Showing posts with label තාත්තා. Show all posts
Showing posts with label තාත්තා. Show all posts

Saturday, 12 May 2018

ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...!




අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!

අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට හොඳ මස් හොද්දක් එක්ක බත් ගිලින්න පුලුවන් වෙන නිසා..තාත්තාගේ වම් අතේ ඇඟට තද කරගෙන තඩි බ්‍රවුන් පේපර් බෑග් එකක් පුරෝලා එලොලු එක්ක හැංගිලා හබරල කොලේ ඔතලා තියෙන මස්කුට්ටිය ඩෝප් මරගාතේම එයාම කපලා අම්ම දාලා දෙන තුන පහ බස බස ගාල අතගාලා දුන්නම අම්මා උයන මස් හොද්ද දිව්‍ය රහයි...ඔය මස් කුට්ටිය කිව්වට ඒකේ බ්‍රේස් කටු (තාත්තා එහෙම කිව්වට ඒවා රිබ්ස්) පීකුදු පොඩ්ඩක් එහෙමත් තියෙනවා ඉතිං...! ඒ කාලේ ඉව්වෙ දර ලිපේ..මැටි හට්ටියේ...!

ඔහොම කාල බීලා හැදිච්ච අපිට කෙලෙව්වානේ මේ තලේබාන් බුධු පැටව්..ඔය අනූව දශකයේ ටියුශන් මාස්ටර්ලා ටිකක් පෙව්වා ලමයින්ගෙ ඔලුවලට ඊෂ්වර විංශතියද මොකක්ද අට මගුලක්, ඉතින් කොල්ලො කෙල්ලො මස් නොකා ඉන්න පටන් ගත්තනේ...සිංහලෙන් මස් කියන්නේ හරක් මස් වලට..චිකන් කියන්නේ වෙජිටබල් වගේ එකක්, හාල් මැස්සො ඉස්සො එහෙම නිකන් මුකුනුවැන්න වගේ උන්ට...අනූව දශකයේ ටියුෂන් ගිය අය නොව අද ඉතිං රජ කරන්නේ..නැද්ද..?

මටනං ලෝකේ කොහේ රවුං ගහලා ආවත් මොන ජාතියේ නානාප්‍රකාර කෑම ජාති අනුභව කලත්, හරක් මස් ටිකක් උයාගෙන කනකන් ඉස්පාසුවක් නෑ..ඒ හැටි සහ පුරුද්ද....! තම්බි එක්ක තියෙන ආරෝවට පෝක් කන සිංහලයෙක් නං නෙවෙයි ඕන් මං නං....! ඒ උනාට පෝක් කනව ඉඳලා හිටලා..!

කොහොමෙන් කොහොමහරි මම හරක් මස් හදන්නේ නං අපේ අම්ම හදපු විදියටමයි...ඒ උනාට හරිහමන් මස් කිලෝ එකක් හොයාගන්න එකත් එකතරා විදියක ශාස්ත්‍රයක් වෙලා දැන්...රාජගිරියේ නං ඔබේසේකරපුර පාරේ මැද හරිය තියෙන මස් කඩේ, හැබැයි අර පොල්ගස්මුල්ල හංදියේ තියෙන මස් කඩේ නං නෝ ගුඩ්....තලවතුගොඩ ඉසුරුපාය ගාව තිබ්බ මස් කඩේ ගිය සුමානේ ඉඳන් කොහේ ගියාද නෑ..පන්නිපිටියේ මාකුඹර හංදියට කලියෙන් මහරගම පැත්තට වෙන්න තියෙන මස් කඩෙ ෂෝයි...!

තව කේස් එකක් තියෙනව, ඔය කොළඹ තියෙන මම ඔය උඩින් කිව්ව මස් කඩ බොහෝමයක් මුස්ලිම් එව්වා, ඉතිං හලාල් සීන් එකට තමා අපිට මස් හම්බෙන්නේ..ඒ උනාට වත්තලින් එහා, රාගම, කඳාන, ජාඇල, සීදූව, ලියනගෙමුල්ල, මීගමුව, කොච්චිකඩේ වගේ පැති වල තියෙන්නේ ක්‍රිස්තියානි මස් කඩ..එව්වගේ මස් වල රහ වෙනස් ඉතින් ෂෝක් විදියට...!

ඊයේ මාතර බතූතා පාරේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ගිහින් ගංජා ගන්නව වගේ බෝම අමාරුවෙන් මස් කිලෝ එකක් හොයාගත්ත...! නැත්තං ඉතින් තංගල්ලේ බස්ටෑන්ඩ් එක ගාව මස් කඩේට යන්න ඕනී..දික්වැල්ලේ වීදියේ යෝනකපුරේ මොහොමඩ්ගේ චිකන් කඩෙනුත් මම ගියාම පොඩ්ඩක් ඉන්නය කියලා මස් කිලෝ එකක් ගෙනත් දෙනව ඉතිං...!

රත්නපුරේ නං මාර්කට් එකේ කෙරෝලේ මාලු කඩේට අල්ලපු මස් කඩේ හොඳයි..අනික් කෙලවරේ මස් කඩේට ගියාම..ආ අප්පෝ ..කියලා එහෙන් මෙහෙන් වහලා අමුනපු මස් ටිකක් ඔතලා දෙනව..!

ඇති දැං අරහේ මෙහෙ ගියා...මේ ලියන්න හිතුවෙ අපේ අම්මගේ මස් හොද්ද මම හදන විදිය..අම්මා හැදුවෙත් මෙහෙමමයි, අම්මා අද ගියත් (ගියොත්) හදල දෙන්නෙත් මෙහෙමයි....!

