස්ටත් එක්ක නේද....?
ඔව්....!
කී දෙනෙකුටද බොස්...
මාත් එක්ක දෙන්නයි මල්ලි..!
බොස් හැත්තෑවක් දාන්නං...(ඒ සුදු මල්ලිගේ නෝනා...)
බොස් පරිප්පු හොදි වලට චිකන් හොදි ටිකක් දාන්නං හොඳේ,,,...!
හා.....!
බොස්...බයිට් එක උනුයි..වත්තට ගිය ගමන් පාර්සලේ අරින්න හොඳේ.....!
අපේ ලොකු අම්මාවත් මේච්චර ලවෙන් කෑමක් දිලා නෑ ඕයි...!
ඉතින් කොහොමෙයි දන්දෙනිය දාලා යන්නේ.....!
නැද්ද හැලපේ...!
නැද්ද ...?
ප.ලි..: ලොකු අම්මා කෙනෙක් ගැන මම තාමත් හීන මවමි...ඇය මට හමුවී ඇත..රසම රස කැම වේල් උයාගෙන මා එනකන් ඈ කොවිල් යන්නත් එක්ක කොච්චරනං ඇවිත් ඇද්ද අප්පා...හීනයක්ම උනා නොව මගේ ලොකු අම්මා...!
Friday, 3 February 2017
ආ...බාන්න......!
යටියන
හක්මන
කිරින්ද
කඹුරුපිටිය
මුරුතෙන් ගිහින්
පුහුල්වැල්ල පහු කොලාම
වම් පැත්තට යටියන
දකුනු පැත්තට කිරින්ද
යටියන පහුකොරාන ගිහින්
වෙලේ බේකරිය පහු වෙනවත් එක්කම
හැරුනාම දකුනට
සං ගාලා ගියෑකි
කඹුරුපිටියට
ඔය කොහේ ගියත්
එකම තොග මුදලාලි හැම තැනම
එයාගේ බෝර්ඩ් එක දාලා
එකතු කරනව නෙව
ගම්මිරිස්, කුරුඳු, කරුංකා, ගොරකා
සමග
පොල් කටු ඇඟුරු...!
ඒ මදිවට
ඩයමන්ඩ් රෝලෙන් තලලා
දුන් ගහපු සබර ශීට්...!
මතක ඇති කාලෙකින්
වීදුරු පාත් කොරන්
ඒ සී ඕෆ් කරන්
වම් පැත්තේ ගස්
දකුනු පැත්තේ ගස් එක්ක
එකතු වෙලා හදන හෙවනේ
යන්න තරං
පින් කලේ කොහොමෙයි මම
ඒත් වැඩක් නෑ අර දූෂිත පාලකයා
මේ ලස්සන පරිසරය හරහා
පාරක් රේල්
ඒ මදිවට හයි වේ එකක්
හදනව නෙව තාමත්
එලෙව්වයි කිව්වට
පැන්ෂන් ඇරියයි කිව්වට
'බොරු වෙන්ටෑ
නැත්තං කොහෙමෙයි
මේ ලස්සන පරිසරේ
චීන්නු ඇවිදින්නේ උන්ගේ
අම්මගේ බූදලේ වගේ
ඒ මදිවට ඉංදියන් කාරයොන්ගෙ ටාටා
පාර පුරා
අයින් කොලොත් හෙලේ..!
මොනාද මහත්තයෝ...!
ඒ තොග කඩේ මුදලාලි...!
ගම්මිරිස්....!
ආ...බාන්න......!
Wednesday, 4 January 2017
ගමේ කම - මිල්ලගස් ආර -04
![]() |
| the showroom vs shrine |
උත්සවයට එන්න කියල තිබුන වෙලාවට, මිල්ල ගස් ආරේ වීරතුංග වත්තේ ගේට්ටුව ගාවට ගියාම මගේ ඇස් උඩ ඉන්දුනා..මේ මිනිස්සු පුදුම විදියට මහන්සි වෙලා..අපේ වාහන නවත්තන්න තැනක් ලේස්ති කරලා, එතනට වෙලා රැස් කකා ඉන්නවා අපි එනකන්...වාහන වලින් බැස්සාම තමයි තේරුනේ මහා පෙරහර රාජයෙකුත් ලේස්ති කරලාය කියලා...අපරාදේ මේ මහන්සි වෙන්නේ..මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ...මම බිම බලාගෙන, දාඩිය පෙරාගෙන සබරගමු නැටුම්, බෙර කාරයෝ, මල් බයිසිකල් අරවා මේවා වලින් පිරිච්ච පෙරහරක ගියා නෙව මීටර් පන්සීයක් විතර...!
