Wednesday, 28 December 2016

මුල්ගල් තැබීම - මිල්ලගස් ආර -02


සපරගමු මහ සමන් දේවාලයේ බුදුගෙය 


ගුනසේනයි ඩැනීයි හම්බවෙලා මාසදෙකක් යන්නත් කලියෙන් මාස්ටර් ප්ලෑන් එකයි අනිකුත් ප්ලෑන් ආදියයි ඉවරකරගෙන බුදුමැදුරයි ධර්ම ශාලාවයි පලමුවෙනි අදියර හැටියට හදමුය කියලා මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාව කැමති කරගන්න කරදරයක් උනේම නෑ...ඒකට එක හේතුවක් මගේ ජීවිතේ ඉස් ඉස්සෙල්ලම වාඩිඋන දායක සභාවේ මීටිම.

දායක සභාව රැස් කරනව කිව්වම මම හිතුවෙ වෑසක ඩෑල් ජනරාශියක් කියලා..මොන...! එක එක මාදිලියෙන් විසිපහක් විතර අලුතෙන් සුද්ධ කරල තිබුන යෝජිත වැඩබිමේ රැස්වෙලා හිටියා...කෝකටත් මම සරා එක්ක බොහෝම සොබර් විදියටයි සහභාගී උනේ...වාඩිවෙන්න පුටු අරව මේවා තිබුනාට පොඩි පස්කන්ඩියක් උඩට නැගලා පටන්ගත්තා වැඩේ...කොහොමත් ලොකු මහත්තයා මහත්තයාව ඒ වෙනකොට කස්ටිය දැනගෙන අහවරයි.

මම මුලින්ම තේරුම් කරලා දුන්නා හාමුදුරුගොල්ලෝ සහභාගී නොකරගැනීමට හේතු කාරනා. ඊලඟට බුදුසාදූ ශෝරූම් කන්සෙප්ට් එකෙන් ට්‍රැඩිෂනල් පන්සල් ආරට යන්න හේතු කාරනා. එතනදි මම වැඩිපුරම හුවා දැක්කුවේ, ඒ වෙලාවේ ගමට අවශ්‍යවෙලා තිබුන තරුන අයට පොදුවේ එකතුවෙලා යමක් කරන්න තැනක් නැති කම. මීයට පිම්බා වගේ අහගෙන ඉඳලා කවුරුත් කැමතිද කියලා ඇහුවාම එහෙමයි කිව්වේ කියපු දේවල් තේරිලාද නැත්තං වෙන කාරනයක් නිසාද කියලනං මම හොයලා බැලුවේ නෑ.

කොහොමත් මට තේරුනා ගුනසේනට හාමුදුරුවෝ නැති පාඩුව නං හොඳහැටි දැනෙනවා කියලයි. බහුතරයේ කැමැත්තට ඔහු හිස නමන්න ඇති.

බහිරව පූජාව-පහන් පැල

කොහොමෙන් කොහොමහරි, නැකත් බලලා, බහිරව පූජා තියලා මම තුමාට කියලා නා පැලයක් එහෙම හිටෝලා ඔන්න මුල්ගල් තිබ්බා බුදුගෙට. මුල්ගල් තිබ්බ දා මට තේරුනා අතගැහුවේ මම හිතුවාටත් වඩා බාරදූර කාරියකට කියලා. හේතුව, මම කිසිම දිනක සමාජසේවය කියන සබ්ජෙක්ට් එකට අත තියලා තිබුනේ නෑ. දායක සභාව මේ කටයුත්ත කිසිම තේරුමක් නැතුව මහා උත්සවයක් විදියට සංවිධානය කරගෙන ලැයිස්කීපර බැඳගෙන, මඩුගහගෙන, ගොක් කොල සැරසිලි, පොල් තොරන් බැඳගෙන ලෑස්තිවෙලා තමයි මට එන්න කියලා තියෙන්නේ මුල්ගල් තියන්න. හතර විලි ලැජ්ජාවේ ඇඹරි ඇඹරි මූලාසනේ කතා, මගේ මංවත් නොදන්න ගුනකථන අරවා මේවා ඉවරවෙනකන්  අර පෝරුවේ ඉන්න මනමාල ජෝඩුව වගේ මමයි ශෙෆීයී දාඩිය මුගුරු වැක්කෙරුවේ අනේ අපොයි කියලා මුලු ඇඟෙන්ම හිතාන.
මට හිනාම ගියේ ගුනසේන විසින් කල ආරාධනාවෙන් ගුනකථනය කරපු පලිහක්කාර ඉස්කෝලේ මහත්තයාගේ එක කථාවකට. පලිහක්කාර මහත්තයා කියපි මම ඒ ගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ගමටත් රත්නපුරෙන් පහලවෙච්ච නිල් මැනිකක්ය කියලා. කොහොමහරි නා පැලේ රෝපනය කරලා, බොහෝම ආරුවෙන් දණකිඩ ගහලා මුල්ගලත් තියාගත්තා සාධුකාර මැද්දේ. ඊට පස්සේ පලිහක්කාර මහත්තයා මගේ දෑතම අල්ලගෙන අනේ පුතේ වත්තට යනඑනකොට මාවත් බලලා යන්න අමතක කරන්න එපාය කියලා කිව්වේ බොහෝම භක්තියකින්, ඒ ඇස්වල සෙනෙහස පිරිලා තිබුන හැටි තාමත් මට මතක් වෙනවා..ඒකට හේතුව, ඊට මාසෙකට පස්සේ මම ආපහු මගේ ගොවිපොලට යනකොට, රත්මලේ හංදිය පහුකරලා දෙවෙනි වංගුව පහුකරනකොට පාර හරහා ඇදලා තිබුන බැනරයක තිබුනේ සත්ගුනවත් විශ්‍රාමලත් පලිහක්කාර විදුහල්පතිතුමාට නිවන් සැප ලැබේවා යන්නයි. අදටත් මම ඒ ගේ පහුකරගෙන යනකොට හිතෙන් පලිහක්කාර මහත්තයව මුන ගැහෙනවා.

ආපහු මිල්ලගස් ආරට....වසන්ත බාසුන්නැහේව හොයලා දුන්නේ සරා. තරුණ උනාට වසන්තට හොඳ දැනීමක් තිබුනා පුරාන විහාරවල ගෘහනිර්මාණය ගැන. අපිට ඒ දක්ෂකම සෑහෙන තල්ලුවක් උනා. හිතුවටත් වඩා ඉක්මනට වැඩ කෙරීගෙන ගියේ වසන්තගේ දක්ෂකමත් උනන්දුවත් නිසා.

මගේ හිතමිත්‍ර ටිකිරි බන්ඩා තිලකරත්න මහත්තයා එයාගේ මවට පිංපිණිසය කියලා ධර්මශාලාවේ බැරපැනට කරගැහුවා.

රත්නසිරි ජයසිංහ මහත්තයා සැදැහැවතුන්ට පාවිච්චිය සඳහා වැසිකිලි පද්ධතියකට බැරපැන දැරුවා. ඒ කිසිම දෙයක් ඉල්ලපුවා නෙවෙයි, මම මෙහෙම දෙයක් කරනවාය කීවාම ඒ ඇත්තන්ටම හිත්දීලා වෙච්ච දේවල්.

ශෙෆීගේ මම්මා නැතිඋනේ අපේ ගෙදර ලංකාවෙන් පිට. ඒ ඇත්ති තාමත් මගේ දිහා කොහේදෝ  ඉඳන් බලා ඉන්න බව මම දන්නවා..ඒ ඇත්ති නිසා නොවෙන්න මම දකුනුපලාතේ තැග් ගැහෙන්නෙත් නෑ..ඒක ටිකාක් වෙන්න දිග කතාවක් නිසා පස්සෙ කියන්නං. ඒ ඇත්තිට පින් අනුමෝදන් වෙන්න මේ ආරාමය හදමු කියල තමා ශෙෆී හිත් හදාගත්තේ මොකෝ අපි පින් අතේ වැඩ කරන ජෝඩුවක් නොවෙන නිසා....

කොහෙමෙන් කොහොමහරි, ශෙෆීගේ මම්මාගේ මරණ සංවත්සරය තිබුන මාසේ පාලොස්වක දා මිල්ලගස් ආර ධර්මායතනය විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවයට සහභාගී වීමට එනු මැනය කියා එවූ ආරාධනා පත්‍රයේ, ගිහි අනුශාසක මණ්ඩලයේ මගේ නම උඩින්ම ප්‍රින්ට් කරලා තියෙනව දැක්කම හිනාගියාට ඇඬෙන සයිස් එකට බය උනේ, මගේ නමට පල්ලෙහායින් ඩලස් අලහප්පෙරුමගෙයි, යාපා අබේවර්ධන දෙබෑයොන්ගෙයි නම් ප්‍රින්ට් වෙලා තියෙනව දැක්කමයි. ඒ වැටිච්ච රතු සිග්නල් එක හරියටම තේරුම් ගියේ උත්සවයට යන්න කොළඹ ඉඳන් ඊට ඉස්සර දවසේ යනකොට රත්මලේ හංදිය පහුකරනකොට....

දැන් මේක දිග වැඩියි. ලියල තියන්නම ඕනි නිසා ලිව්වේ...

උත්සවය දවසේ අනාගත් හැටි තව එක කොටසකින් කියල මිල්ලගස් ආරට තිත තියන්නං....!

ප.ලි.: අදම මේ ටික ලිව්වේ, ඔබ පියාණන්ගේ අවසන් කටයුතු අද සිදුවෙන බැව් දැනගෙන මගේ තියෙන කාලකන්නිකම නිසාම අවසන් බුහුමන් දක්වන්න බැරිවීමේ පාපකර්මයෙන් මිදෙත්වා යන සිතුවිල්ලෙනි...ඔහුට නිවන්සුව.

Friday, 23 December 2016

මිල්ලගස් ආර - 01


දංදෙනිය වැවේ මාලු අල්ලන පියෙක් සහ පුතෙක්?

"සරා බලපං අර මිල්ලගස් ආරට යන පාරේ රිසවේසමේ බැනර් එකක් ගහලා තියෙන්නේ ධර්මායතනයකට යෝජිත ඉඩම කියල මොකක්ද කියලා..එතන මචං පාරටම අල්ලලා අත්තිවාරමක් දාලා තියෙනවා...බුදුහාමුදුරුවන්ගේ ෂෝරූම් එහෙකට වගේ...හොයපං මොකක්ද කරන්න යන්නේ කියලා..."