එකක් මතක තියාගන්න, හැමෝටම මස් කඩේකින් නියමාකාරයට මස් ලබා ගන්න බැරි බව..හරිහමන් මස් ටිකක් ගන්න සෑහෙන කාලයක් මස් කඩ මුදලාලි සමග සම්බන්ධකං පවත්තන්න ඕනි..මම කෙටි ක්‍රමයක් හොයාගත්තා, හැබැයි ඒ ක්‍රමේ ටිකාක් වෙන්න එක්ස්පෙන්සිව්..කන බොන වෙලාවට කව්ද ඔව්වා බලන්නේ...!

මෙහෙමයි...!

මට මස් කිලෝ එකක් නම් ඕනි මම කියන්නේ මට මස් කිලෝ දෙකක් දෙන්න කියලා..ඉතිං නාන්නාදුනන මස් මුදලාලි දන්න ජාති දාලා අරහෙන් මෙහෙන් කපලා මස් කිලෝ දෙකක් දෙනවා...කපන කොට මම නෙවෙයි කියන්නෙ ඔය කෑල්ල එපා අර කෑල්ලෙන් දාන්න, තෙල් කෑලි දාන්න එපා වගේ ඕනේ නැති කථා...මුදලාලි අහනවා කටු ඕනිද කියලා..අන්න එතකොට කියන්න ඕනි මට රිබ්ස් වලින් රුපියල් දෙසීයක විතර දෙන්න කියලා..එතකොට මුදලාලි පොඩි හිනාවක් දානවා...සමහර විට ටික දවසක් යාවි ඒ හිනාව දැකගන්න.. ඒ හිනාව ආව දවසෙ ඉඳන් ඔබට හොඳ මස් ලැබේවි...කිලෝ දෙක ගෙදර ගෙනත් අනවශ්‍ය දේවල් අයින් කලාම මස් කිලෝ එකක් හරි ඊට ටිකාක් වැඩියෙන් හරි උයන්න ගන්න පුලුවන්...!

උයන්න ඉස්සරවෙලා පොඩි වැඩ ටිකක් තියෙනව කරන්න.!

මස් අරන් ගෙදර ආව ගමන් රතුලූනු ගෙඩි හයක් හතක්, සුදුලූණු බික් හතරක්, අමු මිරිස් කරල් හයක්, සේර ගහක්, රම්පා ඉත්තක්, ඉඟුරු අඟලක විතර කෑල්ලක්, කරපිංචා ඉති දෙකක්, දෙහි ගෙඩි තුනක්, ලොකු අර්තාපල් අලයක්, වතුර තියෙන භාජනයකට දාන්න...ඒ පෙඟෙන්න,දෙහි පෙඟෙන්න ඕනි නෑ, ඒ උනාට දාන්නකෝ....!

ඊලඟට මස් ටික කටු වෙනමයි මස්වෙනමයි අරන් ලොකු කෑල්ල පිටින් හෝදන්න..කටු වෙනම හොඳට හෝදලා උයන භාජනයට දාන්න..ඊටපස්සෙ මස් ටික කපන්න...කපනකොට එකම හැඩේට නොහිටින්න එක එක හැඩ වලට හැබැයි හතරැස් කියුබ්ස් වගේ නොහිටින්න, පිරමිඩ් වගේ හැඩේ හිටින්න කපන්න බලන්න...එහෙම තමයි... කරන ඕන මගුලක් ආදරෙන් ආසවෙන් කරන්න ඕනි හරිය...කපලා ඉවර උන මස් ටික තව එක පාරක් හොඳට හෝදලා අර කටු ටික දාපු මස් උයන භාජනේටම දාන්න..මම නම් පාවිච්චි කරන්නේ මැටි හට්ටි..පුරුද්ද...!!

දැන් අර වතුරට දාපු රතුලූනු, සුදුලූනු, අලගෙඩිය එහෙම සුද්ද කරල අරගෙන අලගෙඩිය අටකට කපලා, ලූනු ලියලා, සුදු ලූනූ, ඉඟුරු, සේර, කරපින්චා රම්පේ ඔක්කොම කපලා මස් වලට එකතු කරන්න...ඒකටම අඟලක විතර කුරුඳු කෑල්ලක් අතින් පොඩි කරලා දාන්න, උලුහාල් තේ හැන්දකින් භාගයක්, එනසල් ඇට තුනක්, කරාබු නැට්ටක්, අබ කුඩු තේ හැඳි බාගයක්, කහ කුඩු තේහැඳි බාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ ලුනු තේ හැඳි දෙකක් එකතු කරන්න...ඊට පස්සේ අර දෙහි ගෙඩි තුන කපලා, මස් එක උඩට මිරිකලා හොඳින් අනාගන්න...!

අනපු මස් භාජනේ පැත්තකින් තියලා, පොඩි සාස්පානක් ලිපේ තියලා කොත්තමල්ලි මේස හැන්දක් දාලා පුච්චගන්නේ නැතුව බැදගන්න..!

ඊට පස්සේ සූදුරු තේ හැන්දකුයි මාදුරු ඇට දහයක් විතරයි ,ගම්මිරිස් ඇට දහයක්, කරපිංචා කොල දෙකතුනක් හීනියට කඩලා ඒ වගේම බැදගන්න...ඒ බැදගත්ත දේවල් ගර්යින්ඩර් එකට දාන්න, මිරිස් කුඩු මේස හැඳි හතරක් අර සාස්පානෙම පුච්චගන්නේ නැතුව බැදගෙන ඒවත් ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු වෙනකන් අඹරගෙන මස් වලට එකතු කරගන්න, ඊට පස්සෙ බැදපු නැති මිරිස් තේ හැන්දකුත් මස් එකට එකතු කරලා,  අපේ තාත්තා අනනවා වගේ හොඳට අනලා පැත්තකින් අරන් තියන්න..!

