|
පිලක් වගේ එකක්....! |
මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.
ඉස්තෝප්පුව කියන්නේ පෘතුගීසි භාෂාවෙන් අපේ භාෂාවට එකතුවුන ලන්දේසි භාෂාවෙන් වැරෙන්ඩා ඒ කිව්වෙ වැරෙන්දාව උන අපේ පිලට. අපේ මුතුන් මිත්තන්කාලේ ගෙවල් වල තිබුනේ පිලයි ඇතුල් කාමරයයි, ඉතින් පිලේ ගෙදර පිරිමියා නිදාගත්තා රෑට, දවල්ට ඉතින් ගෙදරට එන අමුත්තන් ඈඳි ගත්තේ පිලේ...හැබැයි දැන් කාලේ වැරෙන්ඩාවේ, එහෙමත් නැත්තං ඉස්තෝප්පුවෙ පිරිමියාට නිදාගන්න වෙන්නේ හතර ගාතෙන් ගෙදර ආවම, නැත්තං ඕන නැති වැඩක් කරලා විඳින දඬුවමක් විදියට.
අපේ මහගෙදරත් පිලක්, ම්....නෑ ඉස්තෝප්පුවක් තිබුනා අපි සුට්ටං කාලේ...ඒ උනාට අපේ අම්මගේ නොනවිතන ප්‍රොජෙක්ට් එකක් හැටියට ඒ ඉස්තෝප්පුව ඉස්සරහ සාලේ හැටියට වෙනස් උනා රොමියල් බාසුන්නැහේගෙ පිහිටෙන් ඒ කාලෙදි...!
ඔය ඉස්තෝප්පුවටම අල්ලලා තිබුනා කාමරයක්, ඒකට කිව්වේ ඉස්තෝප්පු කාමරේ කියලා. ඒකේ තිබුන වැදගත්කම තමා රෑට ප්‍රයිවට් එනට්‍රන්ස් එකක් තියෙන එක ගෙදර අයට නොදැනෙන්න එන්න යන්න පුලුවන්වෙන. අනිත් වැදගත්කම තමා ඉතින් පිට කවුරු හරි රෑ නවතිනවනං සම්පූර්ණ ප්‍රිවසි සමග ඒ කාමරේ ඉන්න ඇහැක් කම. ඔය අපේ ඉස්තෝප්පුවෙ හරි මැදට වෙන්න තිබුනා ලස්සන ලංදේසි පන්නේ ලී කනුවකුත්. ඇයි එක කනුවක් කියන එක තාම නොතෙරේ, සමහර විට ගේ හැදුවෙ අපේ ආතා නිසා හිතන්න ඇති ඔච්චර මක්කටැයි වියදං කරන්නේ, රණසිංහට එක කනුවක් මදෑ කියලා...ඒ නිසාම කනුව හිටවන්නැති හරි මැදින්, එතකොට යටලීය සපොර්ට් වෙනවනේ ඉතින් හරි සමානව.
කොහොමෙන් කොහොම හරි අපේ අම්මගෙ ප්‍රොජෙක්ට් එකෙන් පස්සෙ අර ඉස්තෝප්පු කාමරේ නමත් වෙනස් උනා ඉස්සරහා කාමරේ කියලා...ඒ කාමරේ හම්බෙන්නේ පවුලේ ලොකුලමයට. ඒ කියන්නේ ඇල්ලෙ වලේ එහා කොනට එක දිගට පීනන්න පුලුවන් වෙන වයසේ ඉන්න ගෙදර පිරිමි ලමයට. කටුගස් ඇල්ලේ ඇල්ලවලේ පීනන්න ඉස්සරවෙලා රවුම්වලේ, දික්වලේ, කලුවලේ, වැලි වලේ එහෙම පීනලා පන්නරේ ගන්න ඕනි. ඒක වයසත් එක්ක ඉබේම හම්බුන පන්නරයක්. ඇල්ලවලේ පීනන්න පුලුවන් වෙනකොට හොඳ පීනුම් කරුවෙක් වගේම කිමිදෙන්නෙක් සහ ඒලෙවල් කරන කොලු ගැටයෙක්, ඉතින් ඉස්සරහා කාමරේට සංක්‍රමණය වෙන එක තමා ගෙදරින් එලියට පැන්නෙන පළවෙනි සළකුණ.
