Thursday 26 November 2015

නොනිසි....!


නොනිසි....!



රැවෙටෙන්න බැහැ


කොහොමෙයි මං හඟිස්සන්නේ
මේ ඇත්තමදැයි කියා


ඔතරම් සෙනෙහසක්
කොහොමෙයි මේ වියපත් මා
නොඉඳුල් ඔබෙන් ලබන්නේ


ලැබුනත් කෙසේද එවන් සෙනේහේ
මා රැකගන්නේ...







ඉයන් ගෙන් හොරා ගත් වචනයක් කල හදියක්...!

Monday 16 November 2015

පාත්තර සුමනේ....


thewittyjournalblog.wordpress.com


එක දිගට ඇදහැලෙන වර්ෂාව නිසා උතුරා යන ඇලවේල්ල උතුරන තරමටඉස්සරහා දොරින් ඇතුල් වෙන වතුර පාර කුස්සි කෑල්ලේ ලිප් ගල් අතරින් යන්තං අටවා ගත් ගෙයක් යැයි කීවද, පැලක්වත් නොවෙන මේ කාමර කෑල්ලේ, පිටිපස්සේ දොරක් වෙනුවට එල්ලා ඇති ප්ලාස්ටික් රෙද්ද තාලයකට පද්දවමින් ගලාගෙන යනහැටි, චන්දරේ බලා සිටින්නේ බීඩිය ආදරයෙන් දත් අතරින් තදකරගෙන දුම්පාරින් පපුව පුරෝගනිමිනි..

කාරා කෙල තලියක් ප්ලාස්ටික් දොර පලුවෙන් එලියට ගසා අන්තිම බීඩි උගරද ඇද ගත් චන්දරේගේ ඇස් යොමු උනේ පැලේ එල්ලා ඇති කිහිලි කරු යුගලයටයි...පාත්තර සුමනේට පින්සිද්ධ වෙන්න එදා වේල හම්බකරගන්නේ ඔය කිහිලිකරු දෙකින් නේදැයි කියා තමාට කියාගත් චන්දරේ ප්ලාස්ටික් දොර පලුව අතින් පැත්තකට උස්සා වහලයේ රඳවා එලියට හිස දමා අහස මැන්නේ අදත් මේ වැස්සනම් නවතින්නේ නැහැ යැයි පසක් කරගත් සිතිනි...

අදට ගෙට කොටු වී දින හතරකි...නාන ලිඳ ලඟ උක්කුවාගේ පෙට්ටි කඩේට රුපියල්ම දෙසිය විස්සක් දීමට ඇත, බීඩි සහ පාන් ගෙඩි දෙකකටත්, පරිප්පු සීයකටත්ය. නාලිනි දවස් ගානකින් ගෙදර ආවෙත් නැත. කොහේ හරි කොටු වෙලා ඇති, නැත්නම් ඔය ගෑනි ඇඳුම් හෝදගන්න හරි වත්තට එනවා. තනියම සුටු සුටු ගාමින් ආයෙත් කිහිලි කරු දිහා බලාගෙන කල්පනාවට වැටුන චන්දරේ උඩ සාක්කුව අතගෑවේ බීඩියක් ගැනීමටයි.

ෂික්...කොලේ විතරයි...බීඩි ඔක්කොම මම බිව්වද....තේ කහට එකක් ගහන්න උක්කුවා ගාවට යන්න විදියක් නැති හැටි....කොහෙන්ද අප්පා සල්ලි හොයාගන්නේ..මේ දවස්වල වැස්ස නිසා බිස්නස් පාඩුය, වීල් එකේ ගානවත් හොයාගන්න බැරිය, කියලා පාත්තර සුමනේ ඩීල් දෙන්නේ නෑ..නැත්නම් කොහේ හරි සිග්නල් ලයිට් තියෙන හංදියකට ගෙනිහින් බස්සනවා..හැන්දෑවට පන්සීයේ කොලයක් අතේ, දවල්ට තම්බි කඩේ බුරියානි එකයි බීඩි මිටියයි....නෙදකින් මේ කාලකන්නි වැස්ස... වෙන කරන්න දෙයක් නෑ..පාත්තර සුමනයාට මල නොපනින්න කනත්ත ගාව රේමන්ඩ් එක ඉස්සරහා පාරවත් අල්ලගන්න ඕනි...කිහිලිකරු කේස් එක එතනට හරියන්නේ නෑ..සිලි සිලි බෑග් තමයි....

සිලි සිලි බෑග් එකක් හිසේ නමා ගත් චන්දරේ ඔබේසේකර පුර පාරට එනකන් අඩිය ඉස්සර කලේ වැස්ස වැඩි උනොත් අදත් බඩගින්නේ නේදැයි මුමුනමිනි... ඔබේසේකර පුර පාරේ දෙපැත්තේ තියෙන එලවලු කඩ හතර පහ චන්දරේ අඳුනයි. කිසිම කථා බහක් නැතුව එලවලු බක්කි අසල වැටී ඇති වම්බටු ගෙඩියක්, බන්ඩක්කා කරලක් දෙකක්, ලූනු ගස් දෙකතුනක් එකතු කරගත් චන්දරේ තිස්සමහාරාම සහල් බෝර්ඩ් එක කියවමින් හොරගල් අහුලනු සිරිසේන මුදලාලි දැක්කත් නොදැක්කා වාගේ සිටියේ නාලිනීව සිහීවූ නිසාවෙන්ය.

ටික වෙලාවක් කැරකි කැරකී සිටි චන්දරේ...

"මුදලාලි...."

"හ්ම්"

".........ම්ම්මේ....."

"හා හා..පාල අර තෙත්ගැහිච්ච මිටියෙන් මේ චන්දරේට හාල් පන්සීයක් කිරල දියන්.."

