|
photo by vindya vipulagama |
අන්තර්ජාලේ
තැන් දෙකතුනක දැක්කා වීඩියෝ ක්ලිප් එකක් බීපු හාදයෙක් අලියෙක් එක්ක සංවාදයක පැටලිලා කන ඉරාගන්න.
ඔය අලිත් එක්ක සංවාද වලට යන්න හොඳම නැහැ කියන එක තේරුම්ගන්න මාතේගේ පෝස්ට් වලට එන ඇනෝ කමෙන්ට්ස් බැලුවානම් හොඳටම ඇති.
ඒ මනුස්සයා බ්ලොග් කියවන ඇත්තෙක් නෙමෙයි මයෙ හිතේ...
මාතේගෙ
අන්තිමටම පබ්ලිෂ් වෙච්ච පෝස්ට් එකේ තිබිච්ච පිංතූරේවත් දැක්කානම් මිනිස්සු කාපු බීපු වෙලාවටවත් අලි එක්ක සංවාදවලට යන එකක් නැහැ මයෙ හිතේ..
ඒ
අස්සේ හැලපේගේ පහුගිය පෝස්ට් එක කියවනකොට මට මතක් උනා අලි සහ සෙරෙප්පු සම්බන්ධ කේස් එකක්...මේක බොහෝම ඉස්සර අපේ සීයාත් ජීවත් වෙලා ඉන්න කාලේ වෙච්ච දෙයක්. අර විචා කිව්ව මැජික් පෙට්ටිකාරයා පොලවල්වල්ට බයිස්කෝප් පෙන්නන්න එන කාලේට පස්සේ වෙච්ච දෙයක් හැබැයි.
අම්මා
යන හැම තැනම පස්සෙන් එල්ලිලා යන මහ මොකක්ද පුරුද්දක් වගේ දෙයක් මගේ තිබුනා ඔය කියන කාලේ. එහෙම ගිය ගමනක, රත්නපුර මාර්කැට්ටුවේ යට තට්ටුවේ තිබුන සපත්තු කඩේ තිබිච්ච් ගල් සියඹලා ටයිප් හම් සෙරෙප්පු දෙකකට මගේ ඇහැ ගියා. සෙරෙප්පු කිව්වාට ඒක පටි සෙරෙප්පු දෙකක්, ඒ කියන්නේ සැන්ඩ්ල්ස් ඝනයට අයිති පාවහන් යුගලයක්. ගාන සෑහෙන්න බරයි, අරන් දෙන්නය කියලා කියන්න තියා එහෙම හිතන්නවත් ගට්ස් නැහැ ඒ ගානයි අපේ අම්මාගේ හැටියි නිසා.
ඒ
කියන්නේ මට කවදාවත් සෙල්ලම් බඩුවක් අරන් දීලා නැහැ. ඒ කාලේ සෙල්ලම් බඩු කඩෙන් ගන්නේ නැහැ, අපි හදාගන්නවා මිසක්. බෙලෙක් පියනක් කොහුමිටකට ඇනේකින් ගහගෙන පීක් පීක් කිය කිය දුවන්න හරි, නෙස්ප්රේ ටින් එකකට වැලි පුරෝලා පියෙනෙයි පතුලෙයි හිල් දෙකක් හදලා ඒ අතරින් කම්බියක් ඇදලා පුඩුවක් හදාගෙන පුඩුවට ලනුවක් දාලා ඇදගෙන යන ගල් රෝලක් හරි, ලී නූල් රෝදවල කට්ට කපලා, රබර් පටියක් දාලා වයින් කරන ට්රැක්ටර් එකක් ඉරටු එක්ක හදාගන්න එක හරි තමයි
සෙල්ලම් බඩු වලට අපි පාවිච්චිකලේ. හැබැයි රත්නායක මාමගේ ලමයි ඒ ගොල්ලන්ගේ හැටපහයි හැත්තෑව ෆොර්ඩ් ෆ්රිෆෙක්ට් එකේ පරන ටයර් වලින් හදාගන්න, ඒ කියන්නේ ටයර් එක
ඇතුලට වතුර ටිකක් දාලා කොහු මිටට වඩා ටිකක් මහත පොලු දෙකක් වී අකුරේ හැඩේට ටයර් එක
ඇතුලට දාගෙන දුවන කාර් එක තරම් හයිෆයි සෙල්ලම් කාර් එකක්, නාමල් බේබිගේ ලැම්බොගිනිවලට
වඩා ඉස්තරම් ඒ දවස්වල
.