පාර දෙපැත්තේ කවුරු හිටියදවත් කියල නෙවෙයි මම නම් ඔලුව උස්සලා බැලුවෙ...මිල්ල ගස් ආරට පෙරහර ලඟා උනාම මට මහා ලැජ්ජාවක් ඇතිඋනා රාහුල හාමුදුරුවෝ අලුතෙන් ඉදිකරපු ධර්මායතනයේ අසුන් ගෙන බොහෝම කාරුණික බැල්මකින් මා දිහා බලා ඉන්නවා දැක්කාම..ඒ මනුස්සයාට විතරයි තේරුනේ මම විදින මේ අපහාසේ..මොනා කරන්නද..අර සෙන්නා කිව්වා වගේ වවුලගේ මගුල් ගෙදර නොව මම ඇවිත් ඉන්නෙ ඉතිං....!
දණගහන්න නං අමාරුයි හාමුදුරුවනේ (බඩ නිසා හොඳේ...) කියලා පහත් වෙලා වැඳලා තක්කු මුක්කු වෙලා බලං ඉන්නකොට ගුනසේන පටන් ගත්තා කථාව..කොහොමෙන් කොහොම හරි රුහුණේ කුලපති උන්නාන්සේ නිසා මගේ නිල් මැනික් කථාව මතක් කලේ නෑ...ඒ උනාට ඕනි නැති ආලවට්ටං දාලා මොනාදෝ කියෝනවා මතකයි මට..එයින් පස්සේ දික්වැල්ල පොලොස් ස්ථානාධිපති තුමාත් මාව නිකන් හොඳට දන්නවා වගේ මොනාද කිව්වා...යන්තං රාහුල හාමුදුරුවො කස්ටියව අල්ලගෙන බුදු පිළිමේ මූන වහලා තිබුන සිවුරු අයින් කරලා පනසිල් දිලා ධර්මායථනය විවෘථ කලා...!
ඉන් පස්සේ තේ පැන් සංග්‍රහය...අනේ අම්මලා තාත්තලා පුංචි පැටව් එක්ක අව්වේ වේලි වේලි කොට බැම්මෙන් එබී එබී ඉන්දැද්දි අපිට රස කැවිලි තේ පැන් අරවා මේවා සංග්‍රහයක් පටන් ගත්තා..මට ඉවසීම පැන්න තැන නැගිටලා ගිහින් (ගුනසේන ගේ නොරොක් වෙච්ච මූන නොබලා ) ධර්ම ශාලාවෙන් පිටත හිටපු ඔක්කොටම ආරාධනා කලා තේ බොන්න එන්නය කියලා..ඒ මිනිස්සුම ගෙනාපු තේ රසකැවිලි....එතනින් එහා මම නෙවෙයි අර ශාලාවෙ පනවලා තිබුන පුටු වල වාඩි උනේ...( ප්ලාස්ටික් නිසා කඩන් වැටෙන නිසා නෙවෙයි...)...!
හෙට නිල්වැල්ලේ සාංඝික දානේ, අද රෑ මිල්ල ගස් ආර ධර්මායථනයේ මංගල සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව....ඒ නිසා හවස් වෙන කොට අපි නිල්වැල්ලට මාරු උනා රෑ යාමේ පිරිත් අහන්න එන්නංය දානේ වැඩ කටයුතු තියෙනවාය කියා...ඒ මදිවට ඉතිං ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් පාටියකුත් තියෙනවා නේ...!
රෑ දහය එකොලහ වෙනකොට (එච්චරම මත් වෙලා නොහිටි නිසා ) අපි ආපහු ආවා මිල්ල ගස් ආරට පිරිත් කොහොමද කියලා නරඹන්න...!
දවල් හිටිය සෙනගෙන් කාලක් විතර එහේ මෙහේ පැදුරු දාගෙන වාඩි වෙලා පිරිත් අහනවා..අපිටත් ප්ලාස්ටික් පුටු ගෙනත් වැලි මලුවේ තියලා දුන්නා පිරිත් අහන්නය කියලා...එහෙම ඉන්නකොට අපේ ගුනසේන විශ්‍රාමලත් විදුහල්පතිතුමා ෆියුනරල් ෆේස් එකක් දාගෙන ආවේ නැද්ද මා ගාවට...
"බලන්න සර් වෙච්ච වැඩේ...මට නං සංසාරේ එපා උනා සර්.."
"මොකෝ ගුනසේන...? "
"සර්...එහා පැත්තේ බ්ලොග් ගල් හදන ජපන් හාඩ්වෙයාර් එකේ ගෙදර ලේස්ති කරා පිරිත් කියන හාමුදුරු දෙනමට ගිමන් අරින්න..හරිම වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ..."
"ඇයි සාධුලා දෙන්නද ඉන්නේ..? "
"නෑ සර් දෙනම දෙනම තමයි පිරිත් කියන්නේ..ඉතින් සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් ගිමන් නිවෙන්න ඇරලා ආයෙත් වඩිනවා දෙනමක්..."