"මාත් දැක්කා බොස්..හින්නිමහත්තයාගෙන් අහලා බලන්නං.."

ඔය දෙබස අපිදෙන්නා අතර උනේ මීට අවුරුදු පහකට එහාදි මට මතක විදියට. ඒ මම නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක. යුද්ධෙ ඉවර වෙලා මිනිස්සු මහන්සි අරින කාලේ.
ඊට මාසෙකට පස්සේ ආයෙත් මම ලංකාවට ඇවිත් සුපුරුදු විදියට වන වැදුනාම මේ දෙබස අප අතර  සිදු උනාද  කියන එකවත් මතක තිබුනේ නෑ..

මිල්ලගස් ආරට දංදෙනිය වැවට දකුනෙන්, රත්මලේ හංදියට උතුරෙන් රත්මලේ ඉඳන් දංදෙනිය පැත්තට යනකොට වැවට ඉස්සරවෙලා දකුනු පැත්තට තියෙන පොඩි පාරකින් ලඟාවෙන්න පුලුවන්. මිල්ලගස් ආරේ දංදෙනිය වැව තාවුල්ලේ සුන්දර පරිසරයක ලස්සන කඳුගැටයක් හොයාගත්තේ පස්සේ කාලෙකදි සංචාරකයින්ට නිවිහැනහිල්ලේ කාලය ගෙවන්න පොඩි නවාතැන් ටිකක් නිර්මානය කරනවාය කියන හිතිවිල්ලෙන්.. නම දා ගත්තා ලේක් ෆ්‍රන්ට් කියලා..පොඩි ජෙටියක් එහෙම දාලා බෝට්ටුවකුත් ගෙනත් දැම්මා මීගමු පාරේ පමුනුවෙ බෝට්යාර්ඩ් එකකින්.... අපි ඉඳලා හිටලා එතනට යැවෙනවා, එක්කෝ ඒ පොල් කඩාගන්න, නැත්තං ජෙටියේ වාඩිවෙලා මගේ ප්‍රියතම විනෝදාංශයක් වෙන මාලු බෑමේ යෙදෙන්න..( ඉතිං බැනහල්ලා පව් කරායාය කියලා....අටමාගෙන් අහපල්ලා කොච්චර ජොලියක් ගන්නවද කියල ඔය වැඩෙන්...)

මගේ ගොවිපොල තියෙන්නේ මිල්ලගස් ආරට උතුරෙන් දංදෙනිය හංදියත් පහුකරලා කැන්දකොළනිය පාරේ, ඒ නිසා ඉඳලා හිටලා තමයි මිල්ලගස් ආරට යැවෙන්නේ...

ඉතිං මම සුපුරුදු ආකාරයට මගේ ගොවි යුනිෆොර්ම් එකත් ගහගෙන මගේ පුංචි පැල්පතේ වැරෙන්ඩා එකට වෙලා..( මෙහෙමයි..ගොවිපොලවල්වල තියෙන්නේ පැල්පත්....ඒවාට ඒසී අරවා මේවා හයි කොරලත් නෑ..ටයිල් කොරලා කොමොඩ් හයි කරපු ටොයිලට් එහෙමත් නෑ...හැබැයි..ඒත් ඕනි නෑ..අටම්ගෙන් අහලා බලන්න...අඩුම ගානේ රස්නේ වෙලාවට බැහලා ඉන්න ස්විමින්ග් පූල් එකක්වත් නෑ..පව් මම...ගොවියෙක් උනාම මාර දුකක් විඳින්න ඕනි...) රහමෙර සුට්ටක් විතර වෙන්න යහමින් සප්පායම් වෙවී ඉන්නකොට තමයි දැක්කේ කව්දෝ වෑසක ඩෑල් දෙකක් සීනයින්ටියකින් ඇවිත් පැල්පතට එන ඩ්‍රය්ව්වේ එකේ ඈතින් බයිසිමොටෝ එක නවත්තනවා..එක ඩෑල් එකක් කලසම බඩ මැදින් ඇඳපු අත්දිග කමීසයක් එහෙම ඇඳපු මහත්තැන් කෙනෙක්..අනිත් ඩෑල් එක සුදෝ සුදු කපටි සූට් කාරයෙක්...ජෝඩුවටම හැත්තෑව පැනලා වෑස ආකාරයයි පෙනුම එහෙම....අර බඩ මැදින් කලසම ඇඳපු ඩෑල සීනයින්ටියෙ සයිඩ් කන්නාඩියෙන් ඔලුව එහෙම පීරලා කමීසේ අස්සෙන් ගන්නවා දැක්කා ෆයිල් කවරයකුත්..හුටා මොක්කුන්ද බොල මේ...?

ඉතින් මගේ සූටි මොලේට (එහෙම එකක් නෑ....) පහල වෙච්ච එකම නුවන තමයි කෝ මේ සරා කියන එක...."සරාආආආආ....කවුදෝ එනවා...බලපාං..." ඔච්චර තමයි ඉතින් මගේ ගොවිකම..සරා නොහිටියානං ඉතිං ...හපොයි...
එතකොටත් මේ ඩෑල ඇඹරි ඇඹරි වැරැන්ඩාවට ගොඩ වී හමාරය....!
ලොකු මහත්තයා ඉන්නවා කියලා රත්මලේ හංදියේන් ආරංචි කරන් අපි ආවේ..මම විශ්‍රාමලත් විදුහල්පති ගුනසේන, මේ ඩැනී..(එයාට මායි සරායි දැන් කියන්නේ වලු ඩැනී කියලා ..ඒක පස්සෙ කියන්නං නැත්තන් පඳුරු තලන්න වෙනවා) එහෙම කියන ගමන් කලසම බඩ මැද ගුනසේනගෙ ඇස් තියෙන්නේ මේසෙ උඩ තියෙන රහමෙර අඩුමකුඩුම වලටත් වඩා තුවක්කුව දිහා...සරා හෙන ගිල්ටි මූනක් දාගෙන අස්කොරන්න ගත්තා මේසේ...රහමෙර පලමුව තුවක්කුව දෙවනුව...!

අපි මේ මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාවෙන් ලොකු මහත්තයෝ..මම බැලුව අහක බලන් ඉන්න සරා දිහා....!

"බොස් කිව්ව නිසා මම ගිහින් හොයලා බැලුවා...කිව්වා ආවාම බොස් හම්බවෙන්නෙයි කියලා මෙයාලට..."

රහමෙර සිඳුනි...නැවතත් බීමට හැකියාවකුත් නැත..පොලොව පලාගෙන යන්නයැ..!

"වාඩිවෙන්න..වාඩිවෙන්න..මොකක්ද අර බවුන්ඩේසමක් දලා තියෙන්නේ..ෂෝ රූම් එහෙකටද...?

මූනට මූන බලාගත්ගමන්ම දෙන්නාම එකට දුන් උත්තරය මා බලාපොරොත්තු උන විදියටම ලැබීම ලොකු උදව්වක් විය...

"නෑ සර්...(ලොකු මහත්තයා සර් විය ) පන්සලක් හදන්නේ..ප්‍රාදේශීය ලේකම් තුමා ඉඩම දුන්නේ..බඹරැන්ද උතුර ග්‍රාම සේවක වසමෙ පවුල් 280ක් ඉන්නව සර් පන්සලක් නෑ..ඉතින් අපි මේ ආධාර එකතු කරගෙන පන්සලේ වැඩ පටන් ගන්න ඉන්නේ..අපිට සෑහෙන්න ආධාර හම්බවෙලා තියෙනවා..අපිට වහලෙට ලී උළු ගන්න විතරයි තියෙන්නේ...මේ තියෙන්නේ සර් ප්ලෑන් එක..."

එහෙම කියල අර කමීසේ අස්සෙන් ගත්ත ෆයිල් එක දුන්නේ නැද්ද මට...A2 සයිස් එකට කරපු ප්ලෑන් එකක්..අඩි අඟල් ස්කේල් එකට කරලා තට්ටු දෙකක බිල්ඩින් තඩියක්...බිල්ඩිමේ මූණ පාරේ ගෑවි ගෑවි..ඒ මදිවට ඒ මූණ හරහා යනවා තඩි පඩි පෙලක් උඩට..ඒකෙන් ගියාම මේ ඉන්නේ බුදු සාධු උඩ තට්ටුවේ....බුදුසාධුගේ යට තට්ටුවෙ කාමර දෙකක් ... එලියෙන් ඇතුල්වෙන්න දොරක් දාපු ටොයිලට් එකකුත් එක්ක..මේ බුධු ෂෝරූම් එකට අල්ලලා ඉඩමේ ඇතුල් පැත්තට තියෙන්නේ ලොකු හෝල් එකක්...අනේ ...!

"දැන් කාටද මේ පන්සල හදන්නේ..? ඔහේලා දෙන්නා මේකට වඳින්න යන්න අදහසක් නැද්ද..?"

නැවතත් මූණට මූණ බලන ගමන්..

"ඇයි සර්..අපිත් ඒ ගමේම තමයි..අර වැව ගාව තියෙන බිස්කට් බේකරිය මගේ...‍යටියන හක්මන ඔය හැම අහටම බිස්කට් බෙදනවා....."

"නෑ මම කිව්වේ මේ මටත් දැන් පනහ පැනලා..උඩ තට්ටු වලට නගින එක හරි අමාරුයි..ඉතින් මේ බුදු සාධු උඩ තට්ටුවෙන් තිබ්බාම වයසක අයට මේ දාර පඩි පෙල නැගලා බුදු ගෙට යන්න බෑනේ....ඉතින් මම හිතුවෙ ඔහෙලා යන්නේ නැතුව ඇති කියලා..කවුද මේ ප්ලෑන් එක ඇඳලා දුන්නේ...?"

"හෙට්ටිආරච්චි මහත්තයා..එයා අපේ දායක සභාවේ ලේකම්...ටැක්නිකල් ඔෆිසර් කෙනෙක්.... සර් එයා හවුසින් එකේ වැඩ කරන්නේ.."

"අනේ මන්දා..මොකක්ද නම කිව්වේ...."

