|
image-www.youqueen.com |
මුලු ගෙදර හරියටම තිබුනේ රුපියල් 18,400 කි. එයින් හෝටල් ගාස්තුයැයි කියා හමඩ් කාරයාගෙ
ඒජන්සියට රුපියල් 15,000ක් ද, මා පලමු පඩිය එවන තෙක්, ජීවත්වීමටයයි කියා රුපියල් 3,000ක් බිරින්දෑටද දුන් විට ඉතිරිවූයේ රුපියල් 400කි. මේ 1991 මැයි මාසයයි.
රුපියල් 40ක් වූ ඩොලරය මා හට ඇමරිකන් ඩොලර් 10ක් මග වියදමට ගොනු කර දුනි.
ජීවිතයේ ප්‍රථම වරට මා දරුදෙදෙනා සහ ඇය තනිකර කටුනායකින් පියඹා ගිය දිනයයි, 1991 මැයි මස 2 වෙනිදා. හමඩ්කාරයා දුන් බ්‍රවුන් පාට ලොකු ලියුම් කවරයද, මාගේ ඇදුම් කැඩුම් බහාලූ සූට්කේසයද ගෙන මා ගෙදරදීම ඇයට සහ දරු දෙදෙනාට
සමුදී මල්ලයාගෙ මිට්සුබිෂි කෝල්ට් කටුවේ නැගී, ඔවුන් නොපෙනී යනතුරු අතවැනුවේ සිහිකල්පනාවෙන්නම්
නොවේ.
වයස තිහයි, උස පහයි නවයයි, බර කිලෝ හැටයි....කෙට්ටු පරානයක්.... ඩොලර් 10ක් සාක්කුවේ දාගෙන..... අලුත්ම අත්දැකීම්වූ ගුවන්
තොටුපොල රාජකාරි නිමවා අවසන් බොර්ඩින් ලවුන්ජය වෙත ආ මා හට ඔවුන් පස් දෙනා මුන
ගැසුනි.බ්‍රවුන් ලියුම් කවර පහ හඳුනාගැනීමේ සාධකය විය. හමඩ්කාරයාගේ ඒජන්සියෙන් රට
යන ගොබිලන්. දෙහිවල මුහුද පැත්තේවු ගෙදරක, රත්තරන් මුදු ඇඟිලි දහයටම දැමූ, නීල් නැමත්තාගෙ
ඉන්ටර්වීව් එකෙන් තේරුන හයදෙනා.
ප්‍රියන්ත - ප්‍රෝග්‍රෑමර්
චූටිමල්ලි-ඩෙටා එන්ට්‍රි ඔපෙරටර්
වැලිහිඳ - ඩ්‍රාෆ්ට්ස්මන්
නවා -ඩ්‍රාෆ්ට්ස්මන්
ක්‍රිස් - ෆිනෑන්ස් මැනේජර්
සහ
මම
හමඩ්කාරයා කී පරිදි,
අප පලමුව බහරේන් වලටත්, වීසා ලබාගැනීමෙන් පසු දහරාන් නගරයටත් ගුවනින් ගමන් කිරීමට නියමිතය. මේ
සියල්ල මා හට ග්‍රීක් වැනිය. මෙය මාගේ ප්‍රථම ගුවන් ගමනයි. වීසා ගැන කිසිම හැඟීමක්
නැත. ගුවන්යානයට ගොඩවෙනතුරු ආගිය තොරතුරු රැස්කර ගත් අප, වැලිහිඳ 1991 මාර්තු මාසයේ අහවරවූ පලමුවෙන ගල්ෆ් යුද්ධයෙන්
පීඩාවිඳ, කුවේට් වලසිට ගොඩබිමින් ජෝර්දාන් හරහා එක්සත්ජාතීන්ගේ සංවිධානයේ පිහිට
ආරක්ෂාවෙන් ලංකාවට අවුත් නැවත රට නගින බවත්, මා ඇතුලු අනෙක් පස් දෙනා කෝඩුකාරයන් බවත් හඳුනාගත්තේමු.
වැලිහිඳ නඩේගුරා බවට නිතරගයෙන්ම පත්වින. ඔහු අවුරුදු හතක් කුවේට් වල
රැකියාව කොට ඇතිබවත්, අරාබි සහ හින්දි භාෂාවන් කථා කලහැකි බවත් අපහට කීවද, එයත් ග්‍රීක්ම විය.
