Tuesday 31 January 2017

පිස්සෙක් කුස්සියේ


art credit to a-twisted-mind


හෙට දෙකට පලලා
හුළං විස්කෝතු දෙකක් වෙන්න තියෙන
පොඩි බනිසක් අද කෑවාම 

වගේද

වරකා වෙලා ගස් යට වැටෙන්න කලියෙන්
අතින්ම කඩාගෙන හදාගත්ත
පොළොස් ඇඹුල....?

පොඩි ඈයෝ
සෙල්ලම් කඩ දාලා මස් වලට ගන්න කළියෙන්
ඉස්සො ටිකක් දාලා තෙල් දාලා ගත්තම
මොනා වෙනවද කෙහෙල් මුවකට...?

අච්චාරු දානවද මාලුවට උයනවද
රට අඹ තියෙද්දි
කර්තකොළම්බන්...!

ගොටුකොළ දිහා බලාගෙන
මොකට හදනවද සම්බලක්
මිටියකින් මුකුනුවැන්න...!

ෆුඩ්සිටියේ තියෙද්දි ලාබෙට දෙහි
ඇයි වදේ හදන්න කියන්නේ ලුනු දෙහි...!

රෝස පාටට හීනියට දිගට
ඉව්වම සුවඳ හමන අපේ කුඹුරේ වී කොටාපු හාල්
ඇයි වදේ පරදින්නේ 139ක් දීලා ගේන කීරිසම්බාවලට....!

Monday 23 January 2017

වෙන්වීම..!

එක කෙනියක පීදුන කරාබුනැටි තුනක්.......!


පිරූ පෙරුම්
අයියනායක දෙවි පාමුල..!

පිදූ සල්මල්
වැව් තාවුල..!

කෙකටිය මල් තලාන
අප තිදෙන රැඟූ ආලිංගන
දියකාවුන් රැගෙන ගිය
 සොරාගෙන 

ඒ සොඳූරු මතකය

මතුබවයේ
එක අත්තක හෝ පීදී
එකට මියෙන්න
පැතූ පැතුමන


එක අත්තක රටාවකට
එක මොහොතක ඉපදුන

අප තිදෙන රැවටූ

අප දෙදෙන තනිකලා වූ

ඔබ
 පමනක් තනිව පිපී
අපට කලින්
සුළඟේ ගිලිහී පාවී යන්නට
ඔබැ රේනු
 තැලූ

බඹරානෙනි
 ඇයි රුදුරු
 මෙතරම්...!








Saturday 21 January 2017

චන්ද්‍රිකා


I tell myself I don't need anyone but the truth is, they don't need me.

හතේ පන්තියේ ඉන්නකොට
හැන්දෑවට රබර් ගස් වලින් මුවා නොවුන
තරු පිරිච්ච අහස දිහා
ගේට්ටු කනු දෙක ගාව බෙල්ල උලුක් වෙනකන්
උඩ බලාගෙන චන්ද්‍රිකාවක් අහසේ යනකොට
කොච්චර කෑ ගහලා කිව්වත්
ගෙදර හිටි කිසිකෙනෙක් නාව වෙලාවෙවත්
නොතේරිච්ච ඇත්ත....!

හිතේ ඇඳිච්ච ඔක්කොම වගේ හීන හැබවින්ම සැබෑවෙච්ච
අද දවසෙදිවත්
තනියම අර අහසේ පාවෙන ඒ තිතක්වන් එළිය
පෙන්නන්න ඇයි කවුරුවක්වත් නැත්තේ...!

කෑ ගහලා කිව්වත් ඇහෙනතෙක් මානෙක කිසිවෙක් නැති
මේ අඳුරු රාත්‍රියේ
තනිවම ඔබ පසුපස යමි
ලොව වටා රවුමක් ගොස් නැවතත්
මා සොයා එනතුරු...!

තනිතරුවක් නොවී ඔබ
චන්ද්‍රිකාවක්ම
වීමයි තනි ඇත්ත...!

Thursday 19 January 2017

අවසර මා හට...!


abandon- two lesbian friends - a painting by French Painter Henri De Toulouse-Lautrec



ඔබ මා වෙන් කල
සයුර මැව්වේ අපමද
මොහොතින් මොහොත මාහට
ආදරයේ විස පෙව්වේ ඔබමද !

දුරබනුව විතරමද
අප ලංකලේ නෑ නොවේද...?
මා ඔබ දකින්නේ
යතාර්ථයේම
නොවන්නේ නම්
කෙසේ අප එක්වෙම්ද 
මේ භවයේ සොඳුරිය...!

ඉසුරු යැයි හිතා
අප ලංවූ මොහොතක්
සදාකාලිකයැයි සේ ඇයි මා සිතුවේ 
දැනෙනා තුරු මා සිතට
අප දෙදෙන එකෙකුම වීම හීනයක්ම වෙන තුරු !

සැමදා පතනෙමි
මේ සෙනෙහසේ අවසානය
ඔබ මා දෙදෙනෙකු නොව
ඔබද මා වී මාද ඔබම වී
දිගෑලෙන කවියක පදවැල් සේ
රිද්මයෙන් ඇසේවි යැයි
පතනෙමි සොඳුරිය,,,!

අවසර මා හට
රිසිසේ විඳිනට
දෝරේ ගලනා
ඔබ සෙනෙහස් නදියේ 
උඩුගම් බලා පිහිනා
ගිලී මියෙන්නට...!

අවසර මා හට...!



Inspired by Lyrics of Oceans Apart - Richard Marx
We all have a sexual orientation and a gender identity, and this shared fact means that discrimination against members of the Lesbian, Gay, Bisexual and Transgender (LGBT) community, based on sexual orientation and/ or gender identity, is an issue that transcends that community and affects all of us.