"ගුනසේන සර්...විශ්‍රාමලත් විදුහල්පති..බඹරෑන්දෙන් මම රිටායර් උනේ සර්......."

"ආ..ගුනසේන !... මෙහෙමයි..කියවල හදාරලා ඇතිනේ බුඩිස්ට් ආකිටෙක්චර් ඒ කිව්වේ බෞද්ධ ගෘහනිර්මානය ගැන..පන්සලක තියෙනව නේද රටාවක්..ඔය පුරාන විහාර වල සැලස්මවල් ගැන උගන්නලා එහෙමත් ඇතිනේ..බිල්ඩින් ගහලා වැඩක් නෑ කාර් ෂෝ රූම්ස් වගේ..ප්‍රධාන කරුනු තුනක් තියෙනව නේද අපි බුදුන් වඳින්න ගියාම දැනෙන..ඒ කිව්වෙ පයට වැලි පෑගෙන එකයි, බෝධියේ සිලි සිලි සද්දෙයි, හඳුන් කූරු වලින් මල් වලින් එන සුවඳයි..ඒ වගේ දේවල් වලින් අපේ හිත් නිවලා නේද අපිව බුදු මැදුරට අතුල් කරන්නේ පන්සලක..? මේකේ ඔය මොනාවත් නෑනේ..මෙතන අක්කර භාගයක් තියෙනවනේ...ඇයි මේ ඔක්කොම තට්ටු බිල්ඩිමකට කොටු කරලා හිරකරගෙන ඉන්නේ...."

නැවතත් මූනට මූන බලමින්....

"සරත් මහත්තයා කිව්වා සර් ප්ලෑන් ගැන දන්නවාය කියලා...ඉතින් ගුරුහරු කමක් දෙන්න සර්..."

"ගුනසේන දන්නවනේ මම රත්නපුරෙ කියලා..සමන් දේවාලේ තියෙනවා ලංකාවෙ තියෙන ලස්සනම කියල කියන්න පුලුවන් බුදුගෙයක්...ඒකේ අනුරුවක් හදන්න පුලුවන් ඕනි නම්..හැබැයි මුලින්ම මාස්ටර් ප්ලෑන් එකක් කරන්න ඕනි...පන්සලට ඇතුල්වෙන විදිය, බුදු ගේ කොතනද තියෙන්න ඕනි, බෝධිය කොහෙන්ද හිටවන්නේ, චේතිය කොතන්ද හදන්නේ වගේ ඒවා..අනික මේකට හාමුදුරු ගොල්ලොනං ගාව ගන්න එපා...,කැමතිනං මට පුලුවන් මාස්ටර් ප්ලෑන් එකකුත් කරල ඊට පස්සේ ඒකේ විදියට පන්සල හදන්න උදව් කරන්න..හැබැයි දැන් මේ අඩිතාලං දාලා තියෙන නිසා, මේ පාර අද්දරට වෙන්න බුදුගෙවල් අරව මේවා හදන්නේ නැතුව මේක වෙනස් කරන්නං ධර්ම ශාලාව හැටියට..එහෙම කරන්න කැමතිද..?"

" ඒ කියන්නේ සර් පන්සල හදලා දෙනව කියලද..?"

" හෝව් හෝව් ගුනසේන එහෙම නෙවෙයි මම කිව්වෙ...මම උදව් කරන්නං අර මම කියපු ආකාරයට වැඩ කරන්න කැමති නම්...මගේ යාලු මහත්තුරුන්ටත් කියල උදව් ඉල්ලගතෑකිනේ...කැමතිද...?"

" සර් එතකොට හාමුදුරුවො නැතුව සිරිමා බෝධියේ අංකුර පේරාදෙනියෙන් දෙන්නේ නෑනේ...හාමුදුරු නමක් හොයාගන්නද අපි..? "

" එපා..ඒක හරි යන්නේ නෑ..ඔහේලා මෙච්චර දුර ආවේ සාදු කෙනෙක් නැතුවනේ...ඒ අය ආවාම ඒ අය කියන විදියට ඔක්කොම කරන්න වෙනවා, කාමර පහක ආවාසෙකුයි, බාත් රූම් අරව මේවා ඉල්ලාවි, ඒක හරි යන්නේ නෑ..වැඩේ මෙහෙම කරමු...ඕනි උනාම අපි සාදු කෙනෙක් බඹරැන්දේ පන්සලෙන් හරි හුන්නදෙනියෙන් හරි ලෝන් එකට ගමු..."

" ඒ කිව්වෙ සර්...?"

" මේ කටයුත්තට මම සහභාගි වෙන්නේ පින් තකා නෙවී..ඔහේලා අපි කරලා තියෙන පව් වලට පන්සල් නෙවෙයි තව සාසනයක් හැදුවත් නිවන් නං යන්න හම්බු වෙන්නෙ නෑ...මේකෙන් ගමේ ඔය බෝක්කු උඩ අරහේ මෙහේ කැලෑ පැන පැන ඉන්න කොල්ලො කෙල්ලො ටිකට හවසට එකතුවෙලා පොතක් පත්තරයක් බලන්න...  ඔහේලාගෙන් ගුරුහරු කමක් ගන්න වගේ සිල්ලර නිවනක් තමා ලැබෙන්න ඕනි...හරිය...? ඉතින් ඔය පිංකමක් එහෙම තියෙන වෙලාවට සාදු කෙනෙක් ලෝන් කරගමු ලඟ පංසලකින්....!"

" සර්....කියන කතාවත් ඇත්තනේන්නං...එහෙනං එහෙම කරමු....!"

" මම හෙට කොළඹ යනවා ගුනසේන..ලබන සුමානේ එනකොට මාස්ටර් ප්ලෑන් එකයි, බුදුගෙයි ඩිසයිග්න් එකයි අරගෙන එන්නං...ලේස්‍තිකරන්න ඔය ගමේ අයගේ පොඩි පහේ මීටිමක් මට පොඩ්ඩක් කතා කරලා කරන්න යනදේ දැනුවත් කොරන්න ඕනී..නැත්තං ඔය බුදුගේ මගේ ඔලුවෙ කඩා වැටේවී..."

" සර්ට කියන්න අපේ තිබුන ලොකු බරක් අඩු උනා...අපි හෙටම දායක සභාවේ රැස්වීමක් තියලා ඒ අයව දැනුවත් කරලා සර් ආවාම මීටිම තියන්න ලේස්ති කරන්නං මිල්ලගස් ආරෙම...!"

සිනාමුසු මුහුනින් සීනයින්ටියට මොනවාද තෙපුලමින් ගොඩවෙන ගුනසේන සහ මෙලෝ දෙයක් කතා නොකර මූනු බල බල සිටි ඩැනී දෙස බලාගෙන සිටි මම ආපහු හැරුනේ සරා ගෙනත් දුන් මගේ රහමෙර වීදුරුවේ තිබුන ඉතිරිය කටේ හලා ගනිම්නි....!



සෙස්ස..ඒ කීව්වේ....මීටිම..පන්සල හැදීම සහ එහි ආනුභාවය ...පස්සට....!

ඔබ සැමට සුබ නත්තලක් පතන්නෙමි...!

DO NOT DRINK AND DRIVE.
YOUR DOG WILL NOT UNDERSTAND WHY YOU LEFT THEM
 AND
NEVER CAME HOME...!





Wednesday, 21 December 2016

සුවඳ....!




abstract painting- Mother & Child by Picasso




නෙත ගැටෙනා හැම මුහුනකම
ඇස රැඳෙනා හැම කෙහෙරැල්ලකම
පිරිමැදෙනා හැම දෑතකම
සිප ගන්නා හැම මුවකම
පසුකරනා හැම මොහොතකම

සොයන්නෙමි මා.......!

ඈතින් දැනෙනා

නුඹ

 ජීවන සුවඳ....!





Thursday, 15 December 2016

නුඹ




නැගෙනහිරු....

ඈත කඳු අතරින්
කර ඉඟිබිඟි
නිමක් නැති උස් අහසේ
 මවන රූ රටා අතරේ

පියඹන සොයා නිදහස
වැහිලිහිණි නුඹ...

සිඳනොගන්න
නිදහසේ අත්තටු
බිඳලන්න බැමි
ඔබ වටකර ඔවුන් බැඳි

නිමක් නැති අහස 
ඔබටමයි....!




Friday, 9 December 2016

සෙනෙහසක උරුමය



බියන්කා කපෙලෝ ඇයගේ ආදරවන්තයා වූ ෆැරන්සෙස්කෝ දි මෙදිසි හා නික්ම‍යෑම
ලුවිස් ඩුසිස්ගේ පින්තාරුව

තරප්පු පේලියක
උසම උස් කුළුනු යුගලෙ
අවතැන් වූ හිඩැසක
කුළුඳුලෙන්
බැ උනුසුම විඳි
දයාබර හදට

ඔබ තවමත්
අදත් එදාමෙන්
කුමරියක මිස
කොලයක් නොමවේමැයි
කරදහි....!

ඔබහට
 මා
 හඳේ හාවා වූ ලෙසම
කුමරිය ඔබැ දඟකාර දෑස්
මා ලුහුබඳීවී ...

සසර සරනා ආත්මයෙන් ආත්මයට...

එබැව් නොදැනෙන
එබැව් නොහැඟෙන
ඔබැ හද පතුලේ
 කිමැදුන මා
උඩු සුළඟේ ඉමක් නොදැන
පාවෙන කරදහි කැබැල්ලකි
 අද ඔබැ හට...

සෙනෙහසේ උරුමය
 මෙය නම්
සොඳුරියේ

 විඳින්නෙම් 
හදපිරි සෙනෙහසින්
මතු ඉපිදෙන
 සාරාසංක්‍ය කල්ප ලක්ෂයක්
ඔබැ නමින්ම
කුමරියේ...!

Wednesday, 7 December 2016

The Measure of LOVE....!




කිරි හොද්දක
ලුණු බලන්න වගේ
අල්ලට අරන් ලෙවකාලා
ආදරේ දිග පළල ගැඹුර
ගැන කියන්න
ඉගෙනගන්න
ආයෙත් ඉස්කෝලෙ යන්න
හිතෙන්නේ ඇයි ඇත්තට...?