පිටරට යන්න දැනගෙන ඉන්න ඕන කඩ්ඩනේ යනු අපගේ මතය නිසාවෙනි ඒ. ඔහු වයසෙන්ද අපට වඩා ටිකාක් වැඩියැයි මට සිතුනේ මා සැම විටම සිතන්නේ අනිත්
සියලුම දෙනා මට වඩා වයසින් වැඩි ඇත්තන්ය කියා නිසාය. එයට හේතුව,
මා මද්දුමයා නිසා, ඉතාම බච්චා කාලයේදී,
ඒ කියන්නේ යන්තං අවුරුදු තුන පිරෙන කොටම අම්පාරේ මධ්‍යම කඳවුරේ වූ විජිත
මහා විද්‍යාලයට ධර්මසේන බාප්පාගේ කරේ නංවා, මා මෑනියෝ පිටත්කර යැවු නිසාමනොව. එම හේතුවෙන් මාගේ මුලු පාසැල් ජීවිතයත්,
විශ්වවිද්‍යාල ජීවිතයත් ගෙවන්නට උනේ මට වඩා වයසින් වැඩි උදවිය සමග
නිසාවෙනි. එය තවත් කථාවකි.
පැය හතරක ගුවන්ගමන් කාලයකින් පසු, බ්‍රහස්පතින්දාවක්වූ 1991 මැයි මස 2 දා,අප බහරේන් වල මනමා
ගුවන් තොටුපොලට ගොඩබසින ලද්දේ සවස දෙකට පමනය. මාර්තු මස අවසන් වු පලමු ගල්ෆ්
යුද්ධයේදී සදාම් හුසේන් විසින් දායද කර ගිය නොනැවතී ඇවිලෙන කුවේට් තෙල්ලිං වලින්
පිටවන කලු දුමාරය බහරේන් අහස වසා සිටී. ඉර ඒ කලුදුමාරය අතරින් කෙඳිරිගාමින් ලාම්පු
එලියතරම්වූ එලියක් දෙමින් මේ දවාලය යන්න කියාපායි.
අපව වහලුන් සේ ගාල් කර මොන මොනවාදෝ බනින ස්වරූපයකින් කියමින් අප ඉදිරියෙන්
සිටින මේ පර්වතයක් වැනි ගැහැනිය ඇඳ සිටින ඇඳුම මා හට සිතාගන්නවත් බැරිතරම්ය.
අප යම් වැරැද්දක් කර ඇති බවක් මා හට හැඟේ. වැලිහිඳ කියනා ආකාරයට, අපට ඇත්තේ
සවුදිඅරාබියාවෙ දහරාන් වලට යාමට ගුවන් ගමන් බලපත්‍ර නිසා, අපගේ බහරේන් ඒජන්තවරයා එනතෙක් අපට ගුවන්
තොටුපොලින් ඉවතට යාමට නොහැකි බවත්, අප ඒජන්ත වරයා නැවත එන්නේ සතිඅන්තයෙන් පසු නිසා අපහට ගුවන්තොටුපොලේ නැවතී
සිටීමට වන බවත්ය. අද බ්‍රහස්පතින්දාය. ඉතින් අප සඳුදාවෙන තෙක් ඉන්නේ ඇයි?
එවිටය මා දැනගත්තේ,
මැදපෙරදිග සතිඅන්තය යනු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බව!
කෙසේ වෙතත්, සෙනසුරාදා වෙන තෙක් කෙසේ සිටින්නද? මා අත ඇත්තේ ඩොලර් දහයකි! ටික වේලාවකින් අපහට
තේරුම් ගියේ, අප තනිවී නැත. 30කින් පමන වූ, ගෘහසේවිකාවන් රෑනක්ද අපහා ගාල් කර ඇත. ඉඳපන්කො දවස් දෙකක් එයාර්පෝර්ට්
එකේ.!!!
මොනාකරන්නද...අපි හිත හදා ගත්තේමු. හයදෙනාම කොනක වාඩිදාගෙන සිටිනා විට, මාගේ බ්‍රවුන්
ලියුම් කවරයේ ලොකුවට ලියා ඇති, දිගම දිග ටෙලිෆොන් නොම්මරය මා දුටිමි....නැවතත් වැලිහිඳ මහතාගේ පිහිට පතන්නට
සිදුවිය. හය දෙනා අතම බහරෙන් කාසි නැත. කාසි දමා ඩයල් කල හැකි ෆෝන් එකක් ලඟ අපි
අසරන වී සිටිමු. වැලිහිඳ දන්නා අරාබි හෝ හින්දි භාෂාවෙන් තටමා පොලොව මොප් කරමින්
සිටි තැනත්තාගෙන් බහරේන් ෆිල්ස් කාසියක් දෙකක් ඉල්ලාගෙන නොම්මරය කැරකැවූ විට, ඔහු කා සමගදෝ අමු
සිංහලෙන් කථා කරයි. අපට තේරෙන්නේ උත්තරය සෙනසුරාදා උදේ යන්නය.