Tuesday 17 January 2017

රස්තියාදු පෙම්බරා


/\
|
|
:)
~
~
කරදර
ජරබර
ගැරහුම්
ගුටිබැට
::::::::::
අස්සේ
|
|
|
<~~~~~~පෙම්බරා හට~~~~~~~~~~>
|
|
|
නැවතත්
මුලසිට
ඇරයුම්
රඟනට
:::::::::::
රිසිසේ
~
~
:)
|
|
|
\/
..............when someone is at crossroads...........

Wednesday 11 January 2017

හීගඩු


හීන් ඇලේ
හීතල දියෙන්
හේදූ
ඔද්දල් හිත
එල්ලුවෙමි
දෙවැටේ....

හීන් ඇලෙන්
දියනාගෙන
හිරිගඩු පිපෙනා හැන්දෑවේ
විල්ලුව අද්දර පැලට පැද්දෙනා
හීන් නගාගේ දියරෙද්දේවත්
පැටලෙන්නැයි පතාගෙන...



Thursday 5 January 2017

කෙහෙරැළි





කිතුල් රෑන වගේ වෙන්න ඉස්සරවෙලා.....!

පීදිච්ච හැටියෙම වගේ දැක්කනම් අම්මපා...!

හකුරු උනු කරන්න තෙලිජ්ජ කෙසේ වෙතත්..
පැහෙන්න ඉඩ ඇරලා
පෙරනවා ඇත්තටම රා... !

ඒත් අනුන්ගේ කිතුලක
හැරපට බඳින්න ඇහැක මුන් එක්ක...!

කුරෝලු කලටිපොල්



අපිට පොල් මුරේ වැටෙන්නේ මාස දෙකකට සැරයක් තමයි...ඒ කියන්නේ අර අවුරුදු හයකට සැරයක් චන්ද තියනව වගේ තමයි...!

ඉස්සෙල්ලාම පොඩි වපසරියක් නිසා ලේක් ෆ්‍රන්ට් එකේ තමයි පොල් කඩන්නේ...හරියට පලාත සභා මැතිවරණය වගේ...!

ඊට පස්සේ බඹරවැල්කුට්ටියේ පොල් කඩනවා...හරියට ප්‍රාදේශීය සභා ඡන්දේ වගේ...!

ඊළඟට බදුවත්තේ පොල් කඩනවා..ඒක මහ මැතිවරණේ වගේ...!

ඔය තුන්වැදෑරුම් කර්තවය ඉවර කරන්නේ අර කඩාපු පොල් ඔක්කොම බදුවත්තට ගෙනල්ලා වෙන වෙනම ගොඩවල්  ගහලා කැම්පේන් කරනවා දන්න කියන පොල් මුදලාලිලව හොයලා හොඳ ෆාර්ම් ගේට් ප්‍රයිස් එකක් ගහ ගන්න..ඒක නිකන් ජනාධිපතිවරණේ වගේ...!

ඊට පස්සේ ඒ මුදලාලිට අර පොල් ගොඩවල් ඔක්කෝම ටික විකුනනවා...!

ඊලඟ පොල් මුරේ එනකන් එයා තමයි අපේ පොල් මුදලාලි..ඒ උනාට ඊලඟ පොල්මුරෙ කිට්ටු වෙනකන් මිනිහ නෙවෙයි අපිව බලන්න පැත්ත පලාතෙවත් එන්නේ...!

ඔය කිව්ව පොල් ගොඩවල් තුනට අමතරව සරා මාස දෙක ඇතුලත දනේෂ්වයි හර්බට්වයි එකතු කරගෙන අහුලනව වේලිච්ච වැටිච්ච පොල්..ඒ ගොඩ වෙනම එකතු කරනවා..මොකෝ ඔය ගොඩේ තියෙන්නේ ඊට ඉස්සර මුරේ කැඩෙන්නෙ නැතුව ගස් වල ඉතිරි වෙච්ච ගෙඩි නිසා...ඒවා හරියට අර ජාතික ලැයිස්තුවෙන් දියවන්නා හොර ගුහාවට පාත්වෙන සෙට් එක වගේ...!

ඔය අහුලන පොල් වලයි කඩන පොල් වලයි ලස්සනට තියෙනවා හැම ගෙඩියම..එකකින් එකක් වෙන කරලා අඳුරගන්න බෑ අපිට..මොකෝ පොල් කඩාගෙන යනකොට ට්‍රැක්ටර් එකට පටවන්නේ හදිසියෙන් නිසා පුහු පොල්ද,කලටිද පැහිච්චද කියලා තෝරන්න වෙලාවක් නෑ..!

හැබැයි අර ජනාධිපතිවරණේ වෙලාවට, ඒ කියන්නේ කැම්පේන් එකෙන් සිලෙක්ට් කරන පොල් මුදලාලිනම් හොඳට හොල්ලලා බලලා, සයිස් එක බලලා තමයි ලොරියට පටෝ ගන්නේ පොල් ගොඩ...ඉතින් එහෙම කරලා ඉතිරි වෙන පොල් ටිකත් අන්තිමට එයාම දාගෙන යනවා...අපි එදා රෑට කන්නත් තව ගෙඩියක් ගහකින් වැටෙනකන් ඉන්න ඕනි..!


ඔය මාස දෙකෙන් දෙකට පොල් කඩන අතර තුරේ අපි ඉතින් අතින් සල්ලි වියදම් කරගෙන, පෝර දාන්න ඕනි, ඩොලමයිට් දාන්න ඕනි, කැලේ සුද්ධ කරන්න ඕනි..ඒ මදිවට අර ඉර කැපුවම පොලිසියෙන් දඩ ගහනව වගේ, පොල් සංවර්ධන මණ්ඩලේ මහත්තයා ඇවිත් ලෙඩ හැදිලයි කියලා පෙන්නන ගස් කපලා පුච්චලා දාන්න ඕනි..නැත්තං දඩයකුත් ගහලා, ගහත් කපලා, කැපුවට සල්ලිත් ගන්නවා...හැබැයි පොලොස් මහත්තයාලා වගේ නෙවී ලෙඩ ගහක් කැපුවාම එක ගහකට රුපියල් 2,500/- ක් ගෙවනවා..ඒ කියන්නේ අපි මාර්ග නීති කඩකලාම පොලීසිය අපිට ගෙවනවා වගේ..!