"ඉතින්...?"
"මේ පොඩි හාමුදුරුවො මේ කොල්ලන්ට කියලා අරක්කු සිගරට් ගෙනල්ල බීලානේ සර්...මම හෙව්වා කොල්ලො ටික උන් ඔක්කොම යන්න ගිහින්...අහුවෙද්දෙන්කො මට...! "
මම හිත යටින් සාධූ සාධූ යයි හිතාගත්තා..මේ මෝල් වහන්සේට මම කිව්වා සාධුලා පටෝගත්තොත් කෙලවෙනවා කියලා..කෝ ඇහුවයි ඉතින්...දැන් ඉතින් විඳවපන් පුතේ..
කිසිත් නොකියා හීන් හිනාවක් දැම්ම මම අහක බලාගත්තේ ඇත්තටම ඒ වෙනකොට මට මේ වයසක මනුස්සයා ගැන හිතුන අනුකම්පාවට....!
කොහොමෙන් කොහොම හරි එයිට වඩා කරදරයක් නැතුව ධර්මායතනය විවෘත කිරීමත් පිරිතත් ඉන් පසුදා රාහුල හාමුදුරුවොයි, හිත්තටිය පන්සලේ පියසිරි හාමුදුරුවොයි අර දොඩම්පහල හාමුදුරුවොයි එකතු වෙලා සාංගික කරපු දානෙත් මිල්ල ගස් ආර ගමේ ගම්වැසියන්ගේද සහභාගිත්වයෙන් අවසන් උනා...!
ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකල්පය ඉතා තදින් එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල...ඒ දෙවල්මට පෙනුනේ ඇත්තටම උත්සවය වෙලාවෙ නෙවෙයි..ඊට මාස මාස තුනහතරකට විතර පස්සේ දායක සභාව මාව හොයාගෙන ආවාම....!
දායක සභාව, ගුනසේන මහත්තයාවත් පෙල ගස්සවගෙන ආවා ආයෙත් පාරක් මාව හම්බවෙන්න ගොවිපොලට..ඒ විවෘතෙන් මාස තුනහතරකට පස්සේ...!
"සර් ඇයි ධර්මායතනය පැත්තේ එන්නේවත් නැත්තේ..විවෘතෙන් පස්සේ ආවෙම නෑනේ..අපි දැන් හැමදාම බුද්ධ පූජාවක් තියනවා, හැම ඉරිදාම පින්කමක් තියෙනවා, පාලොස්වකට සීල ව්‍යාපාරයක් තියනවා..සර් ඇවිත් බලන්නකෝ. ගමේ මිනිස්සු හරිම සතුටෙන් ඉන්නේ..."
"එච්චරයි ගුනසේන මම ඕකෙන් බලාපොරොත්තු උනේ...මට සරත් මහත්තයා කිව්වා ලේක් ෆ්‍රන්ට් එකට යනකොට සද්දෙට පිරිත් ඇහුනා කියලා.."
"ආ ඔව් සර්....අපිට ඇම්ප්ලිෆයර් එකකුයි ලවුස්පීකර සෙට් එකකුයි පූජා කලා අර කොමියුනිකේෂන් එකේ ලමයා..."
"හපොයි ගුනසේන ඒක වැඩි වැඩක් නේද..දැන් අර නිස්කලංක කම ගිහින් ඇතිනේ..හා ඒකෙන් කමක් නෑ..අද මොකො මේ කට්ට්යම මේ පැත්තේ...? "
"අපිමේ ආවේ සර් ගෙන් පොඩි අවසරයක් ඉල්ලගන්න..."
"ඒ මොකටද..? ගස් ටිකක්වත් ඕනිද..? "
"නෑ සර්...සර් දන්නවනේ අර නාවල කුෂන් ව්‍යාපාරය කරන මහත්තයා..ඒ මහත්තයා බඹරැන්දේ මුල්ගම් කාරයෝ..පොඩි කාලේම මෙහෙන් පිටවෙලා කොළඹ ගිහින් ඔය දියුණු වෙලා ඉන්නේ..හරි ගුනවත් මහත්තයා...ඒ මහත්තයා අර අසපුව සංකල්පයත් එක්ක එකතු වෙලා රට පුරාම පන්සල් හදනවා..ඒත් ඒ මහත්තයාට කවදාවත් වෙහෙරක් හදාගන්න බැරි උනාලු..ඉතිං ඒ මහත්තයාට ආසයිලු මහත්තයාගේ පන්සලේ වෙහෙරක් හදන්න..මහත්තයා අවසර දෙනවානං අපට වෙහෙර හදලා දෙන්නං කිව්වා මාස තුනෙන්..!රුවන්වැලිසෑ අනුරුවක්ලු හදන්න ආසා..."
