Tuesday, 20 October 2015

Pushing 85



අපි දෙන්නා පොතේ හැටියටනම් මුන ගැහුනේ 1961 ජූලි මාසේ 9 වෙනිදා...
ඒත් ආච්චිනම් කිව්වේ එදා ඔයා උසාවි වැඩකට කල්මුනේ ගිහින් ආවේ දවස් තුනක් විතර පහු වෙලාය කියලා...
පටන් ගත්ත වෙලාවෙදිම මට තේරුන් කරලා දීලා තියෙන්නේ මම වැඩිය ගනන් ගන්න කෙනෙක් නෙවයිය කියලයි ඔයාට.

ඒකට අනිත් අය වගේම මටත්  ඔයා නම් ලොකු වීරයෙක් එදාත්..අදත්.....

දවස්වල ඔයා නිදාගෙන ඉන්න කොට මම හිමීට ලඟට ගිහින් පපුවට කන යාන්තමට තියාගෙන අහගෙන ඉන්නවා පපුවේ ලබ් ඩග් වැඩද කියලා...

මට ඔයාව හොඳටම මතක 71 අප්‍රේල් කැරැල්ල කාලේ ලොකු දිගම දිග රැවුලකුත් වවාගෙන ඔයගේ බ්‍රෙන් ගන් එකත් අරන් අපිව අක්මීමනින් ගාලු කොටුවට ගෙනියන්න ඔයාගේ යාලුවොත් එක්ක ආපු දවස... එතකොට මට වයස අවුරුදුවලින්ම 10ක් නේ...

ඊට ඉස්සර මට තියෙන මතකය තමයි ඔයාගේ බයිසිකලේ, මට ඒක පදින්න දුන්නාට ඔයා ඒක අයියටවත් දුන්නද කියල මට නම් මතක නැහැ.

  එහෙමද, නැත්නම් අයියා දවස්වල ඉඳන්ම පොර නිසා, මම වගේ පොල්ල යටින් දාලා යන්නයි, මිරිස් අඹරන්නයි එහෙම අකමැත්තෙන් හිටියද දන්නෙත් නෑ..

 අප්‍රේල්  කැරැල්ල අපිව වෙන් කලා..
ඔයා අපිව රත්නපුරේ දාලා අම්බලන්ගොඩ ගියා..අක්මීමන ඉන්න බැරි තරමට කරදර උනාය කියල තමයි ආරංචි උනේ නම්...

ඔයා අම්බලන්ගොඩ ගියාට පස්සේ, අපි හරි අමාරුවෙන් දේවල් කරගත්තේ ඔයා නැතුව..
ඉඳලා හිටලා ගෙදර ආවත්, ඔයාට අපි ගැන හොයන්න වෙලා තිබුනේ නැතිව ඇති

එහෙම ආපු දවසක, මට තාම මතකයි, ගොඩවෙලේ පිටාර වතුරේ ඔරු පදින්න ගියාය කියලා, මාවයි අයියවයි, සේකරගේ වී මෝල ගාව ඉඳන් පාර දිගේ වේවැල් පාරවල් දිදී ගෙදර දැක්කුවා..ඔයා අර කාකි පාට දිග රේන් කෝට් එක ඇඳන් හිටියේ එදා...
හම්මෝ මතක් වෙනකොටත් ලැජ්ජාවයි...

තවත් ඒවගේ මතක දෙයක් තමයි (මම කියන්නේ මේ ලැජ්ජාවේ පනයන ඒවා ) එක දවසක් සිල්වා මහත්තයා ඉංග්‍රිසි ටියුෂන් දෙන්න එන වෙලාවේ, මම කාමරේ හැංගිලා හිටියා කියලා වේවැලත් අරන් මගේ පස්සේ එලවලා, රබර් වත්තේ මැදදි අල්ලගෙන මාරයෙක් වගේ මගේ මුලු ඇඟ පුරාවටම තැලුව හැටි...මගේ මූණටත් වැදුනා මට තාම මතකයි අද වගේ...

ඊට පස්සේ ඔයා ආයෙත් රත්නපුරේට ආවා..ඊට පස්සේ මට මරු..මොකෝ හැමදාම හැන්දෑවටබ්‍රවුන් පාට කඩදාසි බෑග් එකක් පුරෝලා එලවලුයි මසුයි අරන් එනවනේ...මම දවස්වල මස් නැත්නම් බත් කන්නේ නෑලු..මේ ලඟදි අම්මා කා එක්කද කියනවා මම අහගෙන....

