Sunday, 4 December 2016

මිඩ් ලයිෆ් ක්‍රයිසිස් IN COUGER TOWN- අතිශයෙන් වැඩිහිටියන්ට පමනයි


හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පළකරන ලද්දාවූ මේ වියමන සහෘද බ්ලොග්කරුවන්ගෙන් හැරෙන තැපෑලෙන් ගුටි බැට, නින්දා අපහාස, අවලාද මෙන්ම දුක්ඛ දෝමනස්සයටද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා නොකෙළෙමි.

ඉහත මාතෘකාව හුදෙක් බ්ලොග් කරුවන්ගේ අත්දැකීමක් විනා බ්ලොග්කාරියන් කිසිමවිටක අත්දැක ඇති බැව් නොදනිමි. බ්ලොග්කාරියන්, තම වල්ලභයාගේ අත්දැකීම් දැක ඇතත්, ලොව පිළිගත් ආකාරයට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක පිරිමින්ම පමනක් විඳිනා සුන්දරවූ ආකල්පයක් ලෙසයි රෙජිස්තර වී ඇත්තේ...!
ඒ මන්දයත්, ලොව පිළිගත් දහම නම්, මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක හරහා යන පිරිමියෙක් හඳුනා ගන්නේ ඔහු හාලි ඩේවිඩ්සන් මෝටසයිකලයක නැගී හරඹ පෙන්වීම, බෝට්ටුවක් මිලට ගැනීම, මිනිමයිනර් එකක් රිස්ටොර් කිරීම එහෙමම නැත්තං අඩුම තරමේ පෝශේ ස්පෝර්ට් කාර් එකක් ගැනීම වැන්න යයි.

එනමුදු, මිඩ්ලයිෆ් ක්‍රයිසිස් එක හරහා යන හිංගල බ්ලොග් කරුවෙක් කියනා අන්දමට අම්මට සිරි ලංකාවේ නං ඉහතින් කී කිරියාවන් කිරීම අනදර් ක්‍රයිසිස් එකකට මුල් වේ...ඒ කිව්වේ ෆිනෑන්ශල් ක්‍රයිසිස් එක්කටය.

මා මේ තතනන්නේ ලොව පිළිගත් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකේම තවත් පැත්තක් එළි දක්වා අහක යන කුනු ගොඩවල් රාශියක් මීතොටමුල්ලෙන් මගේ දෙස හරවා ගැනීමේ අරමුනින් යැයි හිතුනාමත්ම නොවේ.

පිරිමි වන අප පනහ පැන්නට පස්සේ, එහෙමම නැත්තං අර ඉස්සර කථාව මෙන් හැට පැන්නට පස්සේ මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කරේ තියාගෙන කෙළින්නා වූ පිස්සු පස්සට තියා, හතලිහ හතිලස් පහ පැන්නා නෝනා මහත්තුරු ඔය මානුෂික වෙනස ගසා බසා නෝමල් වෙන්නේ කෙසේද යන්න ලියන මට තිස්පහේදී විතර පේන්න පටන් ගත්තේ අල්ලපු ගෙදර ඒ වයසේ නෝනලා ජීවත්වූ නිසාමත්ම නොවේ...ඒ නගරයේ ඒ කාලයේ ජීවත්වූ නෝනලාට, ඒ කීවේ අර මුලින් සඳහන් කල වයස පසු කරමින් සිටි ලස්සන නෝනලා ගේ අරවා මේවා සම්බන්ධ ගැටළු වලට මේ ලියන මම කරන ලද්දාවූ උදව් උපකාර නිසාවෙනි.

කවුරුහරි ඒවා කොරන්නත් එපෑයැ..නැද්ද..?

අනික ඔය මිඩ්ලයිෆ් ක්‍රයිසිස් එකේදී බොහෝම ටික පිරිමි දෙනයි (මෙහෙම ලිව්වම අටමා බනී..මම කිව්වේ සිංහල වලට) නෝටි වැඩ කරන්නේ..එහෙම කිව්වේ මම ලියන්න යන දේ මීට ටිකක් විතර සමීප නිසා...!

ඔය අපේ ඒ කිව්වෙ පිරිමින්ගේ ඔය කාරණාවට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කීවාට, ගැහැනුලමයින්ට ඒ වයසට එන්නත් කළියෙන් වෙන ජීව විද්‍යාත්මක, ඒ කියන්නේ හෝමෝන ආශ්‍රිත කේස් එකක් නිසා, පුදුමාකාර ගතිපැවතුම් වෙනසකට එතුමියන් භාජනයවෙන බැව් අත්දැකීමෙන්, (ඒ කීවේ දකුණු අත ගැන සලකලා,) මේ ලියන මම දනිමි..ඒවාට හොට්ෆ්ලෑශ්, හොස්ස ලඟින් මැස්සාට යා නොහැකි බැව් යනාදි පුදුමාකාර කේස් ගොඩාක් සම්බන්ධය. අපි ඒකට පොස්ට් මෙනපොස් ක්‍රයිසිස් කියමුකෝ...ඒකට කමක් නැත, ඇයි එය සිදුවන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වය, ජීව විද්‍යාත්මක සිදුවීම් අරවා මේවා නිසාය. මට ඒක එතරම්ම ප්‍රශ්නයක් නොවන්නේමය..