ඉස්සරහා කාමරේ, නැත්තං ඉස්තෝප්පු කාමරෙන් අපේ ගෙදර අයනං, කාලයාගේ ඇවෑමෙන්, විශ්වවිද්‍යාලෙ බෝඩිං කාමරේට සහ වෙනත් කාමර වලට සංක්‍රමණය උනා. ඒකට දොරක් තිබුනාට ඒක වහනව නං මං දැකලා නෑ. දෙපැත්තේ පිත්තල හුක්ස් තියෙන කේබල් එකකින් එල්ලපු දොර රෙද්දක් තමා ප්‍රිවසි වලට තිබුනේ...ඒ නිසා වෙන්නැති ඒ කාමරෙන් ඊලඟට විශ්වවිද්‍යාලේ බෝඩිං කාමර වලට එහෙම අපිව විසි වෙන්නැත්තේ..අම්ම හිතලම දොර වහන්නෙ නැතුව ඇති අපිව ගෙදරින් එලෝගන්න.
ඔය ඉස්තෝප්පුව තිබුන කාලේ අපේ ගෙදර තාප්ප්යක් තිබුනේ නෑනේ. අඩි දෙකක් විතර උස අන්දර වැටක් තිබුනේ..ඉතින් පාරේ යන එන වත්තේ වැඩ කරන තංගච්චිලයි රෙංගාලයි, හරක් අරන් යන හරක් පොඩි මහත්තයයි වත්තේ ලියන මහත්තයයි ටී මේකර් මහත්තයයි, හුසේන් ඩ්‍රෙෆරි ස්ටොර්ස් එකේ වැඩ කරන අහමඩ් එක්කයි ගෙදර ඉන්නවනං අපේ තාත්තා ඉතින් වාසදේස කථා කරනවා. මුරුගාට, ඒ කිව්වේ ඇවිදින බාබර්ට කියලා අඹ ගහ යට බංකුවක් තියාගෙන කොණ්ඩේ රැවුල බා ගැනිල්ලත් උනේ ඔය තාප්ප එන්න කලියෙන්.
අපේ අම්මගේ නොනවතින ප්‍රොජෙක්ට්ස් පටන් ගත්තේ 77 ජේ ආර් ගේ විවෘත ආර්ථිකේ එක්ක. ගෙදරට බ්ලොක් ගල් අච්චුවක් අරගත්තා. ඒකෙන් හදපු බ්ලොක් ගල් වලින් ඉස්තෝප්පුව, ඉස්සරහ කෑල්ල කලා, ඉස්තෝප්පු කාමරේ, ඉස්සරහා කාමරේ කරල නැවුතුන නැති මේ ප්‍රොජෙක්ට්ස්, අන්දර වැට, මැද උස කොටු තියෙන ලස්සන බ්ලොග් ගල් තාප්පයක් කරලා, කඩුල්ලේ තිබ්බ උණ ලී තුන අරන් දාලා කොටු කොටු දැල් තියෙන නිල් පාට යකඩ ගේට්ටුවකුත් දැම්මා. ඊට පස්සේ ඉතින් අපේ තාත්තා බෝම අමාරුවෙන් අර ගේට්ටුවෙ එල්ලිලා තමා රෙංගලා අහමඩ්ලා එක්ක චැට් කලේ ගෙදර ඉන්නදාට. පව්.....!