"ගුනසේන...මිල්ලගස් ආර මගේ පන්සලක් නෙවෙයි..ඒක ඔයගොල්ලන්ගේ පන්සල..මම ඒක හදන්න උදව් කලා විතරයි...අනික ආසාව කියන එක දුරුලන්න නේද අවශ්‍ය...කොහොම උනත් ගමේ මිනිස්සුන්ට ඕනි නම් වෙහෙරක් හදන්න ඒකට මගෙන් අවසර ඕනි නෑ....!"
![]() |
| වැලි මලුව අද ගල්කුඩු දමා ලස්සන කර ඇති ආකාරය... |
![]() |
| අට විසි බුදු පිලිම රැගත් බෝධිගරය සහ රුවන්වැලිසෑ අනුරුව... |
එයින් සුමාන දෙකතුනකට පසු අර නිසංසල ධර්මායතනය යට කරගෙන අඩි 30ක් උස රුවන්වැලි සෑයේ අනුරුවක් ගොඩනැගීම සත්ගුනවත් නාවල් කුෂන් අධිපතිතුමා විසින් ආරම්බ්භ කොට මාස තුනකින් කොත් පළඳවා විශාල නාම පුවරුවක්ද කාටත් පෙනෙන සේ සවි කොට උත්සවයක් පැවත්තුවා...මා සහභාගි වු තවත් අනාථනාථ උත්සවයක් උනා එය..අඩුම ගනනේ ඔහු එයට පැමිනියෙවත් නෑ..නමුත් වෙහෙරෙහි තැන්පත් කිරීමට විශාල මුදල් සම්භාරයක් වියදම් කර ධාතුන්වහන්සේලාද අටවිසි බුදු පිලිම තබා බෝධිගරයක් සෑදීමටය කියා මුදල් ද එවා තිබුනා...!
![]() |
| පැරණි ගෘහනිර්මාන ආරට සෑදූ බුදුගෙයට මුහුණදා සෑදූ බුද්ධා ශෝරූම් එකේ සුදු යකඩ වැට මරු නේ..! |
ඉන් මාස දෙකකට පසු, මුලින් සෑදූ අතීත ගෘහනිර්මානයට නෑකම් කියන බුදුගෙය ඉදිරියෙන් සුදු යකඩ වැටවල් වලින් වටවු බුදු සාදු ශෝ රූම් එකකුත්, ඝංඨා කුලුනකුත්, දොලොමහේ පහන් දෙකකුත්, රාජසිංහ රජ්ජුරුවන්ගේ සිංහාසනය වැනි හෙන ලොකු බණ පුටුවකුත් කාමර පහක ආවාසගෙයකුත් හැදීමට වෙහෙර පිටුපසින් පැමිනි අවුරුදු 39ක් වයසැති කහ සිවුරක් ඇඳ සිටිනා මනුස්සයා සමත් උනා....මේ හැම දේම කරන්න ඔහු පාවිච්චිකරන්නේ මේ ගැමියන්ගේ තියෙන අහිංසක කම...පිටින් ගොස් මා ඇර් දුන් ඒ ගැමියන්ගේ ඇස්වලට ඔහු උත්තර හොයාදෙන්නේ අපි අද දවසේ දකින පොප් බුඩිසම් සංකල්පයෙන්....!
අද එම නිස්කලංක භූමිය මටනම් පෙනෙන්නේ පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් වෙළදාම සිදුවෙන ගොඩනැගිලි වල ඇති කලබලාකාරි ස්වභාවයයි..
කහ සිවුරු දරා සිටින්නාට අවුරුදු 39ක් කියා මා දන්නේ කොහොමද....?
![]() |
| අහිංසක පොඩි සාදු...! |
එයත් මා තවත් සිත් අමාරුවකට පත්කල සිදුවීමකි...!
සුපුරුදු පරිදි දින දෙක තුනක කොළඹ මහන්සිය දැනෙන විට මා ගොවිපොල වෙත රැගෙන යයි..ඒ යන අතර තුර මා හාට මිල්ල ගස් ආර හරහා යාමට නැතත්, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කල යුතුයි. මීට මාස හතර පහකට කලියෙන්, මා එසේ ගමන් කරන විට, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කොට සණස බැංකුවේ වංගුව ගත් (මෙය ඉතා පටු පාරකි ) රංජිත්, බරාස් ගා වාහනය නැවත්තුවේ මා මොනාදෝ කොට කොටා සිටින විටකයි....!
අප ඉදිරියෙන් පාර බ්ලොක් වී ඇත්තේ පාර දිගේ පෙල ගැසෙනා පෙරහරක් නිසාවෙනි...මල් බයිසිකල් (මේවාට මම නම් හරිම ආසයි...) , තරුණ තරුණියන්ගේ සැදුම්ලත් නැටුම් කන්ඩායම්, බෙර කරුවන් ඒ මදිවාට අටපිරිකර අතින් ගත් උපාසක උන්දැලා සමූහයක් ආදී වශයෙන් මම පෙරහර කියවිමින් සිටින විට රංජිත් කිව්වේ පන්සලේ කඨිනේ වෙන්න ඇති කියාය..ඒවිටයි මා දුටුවේ පෙරහෙරෑ මුලින්ම දිග ඇරෙන ඩිජිටලි ප්‍රින්ටඩ් බැනරය.....!