ප්‍රශ්නය මෙයයි...(ගුටි කෑමටත් නියමිතයි)....

යස අගේට පවුල් පන්සල් වෙලා, ලමෙක් දෙන්නෙක් මොන්ටිසෝරි යන වයසේ ඉන්න ඇත්තිලට, හුටපටාස් ගාලා ලෝකේ වටේම ඉන්න කවි බණ කියන සාධු පැටව්, අසපු, බෝධිපූජා, බජන් ඊවිනින්ග්ස්, කූන්ග්ෆූ ක්ලාස්, කොෆි මෝනින්ග්ස්, බුක් ස්වැප් ඉවන්ට්ස් එක්සෙට්‍රා එක්සෙට්‍රා ඕනි වෙන්නේ ඇයි...මිඩ් ලයිෆ් ක්‍රයිසිස් වෙන්න තව කල් තියෙද්දි, මහත්තයා පැටියාත් හොඳ කඩවසම් වයසේම ඉන්දිද්දි කොහොන්ද කොහොමද මේ ඉශූ එක පැන නගින්නේ...?

ආන්න ඒකයි කේස් එක...!

හේතූන් රාශියක් ගෙන හැර පෙන්විය හැක...එනමුදු ඒ සෑම හේතුවකටම මුල් වන්නේද වල්ලභයාම වේ...!

හිතන්න...ඔන්න බෙල්ල උගසට තියා සෙට් කරගන්නාවූ පෙම්වතිය පසලොස්වක හඳට, බේරේ වැවේ නෙලුම් මලට, නාදළු වලට, මොණරපිහාටුවලට, මල්ලිකා හෝටලේ බිත්තර බන් එකට අරකට මේකට යනාදී වශයෙන් ආදේශ කරන අපිම, ලමෙක් දෙන්නෙක් වැදුවාට පසු, ඈ දෙස බලනාකාරය වෙනස් කරනවානේද..?

නෑනේ..අර මුලින්කී අවදියේ ඈ මේන්ටේන් කරගෙන ආ, පෙර ආත්ම භව වලදී කරගත්තාවූ පින් බලෙන් උරුමවූ ලාලිත්‍ය, අඟර දඟර ගෙයි මුල්ලේ තබා ඔබට වඩා ඔබගෙන් දායාදවූ දරුවන්ගේ පැවැත්මට, ඒ ලාලිත්‍ය දන්දී මක්කාදවූ ඇත්තීයක් සේ වෙනස් වීගෙන ගොස් ඔබගේ නෙතු වෙන පැත්තකට යොමුකලානේද?

හා එහෙමයිම කියමුකෝ, ඇයි අපි ඒ තැනැත්තීට, ඒ කීවේ අර බේරේ වැවේ පිපිච්ච නෙළුමට, එහෙම වෙනස් වෙන්න නොදී අවවාද අනුශාසනා නොදුන්නේ...අනේ සුදෝ ඉස්සර වගේ ඔමරි කරන්නකෝ, ඇයි දඟමල්ල ඔතෑනි උනේ යනාදීවශයෙන් පුශ් එකක් නුදුන්නේ...?

මම ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා..මේ හොලිවුඩ් දෙකේ පන්තියේ එකක්..ඒ උනත් ඒ ෆිල්ම් එකේ එක තැනක කාටත් ගන්නැහැකි ශුට්ටං දෙයක් තිවුනා...මෙහෙමයි..දාහතරේ පාලහේ ලමයි ඉන්න කපල් එකක්..හස්බන්ඩ් ෆැමිලි බොන්ඩ්ස් තීව්‍ර කරන්න කියලා හිතාන රෝඩ් ට්‍රිප් එකක් ප්ලෑන් කරලා එක්ක යනවා කාර් එකක මුලු ෆැමිලි එකම...කිසිම දෙයක් හරියට සෙට් වෙන්නේ නෑ ...දිගටම අනාගන්නවා..අන්තිමට කාර් එකත් නැති වෙනවා..එතනදි මුලු ෆැමිලි එකම හස්බන්ඩට බ්ලේම් කරනවා තෝ නිසා තමා මේ ඔක්කොම උනේ කියලා..මෑන්ස් එතකොට කියනවා (ඌ පයිලට් කෙනක්) මම පාට් ටයිම් වැඩ කරලා සල්ලි හොයාගෙන බොලාව එක්කගෙන ආවේ අපි හතර දෙනාට එකට ඉන්න ඕනි නිසාය මට ලෝකේ වටේ යන්න ඇහැකි ජොබ් ආවත් හැම ජොබ් එකම අත ඇරියේ බොලා එක්ක ඉන්න ඕනි නිසාය කියලා..නෝනා කියනවා මේ හැමදේටම හේතුව උනේ ඔයා විතරයි උනන්දුවෙන්නේ මේ පවුල එකට තියාගන්න අපි ඔක්කොම මේ පවුල කරදරයක්‍ කියල හිතාන තනියම මෝක්ශය හොයනවාය කියලා....!