Sunday, 4 December 2016

මිඩ් ලයිෆ් ක්‍රයිසිස් IN COUGER TOWN- අතිශයෙන් වැඩිහිටියන්ට පමනයි


හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පළකරන ලද්දාවූ මේ වියමන සහෘද බ්ලොග්කරුවන්ගෙන් හැරෙන තැපෑලෙන් ගුටි බැට, නින්දා අපහාස, අවලාද මෙන්ම දුක්ඛ දෝමනස්සයටද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා නොකෙළෙමි.

ඉහත මාතෘකාව හුදෙක් බ්ලොග් කරුවන්ගේ අත්දැකීමක් විනා බ්ලොග්කාරියන් කිසිමවිටක අත්දැක ඇති බැව් නොදනිමි. බ්ලොග්කාරියන්, තම වල්ලභයාගේ අත්දැකීම් දැක ඇතත්, ලොව පිළිගත් ආකාරයට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක පිරිමින්ම පමනක් විඳිනා සුන්දරවූ ආකල්පයක් ලෙසයි රෙජිස්තර වී ඇත්තේ...!
ඒ මන්දයත්, ලොව පිළිගත් දහම නම්, මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක හරහා යන පිරිමියෙක් හඳුනා ගන්නේ ඔහු හාලි ඩේවිඩ්සන් මෝටසයිකලයක නැගී හරඹ පෙන්වීම, බෝට්ටුවක් මිලට ගැනීම, මිනිමයිනර් එකක් රිස්ටොර් කිරීම එහෙමම නැත්තං අඩුම තරමේ පෝශේ ස්පෝර්ට් කාර් එකක් ගැනීම වැන්න යයි.

එනමුදු, මිඩ්ලයිෆ් ක්‍රයිසිස් එක හරහා යන හිංගල බ්ලොග් කරුවෙක් කියනා අන්දමට අම්මට සිරි ලංකාවේ නං ඉහතින් කී කිරියාවන් කිරීම අනදර් ක්‍රයිසිස් එකකට මුල් වේ...ඒ කිව්වේ ෆිනෑන්ශල් ක්‍රයිසිස් එක්කටය.

මා මේ තතනන්නේ ලොව පිළිගත් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකේම තවත් පැත්තක් එළි දක්වා අහක යන කුනු ගොඩවල් රාශියක් මීතොටමුල්ලෙන් මගේ දෙස හරවා ගැනීමේ අරමුනින් යැයි හිතුනාමත්ම නොවේ.

පිරිමි වන අප පනහ පැන්නට පස්සේ, එහෙමම නැත්තං අර ඉස්සර කථාව මෙන් හැට පැන්නට පස්සේ මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කරේ තියාගෙන කෙළින්නා වූ පිස්සු පස්සට තියා, හතලිහ හතිලස් පහ පැන්න නෝනා මහත්තුරු ඔය මානුෂික වෙනස ගසා බසා නෝමල් වෙන්නේ කෙසේද යන්න ලියන මට තිස්පහේදී විතර පේන්න පටන් ගත්තේ අල්ලපු ගෙදර ඒ වයසේ නෝනලා ජීවත්වූ නිසාමත්ම නොවේ...ඒ නගරයේ ඒ කාලයේ ජීවත්වූ නෝනලාට, ඒ කීවේ අර මුලින් සඳහන් කල වයස පසු කරමින් සිටි ලස්සන නෝනලා ගේ අරවා මේවා සම්බන්ධ ගැටළු වලට මේ ලියන මම කරන ලද්දාවූ උදව් උපකාර නිසාවෙනි.

කවුරුහරි ඒවා කොරන්නත් එපෑයැ..නැද්ද..?

අනික ඔය මිඩ්ලයිෆ් ක්‍රයිසිස් එකේදී බොහෝම ටික පිරිමි දෙනයි (මෙහෙම ලිව්වම අටමා බනී..මම කිව්වේ සිංහල වලට) නෝටි වැඩ කරන්නේ..එහෙම කිව්වේ මම ලියන්න යන දේ මීට ටිකක් විතර සමීප නිසා...!

ඔය අපේ ඒ කිව්වෙ පිරිමින්ගේ ඔය කාරණාවට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කීවාට, ගැහැනුලමයින්ට ඒ වයසට එන්නත් කළියෙන් වෙන ජීව විද්‍යාත්මක, ඒ කියන්නේ හෝමෝන ආශ්‍රිත කේස් එකක් නිසා, පුදුමාකාර ගතිපැවතුම් වෙනසකට එතුමියන් භාජනයවෙන බැව් අත්දැකීමෙන්, (ඒ කීවේ දකුණු අත ගැන සලකලා,) මේ ලියන මම දනිමි..ඒවාට හොට්ෆ්ලෑශ්, හොස්ස ලඟින් මැස්සාට යා නොහැකි බැව් යනාදි පුදුමාකාර කේස් ගොඩාක් සම්බන්ධය. අපි ඒකට පොස්ට් මෙනපොස් ක්‍රයිසිස් කියමුකෝ...ඒකට කමක් නැත, ඇයි එය සිදුවන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වය, ජීව විද්‍යාත්මක සිදුවීම් අරවා මේවා නිසාය. මට ඒක එතරම්ම ප්‍රශ්නයක් නොවන්නේමය..

ප්‍රශ්නය මෙයයි...(ගුටි කෑමටත් නියමිතයි)....

යස අගේට පවුල් පන්සල් වෙලා, ලමෙක් දෙන්නෙක් මොන්ටිසෝරි යන වයසේ ඉන්න ඇත්තිලට, හුටපටාස් ගාලා ලෝකේ වටේම ඉන්න කවි බණ කියන සාධු පැටව්, අසපු, බෝධිපූජා, බජන් ඊවිනින්ග්ස්, කොෆි මෝනින්ග්ස්, බුක් ස්වැප් ඉවන්ට්ස් එක්සෙට්‍රා එක්සෙට්‍රා ඕනි වෙන්නේ ඇයි...මිඩ් ලයිෆ් ක්‍රයිසිස් වෙන්න තව කල් තියෙද්දි, මහත්තයා පැටියාත් හොඳ කඩවසම් වයසේම ඉන්දිද්දි කොහොන්ද කොහොමද මේ ඉශූ එක පැන නගින්නේ...?

ආන්න ඒකයි කේස් එක...!

හේතූන් රාශියක් ගෙන හැර පෙන්විය හැක...එනමුදු ඒ සෑම හේතුවකටම මුල් වන්නේද වල්ලභයාම වේ...!

හිතන්න...ඔන්න බෙල්ල උගසට තියා සෙට් කරගන්නාවූ පෙම්වතිය පසලොස්වක හඳට, බේරේ වැවේ නෙලුම් මලට, නාදළු වලට, මොණරපිහාටුවලට, මල්ලිකා හෝටලේ බිත්තර බන් එකට අරකට මේකට යනාදී වශයෙන් ආදේශ කරන අපිම, ලමෙක් දෙන්නෙක් වැදුවාට පසු, ඈ දෙස බලනාකාරය වෙනස් කරනවානේද..?

නෑනේ..අර මුලින්කී අවදියේ ඈ මේන්ටේන් කරගෙන ආ, පෙර ආත්ම භව වලදී කරගත්තාවූ පින් බලෙන් උරුමවූ ලාලිත්‍ය, අඟර දඟර ගෙයි මුල්ලේ තබා ඔබට වඩා ඔබගෙන් දායාදවූ දරුවන්ගේ පැවැත්මට, ඒ ලාලිත්‍ය දන්දී මක්කාදවූ ඇත්තීයක් සේ වෙනස් වීගෙන ගොස් ඔබගේ නෙතු වෙන පැත්තකට යොමුකලානේද?

හා එහෙමයිම කියමුකෝ, ඇයි අපි ඒ තැනැත්තීට, ඒ කීවේ අර බේරේ වැවේ පිපිච්ච නෙළුමට, එහෙම වෙනස් වෙන්න නොදී අවවාද අනුශාසනා නොදුන්නේ...අනේ සුදෝ ඉස්සර වගේ ඔමරි කරන්නකෝ, ඇයි දඟමල්ල ඔතෑනි උනේ යනාදීවශයෙන් පුශ් එකක් නුදුන්නේ...?

මම ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා..මේ හොලිවුඩ් දෙකේ පන්තියේ එකක්..ඒ උනත් ඒ ෆිල්ම් එකේ එක තැනක කාටත් ගන්නැහැකි ශුට්ටං දෙයක් තිවුනා...මෙහෙමයි..දාහතරේ පාලහේ ලමයි ඉන්න කපල් එකක්..හස්බන්ඩ් ෆැමිලි බොන්ඩ්ස් තීව්‍ර කරන්න කියලා හිතාන රෝඩ් ට්‍රිප් එකක් ප්ලෑන් කරලා එක්ක යනවා කාර් එකක මුලු ෆැමිලි එකම...කිසිම දෙයක් හරියට සෙට් වෙන්නේ නෑ ...දිගටම අනාගන්නවා..අන්තිමට කාර් එකත් නැති වෙනවා..එතනදි මුලු ෆැමිලි එකම හස්බන්ඩට බ්ලේම් කරනවා තෝ නිසා තමා මේ ඔක්කොම උනේ කියලා..මෑන්ස් එතකොට කියනවා (ඌ පයිලට් කෙනක්) මම පාට් ටයිම් වැඩ කරලා සල්ලි හොයාගෙන බොලාව එක්කගෙන ආවේ අපි හතර දෙනාට එකට ඉන්න ඕනි නිසාය මට ලෝකේ වටේ යන්න ඇහැකි ජොබ් ආවත් හැම ජොබ් එකම අත ඇරියේ බොලා එක්ක ඉන්න ඕනි නිසාය කියලා..නෝනා කියනවා මේ හැමදේටම හේතුව උනේ ඔයා විතරයි උනන්දුවෙන්නේ මේ පවුල එකට තියාගන්න අපි ඔක්කොම මේ පවුල කරදරයක්‍ කියල හිතාන තනියම මෝක්ශය හොයනවාය කියලා....!