දැන් හොඳ ලොකු පොල් ගෙඩියක් අරන් කාට හරි කියලා ගා ගන්න....:)..මොනා කලත් මට පොල් නං ගාන්න බැරිය...දැන් ගාපු පොල් ටික බ්ලෙන්ඩර් කරගෙන, මිටි කිරියි දිය කිරියි හදාගෙන කිරි ජාති දෙකම එක පාරට මස් භාජනේට එකතු කරලා හොඳට හැඳිගාලා ලිපේ තියන්න....!

ඉස්සරවෙලා විනාඩි දහයක් විතර වැඩි ගින්නේ ඉදෙන්න ඇරලා, බොස බොස ගාලා හොද්ද පැහීගෙන එනකොට මද ගින්නට අඩු කරලා තව විනාඩි වීස්සක් විතර ඉදෙන්න අරින්න..ඊට පස්සේ හොඳටම ගින්දර අඩු කරලා තෙල් පෑදිලා හොද්ද බොර වෙනකන් තියලා බාගන්න...!

ඔය මස් හොද්ද බත් එක්කත්, රොටී එක්කත්, පාන් එක්කත් කන්න ඇහැකි..අද රෑ උයපු මස් හොද්ද හෙට දවල්ට තමා ඉතින් රහම....!

මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ඔය කියපු විදියට මස් හොද්ද හදලා කැමට දුන්නම අපේ බ්ලොග් මස්තාන්, අටම් අයියා කියපි,  ටල් අම්මගේ මස් හොද්ද කෑවාට පස්සෙ මස් හොද්දක් කෑවෙ අද අයියේ කියලා...!

ඉතින් කව්ද මේ ටල් අම්මා.....!

අටමා කියන්නේ මෙන්න මෙහෙම....!

ඕක  මතක  නැද්ද හත් දෙයියනේ  , ටල්  අම්මා ගුනරත්න ගොයියගේ  අඹුව  , සීකුදුමරික්කාර්ගේ   ගෝලයගේ  ගෑණී  ,   සීකුදු මරික්කාර්  ජේ ආර්ගේ    බාප්පගේ පුතා  ,  ඌගේ  හොදම  ගෝලයගේ   ලොකු  කෙල්ල  අපේ  අම්මාඅපේ  අම්මගේ  .........  තාත්ත  ගූණරත්න බාසුන්නැහේ  ,..  එයාගේ  පවුල  පියසීලි   හාමිනේ  ........ එ් ඇවිල්ලා  කේ  , වී  රත්නපාලගේ  ගෑණිගේ  අම්මා  , කේවී රත්න පාලගේ ගෑණි  තමයි  චන්දාවති  ...... අන්න  එයාගේ  අම්මා ගේ  බාල මල්ලි  .......  ටල්ලා  ........  ටල්ලගේ  අම්මා ......... තමයි .............  අපිට  ......... ටල්අම්මා උනේ.....!

ජයවේවා....!

ප.ලි. 
අත්ගුනේ කියල දේකුත් තියෙනවනෙ..ඒක පුරුද්දෙන් එන දෙයක්..ඉතිං ඔය තේ හැඳි  මේස හැඳි වගේ ප්‍රමාන දාන එක මැනැලා කිරලා කරනකොට එන රහයි, අතේ පුරුද්දට වැටෙන ප්‍රමානයි අනුව ටල් අම්මගේ සහ අපේ අම්මගේ මස් හොද්දේ රහට කිට්ටුවෙන එක හරි ඈත්වෙන එක හරි වේවී...!
ආ...තව දෙයක් අර බ්ලොග් පත්තරයක් කරන මාතලන් එහෙම කෑමට එනව නං ලුණු වැඩියෙන් දාන්න...එයා හම්බන්තොට ලේවාය ගාව ගොඩාක් කල් ඉඳලා තියෙන්නේ..!

Saturday, 25 June 2016

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ...

මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් දැන් එයා ටීවී බලන එක අඩුකරලා වගේ ය කියලා මට තේරුම් ගිහින් ඇත්තේ, ටීවී එක ආපහු මහින්ද මහත්තයා පෙන්නන නිසා නොවේය...යූ ඇන් පී උනත් විලි ලජ්ජාව කියල එකක් තියෙන නිසාය..ඒ අපේ තාත්තාගේ යූ ඇන් පී කමය..

අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය.. 

අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..

අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...

අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...

ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!

ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...


මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..!  සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි. 

එයා කෙකි කාරයෙකි....!

සේන අයියා


කෙකි කාරයෙක් කිව්වාට එසේ මෙසේ කෙකි කාරයෙක් නොවේය, රංජිත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් දාගෙන අක්කර හැත්තදෙකක පොල් දවස් හයකින් කඩන කෙකිකාරයෙකි.

මේ පල්ලෙහා පින්තූරෙ ඉන්නේ සේන අයියාගේ ජොයින්ට් වෙන්චර් පාර්ට්නර් නොහොත් රංජිත්ය...

