Tuesday 15 July 2014

පෙට්ටගම් සහ අරාබි මල් කැටයම් - 100 year Storm






අනුන්ගේ දේකට වැරදිලා ඇඟිල්ලක් වැදිලා මම හරිම අපහසුතාවයකට පත් උනා පහුගිය සුමානේ. ඒත් එක්කම වැඩ ගොඩ ගැහිලා නිසා කමෙන්ට් වලට විතරයි යොමු උනේ.
ඒත් අඩුගානේ හිතලා බලලා කොමෙන්ටුවක්වත් දාගන්න බැරි උනා මාතේ ගේ "පිවිතුරු හෙට"...මොනා කරන්නත් හිත එකලාසයක් වෙන්නත් එපැයි.

චාමි ( මස්කට් එයාර් පෝර්ට් ප්‍රොජෙක්ට් එකේ මේ දවස්වල මගෙන් ඉතිරි වෙච්ච සීනියර් ආකියෙක් ) ඊයක් විදලා තිබුනා අපේ මස්කට් එයාර් පෝර්ට් එකේ අද වෙනකොට ප්‍රොග්‍රෙස් එක ගැන කියලා.
හුඟ කාලෙකින් ඒ ගැන ලියන්න බැරි උනනිසා හිතුවා, මේ පින්තූර ටික එක්ක පොඩි විස්තරයක් ලියනවා කියලා.


කියවන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක මම හිතුවා, ඩිසයින් ඉමේජස් එක්ක අද තියෙන තත්වය පෙන්නුවොත් හොඳයි කියලා. පල්ලෙහා තියෙන තිරස් පින්තූරය ත්‍රිමාන රූපයක් (3D Image). ඒක පිලිවෙල කලේ ඩිසයින් එක එක්තරා තත්වයකට ඩිවෙලොප් කරාට පස්සේ. අපේ භාෂාවෙන් කියනවා නම් ප්‍රිලිමිනරි ඩිසයින් ස්ටේජ් එකේදි. ඒකට හේතුව ඔවැනි ත්‍රිමාන රූපයක් බිහි කරන්න විශාල තොරතුරු සම්භාරයක් ගොනු කරගන්න ඕනි. ඒ තොරතුරු විශාල ප්‍රමානයක් තියෙන්නෙ ගෘහනිර්මාන ශිල්පියාගේ මනසේ. ඒ විතරක් මදි, අනිකුත් විශේෂඥයන්ගේ තොරතුරුත් අවශ්‍යයි ඔය රූපය පිලියෙල කරන්න.
ඔටෝකැඩ්, පොටෝෂොප් සහ ත්‍රීඩීමැක්ස් (AutoCad, Photoshop & 3D Max ) කියන මෘතුකාංග පාවිච්චිකරලා තමයි ඔවැනි රූප නිමවෙන්නේ.

full view of the muscat terminal from the apron
ගෘහ නිර්මාන ශිල්පීන් හැටියට මෙයට දායක උනේ ඕබීඑල් (ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පී-Chief Architect), මම (ප්‍රධාන නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී සහ ගෘහ නිර්මාන අධ්‍යක්ෂක-Chief Design Architect & Architectural Director ) ජමුර (නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී-Design Architect). අපි තුන්දෙනාට සහායට මේ පින්තුරු එව්ව චාමි, බ්‍රයන්, එච්බී, රෙහාන්, පියල්, ක්‍රිශාන්ත, මුනී වගේ මටත් වඩා සීනියර් ආකියො ගොඩාක් හිටියා.
arrival hall-current progress

මේ පින්තූරය අරගෙන තියෙන්නේ, අරයිවල් හෝල් (Arival Hall) එක පෙනෙන විදියට ඊට උඩින් තියෙන ඩිපාර්චර් හෝල් එකේ ඉඳන්, අද තියෙන තත්වය පෙනෙන විදියට. පින්තූරය ගත්තේ ගිය සතියේ,චාමි .