අපිත් එහෙමද ඇත්තටම..හිතල බලන්න නෝනාවරුනි..ඔය ගෙදර ඉන්නවා සත්තරං පුරුෂයෙක්...එක කාලෙකෙදි එයා තමයි මෙයා කියලා අම්මා තාත්තත් දමලා ගහලා, පොල්සම්බල් බත් කාලා පැලක ඉමුය අරකය මේකය කියලා ආපූ අපිම නේද මේ විකාර කරන්නේ කියලා තත්පරයක් නැවතිලා හිතන්න...මේ දවස්වල පොඩි ඈයොන්ගේ කොන්සර්ට්ස්, වසරවසාන අරක මේක තියෙනවනේ..අර ඉස්සර දාපූ මායම් දාලා වල්ලභයාව බලෙන් හරි එක්කගෙන ගිහුන් ගෙදර ආවාම ආදරෙන් සලකලා බලන්න කොහොමද කියලා රිසල්ට්ස්..අම්බානකට රොමෑන්ටික් වෙන්න පුරුදුවෙන්න..හරිම ලාභයි රොමෑන්ටිසම්...ඕ යේස්...!


තව චුට්ටං දෙයක් කියන්න ඕනි..ඔය මාතෘකාව ඔහොම දැම්මේ එතකොට තමයි පොඩි ඈයෝ කියවන්නේ..උන්ටයි මේ ලිව්වේ....පොඩි කාලේ ඉඳන් මේවා හිතන්න ඕනි..නැත්තං නිකාං කඳුළු ගෑස්, ජල ප්‍රහාර කන්න වෙනවා...අනික හිංගල බ්ලොග් ලියන්නන් අතර මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක තියෙන අය මම දන්න තරමට ඉන්නේ මමත් ඇතුලුව.. අතේ ඇඟිළි ගානට..ඒ කිව්වේ දකුණු අතේ....!

කවුරුහරි ඇහුවොත් නම් කරන්න කියලා ඒ බ්ලොග් කරුවන්..කිසිම බයක් සැකක් නැතුව ඔවුන්ම ඉදිරිපත් වේවි...!


Friday, 18 November 2016

මානි නම් වූ ඈ..!




ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ 
රතු ජම්බු ගහ මුල
බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන
බලාසිටි ඒ පුංචි අවදියේ
ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත්
දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා
අදවගෙ මට මතකයි  නගේ

රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත්
 ඒ පුංචි අවදියේ
නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින්
මා නෙතු අද්දර කල එබිකම්
 අද වගේ මතකයි  නගේ

කප්පරක් වංගු පසුකර 
ගෙවුන ජීවන මගේ
මහමෙරක් බර ඇද්ද ඔය දෑත
මා දෑත් වෙලාගත් අද සැන්දෑවේ
බුමුතුරුණු ගොරෝසුවට දැනුනත්
ඔය දෑස තාමත් 
ආයාචනා කරයි මාහට


දෑත දිගුකර වඩා ගන්නැයි කියා..!

හතලිස්පස් අවුරුද්දක් ගෙවීගියත් අප එතනමයි....!


Tuesday, 15 November 2016

වත්මන....! The Reality...!

creativity credit- Ole B Larsen
ඈ.....

සෙමින් ඇවිද යමි
මැවෙන නිමැවෙන
අරුමැති
පණ පෙව්නු
සිතුවිලි අතර නවතිමි
.......!

මා....


අඩුවෙන් කමි
මහත අඩුකර
වේගයෙන් ඇවිදිමි
සිතිවිලි පසුකර
හැල්මේ දුවයමි....


හිහිහිහි....!



Tuesday, 25 October 2016

අමිල පෙම....!



උසට ගැලපෙන මහත
මවිල් පිරුන පපුව
පිරිමිකම ඉහවහා ගිය
ඔබ දැඩි දෑත...
හසුරුවන සුක්කානම පෙනේ මට ඇස්කොනින්..

මහවැහි වහී එළියේ
පොඩිත්තී ගුලිවී හීතලේ
පිටුපස අසුනේ මාතුරුලේ....
ඇය....
ඔබ මව්බිසව්...ඉදිරි අසුනේ...
මෙයයි මගේ..නැහැ..අපෙ ජීවිතේ...!






Saturday, 15 October 2016

ආදරණීය නේරංජනා...!

වැවුරුකන්නල පන්සලේ බුදුමැදුර තුල දර්ශණයක්...

වප් පෝයට සඳවතී දිලිසෙන
පරෙයි වෙරළ ඔබ දෙපා නොතෙමවන

වැලිමත සිත්තම් කල වුවන
ඈත සිටි මා නොදකින

වැවුරුකන්නල  නිවෙන දෑසට
ඔබ නෙත් යොමාන

වැවුරුකන්නල ඝන්ටා නාදයට
මා දෙසවන් යොමාන

තනිවෙන්නට හෙටදින
හිරු දෙවියන් හනිකට ඉපදෙන

සයුර අද්දර අප හමුවන
සොඳුරු සැඳෑව මා සිහිනෙන් ලංවන

ආදරණීය නේරංජනා....!






Friday, 14 October 2016

CONFLICT




එක්කො ත්‍රීවිල් එකක,
නැත්තං බට්ටෙක්,
ඉඳලා හිටලා ටවුන් ඒස් එකක....
අහිංසක පාට පොඩි එකෙක්ගේ..
එහෙමත් නැත්තං අම්මෙක් තාත්තෙක් වගේ කඳුළු කඩා හැලෙන මනුස්ස පරාණයක..
ඩිජිටල් ප්‍රින්ට් කරපු පොටෝ එකක් එක්ක තඩි බැනර් එකක් එල්ලලා,
කණ හිල් කරගෙන යන අනවුන්ස්මන්ට් පාරක් දාගෙන ගමේ ගොඩේ සිදාදියේ හැම අහුකොන් පාරකම ගාටමින්,
ලොකු දොස්තර මහත්තයෙක්ගෙ රෙකමදාරු ලියුමකුත් දික්කරගෙන,
පින්වත්නි, මේ අසරණ (දරු පැටියාගේ, අම්මගේ, තාත්තගේ.......)
වකුගඩු සැත්කම,
හෘද සැත්කම,
පිළිකාව....බ්ලා බ්ලා බ්ලා...සඳහා..
රුපියල් තිස් ලක්ෂයක්, හාර කෝටියක්.....
ඉන්දියාවට ගෙනියන්න අච්චරක් මෙච්චරක් කිය කියා....
මොකක්ද මේ කරන මේ විජ්ජාව....
අතේ තියෙන දෙකයි පනහ ලොතරැයි කූඩුවටද බට්ටටද..
සිතමින්...
එහාට මෙහාට වාංගු වෙන ඇටසැකිලි වන් සංහිදියාවෙන් මත්වූ බොහෝමයක් වු මිනිසුන්.....

සේනනායක හංදියේ ට්‍රැෆික් ලයිට් රතු පාටයි...
රණවිරු ටී ෂර්ට් එකේ
අත් දෙක හුළඟට වැනෙන..
අවි ගත් දෑත වන්නියේ දමා ආ..
මිල්ලගස් ආරේ රණවිරු අබේසිරිවර්ධන මාවතේ අම්මා පදිංචි වී සිටින..
අබේසිරිවර්ධන මුදියන්සේලාගේ අමිල අබේසිරිවර්ධන...
යදින්නේ කීයක් හෝ ...
යුහ එකයි හතරයි පහයි නමේ..
තරු දෙකේ ලාංජනයේ ලෙදර් වැස්ම අරන් දැමූ..
සුදු පාට ප්‍රාඩෝ එකේ ගාම්බීරව ඇස්දල්වා වාඩිගෙන සිටින..
අත් පා ඇති ඒත් සිත වන්නියේ දමා ආ..
විජේ බණ්ඩාර ගෙන්.....

කවදාද අප පතනා කොළ එළිය අප දකින්නේ....!

ඈ යන්න ගියා නොපෙනී....!


ඔබ සුසුමන්
කළැතූ

 සිතුවිලි සයුරේ
නැගෙනා ඒ රැලි

මහද වෙරළේ
හැපී බිඳී විසිරී

නිමක් නොපෙනනා
සිතුවිලි සයුරම
සඟවාගන්නේ

අද ඔබ මා දමා
සැඟවූ විලසින්මැයි

ඔබ පිය සටහන්
පමනක්මැයි
මහද වෙරළ 
සිප ගන්නේ
සෙනෙහසින්
....... 



Tuesday, 11 October 2016

ආදරණීය පරිප්පු....!

බැදපු තුනපහ මුහුවුන
හතර පාරක් හෝදපු පරිප්පු
ඔලිව් ඔයිල් වලින් තෙම්පරාදු කරපු

නැත්‍තං....

දෙපාරක් හෝදපු පෙඟවපු පරිප්පු
එවෙලේ කොටපු තුනපහ සමගින්
මිරිස් කුඩු යහමින් මුසු උන
අම්මා කෙසෙල් කොලේ ඔතන බත් එකට
හදපු පරිප්පු තෙම්පරාදුව
අමතක නැති රස නිසාම
යල් පැනගිය මගේ රස නහර


ඔයාගේ ආලවට්ටම් ඉහුම් පිහුම්
මගේ යල් පැනගිය කෑම වට්ටෝරු
කොහොමද අපි
කවදා කොහේ හරි
බෙදාගෙන රස කරමින්
වේලක් දෙකක් වත් තලු මරමින්
රස විඳින්නේ..

අපි එතරම් දුරස් නම්
අපි එතරම් වෙනස් නම්
කොහොමද ඉරේ එලියෙන් හඳ බැබලෙන බැව්
ඔබ මා පිලිගන්නේ......!











Friday, 7 October 2016

අයියෝ සිරිසේන....සිරිසේනට යන්න උනාය...!


සිරිසේනගේ තරමක් සමීප රූපයක්......එයා නෙවෙයි මේ...!
සිරිසේන ආයෙත් ඇවිත්.......!

වැරෙන්ඩා එකේ හාන්සිපුටුවෙ පයිප්පේ ඇද ඇද ඉන්නකොට ඉස්සරහා පැත්තෙන් ඇහුනේ මහත්තයෝ කියන හඬ....ඒ සිරිසේනගේ..

සිරිසේන වත්තට හඳුන්නලා දුන්නේ රිටි වලින් පොල් කඩන රංජිත්..ඒ මීට පොල් මුර දෙකකට විතර කලියෙන්...ඒ කියන්නේ මාස හතරකට එහා වෙන්න එපැයි...!

"මහත්තයෝ...

"කොහොමෙයි සිරිසේන ..දැන් සනීපය..."

