Sunday, 17 July 2016

මිරිඟුවට එහා....!







ඈත පෙනෙනා
මෑතකම හැඟෙනා
උසින් හිඳ ඉඟි කරනා
බිමින් මා වෙත ඇදෙනා
ඔබයි මිරිඟුව මා ඇදෙනා...


ඔබයි මිරිඟුව මා වෙත දුවනා....

Friday, 8 July 2016

මැණික්










තනි වෙමු
අපි
අපේ
ලොවේ

හෙටත්
අදත්
ඊයෙත්
පෙර ආත්මෙත්

කාටවත්
කවදාවත්
කොහොමටවත්
නොතේරෙනුත්

ආදර හැඟුමක්
ආදර පැතුමක්
ආදර සිතිවිල්ලක්
සෙනෙහසින් දුන්හාද්දක්

හදපත්ලෙන්
පොදිකරගත්
රැකගත්
ආදර හැඟුමක්

දුන්හිඳ
දියලුම
පිනි පොදින් තෙත්වූ
ඔබ නාඹර දෙතොලේ
රසෝගයෙන් තෙත්වූ
සියොලඟ ගැහෙනා රාවය
තියා යන්න මා අසබඩ
තනිවෙන්නට මගේ ලොවේ
හෙටත්....

55යි ඕයි....!



Wednesday, 6 July 2016

සෝපාක......!

අමාවක

දා

බාප්පා

කී නිසාද

ආසාවටද

වැවට ආවෙ

පිත්තත් අරන්

සෝපාක


මොණර මාලු

අකැප

සෝපාක...!




Monday, 4 July 2016

ඇවිලෙන පොල් අත්තක් කී ඇත්තක්...!




හීන් සීරුවට
වෙලෙමින්
කොඳුල රහසින්
හිනැහෙමින්
ඉන්න තව ආසයි
මේ උණුහුමත්
හරි සීතයි

හීන් හුළගටත්
කොඳුරන්න හැකි නිසා
ඉතිං තව ලං වෙන්න
මගෙන් තව දුර නොයා

මතක  අළු හිත යට තියා
ඇවිලෙන්න ගිණි  පුපුරක් වෙලා
මේ උණුහුමත්
හරි  හීතයි

"Whispering your mind
inspiring my mind
Softly touching words
Secretly blowing wind
Brings your Aroma to me
Till we meet one's Waterloo...."



සිහිනෙන් මෙන් කණට මුමුණා දිවගිය සිතිවිල්ලකි.....


Wednesday, 29 June 2016

සුදු පිච්ච මල නුඹ නාඩන්





හතර හමාරේ කනිසමට
දින පහක් සතියකට
උදේට එයා ආස පාන් එක්ක හොද්දකට
පාට පාට පාන් පෙති දෝනිට
මහන්සි නොබලා හැදූ මට

කලු කලිසමට ගැලපෙන කමීසෙට
ටයි පටියට සරිලන මේස් යුගලෙට
සුමානෙ දවස් පහකට
මැද්දේ මම ඇදුම ඔබේ අගේට

දෝනිගේ ඉස්කෝලෙට
එයාගේ ඔෆිස් එකට
එයාගේ අම්මගේ ක්ලිනික් දවසට
මට අකැප .කැබ්, ප්‍රිමියෝ තිබ්බට

යුනියෙදි කෝස් වර්ක් වලට
ට්‍රේනින් එකේදි රිපොර්ට්ස් වලට
අලුත් රස්සාවෙ ප්‍රොජෙක්ට්ස් වලට
එයාට අඩු ඉන්ගිරිසි හැදූ මට

ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නෑ
අට අවුරුදු කැපකිරීම් එයාට තේරෙන්නේ නෑ
මම ආදරේ විඳින්න දන්නේ නෑ
ඒ නිසාම අත අරින්නේ නෑ.....

මා ඔබේ හතුරියක් නොව
සහකාරිය ලෙස සැලකුව මැන
ඔබගේ ලෙයින් මා මෙලොවට
බිහිකල ඒ සුදු පිච්ච මල වෙනුවෙන්වත්....!.





Saturday, 25 June 2016

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ...

මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් දැන් එයා ටීවී බලන එක අඩුකරලා වගේ ය කියලා මට තේරුම් ගිහින් ඇත්තේ, ටීවී එක ආපහු මහින්ද මහත්තයා පෙන්නන නිසා නොවේය...යූ ඇන් පී උනත් විලි ලජ්ජාව කියල එකක් තියෙන නිසාය..ඒ අපේ තාත්තාගේ යූ ඇන් පී කමය..

අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය.. 

අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..

අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...

අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...

ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!

ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...


මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..!  සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි. 

එයා කෙකි කාරයෙකි....!

සේන අයියා


කෙකි කාරයෙක් කිව්වාට එසේ මෙසේ කෙකි කාරයෙක් නොවේය, රංජිත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් දාගෙන අක්කර හැත්තදෙකක පොල් දවස් හයකින් කඩන කෙකිකාරයෙකි.

මේ පල්ලෙහා පින්තූරෙ ඉන්නේ සේන අයියාගේ ජොයින්ට් වෙන්චර් පාර්ට්නර් නොහොත් රංජිත්ය...

රංජිත්

අහල ගං හතටම පොල් කඩන්න ඉන්නේ මේ කෙකි කාරයො දෙන්නා විතරය...සේන අයියාට දැන් වයස 60කි..රංජිත්ට යංතම් 46 උනා විතරය..උදේ ඉඳන් උඩ බලාගෙන හවස පහමාර වෙනකන් පොල් කෙක්ක සිරස්ව අල්ලගෙන ගහෙන් ගහට යන හැටි බලන් හිටියාම පිස්සු වැටෙන්නේ, හනේ මේ දෙන්නා මේ ජොබ් එක දාලා ගියාම වෙන්නේ වැටෙන පොල් අහුලන්න විතර‍යි නේදය කියලා හිතෙන නිසාය.

ලීඩ්පාර්ට්නර්

ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස්


පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!

මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..

කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!

සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය. 

උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය. 

කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...

පුරුක් තුන හතරක් අල්ලලා දාන කෙකි ජොයින්ට් එක
පොල් කෙක්ක අග්ගිස්සට, පොල් පිහියක් බැඳලා ඇත. පරන දුනු තලයක් හොයාගෙන කම්මලට ගිහින් අනේ සේදිරිස් පොල් පිහි දෙක තුනක් හදලා දෙන්නකෝ කියා අඬා වැටුනාම හෙන රෙස්පෙට් දාලා සුමානයකින් දෙකකින් පොල් පිහියක් හදා ගත හැක..කම්මල් කාරයෝද වඳ වෙමින් පවතිනවාය. අම්මපා බයේ බැරිය.
කෙක්ක උඩ පොල් පිහිය
පොල් පිහිය හරි මුවාත්..බලාගෙන සෙල්ලං දාන්නේ...!

කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..

හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..

සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!

ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?

ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...

බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!

නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!

කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..

හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!




Wednesday, 22 June 2016

වගාව

වගාවන් වර්ග බොහෝය..පාරම්පරික, අපනයන බෝග වගේම ගෙවතු වගාවන් සහ තව තවත් වගාවන් මෙයට අයත් වේ. 



අපේ ආතා, ඒ කිව්වේ සීයා පාරම්පරික වී සහ අතුරු බෝග වගා කල ගොවියෙකි.අතුරු බෝග ගනයට වැඩුනේ කෑමට ගැනිමට ඉන්දවූ බුලත් කොරටුවත් මෑ, නිවිති, මුකුනුවැන්න, වම්බටු සහ අමුමිරිස් (අවුමිරිස්=අම්මිරිස්) යනාදී ආච්චී විසින් රොත්ත බුරුත්තක් වූ අප හට උයා පිහා දුන්න ගොඩ එළවලු වලින් පිරි කොටුවේ තිබු බව බෝගයන්ය. හොන්ඩර බතල කියා ඉතා රසවත් බතල ජාතියකුත් කොටුවෙන් හාරගෙන ඇවිත් ආච්චී උදේට තම්බලා කොච්චි සම්බෝලයක් අඹරා පොල් උලුප්පා කන්න දුන්න නිසා ඒකත් වගාවක්ය.

සබරගමුවෙ කොටුව කියන්නේ ගොඩැල්ලේ නැත්නම් කමතේ වටපිටින් පිහිටි එළවලු වවන ගොවිබිමටයි.

මීටාමතරව වෙලේ නියරේ වැවෙන තද කොළ පැහැ මුකුනුවැන්නත්, සබර වත්තේ ඇති ගොටුකොළත් වැව්වේ නැතත් වගාවන් විය, අප ඒවා නෙලාගෙන කෑ බී නිසා..බී කිව්වේ කැඳ සාදා බිව් නිසාය.අලකොල, කඩාගන්නේ ඇල අයින දිගේ තියෙන මඩ බෑවුමේ හැදෙන හබරල ගාලෙනි. කිරිහැන්ද, කිරිඇඹිලිය, තෝර කොල වගේ ඒවා කඩා ගන්නේද දං කැලේ කුඹුරු ලඟට වෙන්න තිබූ හිස් ඉඩම් වලිනි...ඉතින් ඒවාත් වගා බිම් සේම වගාවන්ය.