අපි මුලදි,  ඒ කියන්නේ 2004 ඩිසයින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්ත කාලේ, 2014 තමයි මේ එයාර් පොර්ට් එක විවෘත කරන අවුරුද්ද කියලා සනිටුහන් කරලා තිබ්බේ. හැබැයි 2007 ජූනි 06 වෙනිදා "ගෝනු"http://en.wikipedia.org/wiki/Cyclone_Gonu කියන සයික්ලෝන් එක ඕමාන් රාජ්‍යයට කරපු හානිය නිසා, අනාගතය ගැන හිතලා අපිට ආයෙමත් මුල ඉඳලා ඩිසයින් කරන්න උනා. ඒකට හේතුව උනේ, අපේ ඔරිජිනල් ඩිසයින් එකේ, පොලොව යටට ලෙවල් පහක බිම්මහලවල්, සිංහලෙන් කියනවානම් බේස්මන්ට් පහක ගොනු කරලා තිබුනා, ඔටෝමේටඩ් බැගේජ් හැන්ඩ්ලින් සිස්ටම් එකත් ගොඩනැගිල්ලට අවශ්‍ය කරන යටිතල පහසු කම් සියල්ලත්.
ඒකෙම ඩිස්යින් ඉමේජ් එකක් තමයි මේ පහලින් තියෙන ඊලඟ පින්තූරය.



 සාමාන්‍යයෙන් මෙවැනි  යෝජනා ක්‍රමයක් නිර්මානය කරනකොට වසර 100ක තරම් පැරණි කාලගුන වාර්ථා (100 Year Storm) සලකා බලලයි කරන්නේ. ඕමාන් රාජ්‍ය වැනි මැද පෙරදිග ස්ථානවල සුලි සුලං ගංවතුර වගේ ස්වභාවික කරදර නැති නිසා වුනත්, අපි 100 year storm එකට තමයි ඩිස්යින් කලේ..අපි කිව්වේ අපේ ඉංජිනේරු මහත්වරු..( ඩෙන්මාර්ක් රටේ නමගිය ඉංජිනේරු සමාගමක් වෙන කොවි ( COWI A/S ). නමුත්, රටකරවන අය පපුවට අත තියාගෙන කිව්වා අනේ මහත්වරුනේ, කරුණාකරලා ආයෙමත් 500 ඉයර් ස්ටොර්ම් එක බේස් කරගෙන ඩිසයින් කරන්නය, එකම බේස්මන්ට් එකක්වත් එපාය, ආකිටෙකචරල් ඩිසයින් එක වෙනස් නොවෙන්නත් ඕනය කියලා. ආයෙමත් කරනවාට අපිට ගෙවන බවත් කිව්වා කියන එකත් කියන්න ඕනි.......!


අපි තවත් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඉතිරි වෙලා තිබිච්ච කෙස් ටිකත් හැලෙනකන්, මූනේ තිබිච්ච රැවුල සෝල්ට් ඇන්ඩ් පෙපර් වෙනකනුත්, ඔක්කෝම ෆුල් ඔෆ්ෂන් ගානට ප්‍රෙෂර්ද, සීනිද වැඩි වෙනකනුත් කලා නේද ඩිසයින්.

අර තට්ටු පහක් යටට තිබුන සර්විසස් සහ බැගේජ් හැන්ඩ්ලින් පහසුකම්, මුල් පෙනුමත්, ගොඩනැගිල්ල සැලසුම් කරලා තිබුන ආකාරයත් ( ඒ කියන්නේ පැසෙන්ජර් ෆ්ලෝ එක ), එහෙමම තියාගෙන කොහොමද උඩට ගේන්නේ කියන එක තමයි තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. කරන්න පුලුවන් වෙච්ච ප්‍රැක්ටිකල්ම දේ තමයි මහා ලොකු පෙට්ටගම් දෙකක් වගේ ටර්මිනල් එකේ දෙපැත්තට ඔය කියපුවා අමුනන එක. ඇමුනුවයි කියමුකෝ, ඕමානියන්ට මාර ආකිටෙක්චරල් ටේස්ට් එකක් තියෙනවා, ඉතින් ඕක ඇපෘ කරගන්න නම් නිකම්ම නිකම් පෙට්ටගම් දාලා බෑ...

පහල පින්තුරේ තියෙන්නේ පෙට්ටගම් අමුනපු ටර්මිනල් එක. ඔය කෝච්චි පෙට්ටි වගේ දේවල් ගිහින් එකතුවෙන, කර්ව්ඩ් රූෆ් එකක් තියෙන්නේ ටර්මිනල් එකේ අරය්වල් කොන්කෝර්ස් (arival Concourse) එක කියන එකට, ඒකේ දෙපැත්තෙන් පේන පෙට්ටි ටික ගැන තමයි කිව්වේ.