"හා ...දැන් සනීපයි මහත්තයො..සිංහල බෙහෙතුත් ගත්තා අර අපරැක්කේ වෙදෙක්ගෙන්..මාතර ඉස්පිරිතාලෙන් කිව්වා තව එක පාරක් බෙහෙත් බිව්වම හරිය කියලා..මට දැන් වැඩ කරන්න ඇහැකි.."

"ඔහේට මක්කැයි ඇත්තටම උනේ සිරිසේන.."

"මෙහෙමයි මහත්තයෝ...මම හැමදාම තුනහමාර වෙනකොට නානවා...( හෑ ඒ කියන්නේ මේ මනුස්සයා කිසිම වැඩක් කරන්නේ නෑ කියන කථාව ඇත්ත..තුනට නාන්නේ කොහෙමෙයි පහ වෙනකන් වැඩකරනෑයෝ...)..එදා මම නානකොට මට වෙන කවද්දවත් නොදැනිච්ච ගායක් දැනුනා වම් අතේ..මේං මෙහෙම උඩට උස්සන්න හැදුවා හ්ම්හු..බෑ...වම් කකුලත් හොල්ලගන්න බෑ බෑ වගේ උනා..මම ඔලුව අල්ලලා බැලුවා..ගානක් නෑ...දකුනතින් වතුර කරාමේ වහලා..තෙත සරම හිමීට බිමට වැටෙන්න ඇරියා...සරම ඇඳගන්න හැදුවට බැහැ වගේ...බිම වාඩිවෙලා ඔලුවෙන් දාලා සරම ඇඳගෙන අල්ලගෙන අල්ලගෙන අතගාගෙන දනගාගෙන ගියා වැට දිගේ පන්සලට..."

( මේ මනුස්සයා කියන විදියට මීටර් දෙසීයක් විතර දුරක් ගිහින් නේ...)

"කොහෙන්ද පන්සලට ගියේ.."

"ඉස්සරහින් මහත්තයෝ ..ගේට්ටුව ඇරලා නේ තියෙන්නේ..මම වැට අල්ලගෙන ගියා...ගිහින් පොඩි හාමුදුරුවන්ට කිව්වා...මට ටිකක් අමාරුයි, වීල් එකකට කතා කරන්නය කියලා..ඊට පස්සේ ඒ ආපු වීල් එකේම ආපහු වත්තට ඇවිත් හාමුදුරුවන්ට කිව්වා මගේ කොට්ටෙ යට තියෙන සල්ලි වලින් පන්සීයේ කොළයක් මගේ සාක්කුවට දාලා ඉතිරි සල්ලි තියාගන්නය, මම ආපහු ආවාම ඒවා බේරගමුය කියලා..වීල් එකේ ලමයාට කිව්වා මාව රදම්පොල ඉස්පිරිතාලෙට ගෙනියන්නය කියලා...එතන හිටිය දොස්තර මහත්තයා මාව බලලා ඇම්බූලන්ස් එකට කතාකරලා මගෙන් ඇහූවානගින්න ඇහැකිද කියලා..මම හා කිව්වා..ඒපාර මාව ගෙනිච්චා මාතරට...දවස් දෙකක්ම ඉන්න උනා මාතර..."

"ඔය සුරුට්ටු අරක්කු බොන එක නවත්තන්න කිව්වේ නැද්ද දොස්තරලා.."

"කිව්වා..ඒ ගොල්ලෝ ඒ කියන්නේ පුරුද්දටනේ මහත්තයෝ..මට උනේ මේ කසිප්පු නැති වෙච්ච එකනේ...කසිප්පු තමයි මේ ලෙඩේට බෙහෙත..මට කිව්වේ අර රත්නපුරේ දොස්තර මහත්තයා..මහත්තයා දන්නවත් ඇති අර මාරපන් වලෙව්වෙ ලොකු දොස්තර මහත්තයා..එයා තමයි කොළඹ මහ ඉස්පිරිතාලේ ලොක්කා..එයා කිව්වේ මේකට..අර මහත්තයෝ සිංහලෙන් කියනව නේද පඩ යනවය කියලා..ලොකු දොස්තර මහත්තයා මගෙන් ඇහුවා පඩ යන්නේ නෑ නේද කියලා..මම නෑකිව්වා...කසිප්පු බීපු හැටියේ හෝ ගාලා යනවානේ මහත්තයො..එතකොට ඉහෙන් බහින ලෙඩක් නෑ..මේ ලෙඩේ පටන් ගත්තේ අර මිල්ලගස් ආර පන්සල ඉස්සරහ තියෙන අක්කර පහේ මුර කරනකොටනේ..කැකුනදුරේ කසිප්පු විස වෙලා අර ගොඩාක් ඈයෝ මැරුනැයින් පස්සෙ කසිප්පු නැති උනා.ඉතින් මම අරක්කු බිව්වා..එදා ඉඳන් ලෙඩ මහත්තයෝ.."

"සිරිසේනට දැන් වයස කීයද..? "

"72ක් නේ දැන්...."

හදිසියේම කතාව නැවැත්තූ සිරිසේන ලොකු කල්පනාවකට වැටුනා...මේ මනුස්සයා හරිම අද්භූත චරිතයක්..මම ඉස්සරවෙලාම කථා කරපු දවසේ ඒ කියන්නේ වැඩට ඇවිත් සුමානෙකට විතර පහුවෙලා ගේට්ටුව ගාවදි හම්බවෙලා මාත් එක්ක ඇවිදගෙන ආවා..අමුතුම ශාන්ත කමකුත් ඒ වගේම භයංකාර නිශ්ශබ්ද කමකුත් ඇති සිරිසේන කා සමගවත් වැඩි කතාබහක් කලේ නෑ...එකම වේගයකින් බිම බලාගෙන ඇවිදින ඔහු කිලෝමීටර් තුනක විතර දුරින් තියෙන රත්මලේ හංදියට ඇවිදිනවා අරක්කු රුපියල් සීයක බොන්න..ආපහු එනකොට ආයෙත් අරක්කු තිබහ හැදෙනවා ඉතින්...මුරකාර රස්සාව කෙසේ වෙතත් දවසේ වැඩි හරියක් සිරිසේන පාරේ...මේ ගතිගුන නිසාත්, ඈතදීම සෙරෙප්පු ගලවා මා ලඟට ඇවිදගෙන ඒමත්, කිසිමදාක කසාදයක් දරුමල්ලෙක් නොවුනු එකත් නිසා මට හිතෙන්නෙම මේ මනුස්සයා හිටපු හාමුදුරුකෙනෙක්ද කියාය. එදා ගේට්ටුව ගාව ඉඳන් ඇවිදගෙන එන ගමන් මම ඇහුවම දරුමල්ලො ඉන්නවද කියල සිරිසේන කිව්වේ, ගෑනු මට අකපැයි මහත්තයො..ඕවා හරි කරදර හිතුවිලි කියලා..මාර කථාවක් ඒක...

"මහත්තයො මට රස්සාවක් දෙනවද..?"  එක පාරටම එහෙම අහපු සිරිසේන පලමුවෙනි වතාවට මගේ මූණ බැලුවා...

"සිරිසේන ඊයේ  රෑ කොහෙද හිටියේ..."

"කඹුරුගමුවේ අපේ මලයගේ අහ...එහෙ ඉන්න බෑ මහත්තයො..මලයා මගේ උනාට ඔය ගෑනු කියනවනේ ඔය ඉතින් මැරෙන්නය අපේ ගෙදර ආවෙ කියලා...මට ඔය ගැනුන්ගේ කථා අහන්න බෑ මහත්තයො...මට රස්සාවක් දෙන්න පුලුවන්ද කියන්න මහත්තයාට..?"

"රස්සාවක් කරන්න ඉස්සර වෙලා ඔය වයසට පරිස්සම් වෙන්න ඕනි නේද සිරිසේන..තනියම මේ වතු මැද ඉන්න හොඳනෑ නේ ද...එදා හාමුදුරුවො නොහිටියනං..?"

"මට තැන් දෙක තුනකින් කථා කරලා තියෙනවා, මම එහෙනම් ඒ තැනකට යන්නං මහත්තයෝ....මට එක උදව්වක් කරන්න ඕනි මහත්තයා.."

"මොකක්ද සිරිසේන කරන්න ඕනි...?"

"මම දන්නේ නෑනේ මහත්තයෝ මෙහෙ වැඩ කොරන කට්ටියගේ නම් ගං..අර හීන්දෑරි.. මැසිමෙන් කැලෑව සුද්ධ කරන හාදයා, එයා මගෙන් එක දවසක් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා, තව දවසක් මහ හදිස්සියෙන් වගෙ ඇවිත් රුපියල් දාහක් ඉල්ලගත්තා, මහත්තයා ඒ එකදාස්පන්සීය මට දීලා ඒ හාදයගෙන් ඒ සල්ලි ඉල්ලගන්න..ඒ උදව්ව කරන මහත්තයො මට.."

"අර ට්‍රැක්ටර් එක එලවන කෙනාද..එයා අන්න එහා පැත්තේ අද පොල් කඩන තැන ඉන්නවා..සරත් මහත්තයාත් එතන ඉන්නවා..ඉස්සරවෙලා ගිහින් සරත් මහත්තයා ඉස්සරහා ඒ හාදයාගෙන් ඔය ගනුදෙනුව බේරගන්න හැටියක් කතාවෙලා එන්න එතකොට සරත් මහත්තයා සල්ලි ගෙවාවි සිරිසේනට.."

"ඒකට මහත්තයෝ එයා කියාවිනෙ සල්ලි හෙට ගෙනත් දෙන්නංය අරකය මේකය කියලා.."

"එක තමයි සිරිසේන මම කියන්නේ සරත් මහත්තයා ඉස්සරහා ඔය කතාව කතා කරගත්තම ඉවරනේ කියලා..යන්න දැන් ගිහින් ඒක් කරගෙන එන්න.."

"හොඳමයි මහත්තයෝ.."

ඈතට ඇවිදගෙන යන සිරිසේන...!
මගේ හිත තාමත් තෝන්තුවෙලා වගේ...ලංකාවට ආවාට පස්සේ අත්දැකපු දේවල් වලින් මගේ යන්තං හරි ගෑවිලා තිබුන මනුස්සකමට හෙන ගැහිලා....මම කියලා මොනාකරන්නද...මේ මනුස්සයාව මට බලාගන්න බැහැ...සල්ලි දුන්නාය කියලත් වැඩක් නැහැ..රස්සාවක් දෙන්නත් බැහැ අංශභාග රෝගියෙකුට...කාගෙද වගකීම...මට මේ වැරැද්ද හදන්න බෑ..හදන්න කියන්නත් එපා....!

