Thursday, 28 January 2016

සතුටු කඳුලු...!




2004 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ රාමාදාන් පටන් ගත්ත දිනේ අද වගේ මතක ෆාස්ටින් පටන් ගත්ත නිසා නෙවී...ඕමාන් වල ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොමියුනිකේෂන් මිනිස්ටර් අපේ ඔෆිස් එකටම ඇවිත්, මස්කට් සහ සලාලා එයාර්පෝර්ට් දෙකේ අපි පිලියෙල කරපු ටෙක්නිකල් ඇන්ඩ් ෆිනෑන්ෂල් ප්‍රොපෝසල් එක අරන් ගිය දවස නිසා...

එතකොට අපි 21 දෙනෙක්ගෙ පොඩි ඔෆිස් එකක්..නම ලාසන්, ඒ ඇන්ඩ් සී ඊ...එදා ඉඳන් මම මාර කට්ටක් කෑවා 420 දෙනෙක්ගෙන් සමන්විත ඔෆීසියක් ගොඩනගන්න...

2012 දෙසැම්බර් වෙනකොට ඔක්කෝම ඩිසයින් වැඩ ටික ඉවර කලත් අපි ස‍යිට් එකේ වැඩ පටන් අරන් එතකොටත් අවුරුදු හයක් වෙලා...

අද මට ආපු අප්ඩේට් ඩොකුයුමන්ට්ස් වලින් ඔය පල්ලෙහායින් තියෙන පිංතූර ටික හැමෝටම බලාගන්න මගේ බ්ලොග් එකේ දාන්න හිතුනේ, මීට ටික වෙලාවකට කලින් තට්ටු තිහක හතලිස් හතකටත් උඩ කනුවක් හයි කරන ගමන්උඩ ඉඳන් ලොකු පුතා බල කර නිසා...

Zaina & Brian with HH Sayyid Fahd Bin Mahmoud Al Said
මේ සතියේ මුල ඕමාන් උප අගමැති (ඒ කියන්නේ සුල්තාන් ගාවට ඉන්න කෙනා රජ පවුලේ)Zaid Fahd Bin Mahmoud Al Said  තුමා සහ කැබිනට් මන්ඩල සාමාජිකයන් රැසක් VVIP විසිට් එකක් දැම්මා තවමත් වැඩ නිමවෙමින් පවතින මස්කට් ටර්මිනල් බිල්ඩින් එක ගැන සෝදිසි කරන්න. ඔය උඩ පින්තූරේ වම් පැත්තෙන් ඉන්නේ එච් එච් ( ඒකියන්නේ හිස් හයිනස්) සයිඩ් ෆහඩ්..ඔමාන් වල ඩෙපියුටි ප්‍රයිමිනිස්ටර්..දකුනු පැත්තේ ඉන්නෙ සයිනා (Zaina Al Harthy), ටයි කෝට් දාගෙන ඉන්නේ බ්‍රයන් (Brian Paton)...සයිනා විශ්ව විද්‍යාලයෙන් ආර්කිටෙක්චර්  කෝස් එක ඉවර කරන්නත් කලියෙන් අපි ලඟට ආවා ට්‍රේනී කෙනෙක් හැටියට..අද සයීනා එක්ස්පීරියන්ස් තියෙන එයාපොර්ට් ආර්කිටෙක්ට් කෙනෙක්...(සතුටු කඳුලු...)
බ්‍රයන්ව මම හොයාගත්තේ ක්ව්ලාලම්පූර් එයාර්පොර්ට් එක කරපු කන්ට්‍රැක්ටර් ගාව ඉඳලා...බ්‍රයනුයි, චමින්දයි, සන්හාරුයි විතරයි ප්‍රොජෙක්ට් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවර කරනකන් ඕමාන් වල නවතින්න කැමති උනේ....

chaminda & Zaina
උඩින් තියෙන පින්තුරේ වම් පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ චමින්ද, තරුන ආකිටෙක්ට් කෙනක් උනාට එයාර්පොර්ට් එක්ස්පර්ට් කෙනෙක්...සම්පූර්ණ නම සහ වෘතික නාමය නම් වරලත් වාස්තු විද්‍යාඥ චමින්ද මුනසිංහ. දකුනු පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ සයීනා...