Terminal with පෙට්ටගම්
මම ඔය පෙට්ටගම් දෙක ඇන්දෙව්වා, අරාබි මල් කැටයම් වලින්. හැබැයි මේ පෙට්ටගමක් තට්ටු දහයක් උසයි. ඉතින් එහෙම බිත්තියකට සරිලන අරාබි කැටයමක් තමයි මම හොයාගත්තේ. ඔය පල්ලෙහා තියෙන පින්තූරෙන් අද ඒ අරාබි කැටයම දාපු පෙට්ටගම් බිත්තිය ඇත්තටම පේන හැටි චාමි පොටෝ ගහලා එවලා තිබුනාම මට හරිම ආඩම්බරයක් ආවා.
stone detailing of පෙට්ටගම්

මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට ඉවරකරන්න ඕනෑලු. ඒකට පිංතූර දැක්කාමනම් තව ලබන අවුරුද්ද වෙනකන් චාමිට ඕමාන් ඉන්න වෙයි කියලා තමයි මටනම් හිතුනේ.





මේ තියෙන්නේ පියර් (pier) එකේ පිටතින් පෙනුම. එක පියර් එකක් මීටර් 400ක් දිගයි. ඒ නිසා පියර් එකේ අන්තිම ගේට් එකකින් ගොඩ බහින ගුවන් මගියෙක් මීටර් 400ක් ඇවිදින්න ඕනි කොන්කොර්ස් එකට එන්න. එතන ඉඳන් තවත් මීටර් 400ක් විතර යන්න ඕනි එලියට එන්න. වෝර්කලේටර්ස් (walkerlators) තියෙනවා ඇවිදීම පහසුවෙන්න.


නින්ද යනවා නේ මේවා කියවනකොට. තව එකම එක දෙයක් කියන්නම් යන්න කලියෙන්.මම මේ කියන එයාර් පෝර්ට් එක තනිකරම කටුබැද්දේන් (මොරටුව විශ්ව විද්‍යාලයේ) සහ කොළඹ තියෙන සිටි ස්කූල් ඔෆ් ආර්කිටෙක්චර් (CSA-SLIA) කියන තැන් දෙකින් බිහිවෙච්ච ආකියො තමයි නිර්මානය කලේ. කාටද ආඩම්බර?
තව ගොඩාක් විස්තර තියෙනවා පස්සේ වෙලාවක කියන්නම්.
පෝස්ට් එක බ්ලොග් රොලේ අප්ඩෙට් උනේ නෑ...ආපහු පබ්ලිෂ් කලා, රංගිගේ ඇඩ්වයිස් එක අහලා...

Thursday 10 July 2014

බ්ලොග්ද? බොග්ද?



අටමා - පොන්නාලාපයක් ගැන ලියලා තිබුනා

කකා- මම ලියන්නේ මට ඕනි ඒවා කියලා එකකුත් ලියලා තිබ්බා

මාතේ- මහාචාර්ය තුමාට පහුගිය දවස් වල මලේ හොඳම එක පැනලා තිබුනා ඇනෝ වලින් ඇවිත් මොනාද කේස් එකක් ඇදගෙන සිරා එක්ක...ඒත් ලියන ඒවා ගැන....

හැලපෙ ලියලා තිබුනා පහුගිය සතියේම කල්පනා කර කර හිටියා කියලා බ්ලොග් අවකාශේ නීති රීති ගැන...එහෙම හිතලා සෙල්ෆ් සෙන්සර්ෂිප් එකක් දාගෙන වගේ රෙඩ් කාඩ් එක ගැන ලියලා තිබුනා වෙනදා වගේ නැතිව..

විචාරක මහත්තයා තුවක්කු ගැන සටන් ක්‍රම ගැන ලිවීම නවත්තලා පද ගලපන්න පටන් අරන්..

මාතේයි, අටමායි මාලු උයන්න ගිහින් පටන් ගත්ත කථිකාව කොච්චර දුර ගියාද කියනවානම් රංගිගේ ඔරෙන්ජං බාර්ලි ( ක්‍රීම්සෝඩා) කථාව තාම ඉවර නෑ...

අරූ රංගිගේ පෝස්ට් එකට අර පුරුදු විදියට ඉතිහාසේ මතක් කරලා දුන්න කොමෙන්ට් එකක් නිසා මාතේ තාම ඔරෙන්ජං බාර්ලි කථාව ඉවර කලේ නෑ...



!
!
!
!
!
!
!