අඩියට දෙකට, වැස්සට යටින්, දුවන නොදුවන ගානට, ආයුර්වේද හන්දියයි කාසල් එකයි පහු කල චන්දරේ කනත්ත හංදියත් දේවිබාලිකා සිග්නල් ලයිට් එකත් යා කරන පාරේ කනත්තේ එක ගේට්ටුවකුත් සිග්නල් ලයිට් හංදියත් අතර තැනක් තෝරගත්තේ කට කොනකට සිහින් සිනාවකුත් බඩ පුරා හීන ගොඩකුත් පුරවාගෙනය...



 නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් හාල් පොල් එලවලු පලතුරු සහ මාලුත් ගත් සිරිල් ආපසු නාවල පාරින් ගෙදර යෑම අතහැර බේස්ලයින් පාරට රථය පැදගෙන ආවේ, නාරාහෙන්පිට පොලේ හොඳ හරක් මස් කඩයක් තියෙන නිසාත්, මස් ගැනීමට පෙර පොල ගාව පන්සලේ නෙලීමට කොන්ත්‍රාත් එක දී ඇති පිලිමය වැඩ අවසන් කර ඇද්දයි, යන දෙකම කරගන්නා අදහසිනි. පන්සලත් පොලත් අතර ඇති තීරුවේ රථය නවතා බිරින්දෑට ඔහොම ඉන්න යැයි කියා ඔහු පන්සල තුලට වැදුනේ ඇය ආවොත් අනේ බුදු සාධුගේ කණ දිගයි, කොණ්ඩේ උසයි යනාදී වශයෙන් ගිය සතියේ දුන් අවවාද නැවතත් පිලිම නෙලන සරත් මල්ලිනම් පිලිනොපදින බව දන්නා බැවිනි.
"ලබන සතියේ පිලිමේ ගෙනියන්න පුලුවන් චිත්‍රා....ඔයා කිව්ව විදියටම වැඩේ කරලා...එතෙන්ටම ඇවිත් ඇස් තියන්නං කිව්වෙ.."
"හානේ මටත් එන්න තිබුනා බලන්න...කමක් නෑ අපිටත් ඉන්වයිට් කරයිනේ ඕපනින් එකට.."
"ඔව් ඔව්...කොන්ත්‍රාත් කාරයා නැතුව පන්සල් විවෘත කරනවයැ..අනික මම එච්චර ප්‍රොෆිට් එකක් ගත්තෙ නෑ කියලා ලොකු සාධු දන්නවා..""
"කෝ ඔයා මස් ගත්තේ නෑනේ..."
"ආ..පිලිමෙ දැක්කම ඒකත් අමතක උනා..පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නං "

කනත්ත හංදියට එනකන්ම දෙන්නාගේම සද්දයක් නැත්තේ හිතන්න ගොඩාක් දේවල් තියෙන නිසා.......
හෙමින් හෙමින් නයෙක් වගේ ඇදෙන ට්රැෆික් එක නිසා සිතුවිලි ලෝකේ පුරා දුවනවා නේදැයි සිරිල්ට හිතුනත් ඔහේ යාන්ත්රිකව රථය පැදවෙන්න අරිමින් සිටින විට...

"සිරිල්..පොඩ්ඩක් නවත්තන්න..අනේ පොඩ්ඩක් නවත්තන්න.."

"මෙතන ඉඩ නෑ මොනාද අමතක උනේ...හවසට ගමු..දැන් පරක්කු උනා.."

"අනේ නෑ අර බලන්න අර මනුස්සයාගේ හාල් ටික ඔක්කොම පේව්මන්ට් එකේ ඉහිරිලා..එලවලු ටිකත් පාරේ පව් අනේ.."

"ඉතින්..?"

"පව්නේ අනේ..දුප්පත් මනුස්සයෙක්..අතේ සල්ලිත් නැතුව ඇති ආයෙත් ගන්න..පොඩ්ඩක් ස්ලෝ කරන්න..."
තම පසුම්බිය අරිමින් එසේ කී චිත්‍රා වීදුරුව පහත්කරත් ඇයට ඔහුගේ අවදානය යොමුකරගත නොහැකි විය...එවිගසම නැවැත්තූ රථයෙන් බැස ගත් ඇය...

"ඔය බිම වැටිච්චා අහුලන්න එපා..පාරේ ජරාවනේ...මේක තියාගෙන ආයෙත් කඩෙක ගිහින් බඩු ටිකක් ගන්න.."

"පින්සිද්ධවෙනවා නෝනා.." යැයි කී චන්දරේ දෑත එක්කොට චිත්‍රාට වඳිනු දුටු සිරිල් කට කොනකින් සිනාවක් මතු උනේ ඇය කෙරේ උපන් ආදරය නිසාමය...

පිටුපසින් නොනවත්වා ඇසෙන හෝන් හඬ නිසා ලහිලහියේ රථයට නැගුන චිත්‍රාවත් රැගෙන ඉදිරියෙන් මතුවී තිබූ හිස්තැන පිරවීමට රථයේ ඇක්සලේටරය තදින් පෑගූ සිරිල්ට හිතුනේ...... මනුස්සයා කොහෙන්ද බඩු ගත්තේ..මේ ලඟ කඩවල් නෑනේ...?



පන්සීයේ කොලයක් දුටුව කාලයක්...පාත්තර සුමනේ...වැස්ස...ගෙදර එල්ලා කිහිලිකරු...උක්කුවාගේ ණය...බීඩි...තම්බිගේ කඩේ බුරියානි...ඇයි .....නාලිනී....චන්දරේගේ හිත ලෝකේ පුරා දුවයි.....!