ඉස්කෝලේ
යනකොට දාන කළු සපත්තු ජෝඩුව ඇරුනාම ඔය අරුමෝසම් සපත්තු අරවා මේවා අරන් දෙන්නය කියලා කරදර කරන්න ගිහින්, අතේ සතේ නැතුව දවල්ට උයන්න හාල් සේරුවක් හොයාගන්නේ කොහොමද කියලා වද වෙන අම්මා ගේ හිතට තවත් වදයක් නෙදෙන්න තරම් මම සෙන්සිටිව් හොඳේ ඒ කාලේත්. එහෙම උනාට ඒ වගේ ආශාවන් තදකරගෙන ඉඳීමත් හරිම හොඳ නැති දෙයක් කියලා හිතෙන්නේ, ගෙදෙට්ට ඕන කරන අඩුම කුඩුම ගන්න සුපර්මාර්කට් එකකට ගියාම මාව හොයාගන්නේ ගෙදර අය සෙල්ලම් කාරුයි සොෆ්ට් ටොයිස් වගේ ඒවා තියෙන රැක් අතරින් තාමත්. එහෙමත් දවසක තමයි මොකක් හරි සෙල්ලම් බඩුවක් නොගෙන ගෙදර එන්නේ කඩේ ගියොත්.
සෙල්ලම්
බඩු කියලා මම ඒ දවස්වල සල්ලි දීලා අරගෙන තියෙන්නේ (
අරන් දීලා නම් නෑ කවම දාවකවත්)
සමන් දේවාලේ පෙරහර පොලෙන් ගත්ත ලස්සන පොඩි සෙරමික් කලු සුදු බලු පැටව් ජෝඩු තමයි.
ඒවා තමයි ලාබම.
තව ගොඩාක් ආස දේවල් ඒ පොලේ තිබුනාට අවුරුද්දට කැට ගහලා ඉතිරි කරගන්න සල්ලි වලින් ඊට වඩා දෙයක් ගන්න බැහැ.
තාමත් තොරම්බෝල් කාරයෙක් හරි,
පෙරහර පොලක් හරි දැක්කොත් නැවැත්තුවා වාහනේ ගත්තා ඔක්කෝම ආසා කරන සෙල්ලම් බඩු.
මේ ලඟදීම ගත්ත එක තමයි අර බැටරිදාල දුවන බයිසිකල් කාරයා.
මීට දෑවුරුද්දකට විතර කලින් ලංකාවට ආව අලුත ගියා අපි නුවර පෙරහර බලන්න.
පෙරහර බැලීම කෙසේ වෙතත් මම ගත්තා මාර සෙල්ලම් බඩු ටිකක්.
අර පාට පාට ලෙඩ් ලයිට් දාපු කරකවනකොට එලිය දෙන එව්වා සෙට් තුනකුයි,
පොලොවෙ ගැහුවාම එලිය දිදී බම්ප් වෙන බෝලයි..
හප්පා කියලා වැඩක් නැහැ..
ආපහු
ගල්සියඹලා පටි සෙරෙප්පු දෙක ගැන කියනවානම්, මේ ආශාව ඉශ්ට සිද්ධ කරගන්න මම, විජේ බාප්පලාගේ ගොඩැල්ලේයි අපේ වත්ත පහල වේල්ල දිගට මායිමට හිටෝලා තියෙන පුවක් අරඹෙනුයි ඉල්ලා ගත්තා පුවක්, බාර් එක විල්සොන්ගේ කඩෙන් සල්ලි හුවමාරු කරගන්න. මේ පුවක් අරඹවල් දෙක මට ඔය වගෙ උදව්කරලා තියෙනවා කෙමිස්ට්රි ක්ලාස් එකට ෆීස් ගෙවන්න, කන්න බොන්න ගෙදර හාල් තුනපහ නැතුව අම්ම ලතවෙන කොට පොඩි සයිඩ් සපෝර්ට් එකක් දෙන්න වගේ එකී නොකී සෑහෙන දේවල් වලට. කාසි හොයාගත්තය කියලා ගල්සියඹලා පටි සෙරෙප්පු ගෙදර
ගේන්න බෑනේ අම්මගේ අවසරය නැතුව. ප්රතිපාධන සොයාගත්තාය, ඒ ගානට ඒක වටිනවාය ආදී දේවල් කීවත් අම්මාගේ අදහස උනේ පටි සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ යන්න බැරි නිසා ඒ ප්රොජෙක්ට් එක ඇපෲව් කොරන්න බැරිය යන්නයි. මේවාට තාත්තාගෙන් කිසිම සපෝර්ට් එකක් ගන්නත් බැරිය, අයියා මල්ලී සහ නංගී මගේ මේ පුවක් නෙයියාඩගම් නිසා පාරේ බැහැලා යන්නත් බැරිය කියමින් අනුර කුමාර වගේ අවලාදද කියයි.
