|
the showroom vs shrine |
උත්සවයට එන්න කියල තිබුන වෙලාවට, මිල්ල ගස් ආරේ වීරතුංග වත්තේ ගේට්ටුව ගාවට ගියාම මගේ ඇස් උඩ ඉන්දුනා..මේ මිනිස්සු පුදුම විදියට මහන්සි වෙලා..අපේ වාහන නවත්තන්න තැනක් ලේස්ති කරලා, එතනට වෙලා රැස් කකා ඉන්නවා අපි එනකන්...වාහන වලින් බැස්සාම තමයි තේරුනේ මහා පෙරහර රාජයෙකුත් ලේස්ති කරලාය කියලා...අපරාදේ මේ මහන්සි වෙන්නේ..මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ...මම බිම බලාගෙන, දාඩිය පෙරාගෙන සබරගමු නැටුම්, බෙර කාරයෝ, මල් බයිසිකල් අරවා මේවා වලින් පිරිච්ච පෙරහරක ගියා නෙව මීටර් පන්සීයක් විතර...!
පාර දෙපැත්තේ කවුරු හිටියදවත් කියල නෙවෙයි මම නම් ඔලුව උස්සලා බැලුවෙ...මිල්ල ගස් ආරට පෙරහර ලඟා උනාම මට මහා ලැජ්ජාවක් ඇතිඋනා රාහුල හාමුදුරුවෝ අලුතෙන් ඉදිකරපු ධර්මායතනයේ අසුන් ගෙන බොහෝම කාරුණික බැල්මකින් මා දිහා බලා ඉන්නවා දැක්කාම..ඒ මනුස්සයාට විතරයි තේරුනේ මම විදින මේ අපහාසේ..මොනා කරන්නද..අර සෙන්නා කිව්වා වගේ වවුලගේ මගුල් ගෙදර නොව මම ඇවිත් ඉන්නෙ ඉතිං....!
දණගහන්න නං අමාරුයි හාමුදුරුවනේ (බඩ නිසා හොඳේ...) කියලා පහත් වෙලා වැඳලා තක්කු මුක්කු වෙලා බලං ඉන්නකොට ගුනසේන පටන් ගත්තා කථාව..කොහොමෙන් කොහොම හරි රුහුණේ කුලපති උන්නාන්සේ නිසා මගේ නිල් මැනික් කථාව මතක් කලේ නෑ...ඒ උනාට ඕනි නැති ආලවට්ටං දාලා මොනාදෝ කියෝනවා මතකයි මට..එයින් පස්සේ දික්වැල්ල පොලොස් ස්ථානාධිපති තුමාත් මාව නිකන් හොඳට දන්නවා වගේ මොනාද කිව්වා...යන්තං රාහුල හාමුදුරුවො කස්ටියව අල්ලගෙන බුදු පිළිමේ මූන වහලා තිබුන සිවුරු අයින් කරලා පනසිල් දිලා ධර්මායථනය විවෘථ කලා...!
ඉන් පස්සේ තේ පැන් සංග්‍රහය...අනේ අම්මලා තාත්තලා පුංචි පැටව් එක්ක අව්වේ වේලි වේලි කොට බැම්මෙන් එබී එබී ඉන්දැද්දි අපිට රස කැවිලි තේ පැන් අරවා මේවා සංග්‍රහයක් පටන් ගත්තා..මට ඉවසීම පැන්න තැන නැගිටලා ගිහින් (ගුනසේන ගේ නොරොක් වෙච්ච මූන නොබලා ) ධර්ම ශාලාවෙන් පිටත හිටපු ඔක්කොටම ආරාධනා කලා තේ බොන්න එන්නය කියලා..ඒ මිනිස්සුම ගෙනාපු තේ රසකැවිලි....එතනින් එහා මම නෙවෙයි අර ශාලාවෙ පනවලා තිබුන පුටු වල වාඩි උනේ...( ප්ලාස්ටික් නිසා කඩන් වැටෙන නිසා නෙවෙයි...)...!