ගමේ නම කොස්පැලවින්න නිසා කොස් වලින් අඩුවක් තිබුනේ නැති තරම්ය. ආච්චී නිතරම කී දෙයක් තමයි කොස් කාලේට හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලෑය කියා..මොකොට ඒක කිව්වා දැයි අසන්න විදියක් නැත්තේ ආච්චි එලොව ගිහින් ආයෙත් මෙලොව ආවෙ නැති නිසාය.දෙල් මෙන්ම (ඒ කිව්වේ රට දෙල් - පරංගි ගෙනාපු වර්ගය ) කැලෑ දෙල්ද වගාවන්ය..හේතුව ආයෙත් අපි බුක්ති විඳපු නිසාය. 

හැබැයි අහේනි කාලේ ඒ කිව්වේ සිරිමාවෝ රට කා (ර )පු කාලේ අපි කැලේ ගිහින් හොයාගත්ත හල් ගෙඩි ගාලා හීන් ඇලේ පොට්ටනි බැඳලා අරන් හල් පිට්ටුත්, ලාවුලු පැහිච්චා ගාලා ලාවුලු පිට්ටුත් කෑවාය..නෑ කැව්වේය..ඒ කාලේ අපි මයියොක්කා, කවුපි, සොයා (සෝගම් කියල මතක )එකී මෙකී පිෂ්ට ධාතුව වඩන කෑම හොයාගත්තෙත් වගා කරලාය. ඒකට හේතුව හාල් පොලු මිරිස් පොලු පාර දිග හරස් කරන්න පටන් ගත්ත නිසාය..ඉතින් සතියේ දින තුනක් බත් නැති නිසා අපි ඒ වගේ ආලපාලු කෑම කෑවේ වවාගෙන නිසා ඒවාත් වගාවන්ය.

කවුපි වගාව මුං ඇට වගාව වගේම ලස්සනය. කරල් පැහුනාම පිපිරෙන්න පටන් ගනී. ඉතින් කලු පාට වෙන කරල් කඩා පැදුරේ දා අව්වේ වෙලා ඇට බේරාගෙන තම්බා ගත් කල හෝ මිරිස් සම්බොලෙ සෑහෙන සපොර්ට් එකක් දුන්නා තාමත් මතකය. කඩෙන් දැන් ගේන කවුපි එහෙම ඒවා නෙවෙයිද කොහෙද මොකෝ ඒ රහනං එන්නේ නැති නිසා.

මමත් ඔය අහේනි කාලේ අල්ලපු වැටේ වගාවක් කල නිසාය ඒ වග දන්නේ. ඒ කියන්නේ එතකොට මමත් අපේ ආතා, ඒ කිව්වේ සීයා වගේ ගොවියෙකි.අල්ලපු වැට කිව්වේ ඇල්ලපු වත්තටය.ඒක දං කැලේ නිසා අතෑරලා තිබුන නිසා මම එලිපෙහෙලි කරගෙන බතල මයියොක්කා වලින් පටන් අරන් කව්පි දක්වා වගාව ව්‍යාප්ත කලේ ඉන්දියානු ව්‍යාප්ත වාදය මෙන්ය...අපේ ගෙවල් ලඟ ජෙප්පො හිටියේ නැති නිසා මට පංති යන්න බැරි විය. එනිසා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දන්න තරම තමයි ඒ.