මාසයක
පමන ඇවටිලි සහ කුස්සියේ උයන පිහින කටයුතු වලින් අම්මාට දුන් පක්කලි සර්විස් ක්රියාදාමයේ ප්රථිඵල ලෙස මා විසින් සොයා ගන්නා ලද මුදලින් මාගේ ගල් සියඹලා පටි සෙරෙප්පු යුවල අම්මා සමගම රත්නපුරයට ගොස් ගෙදරට වැඩම්මවාගෙන ඒමට මා සමත් විය.
මේ
පටි සෙරෙප්පු යුගලයේ කොටි හමක වැනි වයිරමක්ද නිකල් පාට ගාංචු සමූහයක්ද හැඩට වැඩට තිබූ බැව් මට මේ දැනුත් මැවී පෙනෙයි.
මෙවා
පැලඳගෙන යා හැකි අවස්ථාවක් ඉක්මනින්ම උදා උනේ සමන් දේවාලයේ පෙරහර පටන්ගත් බැවිනි.
තාත්තා
පෙරහර ඩියුටි වැටුනු නිසා දවස් පහේම රෑ
පෙරහරත් දිය කපන දවසේ දවල් පෙරහර බලන්නත් අපි සූදානම් උනෙමු.
අම්මා
පලමු දින පෙරහර බැලීමට ඒමට මැලි ඌයේ මන්දැයි මා තාමත් නොදනී. සමහර විට තාත්තා සිටින නිසා අපි පොඩි ඈයොන් හතර දෙනා ආරක්ෂාකර ගනී යැයි ඇය සිතන්නට ඇත. කතරගම ගිය දිනයක පබ්ලික් ඇඩ්රස් සිස්ටම් එකෙන් දුන් ලමයෙකු අතරමං වී ඇති බැව් සහ ඔහු බාරගැනීමට දෙමව්පියන් වහාම කාර්යාලයට පැමිනෙන්න යන නිවේදනය අදත් මා ගත හිරිගඩු පිපෙන්නට සමත් කරවයි. මේ බය මා හිතේ තදින්ම පැලපදියම් වී ඇත..තාමත්...අපි ගිය සතියේ කතරගම ගියාමත් කිරිවෙහෙර කාර්යාලය විසින් එවැනි නිවේදනයක් නිකුත් කරා. අවුරුදු පහක පමන පිරිමි දරුවෙකු හඩමින් සිටින අයුරුත් ඔහුව සැනසීමට එම නිලධාරීන් දරන වෑයමත් මා බලා සිටියේ කුඩා දරුවාගේ හිතේ තියෙන අම්මා කෝ කියන හැඟීම මා හොඳහැටි දන්නා නිසාය.
මාත්
ඔහුගේ අම්මා එනතෙක් පැත්තකට වී කාටත් නොදැනෙන්න හෝ ගාලා ඇඩුවෙමි.
ඔය
බය නිසා එදා අපි තාත්තා රාජකාරි කරන සිංහාසන ගොඩනැගිල්ල ලඟ පෙරහර බලන්න තැනක් හොයාගෙන පැලපදියම් උනේ මගේ කකුල් දෙකේ ආඩම්බරයෙන් බැබලි බැබලි ඉන්න ගල් සියඹලා පටි සෙරෙප්පු දෙකත් වැඩිපුර පෙන්නවමින්ය. මා මල්ලීගේ සහ නංගීගේ අත් දෙක අත අරින්නේම නැතුව සිටීමට පුලුවන් ව්දියට තැත් කෙලෙමි. රෑ නමයට පමන පලමු වෙඩිල්ල පත්තුවූ විගස මිනිසුන් තිබූ සැනකෙලි කලබලයෙන් මිදී පාර දෙපැත්තේ හරිබරි ගැහෙන්නේ දේවාලයෙන් පෙරහර පිටත් වූ බැව් ඒ වෙඩි හඬ දන්වා සිටින බැවිනි. දෑතෙන්ම පොඩි ඈයෝ දෙන්නාත් අල්ලාගෙන ඉඳහිට පටි සෙරෙප්පු දෙකේ හැඩත් මිනිසුන් අතරින් පෙනෙනා තාත්තාගේ කාකි ඇදුමෙන් පිරුනු සිලුවට් එකත් ඇරෙන්න මට මතක අයියා මොන රස්තියාදුවක ගියාද යන්නයි. මේ සෙනග අස්සේ අතරමං උනොත් ස්පීකර් එකෙන් කියලවත් හොයාගන්න බැරි වෙයි.