වැඩ නිමවෙමින් පවතින මස්කට් එයාර්පෝර්ට් ටර්මිනල් බ්ල්ඩින්ග් එකේ පින්තූර තමයි පල්ලෙහායින් තියෙන්නේ...( සතුටු කඳුලු...)


Pier-arrival Level
Grade Level Concourse 

Arrival Lounge
Baggage Claim Area
Jet Bridge Interior
Pier Departure Level
Walkalator - Arrival Level
Satellite Lounge-ceiling 
Lower Level Access
Hard & Soft Landscaping-Car Park Area

බොහොම ලඟ දවසක අපේ හැලපෙට මේ එයාර්පොර්ට් එකෙන් ලංකාවට එන්න ලැබේවි....

තෙල් බැරල් එක ඩොලර් 26ට බැහැලා නිසා ඕමාන්වලත් ගොඩාක් ප්‍රොජෙක්ට්ස් මේ දවස්වල ඇනහිටලා..ඒත් VVIP විසිට් එකෙන් පස්සේ මේ වැඩේ කෙරිලා තියෙන ලස්සන දැකලා ඉක්මනටම මේ එයාර්පෝර්ට් එක නිමා කරන්නය කියලා තීරණ දීලා සුලතාන්වරයා... (සතුටු කඳුලු...)



සයීනා, චමින්ද සහ බ්‍රයන් ඇතුලු ලාසන් ආර්කිටෙක්ට් ටීම් එකට මගේ සුභපැතුම්......(සතුටු කඳුලු...)



Thursday, 31 December 2015

අන්තිම එක....!!

2015 අන්තිම එක....!!

2015 ලැබුවේ අපි හැමෝටම බලපාන වෙනස් කම් රාසියක බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙන ආකාරයට 

උනාට එහෙමටම දේවල් උනේ නෑ නේදැයි අද 2015 අන්තිම හෙයාකට් එක ගන්න ගියාම කොණ්ඩේ කපන

 සුධීෂ් මල්ලියා කිව්වා....

අවුරුද්දක් ගෙවුනා කියන එක හිතාගන්නත් අමාරුයි..තාම 2015 කියලා ලියන්න පුරුදු වෙනවා ලියුම් කියුම්

 වලයි අස්සන ගහන තැන් වලයි..හෙට ඉඳන් 2016 ලියහංකෝ..ඒක පුරුදු වෙලා ඉවර වෙනකන් ඉන්න 

ඇහැක් නං 2016ත් 2015 වගේම හොඳවේවි...

හැරිලා බැලුවාම මම හිතාගෙන හිටපු ගොඩාක් දේවල් කරල නෑ කියලා කියන්නත් අමාරුයි...ඒ එක්කම තව

 අවුරුද්දක් සම්පූර්ණයෙන්ම අම්මට සිරි ලංකාවේ ගැමියෙක් වගේ බත් ටිකක් කාලා නිදාගන්න හම්බවෙච්ච

 එකත් සෑහෙන්න වටිනා දෙයක් මම වගේ දශක දෙකහමාරක් විතර විප්‍රවාසයේ හිටි කෙනෙකුට..තාමත් පාර 

තොට හොයාගන්න, යාලු මිත්‍රයෝ අඳුරගන්න වගේ දේවල් හැරෙන්න රටේ තොටේ ඇවිදින්න යන්න බැරි

 වෙච්ච එක ගැන හැරෙන්න ඒ තරමටම දුක්කදෝමනස්ස නම් මේ අවුරුද්ද මට දුන්නේ නෑ...


වෙච්ච වැරදි ඉගෙන ගෙන, ඒවා අවම කරගෙන, 2016 ත් අහිංසක විදියට ගෙවා ගන්න එක තමයි එකම 

ප්‍රාර්ථනය, ඒ වගේම මේ අවුරුද්දට වඩා තව ටිකක් විතර උනන්දුවෙන් බ්ලොග් පෝස්ට් කරන්න ශක්තිය

 හොයාගන්නත් ඕනි කියන ඒවා තමයි මේ වෙලාවෙ හිතට එන්නේ...