දවස්වල ඔයාගේ බටා කොලේ පුරවන්න,
  අලුතෙන් බැඳෙන අයගේ රිපොර්ට් ලියන්න,
  තුවක්කු ලයිසන් වල රිපොර්ට් ලියන්න එහෙම ඔයා මාව අල්ලගන්නේ..ඒවා අදත් මට සෑහෙන්න උදව් උපකාර වෙනවා....
ඔය ඔක්කොමටම වඩා මට මතක, මහ රෑ දෙගොඩහරියක් වෙනකන් මම ඇහ ඇරිලා බලාගෙන ඉන්නවා ඔයා එනකන්, සාබි එකේ හතරැස් මස් බත් එකත් අරන්...
ඊට පස්සේ අපි දෙන්නා ඒක බෙදාගෙන කනවා...ඔයාට ගොඩාක් දවස්වල කන්න තියා කෙලින් ඉන්නවත් බැරිගානට වෙරි..ඒත් බත් එක අමතක නැතුව අරන් එනවා..
ඒකම මදැයි....

මට මතකයි, මම කටුබැද්දේ ඉන්නකොට ඔයා ඇවිත්, හතරවෙනි තට්ටුවේ කොරිඩොර් එක දිගේ, මගේ කරට අත දාගෙන (හරියට යාලුවෙක් වගේ) කැන්ටිමට එක්කන් ගිහින් බත් අරන් දුන්න හැටි....

ගොඩාක් අය ඔයා වගේ අය ගැන ලියනකොට ලොකු කථා ලියනවා..
ඒත් මට නම් ඔයා ගැන කියන්න එහෙම ලොකු කතාවක් නැහැ.

ගොඩාක් කාල වලදි ඔයා මම මොන පන්තියේද හිටියේ කියලවත් දැනගෙන හිටියේ නෑ මම දන්න විදියට...
ඒත් මට කන්න දුන්න එකම ඇති...

ඔයා ගොඩාක් මහන්සි වෙන්න ඇති අපි හතරදෙනෙක්ව කරගහගෙන යන්න...
ඒක මම නොදන්නවා නෙමෙයි...

දැන් මම ඔයා වගේ කියලා මට හිතෙන්නේ..කටහඬත් ඒවගේ...ඔයා උයන විදියටම බීෆ් කරි එක උයන්නත් පුලුවන්...
ඔයා වගේ දෙකක් දාගෙන...සිගරැට් එකක් ගහගෙන හීනියට සින්දුවක් අහලා ඉන්න එක තමයි මගෙත් ආසම වැඩේ..

ඒත් ඔයා වගේ මම ජීවිතේ හරියට මැනේජ් කරගෙන නෑ..
පිස්සෙක් වගේ එහේ මෙහෙ දුවනවා..
සමහර විට මගේම වැරැද්දත් වෙන්න බෑ..
ලෝකේ හැටි වෙන්න ඇති...

ඔයා දිහා බලලා මට හැදෙන්න බැරි අපි දෙන්නා අන්ත දෙකක ජීවත් වෙන දෙන්නෙක්..එදාත් එහෙමයි අදත් එහෙමයි.....

මේ ඔක්කොම ලිව්වේ ඔයාට මම ගොඩාක් ආදරෙයි කියල කියන්න මිසක් තරහට නම් නෙවෙයි..
ඔයා දන්නවනේ මම කවදාවත් කා එක්කවත් තරහ වෙන කෙනෙක් නෙවෙයි කියලා....

ඔයාට දෙන්න කියල තෑග්ගක් හෙව්වට, ඕන කරන හැමදේම වගේ ඔයාට තියෙන නිසා දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි...

මුලු ලෝකෙටම ඇහෙන්න මෙන්න මෙහෙම කියන එක....




අද 85ස් වෙනි වියට පා තබන ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන
 මම, 
කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ  දෙවෙනි පුතා...

සුබ උපන් දිනයක් තාත්තේ...!!!!!!


Monday, 5 October 2015

මව් කිරි





තව මාසයක් ගියාම මොකක්ද අප්පා කරන්නේ....සුමානෙක වෙලාවේ ඉඳන් තිලක්ගේ යටි හිත ඔය සිතිවිල්ල උඩ දදා ඉන්නේ. කොළඹ තනිවෙලා, පාරක් තොටක් තේරෙන්නෙවත් නෑ. බාප්පලාගේ උදව්වක් උපකාරයක් ඇරෙන්න අවවාදයක් අහගන්නවත් කෙනෙක් නෑ.