මම යුද්දේ කාලේ හිටියේ පිට රට නිසා නයිටීඑන් එකවත්, අනික්වාහීනීවල්වත් වලින් නෙමෙයි තොරතුරු දැනගත්තේ. ඔන්ලයින් පත්තර ටිකයි, ටැමිල් නෙට් එකයි, ඩිෆෙන්ස් ඩොට් එල්කේ එකයි යන ඔය ඔක්කොම බලලා ඊට පස්සේ බ්ලොග් එකක් තිබුනා ලෝන්ග් රේන්ජර් කියලා හමුදාවේ ඇතුලේම බුවෙක් ලියන, ඒකත් කියවලා තමයි තෙරුම් ගන්නේ මොනාද වෙන්නේ සහ උනේ කියලා. ඔන්න ඔහොමයි මම බ්ලොග් අවකාශේ කියන එකට අවතීර්ණ උනේ (කියවන්නේක් හෑටියට ). ඒත් එක්කම ඩී බී ඒස් ගෙයි ඉක්බාල් අතාස්ගෙයි ආටිකල් දෙකත් සම්බන්ධයි ඔය උඩ කියපු දෙයට. ඩී බී ඒස් යුද්ධෙන් පස්සේ එයාගේ බ්ලොග් එක හරහා තමයි හම්බ් උනේ.


මම මෙහෙට එන්න ඉස්සර හිටිය ඕමාන් කියන රටේ බ්ලොගක් ලිව්වොත් (ඒ රටේ තියෙන දේවල් ගැන ) හිරේ විලංගුවේ වැටිලා ඩිපොර්ට් වෙලා තමයි ඉවර වෙන්නේ. අපිට තියෙන මේ හියුමන් රයිට්ස් නැතුව ලෝකේ ගොඩාක් මිනිස්සු සත්තු වගේ ජීවත් වෙනවා.


එනිසා මට බ්ලොගක් කියන දෙය හරිම වටිනවා.


එක ඇනෝ කෙනෙක් හැලපෙට පිං අනුමෝදන් කරලා තිබුනාලු අනුන්ගේ මල දානවල් ලියනවාය කියලා...අපි කවුරුත් දන්නවා පහුගිය දවස්වල කකාටත් මාතේටත් දිගට හරහට පෞද්ගලිකව පහර වැදුන බව. කොච්චර දුර දිග ගියාද කියනවා නම් මාතේ ඇනෝ කමෙන්ට්ස් වහලත් තිබුනා කියලා මාතේගේ කමෙන්ට් එකක රිප්ලයි එකක් හැටියට ලියපු දෙයකින් දැනගත්තා.
 
අපි බ්ලොග් ලියන්නේ, ලියන්න කියවන්න තියෙන ආසාවටම නෙමෙයිද කියලා හිතෙනතරමට මේ දේවල් දැන් ඔඩු ගිහින්. මම වගේ වයසක, ඒ උනාට හිතෙන් තරුණ, හැබැයි නොසෑහෙන්න බිසී (අනිත් අය වගේම ) කෙනෙකුට ටිකක් විතර අමාරු‍යි මෙහෙම උනාම මේ අවකාශේ සැරිසරන්න. ඒ හිතේ අමාරුව හින්දයි මෙහෙම ලිව්වේ.

මම මේ දේවල් මෙහෙම ලිව්වේ, බ්ලොග් අවකාශේ නීති රීති සාකච්චා කිරීම කෙසේ වෙතත්, බ්ලොගකින් අපි කරන ප්‍රකාශනය අද දවස වෙනකොට පෞද්ගලිකත්වය කෙලසාගැනීම නැත්නම් කෙලසීම දක්වා යාම හිතකරද කියන එක ගැන කතිකාවකට මග පාදගන්න.




Tuesday 1 July 2014

අමර ගී රසෝඝය


පින්තූරය ගත්තේ මම













 ලංකාවට ආවට පස්සේ ගෙවිච්ච, අමතක නොවන, සොඳුරු සැඳෑවක් උනා ගිය 29 වෙනිදා හැන්දෑව..
අමරදේව මාස්ටර්ගේ සසර වසන තුරු ප්‍රසංගය විඳින්න අගනා අවස්ථාවක් පහල උනා ගෙදරකෙනාගේ අනුග්‍රහයෙන්...
මයෙස්ට්‍රොගේ සොඳුරු මිනිසා නම් සීඩී තැටිය මිලදීගැනීමටත්, තුන්හෝරාවක් දැහැනක ගිලී තනිවෙන්නත් මග සරසා දුන් ඒ ඇත්තිට බොහෝ පින්..

අවුරුදු 86ක් තරුණ මේ සොඳුරු මිනිසා මා නෙත් බොඳකලා ඔහුගේ සුරම්‍ය මියැසියෙන්...