ඊයේ පෙරේදා පොඩි අනතුරක් වෙලා අතට මැහුමක් දාන්න වෙච්ච වෙලාවේ ඒ ඉස්පිටිතාලේ ඉස්සරහාම 

හදලා තිබ්බ ඔය පල්ලෙහාහින් තියෙන පින්තූරේ පේන වැදුම් පිදුම් ලැබිය යුතු ස්මාරකය කියාපාන අදහස 

ලබන්නාවූ 2016 නව වසර පුරාවට සියලු ලෝකවාසී සාමයට ලැදි අප වැනි පුඟුලන්ට ආදර්ශයක්ම වේවායි 

පතමින්,


atr-pic



2015 අන්තිම එක මෙතනින් ඉවර කරන මා.....

ෂෙෆාකි.... 

ඔබ සැමට සුබ නව වසරක් වේවා...!


Thursday, 26 November 2015

නොනිසි....!


නොනිසි....!



රැවෙටෙන්න බැහැ


කොහොමෙයි මං හඟිස්සන්නේ
මේ ඇත්තමදැයි කියා


ඔතරම් සෙනෙහසක්
කොහොමෙයි මේ වියපත් මා
නොඉඳුල් ඔබෙන් ලබන්නේ


ලැබුනත් කෙසේද එවන් සෙනේහේ
මා රැකගන්නේ...







ඉයන් ගෙන් හොරා ගත් වචනයක් කල හදියක්...!

Monday, 16 November 2015

පාත්තර සුමනේ....


thewittyjournalblog.wordpress.com


එක දිගට ඇදහැලෙන වර්ෂාව නිසා උතුරා යන ඇලවේල්ල උතුරන තරමටඉස්සරහා දොරින් ඇතුල් වෙන වතුර පාර කුස්සි කෑල්ලේ ලිප් ගල් අතරින් යන්තං අටවා ගත් ගෙයක් යැයි කීවද, පැලක්වත් නොවෙන මේ කාමර කෑල්ලේ, පිටිපස්සේ දොරක් වෙනුවට එල්ලා ඇති ප්ලාස්ටික් රෙද්ද තාලයකට පද්දවමින් ගලාගෙන යනහැටි, චන්දරේ බලා සිටින්නේ බීඩිය ආදරයෙන් දත් අතරින් තදකරගෙන දුම්පාරින් පපුව පුරෝගනිමිනි..

කාරා කෙල තලියක් ප්ලාස්ටික් දොර පලුවෙන් එලියට ගසා අන්තිම බීඩි උගරද ඇද ගත් චන්දරේගේ ඇස් යොමු උනේ පැලේ එල්ලා ඇති කිහිලි කරු යුගලයටයි...පාත්තර සුමනේට පින්සිද්ධ වෙන්න එදා වේල හම්බකරගන්නේ ඔය කිහිලිකරු දෙකින් නේදැයි කියා තමාට කියාගත් චන්දරේ ප්ලාස්ටික් දොර පලුව අතින් පැත්තකට උස්සා වහලයේ රඳවා එලියට හිස දමා අහස මැන්නේ අදත් මේ වැස්සනම් නවතින්නේ නැහැ යැයි පසක් කරගත් සිතිනි...

අදට ගෙට කොටු වී දින හතරකි...නාන ලිඳ ලඟ උක්කුවාගේ පෙට්ටි කඩේට රුපියල්ම දෙසිය විස්සක් දීමට ඇත, බීඩි සහ පාන් ගෙඩි දෙකකටත්, පරිප්පු සීයකටත්ය. නාලිනි දවස් ගානකින් ගෙදර ආවෙත් නැත. කොහේ හරි කොටු වෙලා ඇති, නැත්නම් ඔය ගෑනි ඇඳුම් හෝදගන්න හරි වත්තට එනවා. තනියම සුටු සුටු ගාමින් ආයෙත් කිහිලි කරු දිහා බලාගෙන කල්පනාවට වැටුන චන්දරේ උඩ සාක්කුව අතගෑවේ බීඩියක් ගැනීමටයි.