ප.ලි.-මේ සිරිසේන ජීවත්වෙන්නේ දකුණුපලාතේ ඌරුගමුවෙ දන්දෙනිය ග්‍රාමයේ...පොලොන්නරුවත් එක්ක කිසිම සම්බන්ධකමක් නැත...ශිෂ්‍යත්වය පාස්දැයි නොදනිමි..!

Sunday, 2 October 2016

Confused breakfast


උදේ ආහාර වේලක්...මිනිත්තු හතරේ බාගෙට තැම්බූ බිත්තර දෙකක් සහ පාන් ටෝස්ට් පෙති දෙකක පින්තූරයක්


කටු අනෝදා වගේද
මුරුසි අන්නාසි වගේද
වැලි ආතා වගේද
පැණි වරකා


තම්බපු මුං ඇට
තම්බපු කව්පි
තම්බපු බතල
වගේද බාගෙට තම්බපු බිත්තර හැන්දෙන් කනකොට...උදේට..


පොල් සම්බල්
සුදුබත්
කිරිහොදි එතුනු
හාල් පිටි ඉඳි ආප්ප
වගේද ටෝස්ට් පාන් එක්ක මාමයිට්

ඔය ඔක්කෝටම වඩා
නරක නැද්ද හැබෑට
කිඹුලා බනිස් එක්ක
ආනමාලු....


Saturday, 24 September 2016

අභිමන්.....!

අඳුරු රාත්‍රියක ඈතින් එන ආලෝකයෙන් පනගැන්වුන, දුම්බොන්නෙක් ගේ ඡායාවක්
ඉඟ දා
දඟර දා
සිත මා පෙලා
දුවනා....

රෑ බදුල්ලා

ඔබමය....

Sunday, 18 September 2016

රතු දෙතොලින්

"LIPS" by cynthia
දෙතොලින් රතු
දැනුනෙද චුම්බනයේ මහඟු
රසෝගය
සොඳුරියේ...

දුර කතර ගෙවා
ආ මග හමු නොවුනෙම්ද
ඔබ මා දුරස් කෙරුමට
දහසක් නිමිති...

එනමුදු මා අතැර
නොදුව හෙටත්....

ඔබ තුරුලේ
ඔබ සිහිලැල් තුරුලේ
වෙලී ගැලී අතරමංව
අනන්තයට දුවයෑමට
රත් දොකොපුල් සිප සැනසෙන්නට
ඉඩ හරින බැව් පවසා
ඉගිලී යන්න හිස් අහසේ
මා වැහි ලිහිණි...








Friday, 12 August 2016

වර්ණ


වර්ණ
නොපෙනෙන
නිසාම
නොදැනෙන

නොදැනුනත්
දැනෙන
සංකීර්ණ
වර්ණ

පාට පාට
හීන
ගෙනෙනා ඔබ
දන්නා
සත්‍යයෙන්
එපිට සත්‍යය
වර්ණ

ජයගතිමි
ජයගනිමි
මා
වර්ණ

වර්ණාන්දභාවය ...මගේ ශක්තිය...



Tuesday, 9 August 2016

කේරළ පොරොටා, චිකන් මසාලා නවක වදය



Ruwi OK Centre
1992 ජූනි මස 12 වෙනිදා, සීබ් (මස්කට් ) එයාපොර්ට් එකෙන් ගොඩ බට මා කිලෝමීටර 40ක දුර ගෙවා කෙලින්ම රුවී වල ඕකේ සෙන්ටර් එක ගාව තියෙන තට්ටු හතේ බිල්ඩිමේ හතර වෙන තට්ටුවෙ තිබිච්ච අල් හට්මි ඉන්ජිනිරියන් ඇන්ඩ් කන්සල්ටන්සි ඔෆීසියට ගොඩ වැදුනේ සුට්ටං එලිවේටර් එකක නැගිලා...ඒක උඩට එනකොට හෙල්ලිච්ච හෙල්ලිල්ලට වඩා මගේ හිත හෙල්ලුනා ඔෆිස් කට්ට දැක්කම...හපොයි කිය උනා මගේ සරුවාංගෙටම...

මීට සතියකට කලියෙන් මම දහරාන් ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බෑමෙන් පසු සිදුවූ දේවල් මෙතන කෙටියෙන් ලියා ඇත...මට සිහි වූයෙ මා දහරාන් නගරයේ සේවය කල සමාගම තිබූ මහල් ගොඩනැගිල්ලත්, එහි දහ වන මහලේ මා සේවය් කල ඔෆීසියේ තිබූ සොෆිස්ටිකේෂන් එකත්ය...කාමර තුනක කුඩා අපාර්ට්මන්ට් එකක එහෙන් මෙහෙන් ඔෆිස් මේස පුටු අහුරා තිබූ මේ නව ඔෆීසිය මට හිරිගඩු ගෙනාවේ සුලු කාලයකට පමනි..ප්‍රධාන ඉන්ජිනේරුවා වූ අශෝක් දාස් මහතා බටහිර බෙන්ගාල ජාතික දෙකන් දිග (බුදු සාධු වගේ) පැහැපත් සොඳුරු මනුස්සයෙක් වීමයි එයට හේතුව.

Asok Das-Chief Engineer Al Hatmy Engineering

ආ ගිය තොරතුරු කතා කොට, අශෝක් දාස් මට සජී සමග මාගේ තාවකාලික නවාතැන, ඒ කියන්නේ මගේ ප්‍රිය බිරින්දෑත් දරු දෙදෙනාත් එනතුරා මා හට එන කල බැචුල ඇකම්ඩෙෂන් එක, වෙත ගොස් වෙහෙස නිවා ගෙන එන ලෙසත්, ඔහු පහුවෙනිදාම කල්කටා වෙත නිවාඩු පිණිස යන බැවින්, මට කලියෙන් මෙහි සේවය කල ආකිටෙක්ට් මහතා බාගෙට දමා ගිය රජයේ තට්ටු බිල්ඩිමක ඉතිරි වැඩ කටයුතු නිමා කොට ඔහු ආපසු පැමිනෙන විට ටෙන්ඩර් කිරීමට පිළියෙල කර තබන්නයැයි කී විට මා පැවසුවේ, නැත මට විඩාවක් නොමැත, ඔබ යෑමට කලියෙන් මට කිරීමට ඇති වැඩ ප්‍රමානය ගැන විස්තර කරන්නයැයි කී නිසා හැන්දෑ වෙනකන් ඔහු සමග ගැවසීමටත් අලුත් රටේ වැඩ කරනාකාරයේ දිග පළල යහමින් දැනගැනීමටත් හැකි විය...

කොළඹ සිට සීබ් ගුවන් තොටුපොලට ඇති පැය තුනහමාරක ගුවන් කාලයත්, පැය එක හමාරක් වූ කාලයේ වෙනසත් ජෙට් ලැග් නොගෙනා නිසා මා හට එතරම්ම මහන්සියක් නොදැනුනේ මා 31 වෙනි වියේ පසු වූ නිසාම විය යුතුය..දැන් නම් කොළඹ සිට හයිවේ එකේ මාතර පැත්තට යනවිට ගැලනිගමදීම නින්ද යයි...

Ruwi Civic Centre

සවස පහමාරට පමන රුවී නගරයේ තවත් ලෑන්ඩ්මාර්ක් එකක් වන ජෙනෙට්කෝ බිල්ඩිමේ තුන්වෙනි මහලේ තිබූ මාගේ තාවකලික නවාතැනට යනවිට (එය කාමර තුනකින්, සාලයකින් සහ මනාවට පිරිපුන් මුලුතැන්ගෙයකින් සමන්විත අපාර්ට්මන්ට් පොඩ්ඩක් විය )මාගේ ෆ්ලැට් සඟයන් වූ නන්දි නම් බටහිර බෙන්ගාලි ජාතික ආකියෙකුත්, පෝල් ථෙවකාන්තන් නම් යාපනයෙන් පැමිණි සිටි ශ්‍රී ලාංකික ස්ට්‍රක්චරල් ඉන්ජිනේරුවාත් මූණ කට සෝදා සරම් වලට ෂොර්ට් වලට බැස සිටියෝය.

නන්දි අන්තිම කොනේ කොරිඩොරුවකිනුත් හැරීගියාට පසු හමුවෙන කාමරයකත්, එයට යාබද විශාල කාමරයක පෝලුත් ජීවත් වු අතර විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය අසල තිබූ අමුත්තන්ගේ නිදන කාමරය මට වෙන්කොට තිබුනේය.. මා එයට පෙම්බැන්දේ එහි තිබූ පළල අලුමිනියම් ජනේල වලින් මට රුවී මිටියාවතේ හොඳම දසුන් කෙරවලක් නොමැතිව සපයා දීමත්, මාගේ ආදරණීය මුලුතැන්ගෙය මා අසලම ගැවසීමත් නිසා වියයුතුය.

Ruwi Valley seen from Yeti

මේ කාමරය තුලත්, මේ කුඩා නිවහන තුලත් ඉදිරි මාස තුනක කාලයේදි රසවත් සිදුවීම් නේක රාශියක් සිදුවූ බැව් මා දැන් සිහිකරන්නේ පුදුමාකර ආත්ම තෘප්තියකිනි.

එනමුදු, තවමත් උත්තර හොයාගැණීමට නොහැකි වූ එකම එක පුද්ගලයෙක් වටා සිදුවූ  සිදුවීම් ජාලයක් මා පසු පස එලවයි. එය ලියා තැබිය යුතුය යන්න මා පෙලයි. මාගේ මේ ලියවිල්ල ඔහුත් කියවන බවත්, මෙය කියවු විට ඔහු දැන් මා මෙන් ජීවිතය විඳ ඇති නිසාත්, ඔහේ ලියාගෙන යමි.