අපිත් එහෙමද ඇත්තටම..හිතල බලන්න නෝනාවරුනි..ඔය ගෙදර ඉන්නවා සත්තරං පුරුෂයෙක්...එක කාලෙකෙදි එයා තමයි මෙයා කියලා අම්මා තාත්තත් දමලා ගහලා, පොල්සම්බල් බත් කාලා පැලක ඉමුය අරකය මේකය කියලා ආපූ අපිම නේද මේ විකාර කරන්නේ කියලා තත්පරයක් නැවතිලා හිතන්න...මේ දවස්වල පොඩි ඈයොන්ගේ කොන්සර්ට්ස්, වසරවසාන අරක මේක තියෙනවනේ..අර ඉස්සර දාපූ මායම් දාලා වල්ලභයාව බලෙන් හරි එක්කගෙන ගිහුන් ගෙදර ආවාම ආදරෙන් සලකලා බලන්න කොහොමද කියලා රිසල්ට්ස්..අම්බානකට රොමෑන්ටික් වෙන්න පුරුදුවෙන්න..හරිම ලාභයි රොමෑන්ටිසම්...ඕ යේස්...!


තව චුට්ටං දෙයක් කියන්න ඕනි..ඔය මාතෘකාව ඔහොම දැම්මේ එතකොට තමයි පොඩි ඈයෝ කියවන්නේ..උන්ටයි මේ ලිව්වේ....පොඩි කාලේ ඉඳන් මේවා හිතන්න ඕනි..නැත්තං නිකාං කඳුළු ගෑස්, ජල ප්‍රහාර කන්න වෙනවා...අනික හිංගල බ්ලොග් ලියන්නන් අතර මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක තියෙන අය මම දන්න තරමට ඉන්නේ මමත් ඇතුලුව.. අතේ ඇඟිළි ගානට..ඒ කිව්වේ දකුණු අතේ....!

කවුරුහරි ඇහුවොත් නම් කරන්න කියලා ඒ බ්ලොග් කරුවන්..කිසිම බයක් සැකක් නැතුව ඔවුන්ම ඉදිරිපත් වේවි...!


Friday, 18 November 2016

මානි නම් වූ ඈ..!




ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ 
රතු ජම්බු ගහ මුල
බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන
බලාසිටි ඒ පුංචි අවදියේ
ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත්
දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා
අදවගෙ මට මතකයි  නගේ

රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත්
 ඒ පුංචි අවදියේ
නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින්
මා නෙතු අද්දර කල එබිකම්
 අද වගේ මතකයි  නගේ

කප්පරක් වංගු පසුකර 
ගෙවුන ජීවන මගේ
මහමෙරක් බර ඇද්ද ඔය දෑත
මා දෑත් වෙලාගත් අද සැන්දෑවේ
බුමුතුරුණු ගොරෝසුවට දැනුනත්
ඔය දෑස තාමත් 
ආයාචනා කරයි මාහට


දෑත දිගුකර වඩා ගන්නැයි කියා..!

හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....!


Tuesday, 15 November 2016

වත්මන....! The Reality...!

creativity credit- Ole B Larsen
ඈ.....

සෙමින් ඇවිද යමි
මැවෙන නිමැවෙන
අරුමැති
පණ පෙව්නු
සිතුවිලි අතර නවතිමි
.......!

මා....


අඩුවෙන් කමි
මහත අඩුකර
වේගයෙන් ඇවිදිමි
සිතිවිලි පසුකර
හැල්මේ දුවයමි....


හිහිහිහි....!



Tuesday, 25 October 2016

අමිල පෙම....!



උසට ගැලපෙන මහත
මවිල් පිරුන පපුව
පිරිමිකම ඉහවහා ගිය
ඔබ දැඩි දෑත...
හසුරුවන සුක්කානම පෙනේ මට ඇස්කොනින්..