ෂික්...කොලේ විතරයි...බීඩි ඔක්කොම මම බිව්වද....තේ කහට එකක් ගහන්න උක්කුවා ගාවට යන්න විදියක් නැති හැටි....කොහෙන්ද අප්පා සල්ලි හොයාගන්නේ..මේ දවස්වල වැස්ස නිසා බිස්නස් පාඩුය, වීල් එකේ ගානවත් හොයාගන්න බැරිය, කියලා පාත්තර සුමනේ ඩීල් දෙන්නේ නෑ..නැත්නම් කොහේ හරි සිග්නල් ලයිට් තියෙන හංදියකට ගෙනිහින් බස්සනවා..හැන්දෑවට පන්සීයේ කොලයක් අතේ, දවල්ට තම්බි කඩේ බුරියානි එකයි බීඩි මිටියයි....නෙදකින් මේ කාලකන්නි වැස්ස... වෙන කරන්න දෙයක් නෑ..පාත්තර සුමනයාට මල නොපනින්න කනත්ත ගාව රේමන්ඩ් එක ඉස්සරහා පාරවත් අල්ලගන්න ඕනි...කිහිලිකරු කේස් එක එතනට හරියන්නේ නෑ..සිලි සිලි බෑග් තමයි....

සිලි සිලි බෑග් එකක් හිසේ නමා ගත් චන්දරේ ඔබේසේකර පුර පාරට එනකන් අඩිය ඉස්සර කලේ වැස්ස වැඩි උනොත් අදත් බඩගින්නේ නේදැයි මුමුනමිනි... ඔබේසේකර පුර පාරේ දෙපැත්තේ තියෙන එලවලු කඩ හතර පහ චන්දරේ අඳුනයි. කිසිම කථා බහක් නැතුව එලවලු බක්කි අසල වැටී ඇති වම්බටු ගෙඩියක්, බන්ඩක්කා කරලක් දෙකක්, ලූනු ගස් දෙකතුනක් එකතු කරගත් චන්දරේ තිස්සමහාරාම සහල් බෝර්ඩ් එක කියවමින් හොරගල් අහුලනු සිරිසේන මුදලාලි දැක්කත් නොදැක්කා වාගේ සිටියේ නාලිනීව සිහීවූ නිසාවෙන්ය.

ටික වෙලාවක් කැරකි කැරකී සිටි චන්දරේ...

"මුදලාලි...."

"හ්ම්"

".........ම්ම්මේ....."

"හා හා..පාල අර තෙත්ගැහිච්ච මිටියෙන් මේ චන්දරේට හාල් පන්සීයක් කිරල දියන්.."

අඩියට දෙකට, වැස්සට යටින්, දුවන නොදුවන ගානට, ආයුර්වේද හන්දියයි කාසල් එකයි පහු කල චන්දරේ කනත්ත හංදියත් දේවිබාලිකා සිග්නල් ලයිට් එකත් යා කරන පාරේ කනත්තේ එක ගේට්ටුවකුත් සිග්නල් ලයිට් හංදියත් අතර තැනක් තෝරගත්තේ කට කොනකට සිහින් සිනාවකුත් බඩ පුරා හීන ගොඩකුත් පුරවාගෙනය...



 නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් හාල් පොල් එලවලු පලතුරු සහ මාලුත් ගත් සිරිල් ආපසු නාවල පාරින් ගෙදර යෑම අතහැර බේස්ලයින් පාරට රථය පැදගෙන ආවේ, නාරාහෙන්පිට පොලේ හොඳ හරක් මස් කඩයක් තියෙන නිසාත්, මස් ගැනීමට පෙර පොල ගාව පන්සලේ නෙලීමට කොන්ත්‍රාත් එක දී ඇති පිලිමය වැඩ අවසන් කර ඇද්දයි, යන දෙකම කරගන්නා අදහසිනි. පන්සලත් පොලත් අතර ඇති තීරුවේ රථය නවතා බිරින්දෑට ඔහොම ඉන්න යැයි කියා ඔහු පන්සල තුලට වැදුනේ ඇය ආවොත් අනේ බුදු සාධුගේ කණ දිගයි, කොණ්ඩේ උසයි යනාදී වශයෙන් ගිය සතියේ දුන් අවවාද නැවතත් පිලිම නෙලන සරත් මල්ලිනම් පිලිනොපදින බව දන්නා බැවිනි.
"ලබන සතියේ පිලිමේ ගෙනියන්න පුලුවන් චිත්‍රා....ඔයා කිව්ව විදියටම වැඩේ කරලා...එතෙන්ටම ඇවිත් ඇස් තියන්නං කිව්වෙ.."
"හානේ මටත් එන්න තිබුනා බලන්න...කමක් නෑ අපිටත් ඉන්වයිට් කරයිනේ ඕපනින් එකට.."
"ඔව් ඔව්...කොන්ත්‍රාත් කාරයා නැතුව පන්සල් විවෘත කරනවයැ..අනික මම එච්චර ප්‍රොෆිට් එකක් ගත්තෙ නෑ කියලා ලොකු සාධු දන්නවා..""
"කෝ ඔයා මස් ගත්තේ නෑනේ..."
"ආ..පිලිමෙ දැක්කම ඒකත් අමතක උනා..පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නං "