රංජිත්

අහල ගං හතටම පොල් කඩන්න ඉන්නේ මේ කෙකි කාරයො දෙන්නා විතරය...සේන අයියාට දැන් වයස 60කි..රංජිත්ට යංතම් 46 උනා විතරය..උදේ ඉඳන් උඩ බලාගෙන හවස පහමාර වෙනකන් පොල් කෙක්ක සිරස්ව අල්ලගෙන ගහෙන් ගහට යන හැටි බලන් හිටියාම පිස්සු වැටෙන්නේ, හනේ මේ දෙන්නා මේ ජොබ් එක දාලා ගියාම වෙන්නේ වැටෙන පොල් අහුලන්න විතර‍යි නේදය කියලා හිතෙන නිසාය.

ලීඩ්පාර්ට්නර්

ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස්


පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!

මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..

කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!

සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය. 

උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය. 

කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...

පුරුක් තුන හතරක් අල්ලලා දාන කෙකි ජොයින්ට් එක
පොල් කෙක්ක අග්ගිස්සට, පොල් පිහියක් බැඳලා ඇත. පරන දුනු තලයක් හොයාගෙන කම්මලට ගිහින් අනේ සේදිරිස් පොල් පිහි දෙක තුනක් හදලා දෙන්නකෝ කියා අඬා වැටුනාම හෙන රෙස්පෙට් දාලා සුමානයකින් දෙකකින් පොල් පිහියක් හදා ගත හැක..කම්මල් කාරයෝද වඳ වෙමින් පවතිනවාය. අම්මපා බයේ බැරිය.
කෙක්ක උඩ පොල් පිහිය
පොල් පිහිය හරි මුවාත්..බලාගෙන සෙල්ලං දාන්නේ...!

කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..

හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..

සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!

ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?

ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...

බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!

නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!

කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..

හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!




Tuesday, 20 October 2015

Pushing 85



අපි දෙන්නා පොතේ හැටියටනම් මුන ගැහුනේ 1961 ජූලි මාසේ 9 වෙනිදා...
ඒත් ආච්චිනම් කිව්වේ එදා ඔයා උසාවි වැඩකට කල්මුනේ ගිහින් ආවේ දවස් තුනක් විතර පහු වෙලාය කියලා...
පටන් ගත්ත වෙලාවෙදිම මට තේරුන් කරලා දීලා තියෙන්නේ මම වැඩිය ගනන් ගන්න කෙනෙක් නෙවයිය කියලයි ඔයාට.

ඒකට අනිත් අය වගේම මටත්  ඔයා නම් ලොකු වීරයෙක් එදාත්..අදත්.....

දවස්වල ඔයා නිදාගෙන ඉන්න කොට මම හිමීට ලඟට ගිහින් පපුවට කන යාන්තමට තියාගෙන අහගෙන ඉන්නවා පපුවේ ලබ් ඩග් වැඩද කියලා...

මට ඔයාව හොඳටම මතක 71 අප්‍රේල් කැරැල්ල කාලේ ලොකු දිගම දිග රැවුලකුත් වවාගෙන ඔයගේ බ්‍රෙන් ගන් එකත් අරන් අපිව අක්මීමනින් ගාලු කොටුවට ගෙනියන්න ඔයාගේ යාලුවොත් එක්ක ආපු දවස... එතකොට මට වයස අවුරුදුවලින්ම 10ක් නේ...

ඊට ඉස්සර මට තියෙන මතකය තමයි ඔයාගේ බයිසිකලේ, මට ඒක පදින්න දුන්නාට ඔයා ඒක අයියටවත් දුන්නද කියල මට නම් මතක නැහැ.

  එහෙමද, නැත්නම් අයියා දවස්වල ඉඳන්ම පොර නිසා, මම වගේ පොල්ල යටින් දාලා යන්නයි, මිරිස් අඹරන්නයි එහෙම අකමැත්තෙන් හිටියද දන්නෙත් නෑ..

 අප්‍රේල්  කැරැල්ල අපිව වෙන් කලා..
ඔයා අපිව රත්නපුරේ දාලා අම්බලන්ගොඩ ගියා..අක්මීමන ඉන්න බැරි තරමට කරදර උනාය කියල තමයි ආරංචි උනේ නම්...

ඔයා අම්බලන්ගොඩ ගියාට පස්සේ, අපි හරි අමාරුවෙන් දේවල් කරගත්තේ ඔයා නැතුව..
ඉඳලා හිටලා ගෙදර ආවත්, ඔයාට අපි ගැන හොයන්න වෙලා තිබුනේ නැතිව ඇති

එහෙම ආපු දවසක, මට තාම මතකයි, ගොඩවෙලේ පිටාර වතුරේ ඔරු පදින්න ගියාය කියලා, මාවයි අයියවයි, සේකරගේ වී මෝල ගාව ඉඳන් පාර දිගේ වේවැල් පාරවල් දිදී ගෙදර දැක්කුවා..ඔයා අර කාකි පාට දිග රේන් කෝට් එක ඇඳන් හිටියේ එදා...
හම්මෝ මතක් වෙනකොටත් ලැජ්ජාවයි...

තවත් ඒවගේ මතක දෙයක් තමයි (මම කියන්නේ මේ ලැජ්ජාවේ පනයන ඒවා ) එක දවසක් සිල්වා මහත්තයා ඉංග්‍රිසි ටියුෂන් දෙන්න එන වෙලාවේ, මම කාමරේ හැංගිලා හිටියා කියලා වේවැලත් අරන් මගේ පස්සේ එලවලා, රබර් වත්තේ මැදදි අල්ලගෙන මාරයෙක් වගේ මගේ මුලු ඇඟ පුරාවටම තැලුව හැටි...මගේ මූණටත් වැදුනා මට තාම මතකයි අද වගේ...