ඒ අප හමඩ් කාරයාගේ බහරේන් ඔෆීසියේ නොම්මරය බවත්, ලංකාවේ ගැහැනුකෙනෙක් උත්තර දුන් බවත්, පී ආර් ඕ සෙනසුරාදා
උදේ අපේ වීසා සාදාගෙන එන බවත්, එතකන් අපහට ඉන්න වෙන බවත් ඇය කී බව වැලිහිඳ කීහ.
දැන් දැන් බඩගිනිවේගනද ඒ...එවිටයි අප දැක්කේ අප හා සිටි අක්කලා (අපි
අය්යලා) බත් මුල්, බනිස් සමග කෙසෙල් ගෙඩි දිග ඇරගෙන කන බව. මේ යෝදියො සීසන් සෙට් එකක්, ප්ලේන් එකේ දුන්න
ඒවා කාල ගෙදරින් අරන් ඇවිත් බහරේන් වලදි රෑට කන්න..හික්..අප හටද ඔවුන් ඒ ආහාර
පිලිගැන්නුවත් ආචාරශීලීව ප්‍රතික්ෂේප කලේ ඇයි කියා තවමත් මම අසන්නෙමි?
එවිටම වාගේ පැමිනි අර කෑගසන කාන්තාව මොන මොනවාදෝ දොඩවා අප සැමට (අක්කලාද
ඇතුලු )ගුවන් තොටුපොල ආපනශාලාවෙන් රාත්‍රී ආහාරය ගැනීමට කූපන්පත් බෙදා දී
අතුරුදහන් විනි. ජීවිතයේ පලමුවරට, ඉන්දියන් ආහාර වේලක,
මතක හැටියට, මට්න් බුරියානි, රස විඳීමට ලැබුනේ ගුවන් සමාගමේ අනුග්‍රහයෙනි.
( මට කථාවෙන් ටිකකට පැනීමට සිදුවේ. කවුරුන්හෝ මෙය කියවයිනම්, මෙතෙක් වේලා මා හට ගෙදර මතක් නොවුයේද යැයි අවලාද
නැගිම සාධාරනය. මා විශ්ව විද්‍යාලයට ඇතුලත්වුනේ යන්තම් 17 වන විය එළඹවූ සැනින්මය. ගමේ තතුදන්නො කීවේ මා තව
අවුරුද්දක් ගෙදර සිටිය යුතු බවය. මා මාගේ බිරින්දෑ දුටුවේ විශ්ව විද්‍යාලයට ඇතුලුවූ දවසේමය. මෙය සිදුවුයේ
ඇය හමුවී අවුරුදු 13කට පසුය. ඇය හමුවෙනතුරුම මා හුදකලා ජීවිතයක් ගතකල,
එකම අරමුන වූ, ගෙදරින් පිටව, ඔලුව ඇතුලේ උන් මා විසින් නිර්මානය කරගත්තාවූ, මිනිසා සොයා යාම පමනි. ඇය මට ඔහුව සොයාදෙනලදි. එදා සිට අදත්, නට් කේස් එකක් වන මා නිරතුරුවම ඇය හා සිතින් කථා කරයි. එනිසා ඉහත කී
සැමදෙයම ඇයට මා කියමින් පැවති බව කරුනාවෙන් සලකන්න...)
වැලිහිඳගේ අවවාද අනුසාසනා අනුව, අප හය දෙනා ගමන් මලු බදාගෙන, සපත්තු ඔලුවට තියාගෙන (ඔහු කීවේ අප
හට නින්ද ගියවිට පොලොව මොප් කරන්නා අපගේ ගමන් මලුද, සපත්තුද උස්සන බවය ) එයාර්පොර්ට් සීට් වල එදා රැය
ගත කලෙමු.
ඊලඟ දවස් දෙක, ඩොලර් දහය අතේ තියාගෙන ඩියුටි ෆ්‍රී ෂොප්ස් වල ඇති දෑ වින්ඩෝ ෂොපින්
කරමින්ද, විස්කි බොතලයක් ගත්තොත් අතේ කීයක් ඉතිරිවේවිද,තව දවසක් මෙසේ සිටින්නේ කෙසේද යනාදි සිතිවිලි වල
පාවෙමින්, වැලිහිඳගේ කුවේට් වීරවික්‍රාන්විත වලට කන් දෙමින්ද ගුවන් තොටුපොල තුලම කා
දමන ලදි.
සෙනසුරාදා උදේ සිදුවූ දෑ මෙයටත් අන්තය...ඉන් පසු දින පහක් බහරේන් වල මනමා
නගරයේ විසූ කාලය තුලවූ දෑ ඊටත් අන්තය...අපගේ රටේ මිනිසුන්
( මේ මා වැනි ), සල්ලි සොයන්න වෙන බාල්දුවත්, කොරන නෑහැදිච්ච
වැඩත් ගොඩ ගැහිච්ච ඒ කථාව ඊලඟට.....එතකන් ගිහින් එඤ්ඤං