1999 අවුරුද්දේ (මට දිනවකවානු නම් මතකයේ නොමැත )මා සහ මා සහෘද බන්ඩාරයන්ගේ මූලිකත්වයෙන් අමරදේව මාස්ටර් පලමු වරට  (බලධරයා (අරූ මහතා ) විසින් කපා හරින ලදි) ඕමාන් රාජ්‍යයේ මස්කට් නගරයේ බාර් අල් ජිසා පැලස් රාජකීය රඟහලේ ඔහුගේ මියැසියෙන් දෙස් විදෙස් රසිකයන් පිනවූ  අයුරුත්, දින දහයක් පුරා මා සහ මාගේ පවුලේ අයත්, යහලු යෙහෙලියනුත් සමග මාස්ටර් ගත කල ඒ සොඳුරු සැදෑවනුත් මා වෙත නැවත ගෙන ඒමට මේ සැඳෑව ආයෙත් සමත් උනා.

ඉතාම අහිංසක මිනිසෙක්වන, එහෙත් ජාතියේ අග කරඬුව වන් එතුමා මා හට අතුල සෙනෙවි යයි අමතන්නටත්, මීවිත, මියැසිය සහ මිත්‍ර සමාගම යනු ජීවිතය යයි කියා, හෝරා ගනන් අපව පිනවන්නටත්, කාලයගත කල අයුරු කිසිදා මතකයෙන් ගිලිහී නොයනු ඇත.

ඕමානයට පැමිනි පළමු සැඳෑවේ, මා නිවහනේදී, තම වාදක මඩුල්ලත් සමගින්, රත්නශ්‍රී විසින් අකුරු කෙරූ….සුවඳ මුව රද ...., එම ගීතය පලමු වරට ගායනා කිරීම මට මහත් ආඩම්බරය ගෙන දෙන තවත් කරුනකි. අමරදේව මාස්ටර්ගේ අතිජාත පුත් (මාස්ටර්ගේම වචනයෙන්) රංජන, ඊගල්ස් ගයන හොටෙල් කැලිෆොර්නියා ගීතය ඇසුරුකරගෙන මාගේ තබ්ලා යුගලය ටියුන් කර, මෙම ගීය ගැයීමට තම පියානන්ට එකතුවූ  අයුරු මන බඳින සුලුය..

~~~~ සුවඳ මුව රද ~~
සුවඳ මුවරද බරිනි ආකුල
යෞවනය දොරකඩ හිඳී
මලක් වී ඔබ පිප්පෙනු නිසැකයි
වසන්තය ළඟ ළඟම එයි

දරුවනේ වන මලක් යනු
එක රැයක අසිරිය නම් නොවේ
ගහත් පොළොවත් වින්ද දුක්ගිනි
මලක රුව ගුණ බිහි කර‍යි

රොන් සලා පිනි බරව හිනැහෙන
කුසුම සතු යුතුකම මෙයයි
උපන් බිම මහ පොළොව දූවිලි
නිබඳ සිහිපත් කළ යුතුයි

පද - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - අමරදේව

සංගීත සංයෝජනය - නාලක අංජන කුමාර


 
මා ඉතාමත් ප්‍රියකරන..මේ මහ කන්ද.... ගීය ඒ වන විට කිසිම සීඩී තැටියකට නගා නොතිබුන හෙයින්, මා කල ඉල්ලීමකට කෘතගුන දැක්වීමක් ලෙසදෝ, ඔහුගේ ඊලඟ සීඩී තැටියට එම ගීය ඇතුලත් කිරීමත්, මස්කට් නගරයේ ශ්‍රී ලංකා අන්තර්ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් අප ඉල්ලිම පිලිගෙන නොමිලයේම ප්‍රසංගයක් පවත්වා ඔවුන් වෙනුවෙන්ම රත්න ශ්‍රී ගේ ....සුවඳ මුව රද.... ගීයත් මා වෙනුවෙන් .....මේ මහ කන්ද.... ගීයත් ගායනා කිරීම මා ජීවිතයේ අමතක නොවන සිදුවීම් මාලාවට එකතු වූවා..

කෙසේ වෙතත්, රෙකෝඩින් මෝරුන්ගේ දැලට හසුවූ මේ ගාන්ධර්වයානන්හට තමන්ගේ අප්‍රමානවූ නිර්මානයන්ගේ, බිඳුවක හෝ අයිතියක් නොමැති බව දැනගැනීම හිරිකිතය. ඔහු මෙයින් ගලවා ගැනීමේ මහා බාරදූර කාර්‍ය්යට අමරදේව පදනම ( www.wdamaradeva.lk)  (amaradevafoundation@gmail.com) අද කරගසා සිටී.

පින්තූරය ගත්තේ මම











ගාන්ධර්වයානෙනි..ඔබට නිවන් සුව පතමි.