හෙට නිල්වැල්ලේ සාංඝික දානේ, අද රෑ මිල්ල ගස් ආර ධර්මායථනයේ මංගල සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව....ඒ නිසා හවස් වෙන කොට අපි නිල්වැල්ලට මාරු උනා රෑ යාමේ පිරිත් අහන්න එන්නංය දානේ වැඩ කටයුතු තියෙනවාය කියා...ඒ මදිවට ඉතිං ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් පාටියකුත් තියෙනවා නේ...!
රෑ දහය එකොලහ වෙනකොට (එච්චරම මත් වෙලා නොහිටි නිසා ) අපි ආපහු ආවා මිල්ල ගස් ආරට පිරිත් කොහොමද කියලා නරඹන්න...!
දවල් හිටිය සෙනගෙන් කාලක් විතර එහේ මෙහේ පැදුරු දාගෙන වාඩි වෙලා පිරිත් අහනවා..අපිටත් ප්ලාස්ටික් පුටු ගෙනත් වැලි මලුවේ තියලා දුන්නා පිරිත් අහන්නය කියලා...එහෙම ඉන්නකොට අපේ ගුනසේන විශ්‍රාමලත් විදුහල්පතිතුමා ෆියුනරල් ෆේස් එකක් දාගෙන ආවේ නැද්ද මා ගාවට...
"බලන්න සර් වෙච්ච වැඩේ...මට නං සංසාරේ එපා උනා සර්.."
"මොකෝ ගුනසේන...? "
"සර්...එහා පැත්තේ බ්ලොග් ගල් හදන ජපන් හාඩ්වෙයාර් එකේ ගෙදර ලේස්ති කරා පිරිත් කියන හාමුදුරු දෙනමට ගිමන් අරින්න..හරිම වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ..."
"ඇයි සාධුලා දෙන්නද ඉන්නේ..? "
"නෑ සර් දෙනම දෙනම තමයි පිරිත් කියන්නේ..ඉතින් සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් ගිමන් නිවෙන්න ඇරලා ආයෙත් වඩිනවා දෙනමක්..."
"ඉතින්...?"
"මේ පොඩි හාමුදුරුවො මේ කොල්ලන්ට කියලා අරක්කු සිගරට් ගෙනල්ල බීලානේ සර්...මම හෙව්වා කොල්ලො ටික උන් ඔක්කොම යන්න ගිහින්...අහුවෙද්දෙන්කො මට...! "
මම හිත යටින් සාධූ සාධූ යයි හිතාගත්තා..මේ මෝල් වහන්සේට මම කිව්වා සාධුලා පටෝගත්තොත් කෙලවෙනවා කියලා..කෝ ඇහුවයි ඉතින්...දැන් ඉතින් විඳවපන් පුතේ..
කිසිත් නොකියා හීන් හිනාවක් දැම්ම මම අහක බලාගත්තේ ඇත්තටම ඒ වෙනකොට මට මේ වයසක මනුස්සයා ගැන හිතුන අනුකම්පාවට....!
කොහොමෙන් කොහොම හරි එයිට වඩා කරදරයක් නැතුව ධර්මායතනය විවෘත කිරීමත් පිරිතත් ඉන් පසුදා රාහුල හාමුදුරුවොයි, හිත්තටිය පන්සලේ පියසිරි හාමුදුරුවොයි අර දොඩම්පහල හාමුදුරුවොයි එකතු වෙලා සාංගික කරපු දානෙත් මිල්ල ගස් ආර ගමේ ගම්වැසියන්ගේද සහභාගිත්වයෙන් අවසන් උනා...!
ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකල්පය ඉතා තදින් එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල...ඒ දෙවල්මට පෙනුනේ ඇත්තටම උත්සවය වෙලාවෙ නෙවෙයි..ඊට මාස මාස තුනහතරකට විතර පස්සේ දායක සභාව මාව හොයාගෙන ආවාම....!
දායක සභාව, ගුනසේන මහත්තයාවත් පෙල ගස්සවගෙන ආවා ආයෙත් පාරක් මාව හම්බවෙන්න ගොවිපොලට..ඒ විවෘතෙන් මාස තුනහතරකට පස්සේ...!