....අති පූජ්‍ය, අරක මේක..පන්ඩිත..අරහේ මෙහේ අර බෝදි මේ බෝදි මහා පන්ඩිත මොකාද කියන එකාගේ තිස් නම වැනි උපන් දිනයට ආසිරි පතා මිල්ල ගස් ආර ධර්මායථනයේ පැවැත්වෙන මහා පින්කම...
වැනි පාටයක්...
කඨිනේ නෙවෙයි රංජිත්...මිල්ලගස් ආර පන්සලේ හාමුදුරුවන්ගේ බර්ත්ඩේ පාටිය....!
අපි යං...!
අපි යං...!
![]() |
| විශ්‍රාමලත් විදුහල්පති පරලෝසැපත් පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාට නිවන් සුව ....! |
එච්චරයි.......!
Friday, 9 December 2016
සෙනෙහසක උරුමය
![]() |
| බියන්කා කපෙලෝ ඇයගේ ආදරවන්තයා වූ ෆැරන්සෙස්කෝ දි මෙදිසි හා නික්මයෑම ලුවිස් ඩුසිස්ගේ පින්තාරුව |
තරප්පු පේලියක
උසම උස් කුළුනු යුගලෙක
අවතැන් වූ හිඩැසක
කුළුඳුලෙන්
ඔබැ උනුසුම විඳි
දයාබර මහදට
ඔබ තවමත්
අදත් එදාමෙන්ම
කුමරියක මිස
කොලයක් නොමවේමැයි
කරදහි....!
ඔබහට
මා
මා
හඳේ හාවා වූ ලෙසම
කුමරිය ඔබැ දඟකාර දෑස්
මා ලුහුබඳීවී ...
සසර සරනා ආත්මයෙන් ආත්මයට...
එබැව් නොදැනෙන
එබැව් නොහැඟෙන
ඔබැ හද පතුලේ
කිමැදුන මා
උඩු සුළඟේ ඉමක් නොදැන
පාවෙන කරදහි කැබැල්ලකි
අද ඔබැ හට...
සෙනෙහසේ උරුමය
මෙයම නම්
සොඳුරියේ
විඳින්නෙම්
මහදපිරි සෙනෙහසින්
මතු ඉපිදෙන
සාරාසංක්‍ය කල්ප ලක්ෂයක්
ඔබැ නමින්ම
කුමරියේ...!
Wednesday, 7 December 2016
The Measure of LOVE....!
කිරි හොද්දක
ලුණු බලන්න වගේ
අල්ලට අරන් ලෙවකාලා
ආදරේ දිග පළල ගැඹුර
ගැන කියන්න
ඉගෙනගන්න
ආයෙත් ඉස්කෝලෙ යන්න
හිතෙන්නේ ඇයි ඇත්තට...?
Tuesday, 9 August 2016
කේරළ පොරොටා, චිකන් මසාලා නවක වදය
![]() |
| Ruwi OK Centre |
මීට සතියකට කලියෙන් මම දහරාන් ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බෑමෙන් පසු සිදුවූ දේවල් මෙතන කෙටියෙන් ලියා ඇත...මට සිහි වූයෙ මා දහරාන් නගරයේ සේවය කල සමාගම තිබූ මහල් ගොඩනැගිල්ලත්, එහි දහ වන මහලේ මා සේවය් කල ඔෆීසියේ තිබූ සොෆිස්ටිකේෂන් එකත්ය...කාමර තුනක කුඩා අපාර්ට්මන්ට් එකක එහෙන් මෙහෙන් ඔෆිස් මේස පුටු අහුරා තිබූ මේ නව ඔෆීසිය මට හිරිගඩු ගෙනාවේ සුලු කාලයකට පමනි..ප්‍රධාන ඉන්ජිනේරුවා වූ අශෝක් දාස් මහතා බටහිර බෙන්ගාල ජාතික දෙකන් දිග (බුදු සාධු වගේ) පැහැපත් සොඳුරු මනුස්සයෙක් වීමයි එයට හේතුව.