ඊට පස්සේ ඔයා ආයෙත් රත්නපුරේට ආවා..ඊට පස්සේ මට මරු..මොකෝ හැමදාම හැන්දෑවටබ්‍රවුන් පාට කඩදාසි බෑග් එකක් පුරෝලා එලවලුයි මසුයි අරන් එනවනේ...මම දවස්වල මස් නැත්නම් බත් කන්නේ නෑලු..මේ ලඟදි අම්මා කා එක්කද කියනවා මම අහගෙන....

දවස්වල ඔයාගේ බටා කොලේ පුරවන්න,
  අලුතෙන් බැඳෙන අයගේ රිපොර්ට් ලියන්න,
  තුවක්කු ලයිසන් වල රිපොර්ට් ලියන්න එහෙම ඔයා මාව අල්ලගන්නේ..ඒවා අදත් මට සෑහෙන්න උදව් උපකාර වෙනවා....
ඔය ඔක්කොමටම වඩා මට මතක, මහ රෑ දෙගොඩහරියක් වෙනකන් මම ඇහ ඇරිලා බලාගෙන ඉන්නවා ඔයා එනකන්, සාබි එකේ හතරැස් මස් බත් එකත් අරන්...
ඊට පස්සේ අපි දෙන්නා ඒක බෙදාගෙන කනවා...ඔයාට ගොඩාක් දවස්වල කන්න තියා කෙලින් ඉන්නවත් බැරිගානට වෙරි..ඒත් බත් එක අමතක නැතුව අරන් එනවා..
ඒකම මදැයි....

මට මතකයි, මම කටුබැද්දේ ඉන්නකොට ඔයා ඇවිත්, හතරවෙනි තට්ටුවේ කොරිඩොර් එක දිගේ, මගේ කරට අත දාගෙන (හරියට යාලුවෙක් වගේ) කැන්ටිමට එක්කන් ගිහින් බත් අරන් දුන්න හැටි....

ගොඩාක් අය ඔයා වගේ අය ගැන ලියනකොට ලොකු කථා ලියනවා..
ඒත් මට නම් ඔයා ගැන කියන්න එහෙම ලොකු කතාවක් නැහැ.

ගොඩාක් කාල වලදි ඔයා මම මොන පන්තියේද හිටියේ කියලවත් දැනගෙන හිටියේ නෑ මම දන්න විදියට...
ඒත් මට කන්න දුන්න එකම ඇති...

ඔයා ගොඩාක් මහන්සි වෙන්න ඇති අපි හතරදෙනෙක්ව කරගහගෙන යන්න...
ඒක මම නොදන්නවා නෙමෙයි...

දැන් මම ඔයා වගේ කියලා මට හිතෙන්නේ..කටහඬත් ඒවගේ...ඔයා උයන විදියටම බීෆ් කරි එක උයන්නත් පුලුවන්...
ඔයා වගේ දෙකක් දාගෙන...සිගරැට් එකක් ගහගෙන හීනියට සින්දුවක් අහලා ඉන්න එක තමයි මගෙත් ආසම වැඩේ..

ඒත් ඔයා වගේ මම ජීවිතේ හරියට මැනේජ් කරගෙන නෑ..
පිස්සෙක් වගේ එහේ මෙහෙ දුවනවා..
සමහර විට මගේම වැරැද්දත් වෙන්න බෑ..
ලෝකේ හැටි වෙන්න ඇති...

ඔයා දිහා බලලා මට හැදෙන්න බැරි අපි දෙන්නා අන්ත දෙකක ජීවත් වෙන දෙන්නෙක්..එදාත් එහෙමයි අදත් එහෙමයි.....

මේ ඔක්කොම ලිව්වේ ඔයාට මම ගොඩාක් ආදරෙයි කියල කියන්න මිසක් තරහට නම් නෙවෙයි..
ඔයා දන්නවනේ මම කවදාවත් කා එක්කවත් තරහ වෙන කෙනෙක් නෙවෙයි කියලා....

ඔයාට දෙන්න කියල තෑග්ගක් හෙව්වට, ඕන කරන හැමදේම වගේ ඔයාට තියෙන නිසා දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි...

මුලු ලෝකෙටම ඇහෙන්න මෙන්න මෙහෙම කියන එක....




අද 85ස් වෙනි වියට පා තබන ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන
 මම, 
කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ  දෙවෙනි පුතා...

සුබ උපන් දිනයක් තාත්තේ...!!!!!!


Saturday, 14 March 2015

අලිත් එක්ක සංවාද !


photo by vindya vipulagama
අන්තර්ජාලේ තැන් දෙකතුනක දැක්කා වීඩියෝ ක්ලිප් එකක් බීපු හාදයෙක් අලියෙක් එක්ක සංවාදයක පැටලිලා කන ඉරාගන්න. ඔය අලිත් එක්ක සංවාද වලට යන්න හොඳම නැහැ කියන එක තේරුම්ගන්න මාතේගේ පෝස්ට් වලට එන ඇනෝ කමෙන්ට්ස් බැලුවානම් හොඳටම ඇති. මනුස්සයා බ්ලොග් කියවන ඇත්තෙක් නෙමෙයි මයෙ හිතේ...

මාතේගෙ අන්තිමටම පබ්ලිෂ් වෙච්ච පෝස්ට් එකේ තිබිච්ච පිංතූරේවත් දැක්කානම් මිනිස්සු කාපු බීපු වෙලාවටවත් අලි එක්ක සංවාදවලට යන එකක් නැහැ මයෙ හිතේ..