"සර් ඇයි ධර්මායතනය පැත්තේ එන්නේවත් නැත්තේ..විවෘතෙන් පස්සේ ආවෙම නෑනේ..අපි දැන් හැමදාම බුද්ධ පූජාවක් තියනවා, හැම ඉරිදාම පින්කමක් තියෙනවා, පාලොස්වකට සීල ව්‍යාපාරයක් තියනවා..සර් ඇවිත් බලන්නකෝ. ගමේ මිනිස්සු හරිම සතුටෙන් ඉන්නේ..."
"එච්චරයි ගුනසේන මම ඕකෙන් බලාපොරොත්තු උනේ...මට සරත් මහත්තයා කිව්වා ලේක් ෆ්‍රන්ට් එකට යනකොට සද්දෙට පිරිත් ඇහුනා කියලා.."
"ආ ඔව් සර්....අපිට ඇම්ප්ලිෆයර් එකකුයි ලවුස්පීකර සෙට් එකකුයි පූජා කලා අර කොමියුනිකේෂන් එකේ ලමයා..."
"හපොයි ගුනසේන ඒක වැඩි වැඩක් නේද..දැන් අර නිස්කලංක කම ගිහින් ඇතිනේ..හා ඒකෙන් කමක් නෑ..අද මොකො මේ කට්ට්යම මේ පැත්තේ...? "
"අපිමේ ආවේ සර් ගෙන් පොඩි අවසරයක් ඉල්ලගන්න..."
"ඒ මොකටද..? ගස් ටිකක්වත් ඕනිද..? "
"නෑ සර්...සර් දන්නවනේ අර නාවල කුෂන් ව්‍යාපාරය කරන මහත්තයා..ඒ මහත්තයා බඹරැන්දේ මුල්ගම් කාරයෝ..පොඩි කාලේම මෙහෙන් පිටවෙලා කොළඹ ගිහින් ඔය දියුණු වෙලා ඉන්නේ..හරි ගුනවත් මහත්තයා...ඒ මහත්තයා අර අසපුව සංකල්පයත් එක්ක එකතු වෙලා රට පුරාම පන්සල් හදනවා..ඒත් ඒ මහත්තයාට කවදාවත් වෙහෙරක් හදාගන්න බැරි උනාලු..ඉතිං ඒ මහත්තයාට ආසයිලු මහත්තයාගේ පන්සලේ වෙහෙරක් හදන්න..මහත්තයා අවසර දෙනවානං අපට වෙහෙර හදලා දෙන්නං කිව්වා මාස තුනෙන්..!රුවන්වැලිසෑ අනුරුවක්ලු හදන්න ආසා..."
"ගුනසේන...මිල්ලගස් ආර මගේ පන්සලක් නෙවෙයි..ඒක ඔයගොල්ලන්ගේ පන්සල..මම ඒක හදන්න උදව් කලා විතරයි...අනික ආසාව කියන එක දුරුලන්න නේද අවශ්‍ය...කොහොම උනත් ගමේ මිනිස්සුන්ට ඕනි නම් වෙහෙරක් හදන්න ඒකට මගෙන් අවසර ඕනි නෑ....!"
|
වැලි මලුව අද ගල්කුඩු දමා ලස්සන කර ඇති ආකාරය... |
|
අට විසි බුදු පිලිම රැගත් බෝධිගරය සහ රුවන්වැලිසෑ අනුරුව... |
එයින් සුමාන දෙකතුනකට පසු අර නිසංසල ධර්මායතනය යට කරගෙන අඩි 30ක් උස රුවන්වැලි සෑයේ අනුරුවක් ගොඩනැගීම සත්ගුනවත් නාවල් කුෂන් අධිපතිතුමා විසින් ආරම්බ්භ කොට මාස තුනකින් කොත් පළඳවා විශාල නාම පුවරුවක්ද කාටත් පෙනෙන සේ සවි කොට උත්සවයක් පැවත්තුවා...මා සහභාගි වු තවත් අනාථනාථ උත්සවයක් උනා එය..අඩුම ගනනේ ඔහු එයට පැමිනියෙවත් නෑ..නමුත් වෙහෙරෙහි තැන්පත් කිරීමට විශාල මුදල් සම්භාරයක් වියදම් කර ධාතුන්වහන්සේලාද අටවිසි බුදු පිලිම තබා බෝධිගරයක් සෑදීමටය කියා මුදල් ද එවා තිබුනා...!