![]() |
| Asok Das-Chief Engineer Al Hatmy Engineering |
ආ ගිය තොරතුරු කතා කොට, අශෝක් දාස් මට සජී සමග මාගේ තාවකාලික නවාතැන, ඒ කියන්නේ මගේ ප්‍රිය බිරින්දෑත් දරු දෙදෙනාත් එනතුරා මා හට එන කල බැචුල ඇකම්ඩෙෂන් එක, වෙත ගොස් වෙහෙස නිවා ගෙන එන ලෙසත්, ඔහු පහුවෙනිදාම කල්කටා වෙත නිවාඩු පිණිස යන බැවින්, මට කලියෙන් මෙහි සේවය කල ආකිටෙක්ට් මහතා බාගෙට දමා ගිය රජයේ තට්ටු බිල්ඩිමක ඉතිරි වැඩ කටයුතු නිමා කොට ඔහු ආපසු පැමිනෙන විට ටෙන්ඩර් කිරීමට පිළියෙල කර තබන්නයැයි කී විට මා පැවසුවේ, නැත මට විඩාවක් නොමැත, ඔබ යෑමට කලියෙන් මට කිරීමට ඇති වැඩ ප්‍රමානය ගැන විස්තර කරන්නයැයි කී නිසා හැන්දෑ වෙනකන් ඔහු සමග ගැවසීමටත් අලුත් රටේ වැඩ කරනාකාරයේ දිග පළල යහමින් දැනගැනීමටත් හැකි විය...
කොළඹ සිට සීබ් ගුවන් තොටුපොලට ඇති පැය තුනහමාරක ගුවන් කාලයත්, පැය එක හමාරක් වූ කාලයේ වෙනසත් ජෙට් ලැග් නොගෙනා නිසා මා හට එතරම්ම මහන්සියක් නොදැනුනේ මා 31 වෙනි වියේ පසු වූ නිසාම විය යුතුය..දැන් නම් කොළඹ සිට හයිවේ එකේ මාතර පැත්තට යනවිට ගැලනිගමදීම නින්ද යයි...
![]() |
| Ruwi Civic Centre |
සවස පහමාරට පමන රුවී නගරයේ තවත් ලෑන්ඩ්මාර්ක් එකක් වන ජෙනෙට්කෝ බිල්ඩිමේ තුන්වෙනි මහලේ තිබූ මාගේ තාවකලික නවාතැනට යනවිට (එය කාමර තුනකින්, සාලයකින් සහ මනාවට පිරිපුන් මුලුතැන්ගෙයකින් සමන්විත අපාර්ට්මන්ට් පොඩ්ඩක් විය )මාගේ ෆ්ලැට් සඟයන් වූ නන්දි නම් බටහිර බෙන්ගාලි ජාතික ආකියෙකුත්, පෝල් ථෙවකාන්තන් නම් යාපනයෙන් පැමිණි සිටි ශ්‍රී ලාංකික ස්ට්‍රක්චරල් ඉන්ජිනේරුවාත් මූණ කට සෝදා සරම් වලට ෂොර්ට් වලට බැස සිටියෝය.
නන්දි අන්තිම කොනේ කොරිඩොරුවකිනුත් හැරීගියාට පසු හමුවෙන කාමරයකත්, එයට යාබද විශාල කාමරයක පෝලුත් ජීවත් වු අතර විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය අසල තිබූ අමුත්තන්ගේ නිදන කාමරය මට වෙන්කොට තිබුනේය.. මා එයට පෙම්බැන්දේ එහි තිබූ පළල අලුමිනියම් ජනේල වලින් මට රුවී මිටියාවතේ හොඳම දසුන් කෙරවලක් නොමැතිව සපයා දීමත්, මාගේ ආදරණීය මුලුතැන්ගෙය මා අසලම ගැවසීමත් නිසා වියයුතුය.
![]() |
| Ruwi Valley seen from Yeti |
මේ කාමරය තුලත්, මේ කුඩා නිවහන තුලත් ඉදිරි මාස තුනක කාලයේදි රසවත් සිදුවීම් නේක රාශියක් සිදුවූ බැව් මා දැන් සිහිකරන්නේ පුදුමාකර ආත්ම තෘප්තියකිනි.
එනමුදු, තවමත් උත්තර හොයාගැණීමට නොහැකි වූ එකම එක පුද්ගලයෙක් වටා සිදුවූ සිදුවීම් ජාලයක් මා පසු පස එලවයි. එය ලියා තැබිය යුතුය යන්න මා පෙලයි. මාගේ මේ ලියවිල්ල ඔහුත් කියවන බවත්, මෙය කියවු විට ඔහු දැන් මා මෙන් ජීවිතය විඳ ඇති නිසාත්, ඔහේ ලියාගෙන යමි.