රවි කරුනානායක මේක කියවන්නේ නැති නිසා බය නැතිව ඒක ලිව්වේ, එහෙම නැත්තං මෑන්ස් ඊලඟ බජට් එකෙන් හරි, ඊට කලින් හරි ප්‍රොපෝසල් එකක් ගෙනෙයි පොල් ගස් වලට ලෙඩ හැදුනාම පොල් ගහේ අයිති කාරයා ගහේ උස දෙකෙන් වැඩි කරලා අඩි ගානට බද්දක් ගෙවන්න ඕනය කියලා..එයාව අඳුරනවා නම්, කථාබහ කරනවානං, කරුණාකරලා මේ බව කියන්නෙපා හොඳේ...!


ඉතිං අපි බොහොම මහන්සියෙන් අපේ වියදමින් මේ පොල් වගාව කරලා හැම මුරෙන්ම පස්සේ විස්සෝප වෙලා, උඩ බලාගෙන ඉන්නවා මේ පාරත් අපි අහු උනානෙව කියලා පොල් මුදලාලිලාට...එතකොට හිතාගන්නවා ඊලඟ මුරේ නම් චතුරංගට දෙන්නේ නෑ...සල්ලි පරක්කු වෙලා හම්බුනත් ගොඩ්ෆ්‍රිට කතා කරලා ඌට දෙනවයි කියලා...ඒත් පොල් මුරේ ලංවෙනකොට චතුරංග එනවා බ්‍රවුන්පේපර් කවරෙක පන්දාහේ කොල මිටියක් දාගෙන...ඕනි නෑ චතුරංග සල්ලි දැම්ම, අපි පොල් ටික කඩලම කථා කරන්නං කියලා කියනවය කියලා හිතුවට අර බ්‍රවුන්පේපර් බෑග් එක දික්කර හැටියේ ගොඩ්ෆ්‍රිව අමතක වෙනවා..ගිය සැරේ ඇනගත්තා නේද කියන එකත් අමතක වෙනවා..!


එක වෙලාවකට හිතෙනව මේ පොල් වවන එකයි, ඒවා අපිව රවට්ටලා අඩු මුදලට ගන්න එකයි, ඒවා වෙන ආකාරයයි, අපි ඒ වෙලාවට හිතන ආකාරයයි, අපේ රටේ දේශපාලන සෙල්ලමට හෙන සමානයි නේද කියලා...!



මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න එක්කෝ අපි වෙන වගාවක් කරන්න ඕනි...ඒ කියන්නේ අන්නාසි හරි ඉඟුරු හරි වවනවා වගේ...ඒ උනාට ඕවා විකුනන්න අමාරුයි, ඕවට ලෙඩ බෝවෙනවා වගේ කථා කියනව සමහරු. ඒ කිව්වෙ අර ජේවීපී කට්ටිය වගේ...මොනාවත් වවන්නේ කරන්නේ නෑ වවන්න හදන එකාට කරන්න දෙන්නෙත් නෑ..!

හැබැයි ආරංචිය පොල් මුදලාලිලා එහෙම කියන අයත් එක්ක සෙට් වෙලාලු අපිව අඹරන්නේ..අනේ මන්දා හරි හිතවත් විදියට කට උල් කරලා කියනවිදියට එහෙම නෙවෙයිද කියලත් හිතෙනවා වෙලාවකට...!


ආරංචියනම් උන්ලු හොරෙන් පොල් ටික කඩාගන්නෙත්...අරියාදුවට යන්න බයයි මොකෝ කාලයක් ඒ අය ගමේ ගෙවල් ගිනි තියලා, පොල් මුදලාලිලාට පොල් විකුනන අයගේ බෙලි කපලා වැටවල් වල එල්ලලා එහෙම ගම්මුන්ව බය කරපු අය නිසා...!

මමනම් කලටිපොල් කථාවලට කැමැත්තක් ඇත්තෙම නෑ...ඒ උනාට කලටි පොල් හොඳයි සම්බෝල හදලා උදේට පාන්පිටි ඉඳිආප්ප එක්ක කන්න..ඉඳලා හිටලා එහෙම පාන්පිටි ඉඳිආප්ප කනවා මේවගේ...!

මට එක වෙලාවකට හිතෙනවා ඔය කලටිපොල් ගැන බ්ලොග් ලියන, පැරා, මාතලන්, සා රස, ඉයන් වගේ අයට දැන් කාලේ හරි පොල් මුදලාලීලාගේ පැත්ත ගන්නේ නැතුව, මේ අපි වගේ පොල් වවන, පොල් කඩන, පොල් අහුලන, පොල් කඩෙන් ගන්න අයගේ පැත්ත අරන් අපිව දැනුවත් කරනවනං හොඳයි නේදය කියලා...! 

නැත්තං වෙන්නේ පොල් මුරේ ලං වෙනකොට අර කට උල් කරගෙන අරවා මේවා අතේ ඇඟිලි වල තියාගෙන වගේ පෙන්නගෙන අපිව රවට්ටන සෙට් එක කොහොමෙන් කොහොම හරි පොල් මුදලාලිලාව පෝසත් කරන එක අපේ පිහිටෙන්...!