ඈතින්
කස කාරයොන්ගේ පට පටයත් බෙර හඬත් පෙරහර අප ලඟට ගෙන එයි. අප සමීපයෙන්ම කොප්පරා පුරවාගත් පන්දම් කාරයන්ගේ රස්නයත් ඒවායින් වැටෙන ගිනියම් කොප්පරා අඟුරුත් ඒ කොප්පරා දැවෙන සුවඳත් විඳිමින් පෙරහරේ ඉස්සරහින්ම එන මූනු දෙකේ මහඹබාගේ නැටුම පොඩිසිත් විකසිත කරයි.
අලියන්ගේ ටාං ටං සීනු නාදයත් ඔවුන්ගේ සැරසිලිත් මන බදී, මා සිත ඒ අතර තුරේ දිවෙන්නේ පටි සෙරෙප්පු යුගලයට, මේ තෙරෙපෙන සෙනග අස්සේ ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි එහාට මෙහාට තල්ලුවෙනකොට කොහොමද මේ ගල්සියඹලා ජෝඩුව පරිස්සම් කරගන්නේ.
තාමත්
තාත්තගේ සිලුවට් එක පෙනෙන නිසා හිත ටිකාක් විතර හයි කරගෙන ගල් සියඹලා ජෝඩුවයි නංගියි මල්ලියිත් අල්ලගෙන පෙරහර බලනකොට ඒ තිබිච්ච සංහිඳියාව එක පාරටම බිඳගෙන මිනිසුන් නැට්ටුවන් බෙර කරුවන් කෑගසමින් එක එක පැති වලට දුවන්න පටන්ගත්තා. තාත්තාගේ සිලුවට් එක, අත්දෙකේ එල්ලිලා මිනිසුන්ගේ තෙරපීම නිසා ඈතට ඇදෙන නංගියි මල්ලියි, මිනිසුන්ගේ විලාප හඬවල් අස්සේ මගේ වෑයම ගල් සියඹලා ජෝඩුව කකුල්දෙකේ තියා ගැනීම...!
අපි
හිටියේ සිංහාසනය ලඟ, එතනදි සමන් දෙවියන්ගේ ආභරණ රැගත් ඇදගෙන යන රංසිවිගෙය නවත්තලා, ඒ ආභරණ සිහාසනයට ගෙනියනවා. අපි කවදාවත් මේ දෙවියන්ගේ ආයුධ දැකලා නැහැ. සිංහාසනය ඉස්සරහදි අලියෙකුට කොප්පර අඟුරු පෑගිලා ඌ පොඩ්ඩක් හැරිලා මිනිස්සු කුලප්පු වෙලා තමයි මේ හදිය. ඒක් දැනගත්තේ සමන් දෙවියන්ගේ ආභරණ වැඩමකරන රංසිවිගෙයි ඇතුලේ ඒ ආභරණ බාරව එන නිලමේ සුදු සහ නිල්පාට රෙදිවලින් ඔතපු හීයක් වගේ දෙයකුත් කරතියාගෙන අලි කුලප්පු වෙලා නෑ..අලි කුලප්පු වෙලා නෑ..කිය කියා දේවාලේ පැත්තට පස්ස නොබලා දුවනකොට.
දැන්
මින්සුන් ටිකක් සංසුං...
අපිව හොයාගෙන තාත්තා ආවේ අයියාගේ අතිනුත් අල්ලගෙන. තාමත් මගේ අත්දෙකේ එල්ලිලා ඉන්න නංගියි මල්ලියි දැක්කම තාත්තා මගේ ඔලුව ඉම්බා. එතකොට තමයි මගේ පියවි සිහිය ආවේ. පාත්වෙලා මගේ ඔලුව ඉඹින තාත්තගේ අතට යටින් මට පෙනුනේ පාර මැද ගොඩගැහිලා තියෙන සපත්තු සෙරෙප්පු කංදරාව. මම බැලුවා මගේ කකුල් දෙක දිහා...
සමන් දෙයියනේ කෝ මගේ දකුනු කකුලේ තිබ්ච්ච ගල් සියඹලා පටි සෙරෙප්පුව...
වම විතරයි..
වමෙන මොකක් කොරන්නද..?