අස්සේ හැලපේගේ පහුගිය පෝස්ට් එක කියවනකොට මට මතක් උනා අලි සහ සෙරෙප්පු සම්බන්ධ කේස් එකක්...මේක බොහෝම ඉස්සර අපේ සීයාත් ජීවත් වෙලා ඉන්න කාලේ වෙච්ච දෙයක්. අර විචා කිව්ව මැජික් පෙට්ටිකාරයා පොලවල්වල්ට බයිස්කෝප් පෙන්නන්න එන කාලේට පස්සේ වෙච්ච දෙයක් හැබැයි.

අම්මා යන හැම තැනම පස්සෙන් එල්ලිලා යන මහ මොකක්ද පුරුද්දක් වගේ දෙයක් මගේ තිබුනා ඔය කියන කාලේ. එහෙම ගිය ගමනක, රත්නපුර මාර්කැට්ටුවේ යට තට්ටුවේ තිබුන සපත්තු කඩේ තිබිච්ච් ගල් සියඹලා ටයිප් හම් සෙරෙප්පු දෙකකට මගේ ඇහැ ගියා. සෙරෙප්පු කිව්වාට ඒක පටි සෙරෙප්පු දෙකක්, කියන්නේ සැන්ඩ්ල්ස් ඝනයට අයිති පාවහන් යුගලයක්. ගාන සෑහෙන්න බරයි, අරන් දෙන්නය කියලා කියන්න තියා එහෙම හිතන්නවත් ගට්ස් නැහැ ගානයි අපේ අම්මාගේ හැටියි නිසා.

කියන්නේ මට කවදාවත් සෙල්ලම් බඩුවක් අරන් දීලා නැහැ. කාලේ සෙල්ලම් බඩු කඩෙන් ගන්නේ නැහැ, අපි හදාගන්නවා මිසක්. බෙලෙක් පියනක් කොහුමිටකට ඇනේකින් ගහගෙන පීක් පීක් කිය කිය දුවන්න හරිනෙස්ප්‍රේ ටින් එකකට වැලි පුරෝලා පියෙනෙයි පතුලෙයි හිල් දෙකක් හදලා අතරින් කම්බියක් ඇදලා පුඩුවක් හදාගෙන පුඩුවට ලනුවක් දාලා ඇදගෙන යන ගල් රෝලක් හරි, ලී නූල් රෝදවල කට්ට කපලා, රබර් පටියක් දාලා වයින් කරන ට්රැක්ටර් එකක් ඉරටු එක්ක හදාගන්න එක හරි  තමයි සෙල්ලම් බඩු වලට අපි පාවිච්චිකලේ. හැබැයි රත්නායක මාමගේ ලමයි ගොල්ලන්ගේ හැටපහයි හැත්තෑව ෆොර්ඩ් ෆ්රිෆෙක්ට් එකේ පරන ටයර් වලින් හදාගන්න, ඒ කියන්නේ ටයර් එක ඇතුලට වතුර ටිකක් දාලා කොහු මිටට වඩා ටිකක් මහත පොලු දෙකක් වී අකුරේ හැඩේට ටයර් එක ඇතුලට දාගෙන දුවන කාර් එක තරම් හයිෆයි සෙල්ලම් කාර් එකක්, නාමල් බේබිගේ ලැම්බොගිනිවලට වඩා ඉස්තරම් ඒ දවස්වල
.
ඉස්කෝලේ යනකොට දාන කළු සපත්තු ජෝඩුව ඇරුනාම ඔය අරුමෝසම් සපත්තු අරවා මේවා අරන් දෙන්නය කියලා කරදර කරන්න ගිහින්, අතේ සතේ නැතුව දවල්ට උයන්න හාල් සේරුවක් හොයාගන්නේ කොහොමද කියලා වද වෙන අම්මා ගේ හිතට තවත් වදයක් නෙදෙන්න තරම් මම සෙන්සිටිව් හොඳේ කාලේත්. එහෙම උනාට වගේ ආශාවන් තදකරගෙන ඉඳීමත් හරිම හොඳ නැති දෙයක් කියලා හිතෙන්නේ, ගෙදෙට්ට ඕන කරන අඩුම කුඩුම ගන්න සුපර්මාර්කට් එකකට ගියාම මාව හොයාගන්නේ ගෙදර අය සෙල්ලම් කාරුයි සොෆ්ට් ටොයිස් වගේ ඒවා තියෙන රැක් අතරින් තාමත්. එහෙමත් දවසක තමයි මොකක් හරි සෙල්ලම් බඩුවක් නොගෙන ගෙදර එන්නේ කඩේ ගියොත්.

සෙල්ලම් බඩු කියලා මම දවස්වල සල්ලි දීලා අරගෙන තියෙන්නේ (අරන් දීලා නම් නෑ කවම දාවකවත්) සමන් දේවාලේ පෙරහර පොලෙන් ගත්ත ලස්සන පොඩි සෙරමික් කලු සුදු බලු පැටව් ජෝඩු තමයි. ඒවා තමයි ලාබම. තව ගොඩාක් ආස දේවල් පොලේ තිබුනාට අවුරුද්දට කැට ගහලා ඉතිරි කරගන්න සල්ලි වලින් ඊට වඩා දෙයක් ගන්න බැහැ. තාමත් තොරම්බෝල් කාරයෙක් හරි, පෙරහර පොලක් හරි දැක්කොත් නැවැත්තුවා වාහනේ ගත්තා ඔක්කෝම ආසා කරන සෙල්ලම් බඩු.
මේ ලඟදීම ගත්ත එක තමයි අර බැටරිදාල දුවන බයිසිකල් කාරයා.