කනත්ත හංදියට එනකන්ම දෙන්නාගේම සද්දයක් නැත්තේ හිතන්න ගොඩාක් දේවල් තියෙන නිසා.......
හෙමින් හෙමින් නයෙක් වගේ ඇදෙන ට්රැෆික් එක නිසා සිතුවිලි ලෝකේ පුරා දුවනවා නේදැයි සිරිල්ට හිතුනත් ඔහේ යාන්ත්රිකව රථය පැදවෙන්න අරිමින් සිටින විට...

"සිරිල්..පොඩ්ඩක් නවත්තන්න..අනේ පොඩ්ඩක් නවත්තන්න.."

"මෙතන ඉඩ නෑ මොනාද අමතක උනේ...හවසට ගමු..දැන් පරක්කු උනා.."

"අනේ නෑ අර බලන්න අර මනුස්සයාගේ හාල් ටික ඔක්කොම පේව්මන්ට් එකේ ඉහිරිලා..එලවලු ටිකත් පාරේ පව් අනේ.."

"ඉතින්..?"

"පව්නේ අනේ..දුප්පත් මනුස්සයෙක්..අතේ සල්ලිත් නැතුව ඇති ආයෙත් ගන්න..පොඩ්ඩක් ස්ලෝ කරන්න..."
තම පසුම්බිය අරිමින් එසේ කී චිත්‍රා වීදුරුව පහත්කරත් ඇයට ඔහුගේ අවදානය යොමුකරගත නොහැකි විය...එවිගසම නැවැත්තූ රථයෙන් බැස ගත් ඇය...

"ඔය බිම වැටිච්චා අහුලන්න එපා..පාරේ ජරාවනේ...මේක තියාගෙන ආයෙත් කඩෙක ගිහින් බඩු ටිකක් ගන්න.."

"පින්සිද්ධවෙනවා නෝනා.." යැයි කී චන්දරේ දෑත එක්කොට චිත්‍රාට වඳිනු දුටු සිරිල් කට කොනකින් සිනාවක් මතු උනේ ඇය කෙරේ උපන් ආදරය නිසාමය...

පිටුපසින් නොනවත්වා ඇසෙන හෝන් හඬ නිසා ලහිලහියේ රථයට නැගුන චිත්‍රාවත් රැගෙන ඉදිරියෙන් මතුවී තිබූ හිස්තැන පිරවීමට රථයේ ඇක්සලේටරය තදින් පෑගූ සිරිල්ට හිතුනේ...... මනුස්සයා කොහෙන්ද බඩු ගත්තේ..මේ ලඟ කඩවල් නෑනේ...?



පන්සීයේ කොලයක් දුටුව කාලයක්...පාත්තර සුමනේ...වැස්ස...ගෙදර එල්ලා කිහිලිකරු...උක්කුවාගේ ණය...බීඩි...තම්බිගේ කඩේ බුරියානි...ඇයි .....නාලිනී....චන්දරේගේ හිත ලෝකේ පුරා දුවයි.....!


