Showing posts with label ඈ ලියූ කවි. Show all posts
Showing posts with label ඈ ලියූ කවි. Show all posts

Monday, 24 September 2018

පිලේ පැදුර...!




ඉරිතලා හඬනා පොළොවට
ඇදවැටෙන්න  මෝරන අර වැහිවලාවට
ඉඩදෙන්නටමදෝ  හැංගෙන්නේ
හිරු අද හැන්දෑවට


පාළොස්වක වඩම්මන්න මෝරන හඳට
ඉඩදෙන්නටමදෝ නිවෙන්නේ
අද අර තරුකැට

හිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලට
ගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාට
කලියෙන් පහුවෙන්නට පාළොස්වක
වහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නට



හිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොට
බොරු කියන්නේ මොකට
කොහොමත් එකයි දැන්නං මට



ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට
හිතුවනං නැවතිලා පෙර පනින්නට
හංගාගෙන හිටියා නොව මං
මහමෙරක් වන් ආලයක් තිට පුදන්නට



තාමත් පිලේ පැදුරෙන් හමන්නේ නුඹේ පුසුඹ
පැල පුරාම මැවෙන්නේ නුඹේ කොමල හිනාව
ගැටපිච්ච පඳුරේ මල් පිරිලා ඉනාව
තුරුල්වෙන්න එනවානේද හෙටානිද්දා නොපමාව


~~~~~~

Friday, 16 March 2018

යශෝධරා වැලපේ නම්....!




ගොම්මනේ අඳුර මැදුරේ දොර ළඟම වෙලී
මේ තනි හිතට සීතල දැන් බෝම වැඩී
වෙලි වෙලී එතෙන සෙනෙහස් ගින්දරට වැදී
ඇවිලෙන්නට නුඹ  උන්නානම් බෝම වටී

කාලය එක්ක පොරබැඳ හති වැටෙනකොට
පාලුව කර වටක් ගැඹුරේ ගිලෙනකොට
රාවය නැගෙන පෙම් ගී ළය නිවනකොට
හීතල මතක  ඇවිදින් හිත ඉඹිනකොට

හීන් සිරුවට වෙලි වෙලි  දැවටීලා
පපුවේ ඇබිත්තක් හිමිහිට වැතිරීලා
බුරගා නැගෙන හැඟුමට තව ඉඩදීලා
ඉන්නට එනවාද රහසෙම සැඟවීලා

ගිනිගෙන දැවෙන හිත යට ගිනි පුපුරක්ව
වැද වැද සිහිල් සුළඟට අළු අහුරක්ව
අවරට ගියත් රෑ සැන්දෑ අහසක්ව
ප්‍රේමය පරනොවන අසෙනිය කුසුමක්ය



මසිත කියවූ ඇය එසැන්නි ලියූ කවක්.......

Saturday, 11 November 2017

ලතා - ඈ ලියූ කව - 4







ලතාවක්ව එතෙමි
වෙලෙමි
සියුම් සිප ගැනුමක්
කෙලවර
ඉසියුම් ප්‍රහර්ශයට
ඉඩදෙමි
එකී හිරිවැටුමෙන්ම
නැවතත් එතෙමි 
වෙලෙමි !





Friday, 30 June 2017

ඇසළ එරබදු


            Lorenzo E. Gabutina: The Late Blooming



වැට දිගටම රතට රතේ එල්ලුව
එරබදු මලේ ලස්සන පොහොට්ටුව
බක්මහට පිපෙන්නයි අපෙ පොරොන්දුව
ඇසළ මහේ පිපුනේ ඇයි පරක්කුව

කොවුලන් හඬ නොඇසුන
බක්මහ අකුනින් දෑස නිලංකාරව
වෙසක් මලක දසුනෙන් සිල් බිඳගත්
වැට දිග රතෙන් සැරසුව 
ඇසළ එරබදු පොහොට්ටුව
සොයන්නී කෙහෙරළ පළඳින
 සමන් පිච්ච මල් වැල
කෝවිල අද්දර....!







Friday, 23 June 2017

ඈ.....!