මීට දෑවුරුද්දකට විතර කලින් ලංකාවට ආව අලුත ගියා අපි නුවර පෙරහර බලන්න. පෙරහර බැලීම කෙසේ වෙතත් මම ගත්තා මාර සෙල්ලම් බඩු ටිකක්. අර පාට පාට ලෙඩ් ලයිට් දාපු කරකවනකොට එලිය දෙන එව්වා සෙට් තුනකුයි, පොලොවෙ ගැහුවාම එලිය දිදී බම්ප් වෙන බෝලයි..හප්පා කියලා වැඩක් නැහැ..

ආපහු ගල්සියඹලා පටි සෙරෙප්පු දෙක ගැන කියනවානම්, මේ ආශාව ඉශ්ට සිද්ධ කරගන්න මම, විජේ බාප්පලාගේ ගොඩැල්ලේයි අපේ වත්ත පහල වේල්ල දිගට මායිමට හිටෝලා තියෙන පුවක් අරඹෙනුයි ඉල්ලා ගත්තා පුවක්, බාර් එක විල්සොන්ගේ කඩෙන් සල්ලි හුවමාරු කරගන්න. මේ පුවක් අරඹවල් දෙක මට ඔය වගෙ උදව්කරලා තියෙනවා කෙමිස්ට්රි ක්ලාස් එකට ෆීස් ගෙවන්න, කන්න බොන්න ගෙදර හාල් තුනපහ නැතුව අම්ම ලතවෙන කොට පොඩි සයිඩ් සපෝර්ට් එකක් දෙන්න වගේ එකී නොකී සෑහෙන දේවල් වලට. කාසි හොයාගත්තය කියලා ගල්සියඹලා පටි සෙරෙප්පු  ගෙදර ගේන්න බෑනේ අම්මගේ අවසරය නැතුව. ප්රතිපාධන සොයාගත්තාය, ගානට ඒක වටිනවාය ආදී දේවල් කීවත් අම්මාගේ අදහස උනේ පටි සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ යන්න බැරි නිසා ප්රොජෙක්ට් එක ඇපෲව් කොරන්න බැරිය යන්නයි. මේවාට තාත්තාගෙන් කිසිම සපෝර්ට් එකක් ගන්නත් බැරිය, අයියා මල්ලී සහ නංගී මගේ මේ පුවක් නෙයියාඩගම් නිසා පාරේ බැහැලා යන්නත් බැරිය කියමින් අනුර කුමාර වගේ අවලාදද කියයි.

මාසයක පමන ඇවටිලි සහ කුස්සියේ උයන පිහින කටයුතු වලින් අම්මාට දුන් පක්කලි සර්විස් ක්රියාදාමයේ ප්රථිඵල ලෙස මා විසින් සොයා ගන්නා ලද මුදලින් මාගේ ගල් සියඹලා පටි සෙරෙප්පු යුවල අම්මා සමගම රත්නපුරයට ගොස් ගෙදරට වැඩම්මවාගෙන ඒමට මා සමත් වි.

මේ පටි සෙරෙප්පු යුගලයේ කොටි හමක වැනි වයිරමක්ද නිකල් පාට ගාංචු සමූහයක්ද හැඩට වැඩට තිබූ බැව් මට මේ දැනුත් මැවී පෙනෙයි.

මෙවා පැලඳගෙන යා හැකි අවස්ථාවක් ඉක්මනින්ම උදා උනේ සමන් දේවාලයේ පෙරහර පටන්ගත් බැවිනි.
තාත්තා පෙරහර ඩියුටි වැටුනු නිසා දවස් පහේම  රෑ පෙරහරත් දිය කපන දවසේ දවල් පෙරහර බලන්නත් අපි සූදානම් උනෙමු.

අම්මා පලමු දින පෙරහර බැලීමට ඒමට මැලි ඌයේ මන්දැයි මා තාමත් නොදනී. සමහර විට තාත්තා සිටින නිසා අපි පොඩි ඈයොන් හතර දෙනා ආරක්ෂාකර ගනී යැයි ඇය සිතන්නට ඇත. කතරගම ගිය දිනයක පබ්ලික් ඇඩ්රස් සිස්ටම් එකෙන් දුන් ලමයෙකු අතරමං වී ඇති බැව් සහ ඔහු බාරගැනීමට දෙමව්පියන් වහාම කාර්යාලයට පැමිනෙන්න යන නිවේදනය අදත් මා ගත හිරිගඩු පිපෙන්නට සමත් කරවයි. මේ බය මා හිතේ තදින්ම පැලපදියම් වී ඇත..තාමත්...අපි ගිය සතියේ කතරගම ගියාමත් කිරිවෙහෙර කාර්යාලය විසින් එවැනි නිවේදනයක් නිකුත් කරා. අවුරුදු පහක පමන පිරිමි දරුවෙකු හඩමින් සිටින අයුරුත් ඔහුව සැනසීමට එම නිලධාරීන් දරන වෑයමත් මා බලා සිටියේ කුඩා දරුවාගේ හිතේ තියෙන අම්මා කෝ කියන හැඟීම මා හොඳහැටි දන්නා නිසාය.
මාත් ඔහුගේ අම්මා එනතෙක් පැත්තකට වී කාටත් නොදැනෙන්න හෝ ගාලා ඇඩුවෙමි.