ඒකට හේතුව, මේ දවස්වල කොළඹ කෙසේ වෙතත් ගම් පලාත්වල නම් පාරවල් කොන්ක්‍රීට් දානවා, තාර දානවා, ඉන්ටර්ලොක් අල්ලනවා හෝගාලා...2015 ජනවාරියෙ එලවලදාපු පොල් මුදලාලි කලෙත් ඒ වැඩේමයි පොල් මුර ලංවෙනකොට..ඉතින් ඔය හතරදෙනාට බැරිද අපි ගැන අනුකම්පා උපදවලා ඇත්ත ඇති සැටියෙන් එහෙට මෙහෙට වැනී වැනී සෙරෙප්පු සපත්තු ගැන ලියලියා අපව රවට්ටන්නේ නැතුව, අනාගතේ ගැන හිතලා ලියන්න...!



ආයෙත් අපිට වරදින්න යන්නේ කියලයි හිතෙන්නේ, ඒකයි මෙහෙම ලිව්වේ හොඳේ...තරහා ගන්න කාරි නෑ ඕං...!

Wednesday 4 January 2017

ගමේ කම - මිල්ලගස් ආර -04

the showroom vs shrine

උත්සවයට එන්න කියල තිබුන වෙලාවට, මිල්ල ගස් ආරේ වීරතුංග වත්තේ ගේට්ටුව ගාවට ගියාම මගේ ඇස් උඩ ඉන්දුනා..මේ මිනිස්සු පුදුම විදියට මහන්සි වෙලා..අපේ වාහන නවත්තන්න තැනක් ලේස්ති කරලා, එතනට වෙලා රැස් කකා ඉන්නවා අපි එනකන්...වාහන වලින් බැස්සාම තමයි තේරුනේ මහා පෙරහර රාජයෙකුත් ලේස්ති කරලාය කියලා...අපරාදේ මේ මහන්සි වෙන්නේ..මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ...මම බිම බලාගෙන, දාඩිය පෙරාගෙන සබරගමු නැටුම්, බෙර කාරයෝ, මල් බයිසිකල් අරවා මේවා වලින් පිරිච්ච පෙරහරක ගියා නෙව මීටර් පන්සීයක් විතර...!

පාර දෙපැත්තේ කවුරු හිටියදවත් කියල නෙවෙයි මම නම් ඔලුව උස්සලා බැලුවෙ...මිල්ල ගස් ආරට පෙරහර ලඟා උනාම මට මහා ලැජ්ජාවක් ඇතිඋනා රාහුල හාමුදුරුවෝ අලුතෙන් ඉදිකරපු ධර්මායතනයේ අසුන් ගෙන බොහෝම කාරුණික බැල්මකින් මා දිහා බලා ඉන්නවා දැක්කාම..ඒ මනුස්සයාට විතරයි තේරුනේ මම විදින මේ අපහාසේ..මොනා කරන්නද..අර සෙන්නා කිව්වා වගේ වවුලගේ මගුල් ගෙදර නොව මම ඇවිත් ඉන්නෙ ඉතිං....!

දණගහන්න නං අමාරුයි හාමුදුරුවනේ (බඩ නිසා හොඳේ...) කියලා පහත් වෙලා වැඳලා තක්කු මුක්කු වෙලා බලං ඉන්නකොට ගුනසේන පටන් ගත්තා කථාව..කොහොමෙන් කොහොම හරි රුහුණේ කුලපති උන්නාන්සේ නිසා මගේ නිල් මැනික් කථාව මතක් කලේ නෑ...ඒ උනාට ඕනි නැති ආලවට්ටං දාලා මොනාදෝ කියෝනවා මතකයි මට..එයින් පස්සේ දික්වැල්ල පොලොස් ස්ථානාධිපති තුමාත් මාව නිකන් හොඳට දන්නවා වගේ මොනාද කිව්වා...යන්තං රාහුල හාමුදුරුවො කස්ටියව අල්ලගෙන බුදු පිළිමේ මූන වහලා තිබුන සිවුරු අයින් කරලා පනසිල් දිලා ධර්මායථනය විවෘථ කලා...!

ඉන් පස්සේ තේ පැන් සංග්‍රහය...අනේ අම්මලා තාත්තලා පුංචි පැටව් එක්ක අව්වේ වේලි වේලි කොට බැම්මෙන් එබී එබී ඉන්දැද්දි අපිට රස කැවිලි තේ පැන් අරවා මේවා සංග්‍රහයක් පටන් ගත්තා..මට ඉවසීම පැන්න තැන නැගිටලා ගිහින් (ගුනසේන ගේ නොරොක් වෙච්ච මූන නොබලා ) ධර්ම ශාලාවෙන් පිටත හිටපු ඔක්කොටම ආරාධනා කලා තේ බොන්න එන්නය කියලා..ඒ මිනිස්සුම ගෙනාපු තේ රසකැවිලි....එතනින් එහා මම නෙවෙයි අර ශාලාවෙ පනවලා තිබුන පුටු වල වාඩි උනේ...( ප්ලාස්ටික් නිසා කඩන් වැටෙන නිසා නෙවෙයි...)...!

හෙට නිල්වැල්ලේ සාංඝික දානේ, අද රෑ මිල්ල ගස් ආර ධර්මායථනයේ මංගල සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව....ඒ නිසා හවස් වෙන කොට අපි නිල්වැල්ලට මාරු උනා රෑ යාමේ පිරිත් අහන්න එන්නංය දානේ වැඩ කටයුතු තියෙනවාය කියා...ඒ මදිවට ඉතිං ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් පාටියකුත් තියෙනවා නේ...!

රෑ දහය එකොලහ වෙනකොට (එච්චරම මත් වෙලා නොහිටි නිසා ) අපි ආපහු ආවා මිල්ල ගස් ආරට පිරිත් කොහොමද කියලා නරඹන්න...!