එයට පසුව පිවිසෙමු. මිනිසුන් ගැන කීමේදී මට මතක් වෙන්නේ මා සීබ් ගුවන් තොටුපොලෙන් එකතු කරගැනීමට පැමිනි සජී නම් කේරළ ඉන්ජිනේරුවා සමග රුවී නගරය වෙත පැමිනෙමින් සිටිද්දී වු කුඩා සිද්ධියකි. මා දහරාන් නගරයේ ජීවත්වූ මාස 13ක කාලය තුලදී වාහනයක් පාවිච්චි කරේවත්, කුලී රථයක නොගිය බවත්, ඔෆීසියෙ සිට නවාතැනට කුඩා බසයකින් ගෙන ඇරලූ බවත් පැවසිය යුතුය. සීබ් ගුවන් තොටුපොලින් මා එකතු කිරීමට සජී පැමිණි සිටියේ ඔහුගේ නවතම කාරයෙනි. බෑග් මලු එකතු කොට ඩිකියේ දමා මා ඔහුගෙ කාරයේ ඉදිරි අසුනේ වාඩිකරගත් සජී සීබ් සිට රුවී දක්වා වාහනය පදවමින් සිටින අතර අපට සමාන්තරව ධාවනය වන කුළී රථයේ සිටි ඕමානි ජාතික රියදුරා අතින් පයින් ඔහු හට මා පෙන්න පෙන්නා මොනවාද පවසයි. මේ හස්ත මුද්‍රාව මට නම් තේරුම් ගත නොහැක. අපෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබුනු මේ ඕමානි ජාතික ටැක්සි රියදුරා අපට ඉදිරියෙන් ගොස් පාර හරස් කර වේගය සෙමින් අඩුකරමින් අපහට වාහනය නවත්තන තැනට වැඩ සිද්ධ කලේය...මා හිතුවේ රටට ගොඩ බැස්ස හැටියේම මට කෙළවෙන්න යනවා යන්නය...ඔහුගේ රථයෙන් බැස ඇවිත් ඔහු උරිස් කරට ඔහුගෙ අත තියමින් පහලට අදින ස්වභාවයක් පෙන්වමින් අරාබි බසින් යමක් පවසයි. එවිට අරාබි බස හොඳින් හසුරන සජී,
"සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
"අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.
"සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
"අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.
මේ ඕමානි ජාතික මිනිසා මෙසේ කලත්, එදාම හවස සිදුවූ තව සිදුවීමකින් තලා පෙලා දැමූ මගේ සිත තාමත් ඔද්දල්ය. අවුරුදු 24කට පසුත් ඔද්දල්ය..
තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...
තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...
දැන් මෙය මාගලක් වීමට මාන බලයි....
කෙටියෙන් ලියා අහවර කිරීම ඇඟට හොඳය..
අප අතර ඇතිවූ දෙබස....මෙය සිදුවුයේ මාගේ කාමරය තුලය..නන්දි සහ පෝල් මෙයට සම්බන්ධ නැත..හහ්..
මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?
ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...
අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...
දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.
මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...
මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?
ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...
අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...
දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.
මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...
![]() |
| කේරළ පොරොටා |
![]() |
| චිකන් මසාලා |
ඒ සැන්ඳෑව සතුටින් ගෙවූ අපි වෙන්ව ගියේ මා කෑමට රෙජිස්තර වූ තැනින් රෑ කෑමත් කෑමෙන් පසුවයි. ඒ කෑමේ ආදීනව දැන්නුනේ පහුවෙනිදාය...ඇසිඩ් ගිල්ලා වැනි දැවිල්ලත්, ඔලුව පිටුපසින් නැගී එන වේදනාවත් මා හට ගැස්ට්‍රයිටීස්වල හොඳ එක වැළඳී ඇති බැව් කියා පායි...හැන්දෑවේ අනුරයා පමනක් මා සොයා ආවේ පසුව අපගේ ප්‍රියතම පානයක් වූ ඉන්දියන් රම් බෝතලයක්ද සමගයි.
රහමෙර පානය කිරීමට තරම් හිතක් තිබුනත් අමාශයක් නැති නිසා ඒ බැව් අනුරට කී විටයි මට තේරුම් ගියේ මාහට සිදුවූ දේ....අප අතර ඇතිවූ දෙබස...
මම: මාර ගැස්ට්‍රික් මචං..මට ඉන්දියන් කෑම හුරු නෑ..ඔක්කොටම වඩා අර පොරොටායි චිකන් මසාලා එකයි මාර කේස්නේ..
අනුරයා: උඹ සවුදි ඉන්නකොට කෑවේ ඉන්දියන් නෙවෙයිද...?
මම: නෑ බං මම උයාගෙන කෑවේ...?
අනුරයා: උඹට උයන්නත් පුලුවන්ද..?
මම: හ්ම්ම්...
අනුරයා: ඇයි බං උඹ ඉන්දියන් කෑම මෙස් ෆැසිලිටි එකට ගෙව්වේ..ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකෙත් මෙස් ෆැසිලිටි එක තියෙනවනේ..මමයි ලලිතුයි කන්නේත් ඒකෙන්මනේ..ගානත් එකයි...මම මාර අප්සෙට් එකේ හිටියේ උඹ ඇයි ලංකාවේ කෑම කන්නේ නැත්තේ කියලා...