එහෙම උනා කියලා තාත්තගේ සහජීවනේ, (එයා ඔව්ව දන්නේ නෑ, ඒ කාලේ ඕම වචනයක්වත් තියෙන්න නැතුව ඇති ඇත්තටම), නවැත්තුවේ නෑ, රෙංගලා අහමඩ්ලා තාත්තා එක්කත්, තාත්තා ඒගොල්ලෝ එක්කත් ඉතින් කථාබහ කොලා, කෑවා බිව්වා, මගුල්තුලාවලට ආවාගියා.
ඊට පස්සේ ඕන් 13ක් මැරුනය කියල කෝලහලේ පටන් ගත්තා. ඒ එක්කම යුද්ධෙ ආවා. තාත්තා ඊට පස්සේ රෙංගලා තංගච්චිලා ගේ ඉස්සරහින් යනකොට කථාබහ කලාට හරි හෝදිසියෙන් හිටියා එයාලගේ ගමන් බිමන් වැඩකටයුතු ගැන. විශ්වාස කලේ නෑ ඉතින් ඒ අයව. සම්බන්ධෙ කථාබහට විතරක් සීමා උනා. ටීවී එකේ නිතරම කිව්වට ඔක්කොම රෙංගලා ත්‍රස්තයො නෙවීය කියලා, ඒවා වැල් බයිල නේදැයි කියල වගේ තමා ඉතින් වැඩ කටයුතු කලේ.
ඊට පස්සේ ඕන් සැටලයිට් ආවා (අපේ තාත්තාට සැටලයිට් නෝනවනං ඇල්ලුවේම නෑ, එයා පරක්කු වෙනව මදියට ගල් පැලෙන ගොන් බොරුත් කිව්වය කියල තමා ඒ..) එයා ඉතින් සාමය කිව්වට මොනාවත් ගෙනාවෙම නෑ කියල එයාව යැව්ව කියමුකෝ...!
එයා ගිහින් තව කාලයක් යනකන් අපේ තාත්තා ටීවී බැලිල්ල නැවැත්තුවා, ටීවී එකේ එක දිගටම උඩු රැවුල්කාර මහින්ද පෙන්නනවය කියලා....තුක් විතරක් කියලා පඩික්කමට කෙළගහනව ටීවී එකේ මහින්දව පේනකොට ඉතින්.
කොහොමහරි ඕන් යුද්ධ නැවතිලා, මහින්ද ආයෙත් ආවාම අපිත් ආවනේ ඉතින් තාත්තලා එක්ක මෙහෙ ඉන්න..හිටිය තමා....ආප්ප කේස් එකක් ගිහින් අම්බානකට දෝරෙගලන්න හම්බුනා ප්‍රජාතන්ත්‍රවාදේ..ඇත්තටම ඒරොප්පෙත් නැති නිදහසක් නෙව වින්දේ 21 වෙනිදා වෙනකන්.....!
මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.
තාප්ප නැත..එව්වා ගලවලාය...ඒ නිසා ගේට්ටුත් නැත....මහගෙදර වගේ නෙවෙයි මගේ ගෙදර ඉස්තෝප්පුව තියෙන්නේ ගඟක් දිහා බලාගෙන...ඈත දුමාරයක් නැගෙන්නේ දෙමටගොඩ සමන්තා හෝල් එක පැත්තෙන්...ගඟට එහායින් තියෙන්නේ දෙමටගොඩ, කොලොන්නාව....අද ජසීමා ආවෙත් නෑ ගේ අතුගාගන්න...ආයෙ ඒවිද දන්නේත් නෑ...එ මනුස්සයා ඉන්නෙත් දෙමටගොඩ...!
විහාරමහා දේවී පාර්ක් එක වටේ තිබුන අසාද් සාලි ගහපු යකඩ වැට ගලෝලා කොහේද දන්නේ නෑ යූඩීඒ එකේ ඈයෝ ගෙනිච්චේ...ඔව්ව දැන් ආයෙත් ඕනිවේවි...අපිට වැටවල් තාප්ප ගේට්ටු නැතුව අවුරුදු දහයකට වඩා ඉන්න බෑ..!
පාලුහිතෙනව.....!