දවල් හිටිය සෙනගෙන් කාලක් විතර එහේ මෙහේ පැදුරු දාගෙන වාඩි වෙලා පිරිත් අහනවා..අපිටත් ප්ලාස්ටික් පුටු ගෙනත් වැලි මලුවේ තියලා දුන්නා පිරිත් අහන්නය කියලා...එහෙම ඉන්නකොට අපේ ගුනසේන විශ්‍රාමලත් විදුහල්පතිතුමා ෆියුනරල් ෆේස් එකක් දාගෙන ආවේ නැද්ද මා ගාවට...

"බලන්න සර් වෙච්ච වැඩේ...මට නං සංසාරේ එපා උනා සර්.."

"මොකෝ ගුනසේන...? "

"සර්...එහා පැත්තේ බ්ලොග් ගල් හදන ජපන් හාඩ්වෙයාර් එකේ ගෙදර ලේස්ති කරා පිරිත් කියන හාමුදුරු දෙනමට ගිමන් අරින්න..හරිම වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ..."

"ඇයි සාධුලා දෙන්නද ඉන්නේ..? "

"නෑ සර් දෙනම දෙනම තමයි පිරිත් කියන්නේ..ඉතින් සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් ගිමන් නිවෙන්න ඇරලා ආයෙත් වඩිනවා දෙනමක්..."

"ඉතින්...?"

"මේ පොඩි හාමුදුරුවො මේ කොල්ලන්ට කියලා අරක්කු සිගරට් ගෙනල්ල බීලානේ සර්...මම හෙව්වා කොල්ලො ටික උන් ඔක්කොම යන්න ගිහින්...අහුවෙද්දෙන්කො මට...! "

මම හිත යටින් සාධූ සාධූ යයි හිතාගත්තා..මේ මෝල් වහන්සේට මම කිව්වා සාධුලා පටෝගත්තොත් කෙලවෙනවා කියලා..කෝ ඇහුවයි ඉතින්...දැන් ඉතින් විඳවපන් පුතේ..

කිසිත් නොකියා හීන් හිනාවක් දැම්ම මම අහක බලාගත්තේ ඇත්තටම ඒ වෙනකොට මට මේ වයසක මනුස්සයා ගැන හිතුන අනුකම්පාවට....!

කොහොමෙන් කොහොම හරි එයිට වඩා කරදරයක් නැතුව ධර්මායතනය විවෘත කිරීමත් පිරිතත් ඉන් පසුදා රාහුල හාමුදුරුවොයි, හිත්තටිය පන්සලේ පියසිරි හාමුදුරුවොයි අර දොඩම්පහල හාමුදුරුවොයි එකතු වෙලා සාංගික කරපු දානෙත් මිල්ල ගස් ආර ගමේ ගම්වැසියන්ගේද සහභාගිත්වයෙන් අවසන් උනා...!

ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකල්පය ඉතා තදින්  එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල...ඒ දෙවල්මට පෙනුනේ ඇත්තටම උත්සවය වෙලාවෙ නෙවෙයි..ඊට මාස මාස තුනහතරකට විතර පස්සේ දායක සභාව මාව හොයාගෙන ආවාම....!

දායක සභාව, ගුනසේන මහත්තයාවත් පෙල ගස්සවගෙන ආවා ආයෙත් පාරක් මාව හම්බවෙන්න ගොවිපොලට..ඒ විවෘතෙන් මාස තුනහතරකට පස්සේ...!

"සර් ඇයි ධර්මායතනය පැත්තේ එන්නේවත් නැත්තේ..විවෘතෙන් පස්සේ ආවෙම නෑනේ..අපි දැන් හැමදාම බුද්ධ පූජාවක් තියනවා, හැම ඉරිදාම පින්කමක් තියෙනවා, පාලොස්වකට සීල ව්‍යාපාරයක් තියනවා..සර් ඇවිත් බලන්නකෝ. ගමේ මිනිස්සු හරිම සතුටෙන් ඉන්නේ..."

"එච්චරයි ගුනසේන මම ඕකෙන් බලාපොරොත්තු උනේ...මට සරත් මහත්තයා කිව්වා ලේක් ෆ්‍රන්ට් එකට යනකොට සද්දෙට පිරිත් ඇහුනා කියලා.."

"ආ ඔව් සර්....අපිට ඇම්ප්ලිෆයර් එකකුයි ලවුස්පීකර සෙට් එකකුයි පූජා කලා අර කොමියුනිකේෂන් එකේ ලමයා..."

"හපොයි ගුනසේන ඒක වැඩි වැඩක් නේද..දැන් අර නිස්කලංක කම ගිහින් ඇතිනේ..හා ඒකෙන් කමක් නෑ..අද මොකො මේ කට්ට්යම මේ පැත්තේ...? "

"අපිමේ ආවේ සර් ගෙන් පොඩි අවසරයක් ඉල්ලගන්න..."

"ඒ මොකටද..? ගස් ටිකක්වත් ඕනිද..? "

"නෑ සර්...සර් දන්නවනේ අර නාවල කුෂන් ව්‍යාපාරය කරන මහත්තයා..ඒ මහත්තයා බඹරැන්දේ මුල්ගම් කාරයෝ..පොඩි කාලේම මෙහෙන් පිටවෙලා කොළඹ ගිහින් ඔය දියුණු වෙලා ඉන්නේ..හරි ගුනවත් මහත්තයා...ඒ මහත්තයා අර අසපුව සංකල්පයත් එක්ක එකතු වෙලා රට පුරාම පන්සල් හදනවා..ඒත් ඒ මහත්තයාට කවදාවත් වෙහෙරක් හදාගන්න බැරි උනාලු..ඉතිං ඒ මහත්තයාට ආසයිලු මහත්තයාගේ පන්සලේ වෙහෙරක් හදන්න..මහත්තයා අවසර දෙනවානං අපට වෙහෙර හදලා දෙන්නං කිව්වා මාස තුනෙන්..!රුවන්වැලිසෑ අනුරුවක්ලු හදන්න ආසා..."