මම: හෑ...ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවද..? කොහෙද..ඈතද..?
අනුරයා: ඈත නෙවෙයි රුවී හයි ස්ට්‍රීට් එකේම උඹ කන තැනට පොඩ්ඩක් එහායින්...සුනිල් කියලා ලංකාවේ ඉංජෙක් කරන්නේ රෙස්ටෝරන්ට් එක...
මම: ඒ කියන්නේ ලලිත් ඕනකමින්මද මට කේරළ ස්පොට් එක සෙට් කරලා තියෙන්නේ..?
අනුරයා: ඒ වගේ නේ..ඌ උඹේ යාලුවෙක් කියලා නේද කිව්වේ...මේ ඒක නෙවෙයි තව එකක් තියෙනවා උඹට කියන්න...
මම: මොකක්ද..?
අනුරයා: ලලිත් මාර....!!!!!
මම: එපා එපා ඔයිට වඩා කියන්නෙපා..ඔය හොඳටම ඇති..!
දශක දෙකකටත් එහායින් සිදුවූ මේ සිදුවීම මට තාමත් ප්‍රහේලිකාවකි...ඇයි...ඇයි...???
නවක වදය හෙලා දකිමු...!
Saturday, 25 June 2016
යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ...
මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් දැන් එයා ටීවී බලන එක අඩුකරලා වගේ ය කියලා මට තේරුම් ගිහින් ඇත්තේ, ටීවී එක ආපහු මහින්ද මහත්තයා පෙන්නන නිසා නොවේය...යූ ඇන් පී උනත් විලි ලජ්ජාව කියල එකක් තියෙන නිසාය..ඒ අපේ තාත්තාගේ යූ ඇන් පී කමය..
අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය..
අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..
අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...
අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...
ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!
ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...
මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..! සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි.
එයා කෙකි කාරයෙකි....!
අහල ගං හතටම පොල් කඩන්න ඉන්නේ මේ කෙකි කාරයො දෙන්නා විතරය...සේන අයියාට දැන් වයස 60කි..රංජිත්ට යංතම් 46 උනා විතරය..උදේ ඉඳන් උඩ බලාගෙන හවස පහමාර වෙනකන් පොල් කෙක්ක සිරස්ව අල්ලගෙන ගහෙන් ගහට යන හැටි බලන් හිටියාම පිස්සු වැටෙන්නේ, හනේ මේ දෙන්නා මේ ජොබ් එක දාලා ගියාම වෙන්නේ වැටෙන පොල් අහුලන්න විතරයි නේදය කියලා හිතෙන නිසාය.
පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!
මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..
කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!
සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය.
උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය.
කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...
පොල් කෙක්ක අග්ගිස්සට, පොල් පිහියක් බැඳලා ඇත. පරන දුනු තලයක් හොයාගෙන කම්මලට ගිහින් අනේ සේදිරිස් පොල් පිහි දෙක තුනක් හදලා දෙන්නකෝ කියා අඬා වැටුනාම හෙන රෙස්පෙට් දාලා සුමානයකින් දෙකකින් පොල් පිහියක් හදා ගත හැක..කම්මල් කාරයෝද වඳ වෙමින් පවතිනවාය. අම්මපා බයේ බැරිය.
කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..
හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..
සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!
ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?
ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...
බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!
නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!
කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..
හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!
යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!
අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය..
අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..
අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...
අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...
ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!
ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...
මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..! සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි.
එයා කෙකි කාරයෙකි....!
![]() |
| සේන අයියා |
කෙකි කාරයෙක් කිව්වාට එසේ මෙසේ කෙකි කාරයෙක් නොවේය, රංජිත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් දාගෙන අක්කර හැත්තදෙකක පොල් දවස් හයකින් කඩන කෙකිකාරයෙකි.
මේ පල්ලෙහා පින්තූරෙ ඉන්නේ සේන අයියාගේ ජොයින්ට් වෙන්චර් පාර්ට්නර් නොහොත් රංජිත්ය...
![]() |
| රංජිත් |
![]() |
| ලීඩ්පාර්ට්නර් |
![]() |
| ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස් |
පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!
මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..
කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!
සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය.
උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය.
කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...
![]() |
| පුරුක් තුන හතරක් අල්ලලා දාන කෙකි ජොයින්ට් එක |
![]() |
| කෙක්ක උඩ පොල් පිහිය |
![]() |
| පොල් පිහිය හරි මුවාත්..බලාගෙන සෙල්ලං දාන්නේ...! |
කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..
හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..
සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!
ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?
ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...
බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!
නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!
කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..
හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!
යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!
Subscribe to:
Posts (Atom)



