ඔය බය නිසා එදා අපි තාත්තා රාජකාරි කරන සිංහාසන ගොඩනැගිල්ල ලඟ පෙරහර බලන්න තැනක් හොයාගෙන පැලපදියම් උනේ මගේ කකුල් දෙකේ ආඩම්බරයෙන් බැබලි බැබලි ඉන්න ගල් සියඹලා පටි සෙරෙප්පු දෙකත් වැඩිපුර පෙන්නවමින්ය. මා මල්ලීගේ සහ නංගීගේ අත් දෙක අත අරින්නේම නැතුව සිටීමට පුලුවන් ව්දියට තැත් කෙලෙමි. රෑ නමයට පමන පලමු වෙඩිල්ල පත්තුවූ විගස මිනිසුන් තිබූ සැනකෙලි කලබලයෙන් මිදී පාර දෙපැත්තේ හරිබරි ගැහෙන්නේ දේවාලයෙන් පෙරහර පිටත් වූ බැව් වෙඩි හඬ දන්වා සිටින බැවිනි. දෑතෙන්ම පොඩි ඈයෝ දෙන්නාත් අල්ලාගෙන ඉඳහිට පටි සෙරෙප්පු දෙකේ හැඩත් මිනිසුන් අතරින් පෙනෙනා තාත්තාගේ කාකි ඇදුමෙන් පිරුනු සිලුවට් එකත් ඇරෙන්න මට මතක අයියා මොන රස්තියාදුවක ගියාද යන්නයි. මේ සෙනග අස්සේ අතරමං උනොත් ස්පීකර් එකෙන් කියලවත් හොයාගන්න බැරි වෙයි.

ඈතින් කස කාරයොන්ගේ පට පටයත් බෙර හඬත් පෙරහර අප ලඟට ගෙන එයි. අප සමීපයෙන්ම කොප්පරා පුරවාගත් පන්දම් කාරයන්ගේ රස්නයත් ඒවායින් වැටෙන ගිනියම් කොප්පරා අඟුරුත් කොප්පරා දැවෙන සුවඳත් විඳිමින් පෙරහරේ ඉස්සරහින්ම එන මූනු දෙකේ මහඹබාගේ නැටුම පොඩිසිත් විකසිත කරයි

අලියන්ගේ ටාං ටං සීනු නාදයත් ඔවුන්ගේ සැරසිලිත් මන බදී, මා සිත අතර තුරේ දිවෙන්නේ පටි සෙරෙප්පු යුගලයට, මේ තෙරෙපෙන සෙනග අස්සේ ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි එහාට මෙහාට තල්ලුවෙනකොට කොහොමද මේ ගල්සියඹලා ජෝඩුව පරිස්සම් කරගන්නේ.

තාමත් තාත්තගේ සිලුවට් එක පෙනෙන නිසා හිත ටිකාක් විතර හයි කරගෙන ගල් සියඹලා ජෝඩුවයි නංගියි මල්ලියිත් අල්ලගෙන පෙරහර බලනකොට තිබිච්ච සංහිඳියාව එක පාරටම බිඳගෙන මිනිසුන් නැට්ටුවන් බෙර කරුවන් කෑගසමින් එක එක පැති වලට දුවන්න පටන්ගත්තා. තාත්තාගේ සිලුවට් එක, අත්දෙකේ එල්ලිලා මිනිසුන්ගේ තෙරපීම නිසා ඈතට ඇදෙන නංගියි මල්ලියි, මිනිසුන්ගේ විලාප හඬවල් අස්සේ මගේ වෑයම ගල් සියඹලා ජෝඩුව කකුල්දෙකේ තියා ගැනීම...!

අපි හිටියේ සිංහාසනය ලඟ, එතනදි සමන් දෙවියන්ගේ ආභරණ රැගත් ඇදගෙන යන රංසිවිගෙය නවත්තලා, ආභරණ සිහාසනයට ගෙනියනවා. අපි කවදාවත් මේ දෙවියන්ගේ ආයුධ දැකලා නැහැ. සිංහාසනය ඉස්සරහදි අලියෙකුට කොප්පර අඟුරු පෑගිලා පොඩ්ඩක් හැරිලා මිනිස්සු කුලප්පු වෙලා තමයි මේ හදිය. ඒක් දැනගත්තේ සමන් දෙවියන්ගේ ආභරණ වැඩමකරන රංසිවිගෙයි ඇතුලේ ආභරණ බාරව එන නිලමේ සුදු සහ නිල්පාට රෙදිවලින් ඔතපු හීයක් වගේ දෙයකුත් කරතියාගෙන අලි කුලප්පු වෙලා නෑ..අලි කුලප්පු වෙලා නෑ..කිය කියා දේවාලේ පැත්තට පස්ස නොබලා දුවනකොට.


දැන් මින්සුන් ටිකක් සංසුං...

අපිව හොයාගෙන තාත්තා ආවේ අයියාගේ අතිනුත් අල්ලගෙන. තාමත් මගේ අත්දෙකේ එල්ලිලා ඉන්න නංගියි මල්ලියි දැක්කම තාත්තා මගේ ඔලුව ඉම්බා. එතකොට තමයි මගේ පියවි සිහිය ආවේ. පාත්වෙලා මගේ ඔලුව ඉඹින තාත්තගේ අතට යටින් මට පෙනුනේ පාර මැද ගොඩගැහිලා තියෙන සපත්තු සෙරෙප්පු කංදරාව. මම බැලුවා මගේ කකුල් දෙක දිහා...

සමන් දෙයියනේ කෝ මගේ දකුනු කකුලේ තිබ්ච්ච ගල් සියඹලා පටි සෙරෙප්පුව...

වම විතරයි..

වමෙන මොකක් කොරන්නද..?