"ගුනසේන...මිල්ලගස් ආර මගේ පන්සලක් නෙවෙයි..ඒක ඔයගොල්ලන්ගේ පන්සල..මම ඒක හදන්න උදව් කලා විතරයි...අනික ආසාව කියන එක දුරුලන්න නේද අවශ්‍ය...කොහොම උනත් ගමේ මිනිස්සුන්ට ඕනි නම් වෙහෙරක් හදන්න ඒකට මගෙන් අවසර ඕනි නෑ....!"
වැලි මලුව අද ගල්කුඩු දමා ලස්සන කර ඇති ආකාරය...

අට විසි බුදු පිලිම රැගත් බෝධිගරය සහ රුවන්වැලිසෑ අනුරුව...

එයින් සුමාන දෙකතුනකට පසු අර නිසංසල ධර්මායතනය යට කරගෙන අඩි 30ක් උස රුවන්වැලි සෑයේ අනුරුවක් ගොඩනැගීම සත්ගුනවත් නාවල් කුෂන් අධිපතිතුමා විසින් ආරම්බ්භ කොට මාස තුනකින් කොත් පළඳවා විශාල නාම පුවරුවක්ද කාටත් පෙනෙන සේ සවි කොට උත්සවයක් පැවත්තුවා...මා සහභාගි වු තවත් අනාථනාථ උත්සවයක් උනා එය..අඩුම ගනනේ ඔහු එයට පැමිනියෙවත් නෑ..නමුත් වෙහෙරෙහි තැන්පත් කිරීමට විශාල මුදල් සම්භාරයක් වියදම් කර ධාතුන්වහන්සේලාද අටවිසි බුදු පිලිම තබා බෝධිගරයක් සෑදීමටය කියා මුදල් ද එවා තිබුනා...!
පැරණි ගෘහනිර්මාන ආරට සෑදූ බුදුගෙයට මුහුණදා සෑදූ බුද්ධා ශෝරූම් එකේ සුදු යකඩ වැට මරු නේ..!

ඉන් මාස දෙකකට පසු, මුලින් සෑදූ අතීත ගෘහනිර්මානයට නෑකම් කියන බුදුගෙය ඉදිරියෙන් සුදු යකඩ වැටවල් වලින් වටවු බුදු සාදු ශෝ රූම් එකකුත්, ඝංඨා කුලුනකුත්, දොලොමහේ පහන් දෙකකුත්, රාජසිංහ රජ්ජුරුවන්ගේ සිංහාසනය වැනි හෙන ලොකු බණ පුටුවකුත් කාමර පහක ආවාසගෙයකුත් හැදීමට වෙහෙර පිටුපසින් පැමිනි අවුරුදු 39ක් වයසැති කහ සිවුරක් ඇඳ සිටිනා මනුස්සයා සමත් උනා....මේ හැම දේම කරන්න ඔහු පාවිච්චිකරන්නේ මේ ගැමියන්ගේ තියෙන අහිංසක කම...පිටින් ගොස් මා ඇර් දුන් ඒ ගැමියන්ගේ ඇස්වලට ඔහු උත්තර හොයාදෙන්නේ අපි අද දවසේ දකින පොප් බුඩිසම් සංකල්පයෙන්....!

අද එම නිස්කලංක භූමිය මටනම් පෙනෙන්නේ පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් වෙළදාම සිදුවෙන ගොඩනැගිලි වල ඇති කලබලාකාරි ස්වභාවයයි..

කහ සිවුරු දරා සිටින්නාට අවුරුදු 39ක් කියා මා දන්නේ කොහොමද....?



අහිංසක පොඩි සාදු...!



එයත් මා තවත් සිත් අමාරුවකට පත්කල සිදුවීමකි...!

සුපුරුදු පරිදි දින දෙක තුනක කොළඹ මහන්සිය දැනෙන විට මා ගොවිපොල වෙත රැගෙන යයි..ඒ යන අතර තුර මා හාට මිල්ල ගස් ආර හරහා යාමට නැතත්, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කල යුතුයි. මීට මාස හතර පහකට කලියෙන්, මා එසේ ගමන් කරන විට, මිල්ල් ගස් ආරට හැරෙන හංදිය පසු කොට සණස බැංකුවේ වංගුව ගත් (මෙය ඉතා පටු පාරකි ) රංජිත්, බරාස් ගා වාහනය නැවත්තුවේ මා මොනාදෝ කොට කොටා සිටින විටකයි....!

අප ඉදිරියෙන් පාර බ්ලොක් වී ඇත්තේ පාර දිගේ පෙල ගැසෙනා පෙරහරක් නිසාවෙනි...මල් බයිසිකල් (මේවාට මම නම් හරිම ආසයි...) , තරුණ තරුණියන්ගේ සැදුම්ලත් නැටුම් කන්ඩායම්, බෙර කරුවන් ඒ මදිවාට අටපිරිකර අතින් ගත් උපාසක උන්දැලා සමූහයක් ආදී වශයෙන් මම පෙරහර කියවිමින් සිටින විට රංජිත් කිව්වේ පන්සලේ කඨිනේ වෙන්න ඇති කියාය..ඒවිටයි මා දුටුවේ පෙරහෙරෑ මුලින්ම දිග ඇරෙන ඩිජිටලි ප්‍රින්ටඩ් බැනරය.....!

....අති පූජ්‍ය, අරක මේක..පන්ඩිත..අරහේ මෙහේ අර බෝදි මේ බෝදි මහා පන්ඩිත මොකාද කියන එකාගේ තිස් නම වැනි උපන් දිනයට ආසිරි පතා මිල්ල ගස් ආර ධර්මායථනයේ පැවැත්වෙන මහා පින්කම...
වැනි පාටයක්...

කඨිනේ නෙවෙයි රංජිත්...මිල්ලගස් ආර පන්සලේ හාමුදුරුවන්ගේ බර්ත්ඩේ පාටිය....!
අපි යං...!