මහවැහි වහී එළියේ
පොඩිත්තී ගුලිවී හීතලේ
පිටුපස අසුනේ මාතුරුලේ....
ඇය....
ඔබ මව්බිසව්...ඉදිරි අසුනේ...
මෙයයි මගේ..නැහැ..අපෙ ජීවිතේ...!






Saturday, 15 October 2016

ආදරණීය නේරංජනා...!

වැවුරුකන්නල පන්සලේ බුදුමැදුර තුල දර්ශණයක්...

වප් පෝයට සඳවතී දිලිසෙන
පරෙයි වෙරළ ඔබ දෙපා නොතෙමවන

වැලිමත සිත්තම් කල වුවන
ඈත සිටි මා නොදකින

වැවුරුකන්නල  නිවෙන දෑසට
ඔබ නෙත් යොමාන

වැවුරුකන්නල ඝන්ටා නාදයට
මා දෙසවන් යොමාන

තනිවෙන්නට හෙටදින
හිරු දෙවියන් හනිකට ඉපදෙන

සයුර අද්දර අප හමුවන
සොඳුරු සැඳෑව මා සිහිනෙන් ලංවන

ආදරණීය නේරංජනා....!






Friday, 14 October 2016

CONFLICT




එක්කො ත්‍රීවිල් එකක,
නැත්තං බට්ටෙක්,
ඉඳලා හිටලා ටවුන් ඒස් එකක....
අහිංසක පාට පොඩි එකෙක්ගේ..
එහෙමත් නැත්තං අම්මෙක් තාත්තෙක් වගේ කඳුළු කඩා හැලෙන මනුස්ස පරාණයක..
ඩිජිටල් ප්‍රින්ට් කරපු පොටෝ එකක් එක්ක තඩි බැනර් එකක් එල්ලලා,
කණ හිල් කරගෙන යන අනවුන්ස්මන්ට් පාරක් දාගෙන ගමේ ගොඩේ සිදාදියේ හැම අහුකොන් පාරකම ගාටමින්,
ලොකු දොස්තර මහත්තයෙක්ගෙ රෙකමදාරු ලියුමකුත් දික්කරගෙන,
පින්වත්නි, මේ අසරණ (දරු පැටියාගේ, අම්මගේ, තාත්තගේ.......)
වකුගඩු සැත්කම,
හෘද සැත්කම,
පිළිකාව....බ්ලා බ්ලා බ්ලා...සඳහා..
රුපියල් තිස් ලක්ෂයක්, හාර කෝටියක්.....
ඉන්දියාවට ගෙනියන්න අච්චරක් මෙච්චරක් කිය කියා....
මොකක්ද මේ කරන මේ විජ්ජාව....
අතේ තියෙන දෙකයි පනහ ලොතරැයි කූඩුවටද බට්ටටද..
සිතමින්...
එහාට මෙහාට වාංගු වෙන ඇටසැකිලි වන් සංහිදියාවෙන් මත්වූ බොහෝමයක් වු මිනිසුන්.....

සේනනායක හංදියේ ට්‍රැෆික් ලයිට් රතු පාටයි...
රණවිරු ටී ෂර්ට් එකේ
අත් දෙක හුළඟට වැනෙන..
අවි ගත් දෑත වන්නියේ දමා ආ..
මිල්ලගස් ආරේ රණවිරු අබේසිරිවර්ධන මාවතේ අම්මා පදිංචි වී සිටින..
අබේසිරිවර්ධන මුදියන්සේලාගේ අමිල අබේසිරිවර්ධන...
යදින්නේ කීයක් හෝ ...
යුහ එකයි හතරයි පහයි නමේ..
තරු දෙකේ ලාංජනයේ ලෙදර් වැස්ම අරන් දැමූ..
සුදු පාට ප්‍රාඩෝ එකේ ගාම්බීරව ඇස්දල්වා වාඩිගෙන සිටින..
අත් පා ඇති ඒත් සිත වන්නියේ දමා ආ..
විජේ බණ්ඩාර ගෙන්.....

කවදාද අප පතනා කොළ එළිය අප දකින්නේ....!

ඈ යන්න ගියා නොපෙනී....!


ඔබ සුසුමන්
කළැතූ

 සිතුවිලි සයුරේ
නැගෙනා ඒ රැලි

මහද වෙරළේ
හැපී බිඳී විසිරී

නිමක් නොපෙනනා
සිතුවිලි සයුරම
සඟවාගන්නේ

අද ඔබ මා දමා
සැඟවූ විලසින්මැයි

ඔබ පිය සටහන්
පමනක්මැයි
මහද වෙරළ 
සිප ගන්නේ
සෙනෙහසින්
.......