|
පැරණි ගෘහනිර්මාන ආරට සෑදූ බුදුගෙයට මුහුණදා සෑදූ බුද්ධා ශෝරූම් එකේ සුදු යකඩ වැට මරු නේ..! |
ඉන් මාස දෙකකට පසු, මුලින් සෑදූ අතීත ගෘහනිර්මානයට නෑකම් කියන බුදුගෙය ඉදිරියෙන් සුදු යකඩ වැටවල් වලින් වටවු බුදු සාදු ශෝ රූම් එකකුත්, ඝංඨා කුලුනකුත්, දොලොමහේ පහන් දෙකකුත්, රාජසිංහ රජ්ජුරුවන්ගේ සිංහාසනය වැනි හෙන ලොකු බණ පුටුවකුත් කාමර පහක ආවාසගෙයකුත් හැදීමට වෙහෙර පිටුපසින් පැමිනි අවුරුදු 39ක් වයසැති කහ සිවුරක් ඇඳ සිටිනා මනුස්සයා සමත් උනා....මේ හැම දේම කරන්න ඔහු පාවිච්චිකරන්නේ මේ ගැමියන්ගේ තියෙන අහිංසක කම...පිටින් ගොස් මා ඇර් දුන් ඒ ගැමියන්ගේ ඇස්වලට ඔහු උත්තර හොයාදෙන්නේ අපි අද දවසේ දකින පොප් බුඩිසම් සංකල්පයෙන්....!
අද එම නිස්කලංක භූමිය මටනම් පෙනෙන්නේ පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් වෙළදාම සිදුවෙන ගොඩනැගිලි වල ඇති කලබලාකාරි ස්වභාවයයි..
කහ සිවුරු දරා සිටින්නාට අවුරුදු 39ක් කියා මා දන්නේ කොහොමද....?
|
අහිංසක පොඩි සාදු...! |
එයත් මා තවත් සිත් අමාරුවකට පත්කල සිදුවීමකි...!
සුපුරුදු පරිදි දින දෙක තුනක කොළඹ මහන්සිය දැනෙන විට මා ගොවිපොල වෙත රැගෙන යයි..ඒ යන අතර තුර මා හාට මිල්ල ගස් ආර හරහා යාමට නැතත්, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කල යුතුයි. මීට මාස හතර පහකට කලියෙන්, මා එසේ ගමන් කරන විට, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කොට සණස බැංකුවේ වංගුව ගත් (මෙය ඉතා පටු පාරකි ) රංජිත්, බරාස් ගා වාහනය නැවත්තුවේ මා මොනාදෝ කොට කොටා සිටින විටකයි....!
අප ඉදිරියෙන් පාර බ්ලොක් වී ඇත්තේ පාර දිගේ පෙල ගැසෙනා පෙරහරක් නිසාවෙනි...මල් බයිසිකල් (මේවාට මම නම් හරිම ආසයි...) , තරුණ තරුණියන්ගේ සැදුම්ලත් නැටුම් කන්ඩායම්, බෙර කරුවන් ඒ මදිවාට අටපිරිකර අතින් ගත් උපාසක උන්දැලා සමූහයක් ආදී වශයෙන් මම පෙරහර කියවිමින් සිටින විට රංජිත් කිව්වේ පන්සලේ කඨිනේ වෙන්න ඇති කියාය..ඒවිටයි මා දුටුවේ පෙරහෙරෑ මුලින්ම දිග ඇරෙන ඩිජිටලි ප්‍රින්ටඩ් බැනරය.....!
....අති පූජ්‍ය, අරක මේක..පන්ඩිත..අරහේ මෙහේ අර බෝදි මේ බෝදි මහා පන්ඩිත මොකාද කියන එකාගේ තිස් නම වැනි උපන් දිනයට ආසිරි පතා මිල්ල ගස් ආර ධර්මායථනයේ පැවැත්වෙන මහා පින්කම...
වැනි පාටයක්...
කඨිනේ නෙවෙයි රංජිත්...මිල්ලගස් ආර පන්සලේ හාමුදුරුවන්ගේ බර්ත්ඩේ පාටිය....!
අපි යං...!
|
විශ්‍රාමලත් විදුහල්පති පරලෝසැපත් පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාට නිවන් සුව ....! |
එච්චරයි.......!