කාන්තිගේ මූණයි, කිරෙන් පිරිච්ච පපුවයි පොඩී එකීගේ අතපය උඩ දැමිමයි දකිනකොට ආපහු සිතිවිල්ල ලිඳට වැටිච්ච පොල් ඇට්ටියක් වගේ ජබුස් ගාල යට යනවා.... මුලු ඇනෙක්සිය පුරාම තියෙන්නේ කෙළීගෙ ඇඳුම් හෝදලා වැනුවාම එන ලේ මුසු කිරි සුවඳ....අවුරුදු 21ක් වෙනකොට මේ සුවඳ අයිතිකරගන්න වාසනාවක් තියෙන්න ඕනිය කියලා පුංචිඅම්මා කිව්වට වයසට වඩා බර උහුලලා තියෙන තිලක්ට මේ හැමදේම දැනෙන්නේ සාක්කුවෙ තියෙන මාරුකාසි ගානට කරන්න පුලුවන් දේවල් වලින් එහා තියෙන අනිත් ඒවා වගේ. එහෙම දැනෙනකොට කිරි සුවඳට වඩා ලේ සුවඳ ඉස්සරවෙනවා කියලමයි තනියම හැම වෙලාවෙම කථා කරනකොට තිලක් කියාගන්නේ.

ඉස්කෝලෙන් අස් උනේ ඊයෙ පෙරේදා වගේ දැනුනාට කැම්පස් එකෙන් අවුට් වෙලත් දැන් අවුරුද්දක් ගිහින් නේද කියල තිලක්ට හිතුනේ ගිය මාසේ අන්තිම කැම්පස් සීසන් එකක් ගන්න බාප්ප හම්බවෙන්න ගියාම. ඒකටත් රුපියල් පනස් දෙකක් නැතිව හංදියේ ජිනන්දගෙන් ලෝන් එකක් ඉල්ලගන්න උනා නේදැයි කියල හිතෙනකොට අපරාදේ ඒලෙවල් පාස් උනේ කියලමයි තිලක්ට හිතෙන්නේ. ඉරඔට්ටුවක් ගහගෙන ජීවත්වෙන්න තිබ්බා කැම්පස් නොගියානං.

අම්මට ලියුමක්වත් ඇරියේ නැත්තේ ලැජ්ජාවට. ඊටත් වඩා බයට. කැම්පස් එකෙන් එලියට එනකොටත් කාන්ති එක්ක අවුරුදු දෙකක් විතරම යාලුවෙක්ගේ කාමරයක් අරන් හිටිය නිසා හීනෙකින්වත් හිතුවේ නෑ බබෙක් හම්බවෙන තැනට වැඩ සිද්ධවෙයි කියලා. ඉස්සරවෙලාම කාන්තිව අම්මට එක්කන් ගිහින් පෙන්නුවේ දෙන්නාම දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට, අම්මානම් දැක්ක හැටියේ කාන්තිට කැමති උනා. ඒත් තාම මතක් වෙන්නේ අම්ම ඇවිත් කාර් එකේ දාගෙන ගිහින් දෙන්නව බන්දපු දවස. උඹලා ඔහොම ඉඳලා ලමයි හදා ගත්තාම උන්ගේ උප්පැන්නේ අවජාතක කියල දාන්න වෙන්නේ කියල රෙජිස්තාර් ගාවට ඇදගෙන ගිහින් අස්සන් ගැස්සුවේ තිලක්ගේ අම්මා. කාන්තිගේ අම්මලා එයා තාම පොඩි ලමයෙක් කියල හිතෙන්නැති කරදර නොකරේ. කැම්පස් එකට කාන්තිව බලන්න ආවේත් අයියා විතරමයිනේ.

තිලක්ට මතක් වෙන්නේ කාන්ති බොහොම අමාරුවෙන් පොඩි පොඩි රෙදි කැලි ගෙනල්ලා පොඩි එකීට බේබි ඇදුම්, නැප්කින් එහෙම මහගත්ත හැටි. එයානම් දැන් අම්ම කෙනෙක් වගේමයි. ඒත් තිලක්ට තාත්තා කෙනෙක් වගේ හිතෙන්නේ නැත්තේ ඇයි කියල හිතෙනකොට මොකක්දෝ මහ කාලකන්නි දුකක් හිතට එනවා. තාත්තා කෙනෙක් වෙන්න ගොඩක් වයසට යන්න එපැයි කියලමයි තිලක්ට හිතෙන්නේ.