විශ්‍රාමලත් විදුහල්පති පරලෝසැපත් පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාට නිවන් සුව ....!
එච්චරයි.......!

Monday 2 January 2017

ගැමියන් සන්තක කිරීම - මිල්ලගස් ආර - 03

2017 කාට කාටත් කරදර දුක්ක දෝමනස්ස වලින් තොර සාමකාමී අවුරුද්දක් වේවා...!!!


2010 ජූනි මාසේ නා ගහක් එහෙම රෝපණය කරලා මුල්ගල් තියලා පටන් ගත්ත වැඩේ හිතුවාටත් වඩා ඉක්මනට කෙරුනා..!

ඉඩම බලන්න ගිහින් ආකිටෙක්ට්ලා....!
වැඩ නිමවෙමින් පවතින පාරම්පරික බුදු ගෙය...!
වැඩ නිමවෙමින් පවතින ධර්මශාලාව...!

දායකසභාවෙන් කොටසක්, පිරිත් පැන් පාවිච්චිය...!



ගුණසේන - විශ්‍රාමලත් විදුහල්පති-ප්‍රධාන දායක


2010 ඔක්තෝබර් මාසේ පාලොස්වක දවස තියාගත්තා ධර්මායතනය ගැමි සතු කරන්න....!

ගුණසේන මාව ඇදගෙන ගියා කෙමගොඩ පන්සලට, දක්ෂිණ සංඝ සභාවේ සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලේ කුලපති අත්තුඩාවේ ස්‍රී රාහුල  හාමුදුරුවෝ හම්බවෙලා උත්සවේට අරාධනා කරන්නය කියලා..මම බෑම කිව්වට හරි ගියේ නෑ..ඉහ නිකට පැහිච්ච කෙනා නිසා ඔන්න ඔහේ ගියා මමත් ඉතින්..!

රාහුල හමුදුරුවො ඒ දවස්වෙනකොට හොඳටම වයසයි...අපවත් උනා 2012දී ..සෑහෙන පොත් ගානක් ලියපු හරිම අහිංසක කෙනෙක්.

මට ඈඳිගන්න පුටුවකුත් දුන්නා මොකෝ ඉස්සරහින්ම වාඩිවුනේ නැත්තං පේන්නෙ නෑය, ටිකාක් හය්යෙන් කථාකරන්න කිව්වා ඇහෙන්නේ නෑ කියලා....!

ඉස්සරවෙලාම මට රාහුල හාමුදුරුවො පොත් ගොන්නක් තෑගි කලා උන් වහන්සේ ලියපු..
ගුණසේන මා ගැන මොනාහරි විස්තර ටිකක් කියලා තිබුනා. මම පිටරටඉන්න බවත් දැනගෙන හිටියා උන් වහන්සේ...!

මගෙන් මොරටුව විශ්ව විද්‍යාලය ගැන අහපු නිසා මමත් රුහුණ ගැන ඇහුවා..එතකොට කිව්වේ දැන් වයස නිසා ඕනිම උනාම සෙනෙට් මීටිමකට යනවා මිසක් එච්චර දෙයක් කරන්නේ නෑ කියලා...!

ඊට පස්සේ තමයි මහ පුදුම කථාව කිව්වේ...මට තාම මතකයි ඒ වචන ටික.....තාමත් මට ඒක තෙරුංගන්න අමාරුයි..

"මෙච්චර දැන උගත් වෙලත්, රට රටවල් වල ගිහින් ඉගෙනගෙන රස්සාවල් කරලත්, අපිට හරි පුදුමයි මේ මහත්තයා මිල්ලගස් ආර ධර්මායතනය හදන්න උදව් පදව් කරන එක...මේවා සාමාන්‍යෙයෙන් ඔය මුදලාලිලා කරන වැඩ...අපිට හරිම සංතොසයි මහත්තයෝ."

තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කිව්වේ කියලා...!

"මම කොහාටවත් දාන වලට පිරිත්වලට වඩින්නේ නෑ දැන් අබල දුබල නිසා...මේ ගුනසේන මහත්තයා කිව්වා ඔය මහත්තයාගේ මෑණියන්ට පින් පිනිස ධර්මායතනය කරලා ඉවර කරලා සාංඝික දානයක් දෙනවය කියලා නිල්වැල්ලේ...මම උත්සවයටයි දානෙටයි දෙකටම වඩින්න තීරණය කරා..හැබැයි මහත්තයෝ කරඬුව දොඩම්පහල පන්සලෙන් වඩම්මන්න දානෙට මොකෝ නිල්වැල්ල අයිත් ඒ පන්සලට..."



නාරාහෙන්පිටෙන් ගෙනා බුදු පිළිමේ ලඟ චූටි සාධු....!
ඔය අස්සේ බුදුගේ, ධර්මශාලාව අරවා මේවා හදන ගමන් බුදු පිළිමයක් අඹාගන්න ඕනිනේ බුදුගෙට..ඒක හරිම අමාරු වැඩක් උනා, මොකෝ දැන් කාලේ හදන පිළිම කිසි පිළිවෙලක් නැති, ප්‍රොපෝෂන්ස් නැති කැත ඒවා නිසා. පස්සේ ආරංචි උනා නාරාහෙන්පිට ජාතික පොල ගාව තියෙන පන්සලේ පිළිම අඹනවාය ඒවා හරි ප්‍රොෆෝෂන්ස් වලට කරනවාය කියලා...ඒතනට බාර දුන්නා පිළිමේ වැඩ...