Tuesday, 20 October 2015

Pushing 85



අපි දෙන්නා පොතේ හැටියටනම් මුන ගැහුනේ 1961 ජූලි මාසේ 9 වෙනිදා...
ඒත් ආච්චිනම් කිව්වේ එදා ඔයා උසාවි වැඩකට කල්මුනේ ගිහින් ආවේ දවස් තුනක් විතර පහු වෙලාය කියලා...
පටන් ගත්ත වෙලාවෙදිම මට තේරුන් කරලා දීලා තියෙන්නේ මම වැඩිය ගනන් ගන්න කෙනෙක් නෙවයිය කියලයි ඔයාට.

ඒකට අනිත් අය වගේම මටත්  ඔයා නම් ලොකු වීරයෙක් එදාත්..අදත්.....

දවස්වල ඔයා නිදාගෙන ඉන්න කොට මම හිමීට ලඟට ගිහින් පපුවට කන යාන්තමට තියාගෙන අහගෙන ඉන්නවා පපුවේ ලබ් ඩග් වැඩද කියලා...

මට ඔයාව හොඳටම මතක 71 අප්‍රේල් කැරැල්ල කාලේ ලොකු දිගම දිග රැවුලකුත් වවාගෙන ඔයගේ බ්‍රෙන් ගන් එකත් අරන් අපිව අක්මීමනින් ගාලු කොටුවට ගෙනියන්න ඔයාගේ යාලුවොත් එක්ක ආපු දවස... එතකොට මට වයස අවුරුදුවලින්ම 10ක් නේ...

ඊට ඉස්සර මට තියෙන මතකය තමයි ඔයාගේ බයිසිකලේ, මට ඒක පදින්න දුන්නාට ඔයා ඒක අයියටවත් දුන්නද කියල මට නම් මතක නැහැ.

  එහෙමද, නැත්නම් අයියා දවස්වල ඉඳන්ම පොර නිසා, මම වගේ පොල්ල යටින් දාලා යන්නයි, මිරිස් අඹරන්නයි එහෙම අකමැත්තෙන් හිටියද දන්නෙත් නෑ..

 අප්‍රේල්  කැරැල්ල අපිව වෙන් කලා..
ඔයා අපිව රත්නපුරේ දාලා අම්බලන්ගොඩ ගියා..අක්මීමන ඉන්න බැරි තරමට කරදර උනාය කියල තමයි ආරංචි උනේ නම්...

ඔයා අම්බලන්ගොඩ ගියාට පස්සේ, අපි හරි අමාරුවෙන් දේවල් කරගත්තේ ඔයා නැතුව..
ඉඳලා හිටලා ගෙදර ආවත්, ඔයාට අපි ගැන හොයන්න වෙලා තිබුනේ නැතිව ඇති

එහෙම ආපු දවසක, මට තාම මතකයි, ගොඩවෙලේ පිටාර වතුරේ ඔරු පදින්න ගියාය කියලා, මාවයි අයියවයි, සේකරගේ වී මෝල ගාව ඉඳන් පාර දිගේ වේවැල් පාරවල් දිදී ගෙදර දැක්කුවා..ඔයා අර කාකි පාට දිග රේන් කෝට් එක ඇඳන් හිටියේ එදා...
හම්මෝ මතක් වෙනකොටත් ලැජ්ජාවයි...

තවත් ඒවගේ මතක දෙයක් තමයි (මම කියන්නේ මේ ලැජ්ජාවේ පනයන ඒවා ) එක දවසක් සිල්වා මහත්තයා ඉංග්‍රිසි ටියුෂන් දෙන්න එන වෙලාවේ, මම කාමරේ හැංගිලා හිටියා කියලා වේවැලත් අරන් මගේ පස්සේ එලවලා, රබර් වත්තේ මැදදි අල්ලගෙන මාරයෙක් වගේ මගේ මුලු ඇඟ පුරාවටම තැලුව හැටි...මගේ මූණටත් වැදුනා මට තාම මතකයි අද වගේ...

ඊට පස්සේ ඔයා ආයෙත් රත්නපුරේට ආවා..ඊට පස්සේ මට මරු..මොකෝ හැමදාම හැන්දෑවටබ්‍රවුන් පාට කඩදාසි බෑග් එකක් පුරෝලා එලවලුයි මසුයි අරන් එනවනේ...මම දවස්වල මස් නැත්නම් බත් කන්නේ නෑලු..මේ ලඟදි අම්මා කා එක්කද කියනවා මම අහගෙන....