The Wait and the Reward by Anna Rose Bain - 2014

ජූනි මාසේ පස්වෙනිදාට කලියෙන් කරන්න කොච්චර වැඩනං තියෙනවද...( ඇය කුළුඳුලේ දරාගෙන... බෝල ගෙඩියක් වගේ හුරතලේ බෑ...)

සීලිම දිහා බලාගෙන කල්පනාකරන්නේ මේ මාසේ කැම්පස් සීසන් එක කඩි බාප්පගෙන් ගන්න රුපියල් පනස් හයක් කොහෙන්ද හොයාගන්නේ කියලා..

දරුගැබ දරා ඉඳිතෑකි... කොහොමද මේ අහිංසකයාට කියන්නේ තව දවස් දෙක තුනකින් දෙන්නටම වැඩට යා ගන්න සීසන් එකත් නෑය කියලා..

කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් පහු උනත් කඩිබාප්පා ලංගමේ නිසා තාම කැම්පස් සීසන් එක අරන් දුන්නට..ඒ මනුස්සයාත් අපේ බෝට්ටුවේ නිසා සල්ලි නොදී ඒක ඉල්ලනත් බැ..

ගෙදර හරියකට තිබුන ඔක්කොම එකතු කරලා ඇනෙක්සියේ අක්කාට රෙන්ට් එක ගෙව්වේ පෙරේදා...ආපහු විසිපහ පඩි හම්බෙන්නේ...පඩි අරන් දවස් හයක් යනකොට මෙහෙම වෙන්නේ අපේ වැරද්දකට නෙවෙයිනේ..

එයාගේ එක්දාස් එකසීයෙන් තුන්සිය විසිපහක් ඇනෙක්සියට දුන්නාම ඉතිරියයි, මගේ නමසිය තිස්පහෙනුයි අපි දෙන්නා අරපරිස්සමින් ජීවත් වෙන්න ට්‍රයි කලාට,බලාගෙන ඉන්න බැරිම තැන මම පෙරේදා වැඩ ඇරිලා එන ගමන් එයාට එයා ආස අත්කොට උඩින් දාන කමීසෙ අරන් ආවේ....දැන් සීසන් එකට සල්ලි නෑ...

ඇහැරවන්නත් දුකයි පොඩි එකා වගේ පැත්තට හැරිලා අල්ල උඩ මූන තියාගෙන නිදි...!


{}{}{}{}{}{}{}{}{}{}{}{}     {}{}{}{}{}    [][][][][][][][]


හයිලෙවල් පාරෙන්,  නියඳගල පාරට වාහනේ හරවන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මතක් උනේ සීසන් එක ගන්න සල්ලි නැතුව හිටපු කාලේ මීට රසවත් නේද කියලා..මීට අවුරුදු තිස්පහකට එහා කුළුඳුලේ ගැබ්බරව ජිනන්දගේ කඩේට හයිලෙවල් පාර දිගේ තනියම ඇවිදගෙන ගිහින් රුපියල් පනස් හයක් ඉල්ලුවාම ඒ මනුස්සයා පුදුම වෙලා බලා හිටිය හැටි තාම මතක් වෙනවා...ඊට පස්සේ රුපියල් පනස් හයේ ඒවා කීයක් පහු වෙන්න ඇද්ද අද අපි දෙන්නා ඉන්න තැනට ඒ ගන්න....


{}{}{}{}{}{}{}{}{}{}{}     {}{}{}{}{}    [][][][][][][][]



පාර වැරදුනා නේද කියල අහන්න වම් පැත්ත බලනකොට, අහිංසකයා කඳුළු පුරෝගෙන මා දිහා බැලුවා......

"ජිනන්දගේ කඩේ එතන නෑ නේද අම්මි දැන්....."

අපි දෙන්නාම හැමදාමත් එකම විදියට හිතන නිසා වෙන්නැති අපි මෙතනට ආවේ...!



Thursday, 22 June 2017

ඈ ලියූ කව - 3




ඉඳ හිටෙක
ලියවෙන කවක
තවරන්නම ද
ගෙන ගියේ
සුවඳ

දන් දුන්නේ
මා
නොපතාම බුදු බව
පතා තව දවසක
නුඹෙ එකම හිනාවක්

පේවෙලා
ඇදහූ ඔය හිත
නිවනට පාර කීදා
ඇසටු ගස යට
පැතුවේද බුදු බව


සත්තයි
මේ ඇත්තම
කතාවක්.!