ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ
රතු ජම්බු ගහ මුල
බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන
බලාසිටි ඒ පුංචි අවදියේ
ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත්
දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා
අදවගෙ මට මතකයි නගේ
රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත්
ඒ පුංචි අවදියේ
නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින්
මා නෙතු අද්දර කල එබිකම්
අද වගේ මතකයි නගේ
කප්පරක් වංගු පසුකර
ගෙවුන ජීවන මගේ
මහමෙරක් බර ඇද්ද ඔය දෑත
මා දෑත් වෙලාගත් අද සැන්දෑවේ
බුමුතුරුණු ගොරෝසුවට දැනුනත්
ඔය දෑස තාමත්
ආයාචනා කරයි මාහට
දෑත දිගුකර වඩා ගන්නැයි කියා..!
හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....!