අද සෙනසුරදා නිසා හිතන්න වෙලා වැඩියෙන් තියෙන එකත් මහ කරදරයක් නේදැයි කිය කිය ඉන්නකො තමයි එක පාරටම රත්නායක මාමලගේ කලු පාට ෆොර්ඩ් ප්‍රිෆෙක්ට් එක ඇනෙක්ස් එක ඉස්සරහා ගෙදර මිදුලට හැරෙව්වේ...

අම්මා...

කාරෙකෙන් බහින අම්මාගේ මූඩ් එක කචල් බව තිලක්ට දැනුනෙන් විදුලියක් වැනි දෙයක් පිට කොන්ද හරහා ඇවිලී ගියේ කාන්ති මෙන්න අම්මා ඇවිල්ලා යයි කියද්දීමයි. කාන්ති දරුවාව දෑතින් ගෙන අම්මාට දුන්නේ මහා ලොකු ප්‍රාතිහාර්යක් කල අයුරින්. කොහොමත් අම්මාට ආදරේ බැව් තිලක් දනී.

"හප්පේ මයේ කෙල්ලට මේ අම්මයි තාත්තයි සලකනවද දෝනියී....."

අම්මා දරුවා හුරුතල් කරන්නේ ප්රශ්න අසමිනි.

"අම්මියා ඔයාට කුක්කු දෙනවද පැටියො..."

"කෝ මේ දරුවගේ තට්ටම් දෙකම රතුවෙලානේ. ඇයි ලමයො රත ගාය හැදෙනවා පොඩි අයට කියල දන්නේ නැද්ද.."

තිලක් කාන්ති ගේ මූණ බැලුවේ අනේ මමනම් ඕවා දන්නේ නෑ යැයි කියනා අන්දමිනි....

"මම තාත්ත එක්කත් කතා කරලයි අද ආවේ. ඔය දෙන්නට මේ ලමයා හදන්න දන්නේ නෑ. මම ලමයා අරන් යනවා ගමේ. කාන්ති ආයේ වැඩට යන්නත් ඕනිනේ. ඔය ඇඳුම් කෑලි ටික ලේස්ති කරලා දෙන්න දුවේ..."

"අනේ අම්මේ මම තාම දූට කිරි දෙනවා. මට නිවාඩුත් තියෙනවා තව මාසයක්..."

කාන්ති එහෙම කිව්වට අම්මාගේ තරම දැනගත් තිලක් පොඩි එකීගේ ඇඳුම් මල්ලකට දාන්නට පටන් ගත්තා.

'අනේ තිලක් කොහොමද මම මේක කරන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද. දූ නැතිව අපි කොහොමද ඉන්නේ.."

තිලක් කිසිවක් නොකියා ඇඳුම් බෑගය රැගෙන කාර් එක වෙත ගියේ කෙසෙල් කොටයක් ලෙසින්. දරුවා රැගත් වාහනය කන්ද බැස යන අයුරුත්, පසු පස වැලහින්නියක් සේ විලාප නගමින් දුවන කාන්තිත් බොඳවෙමින් පවතින දැසින් බලා සිටන තිලක්ගේ පපුව හිරවෙනවාත් උගුර වියලී යනවාත් කකුල් පන නැතිවේගෙන එන බවත් දැනුනි....

"තිලා...ඒයි...තිලා...මොකෝ මේ මෙච්චර හීතලේ ඔයාට දාඩිය දාලා..අන්න දූගේ නම කිය උනා...අර අර.. බලන්න එයා තමයි ඊලඟට ස්ක්රෝල් එක ගන්නේ...ලමයෝ..තිලා..."


ආචාර්ය උපාධිය සඳහා අවුරුදු හතක් එක්සත් රාජධානියේ ඉගෙනගත් කෙල්ලගේ අද උපාධි ප්‍රධානෝත්සවය නේදැයි තිලක් ට පසක් උනේ කාන්තිගේ මොර දීමෙනි

අම්මා කෙනෙක් හැටියට ඇය අද උදම් අනන්නී....තාත්තා කෙනෙක් හැටියට තමාට කොච්චර හංගාගත් දේවල් අරන් යන්න ඇද්දයැයි සිතමින්, අනෙක් සුද්දන් මෙන් තිලක්ද දකුනතේ දබරගිල්ලත් මහපටගිල්ලත් කටේ තද කරගෙන විසිල් එකක් ගැහුවේ යට ගියාව ඔහේ තිබෙච්චදෙන් මා ලඟම කියා තමාටම කියාගනිමින් ....


පිදුම දියනියට.....
නිමිත්ත: ප්‍රාජේ සමග කල කතාබහක ප්‍රතිපලයක්...