ඔන්න ඉතින් පාලොස්වකට දවස් දෙකක් විතර තියලා පිළිමෙත් ලොරියක දාගෙන කොළඹින් පිටත් උනා දික්වැල්ලට..කෝකටත් හිතුවා මිල්ලගස් ආර පැත්තේ ගිහින් පොඩ්ඩක් ඔලුව දාලා බලනවාය කියලා අන්තිම දවසේ ඇනගන්නේ නැතුව...සරා වැඩේ අඩුපාඩුවක් නැතුව කරන බව දැන්ගත්තත් මට ගුනසේන ගැන සැකයි මොනා කරාවිද කියලා ඕනි නැති ආලවට්ටම් වැඩ...

කහපාට සිවුරකින් හිස ඔතාපු පිළිමේ ලොරියට පටෝලා, ජයම්පතීට කිව්වා කළුවර වෙනකොට අපේ ගොවිපොලට ළඟාවෙන ආකාරෙට කොළඹින් පිටත් වෙන්නය කියලා..අපේ අදහස තිබුනේ පවුලේ අයගේ වාහන ටිකෙන් ගිහින් පිළිමේ බාර දීලා උත්සවයේට සහභාගි වෙන්න..ගාලුපාරෙන් ඇවිත් (එතකොට එක්ස්ප්‍රස්වේස් නොමැත ) හුන්නදෙනිය හංදියෙන් හැරෙව්වා රත්මලේ හංදිය පහුකරගෙන ගොවිපොලට යන්න...ඒ ගමන්ම මිල්ලගස් ආරටත් හොට දාන්නයි හිතාගෙන ඉන්නේ...ආවා රත්මලේ හංදියට...දෙලෝ රත් උනේ එතකොට නේ....හත් දෙයියනේ...රත්මලේ හංදිය පුරාම බැනර් ගහලා....සත් ගුනවත්, ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පී....බ්ලා බ්ලා බ්ලා.....මට මලේ හොඳ එකෙන්ම පැන්නා....මට හොඳට මතකයි ගුනසේනට කියනවා අඩුම ගානේ මම්මාට පින් පිනිසයි කියල සමරු පලකයක් වත් ගහන්න එපාය කියනෙක..මේ මනුස්සයා මගේ නම ගම එක්ක පාර පුරා බැනර් ගහලා...යකා වගේ වාහනෙත් අරගෙන එනකොට..දිගටම පාර පුරා බැනර් ගහලා....මිල්ලගස් ආරට හැරෙන තැන තොරනක් ගහනවා..මම අනාථයි.....
ආවා ගොවිපොලට කෙලින්ම..මොකෝ මිල්ලගස් ආරට ගියානම් එක්කො සරා කනවා නැත්තත්ං ගුනසේන කනවා...(ෂෙෆීගේ අවවාදයක් නිසාය එහෙම ගියේ ඇත්තටම...)

සරා ඒ වෙනකොට මිල්ල ගස් ආරේ...ටෙලිෆොන් එකෙන්ම කිව්වා මචෝ මග දිගටම බැනර් ගහලා මගේ නම ගහලා..ගුනසේනට කියහං ඔක්කොම බැනර් කපන්නය කියලා නැත්තං පිළිමෙත් නෑ..මම එන්නෙත් නෑ ඔන්න උත්සවේට කියලා....

කොහොම හරි හැන්දෑවෙනකොට, ඔක්කොම බැනර් බාලා, මගේ නම තිබුන තැනට රෙදිතියලා මහලා ආයෙත් බැනර් එල්ලලා තිබුනා විවෘත කරන දවස වෙලාව අරවා මේවා විතරක් තියෙන විදියට...ඒ අව් අස්සේ මට හිතුනේ ඇයි මගේ නම විතරක්, අර යාපා දෙබෑයොන්ටවත් ඩලස් ගොයියටවත් කියල නැද්ද අප්පා උත්සවේ ගැන කියලා...නම ගම වැදගත් නැති බව ගැමියොන්ට තේරුමක් නෑ..අපිව රවට්ටන්න නෙවෙයි කලගුන සලකන්න වෙන්නැති බැනර් ගහන්න ඇත්තේ..ඔයවගේ අරව මේව කියාගෙන හිත හදාගත්තා...ඊලඟ දවසේ දානේට ලේස්ති වෙලා පාලොස්වක දවසේ උත්සවයට  යන්න වෙන්නේ පිළිමේත් අරන් නිසා උදෙන්ම ගියා ගොවිපොලට නිල්වැල්ලේ ඉඳන්....හවස් තුනට මිල්ල ගස් ආරට යන පාර පටන් ගන්න තැනට අපිට පිළිමෙත් වඩම්මගෙන එන්න කියල තමයි ගුනසේන කිව්වය කියලා සරා කිව්වේ...

සුදු ඇඳුම් එහෙම ඇඳෙගෙන අපි කට්ටිය ඒ කියන්නේ අපේ වරිගේ ඈයෝ ටික (හතර පස් දෙනයි ඔය කිව්වට..) වාහන හතර පහකින් ලොරිය පස්සෙන් ගියා උත්සවය පටන් ගන්න තැනට තුන වෙන කොට හැන්දෑවෙ......!
වැඩ නිමවු බුදුගෙය අද පෙනෙන හැටි...!
හිතුවට වඩා දිග්ගැස්සෙනවා මේ කේස් එක....සසර කලකිරෙන කේස් එක උනේ උත්සවය පටන් ගත්ත තැනට ගියාම...නෑ ඊටත් පස්සේ තවත් දේවල් උනා...ඕවා ලියනවද නැද්ද කියල හිත හිතා මේ ඉන්නේ...

හිතුනොත් ඉතිරි ටික ලියන්නං....කොහොමත් ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකලපය ඉතා තදින්  එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල...ඒ දෙවල්මට පෙනුනේ ඇත්තටම උත්සවය වෙලාවෙ නෙවෙයි..ඊට මාස දෙක තුනකට විතර පස්සේ දායක සභාව මාව හොයාගෙන ආවාම..
ඒ ටික ඇත්තටම ලියල තියන එක හොඳයි...!
හැබැයි තව එක කොටසකින්...!