වගා කරන්නේ ගොවීන්ය. ඒ කාලේ අධාර ලැබුනේ ගොවීන් නොවොන අයටය. ඒ කියන්නේ වවන අයට දුන්න කෙංගෙඩියක් නැත. හැබැයි හාල් පොතකුත් බී කාඩ් එකකුත් අරන් වවන් නැති අයත් වවන අයත් සම්පකාරේට ගිහින් රතුලූනු පරිප්පු සැමන් ටින් පාන් එහෙම ගෙනාවාය. ඒ කාලේ අපි පාන් කෑවෙ හොරාටය. ළජ්ජාවෙන්ය. හේතුව නොදනිමි. රොටී කෑවෙත් වහං වෙලාය. ඒකට හේතුවත් නොදනිමි. හැබැයි වවන ඇත්තෝ, ඒ කියන්නේ ගොවියෝ පාන් කනවාය කියන එක ළජ්ජා හිතෙන්න ඕන දෙයකි. මොකද පාන් වගාවක් නොවන නිසාය. ඒත් පාන් හදන්නේ ඇමරිකන් පිටි වලින් කියා ඒ දවස් වල කියන නිසා, ඒ පිටි හදන්නේ තිරිඟු වලින් නිසාත්, තිරිඟු වගාවක් නිසාත්, පාන් ද වගාවක් වෙන්න ඕනය. ඉස්සර පාන් වලට වැට් බදු ගැහුවේ නෑය. දැනුත් නෑය..ඒකට බනිස් වලට  වැට් ගහන්න ඔනෑය කියා ටැක්ස් කන්තෝරුවෙ ලොකු  මහත්තයා ඊයෙත් මට කිව්වේය. ඒ නිසා බනිස් වගාවක් වෙන්නේ නැතිය.

වී වවන අයට වී ගොවියා කියා කියති. එළවලු වවන්නන් එළවලු ගොවීන් වන අතර හේන් කොටන ඈයොන්ට හේන් ගොවියන් යයි කියති. මට තාමත් හිතාගන්න බැරි රබර් වවන කෙනාට රබර් වතුකාරයාත්, තේ වවන කෙනාට තේ වතු කාරයාත්, පොල් වවන කෙනාට පොල් වතු කාරයාත් කියා කියන්නේ  ඇයි කියාය. මොකක් හරි හේතුවක් ඇතිය. 

දැන් යහපාලන දැක්ම අනුව රට නැංවීමට සහනාධාර නැවැත්විය යුතුය. එසේ නොකොලොත් ණය දෙන්නේ නෑ නෑමයි කියන නිසා පොහොර සහනාධාරේ නැවැත්තූ නිසා දැන් වී ගොවිතැන් කිරීම අතාරින්න වෙනවාය. මම කන්න දෙකක්ම කුඹුර අතෑරියාය..මට සහනාධාර නොදුන්නාට (මම ගොවි ගනයට නොවැටේ..කරුමෙක මහත ) 350 ට දෙන සහනාධාර පෝර උර ගොවිජන සේවා කාර්යාලයෙන්ම වගා නියාමක 800 ට ලබාදුන්න නිසා වි වගාව කලාය. දැන් හබක්ය. කුරුඳු පෝර හොන්ඩරේ 2650 උනාට ගානක් නැත්තේ දැන් කුරුඳු කිලෝවක් 1534 ට දිය හැකි නිසාය. අනේ ඉතින් කුඹුරේ කුරුඳු වවන්න බැරිය. වී කිලෝව 29කි...ඉතින් බෑය..


මාතලන් මහාචාර්‍ය තුමා කියන්නේ හාල් රටින් ගෙන්නපන්ය, ගොවීන්ට කංසා වවාපන්ය කියාය. දෙයි හාමුදුරුවනේ පිටරට බුවාල රතු හාල් ඒවන්නේ නෑය. බාස්මතී හැමදාම ගිලින්නත් බෑය. ජෙස්මින් රයිස් ස්ටිකී රයිස් වලට හොඳය. පකිස්තාන් සුදු හාලයි, ඉන්දියන් දෝසා රයිසුයි කකා කොහොමෙයි මේ රට කරන්නේ කියා හිටං එයත් අහනවාය. මේ වාගේ අවවාද දෙන නිසාද කොහෙද දෑවුරුද්දක් පිරෙන කාලේට හාල් නැතුව බත් කන්නං කිය කියා අපිලාට ආයෙත් පෝලිමේ යන්නය කියා දේශප්‍රිය මහත්තයා මට ටෙක්ස්ට් මැසේජ් එකක් එව්වේ ඊයේය. ෂුවර්ම නැත්තං ග්‍රාමයා හම්බවෙන්නය කියලා දේශප්‍රිය මහත්තයා ලියලා තිබුනේ හුස්මත් ඉහලට ඇදගෙනය.

හැබැයි අපේ ආතා, ඒ කිව්වේ සීයා නම් කිව්වේ, මනුස්ස හිත කියන වගා බිමේ ආගම ධර්මය ගුරුහරු කම් කියන පොහොර දාලා මනුස්සකම කියන වතුරෙන් පෝෂණය කරලා ගුණ ධර්ම වගා කෙරීම තමයි හොඳම වගාව කියලාය. උන්දෑත් ගියා ගියාමය, ඉන්න තැනක ඉඳන් බලාගෙන වත් ඉන්නවානං කියලාත් හිතෙනවාය.