දවස්වල ඔයාගේ බටා කොලේ පුරවන්න,
  අලුතෙන් බැඳෙන අයගේ රිපොර්ට් ලියන්න,
  තුවක්කු ලයිසන් වල රිපොර්ට් ලියන්න එහෙම ඔයා මාව අල්ලගන්නේ..ඒවා අදත් මට සෑහෙන්න උදව් උපකාර වෙනවා....
ඔය ඔක්කොමටම වඩා මට මතක, මහ රෑ දෙගොඩහරියක් වෙනකන් මම ඇහ ඇරිලා බලාගෙන ඉන්නවා ඔයා එනකන්, සාබි එකේ හතරැස් මස් බත් එකත් අරන්...
ඊට පස්සේ අපි දෙන්නා ඒක බෙදාගෙන කනවා...ඔයාට ගොඩාක් දවස්වල කන්න තියා කෙලින් ඉන්නවත් බැරිගානට වෙරි..ඒත් බත් එක අමතක නැතුව අරන් එනවා..
ඒකම මදැයි....

මට මතකයි, මම කටුබැද්දේ ඉන්නකොට ඔයා ඇවිත්, හතරවෙනි තට්ටුවේ කොරිඩොර් එක දිගේ, මගේ කරට අත දාගෙන (හරියට යාලුවෙක් වගේ) කැන්ටිමට එක්කන් ගිහින් බත් අරන් දුන්න හැටි....

ගොඩාක් අය ඔයා වගේ අය ගැන ලියනකොට ලොකු කථා ලියනවා..
ඒත් මට නම් ඔයා ගැන කියන්න එහෙම ලොකු කතාවක් නැහැ.

ගොඩාක් කාල වලදි ඔයා මම මොන පන්තියේද හිටියේ කියලවත් දැනගෙන හිටියේ නෑ මම දන්න විදියට...
ඒත් මට කන්න දුන්න එකම ඇති...

ඔයා ගොඩාක් මහන්සි වෙන්න ඇති අපි හතරදෙනෙක්ව කරගහගෙන යන්න...
ඒක මම නොදන්නවා නෙමෙයි...

දැන් මම ඔයා වගේ කියලා මට හිතෙන්නේ..කටහඬත් ඒවගේ...ඔයා උයන විදියටම බීෆ් කරි එක උයන්නත් පුලුවන්...
ඔයා වගේ දෙකක් දාගෙන...සිගරැට් එකක් ගහගෙන හීනියට සින්දුවක් අහලා ඉන්න එක තමයි මගෙත් ආසම වැඩේ..

ඒත් ඔයා වගේ මම ජීවිතේ හරියට මැනේජ් කරගෙන නෑ..
පිස්සෙක් වගේ එහේ මෙහෙ දුවනවා..
සමහර විට මගේම වැරැද්දත් වෙන්න බෑ..
ලෝකේ හැටි වෙන්න ඇති...

ඔයා දිහා බලලා මට හැදෙන්න බැරි අපි දෙන්නා අන්ත දෙකක ජීවත් වෙන දෙන්නෙක්..එදාත් එහෙමයි අදත් එහෙමයි.....

මේ ඔක්කොම ලිව්වේ ඔයාට මම ගොඩාක් ආදරෙයි කියල කියන්න මිසක් තරහට නම් නෙවෙයි..
ඔයා දන්නවනේ මම කවදාවත් කා එක්කවත් තරහ වෙන කෙනෙක් නෙවෙයි කියලා....

ඔයාට දෙන්න කියල තෑග්ගක් හෙව්වට, ඕන කරන හැමදේම වගේ ඔයාට තියෙන නිසා දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි...

මුලු ලෝකෙටම ඇහෙන්න මෙන්න මෙහෙම කියන එක....




අද 85ස් වෙනි වියට පා තබන ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන
 මම, 
කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ  දෙවෙනි පුතා...

සුබ උපන් දිනයක් තාත්තේ...!!!!!!