එයට පසුව පිවිසෙමු. මිනිසුන් ගැන කීමේදී මට මතක් වෙන්නේ මා සීබ් ගුවන් තොටුපොලෙන් එකතු කරගැනීමට පැමිනි සජී නම් කේරළ ඉන්ජිනේරුවා සමග රුවී නගරය වෙත පැමිනෙමින් සිටිද්දී වු කුඩා සිද්ධියකි. මා දහරාන් නගරයේ ජීවත්වූ මාස 13ක කාලය තුලදී වාහනයක් පාවිච්චි කරේවත්, කුලී රථයක නොගිය බවත්, ඔෆීසියෙ සිට නවාතැනට කුඩා බසයකින් ගෙන ඇරලූ බවත් පැවසිය යුතුය. සීබ් ගුවන් තොටුපොලින් මා එකතු කිරීමට සජී පැමිණි සිටියේ ඔහුගේ නවතම කාරයෙනි. බෑග් මලු එකතු කොට ඩිකියේ දමා මා ඔහුගෙ කාරයේ ඉදිරි අසුනේ වාඩිකරගත් සජී සීබ් සිට රුවී දක්වා වාහනය පදවමින් සිටින අතර අපට සමාන්තරව ධාවනය වන කුළී රථයේ සිටි ඕමානි ජාතික රියදුරා අතින් පයින් ඔහු හට මා පෙන්න පෙන්නා මොනවාද පවසයි. මේ හස්ත මුද්‍රාව මට නම් තේරුම් ගත නොහැක. අපෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබුනු මේ ඕමානි ජාතික ටැක්සි රියදුරා අපට ඉදිරියෙන් ගොස් පාර හරස් කර වේගය සෙමින් අඩුකරමින් අපහට වාහනය නවත්තන තැනට වැඩ සිද්ධ කලේය...මා හිතුවේ රටට ගොඩ බැස්ස හැටියේම මට කෙළවෙන්න යනවා යන්නය...ඔහුගේ රථයෙන් බැස ඇවිත් ඔහු උරිස් කරට ඔහුගෙ අත තියමින් පහලට අදින ස්වභාවයක් පෙන්වමින් අරාබි බසින් යමක් පවසයි. එවිට අරාබි බස හොඳින් හසුරන සජී,
 "සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
 "අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.

මේ ඕමානි ජාතික මිනිසා මෙසේ කලත්, එදාම හවස සිදුවූ තව සිදුවීමකින් තලා පෙලා දැමූ මගේ සිත තාමත් ඔද්දල්ය. අවුරුදු 24කට පසුත් ඔද්දල්ය..

තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...

දැන් මෙය මාගලක් වීමට මාන බලයි....

කෙටියෙන් ලියා අහවර කිරීම ඇඟට හොඳය..

අප අතර ඇතිවූ දෙබස....මෙය සිදුවුයේ මාගේ කාමරය තුලය..නන්දි සහ පෝල් මෙයට සම්බන්ධ නැත..හහ්..

මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?

ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...

අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...

දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.

මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...


කේරළ පොරොටා
චිකන් මසාලා

ඒ සැන්ඳෑව සතුටින් ගෙවූ අපි වෙන්ව ගියේ මා කෑමට රෙජිස්තර වූ තැනින් රෑ කෑමත් කෑමෙන් පසුවයි. ඒ කෑමේ ආදීනව දැන්නුනේ පහුවෙනිදාය...ඇසිඩ් ගිල්ලා වැනි දැවිල්ලත්, ඔලුව පිටුපසින් නැගී එන වේදනාවත් මා හට ගැස්ට්‍රයිටීස්වල හොඳ එක වැළඳී ඇති බැව් කියා පායි...හැන්දෑවේ අනුරයා පමනක් මා සොයා ආවේ පසුව අපගේ ප්‍රියතම පානයක් වූ ඉන්දියන් රම් බෝතලයක්ද සමගයි.

රහමෙර පානය කිරීමට තරම් හිතක් තිබුනත් අමාශයක් නැති නිසා ඒ බැව් අනුරට කී විටයි මට තේරුම් ගියේ මාහට සිදුවූ දේ....අප අතර ඇතිවූ දෙබස...

මම: මාර ගැස්ට්‍රික් මචං..මට ඉන්දියන් කෑම හුරු නෑ..ඔක්කොටම වඩා අර පොරොටායි චිකන් මසාලා එකයි මාර කේස්නේ..

අනුරයා: උඹ සවුදි ඉන්නකොට කෑවේ ඉන්දියන් නෙවෙයිද...?

මම: නෑ බං මම උයාගෙන කෑවේ...?

අනුරයා: උඹට උයන්නත් පුලුවන්ද..?

මම: හ්ම්ම්...

අනුරයා: ඇයි බං උඹ ඉන්දියන් කෑම මෙස් ෆැසිලිටි එකට ගෙව්වේ..ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකෙත් මෙස් ෆැසිලිටි එක තියෙනවනේ..මමයි ලලිතුයි කන්නේත් ඒකෙන්මනේ..ගානත් එකයි...මම මාර අප්සෙට් එකේ හිටියේ උඹ ඇයි ලංකාවේ කෑම කන්නේ නැත්තේ කියලා...

මම: හෑ...ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවද..? කොහෙද..ඈතද..?

අනුරයා: ඈත නෙවෙයි රුවී හයි ස්ට්‍රීට් එකේම උඹ කන තැනට පොඩ්ඩක් එහායින්...සුනිල් කියලා ලංකාවේ ඉංජෙක් කරන්නේ රෙස්ටෝරන්ට් එක...

මම: ඒ කියන්නේ ලලිත් ඕනකමින්මද මට කේරළ ස්පොට් එක සෙට් කරලා තියෙන්නේ..?

අනුරයා: ඒ වගේ නේ..ඌ උඹේ යාලුවෙක් කියලා නේද කිව්වේ...මේ ඒක නෙවෙයි තව එකක් තියෙනවා උඹට කියන්න...

මම: මොකක්ද..?

අනුරයා: ලලිත් මාර....!!!!!

මම: එපා එපා ඔයිට වඩා කියන්නෙපා..ඔය හොඳටම ඇති..!

දශක දෙකකටත් එහායින් සිදුවූ මේ සිදුවීම මට තාමත් ප්‍රහේලිකාවකි...ඇයි...ඇයි...???



නවක වදය හෙලා දකිමු...!



Tuesday, 2 August 2016

යාද පාත්‍රා









යාද පාත්‍රා
පාද යාත්‍රා
උගුල්ලමු දත්
හක්කේ දත්
සංජේ දත්

ආකේඩ් නිදහසේ
මන්දිරේ ප්‍රැන්ගිපානි
අහස උසට ප්‍රයිස්ඩ්
ජැකලීන්ගේ
ජැකාගේ
කෑමසූත්‍රයෙන් නිමවූ
කාපු බීපූ ආප්පයක් හෝ දෙකක්
කෙලෙව්වා නේද රටකට

 නෑනේ...පහයාලනේ
බළල්ලුන්ගේ බෑවූ...

කෑව නේද ඒ කොස් ඇට
ඇටනැති වලුනැති
දරුපැටැව් නැති...

ලියාපං ඒලෙවල්
යමුද අපි ගෙවා ගන්න ඩිගිරිය
ලන්ඩොන් නෙවෙයි එඩෙක්සෙල් නෙවෙයි
අමුම අමු අපේම ඒලෙවල්...

ඒ පිහිටෙන් ගෙන්නාගත්තු
බදුරහිත මොන්ටෙරෝ ස්පෝර්ට්ස්
ෆෝර් ස්ටාර් ඩීසල් පුරෝගෙන
ඩිෆෙන්ඩර් ඉස්සරහාට නැතත්
කොන්දනමාගෙන
හැරමිටි ගහගෙන
දූපත් මානසිකත්වය පුරෝගත්
සේෆ්ටි බෙල්ට් දාගෙන
දූෂිත හයිවේ එකේ
කිරිහට්ටි පොල්පැණි
බලමාලු තියලා ඇඹුල්
රතුබත් එක්ක ගිලින්නට

යාද පාත්‍රා
පාද යාත්‍රා
රතු එලි
කොල එලි
ගව්ගානක් දුර
මහ චන්දේ පතාගෙන....!

එච්චරයි ඉතින්....නැද්ද හා...!

Monday, 1 August 2016

කන්ථක (help me)





අභිනික්මන..

බැහැ මට හිතන්නවත්...

නේරංජනාව පළල නිසා නං නෙවී.....

අලුත්ම ටෝයි එක චෝයි...!!!!


Tuesday, 26 July 2016

රට ගිහින් ඇවිත් කරපුවා....!



මම ජීවිතේ බෙදාහදාගෙන ජීවත්වෙන කෙනෙක්..එහෙම කිව්වේ උයන මවන අඳින කියන තුන්වැදෑරුම් කාරනා කටයුතු කරන නිසා..
අද තවත් එක අලුත්ම අලුත් කාරනාවකට අතගහන්න අවස්ථාවක් ලැබුනා...
අවුරුද්දක් තිස්සේ හිතලා, මවලා ඇඳලා අද උදේ 9.17ට නැගෙනසිර දිශාව බලාගෙන සමන් දෙවියො සිහිකරලා කලානේ හොඳ වැඩක්...
ලංකාවට ආවාට පස්සේ කරපු තුන්වෙනි ව්‍යාපෘතියේ පළමුවෙනි පස් පිදැල්ලනං කැපුවෙ මැයි මාසේ..


ඔය උඩින් තියෙන පොටෝ වල ඉන්න සමහර චරිත මේ පෝස්ට් එක කියවන අය දන්නව ඇති..අනේ මම නං ඒ ගොල්ලො එක්ක කිසිම ආස්‍රයක් එහෙම නැහැ....

ඊට පස්සේ අද උදේ තමයි ඒ ව්‍යාපෘතියේ පයිල් ෆවුන්ඩේෂන් කටයුතු පටන් ගන්න නැකැත තිබුනේ...

නමෝවිත්තියෙන් කියලා පලමුවෙනි පයිල් එක ඩ්‍රිල්කරන්න කියාපි ආකිටෙක්ට් වන මට..වම් කකුල තාම නොන්ඩිනේ ගිය මාසේද කොහෙද වෙච්ච අලකලංචියක් නිසා..බෑ කියන්ඩයැ..නැග්ගා හතර පස්දෙනෙක්ගේ ආධාරයෙන් පයිලින් රිග් එකට..පුදනකොටම කාපි යකා කියලා ජරමර අස්සේ


මම අත තියලානේ ඉමර්ජන්සි ස්ටොප් බටන් එකට...හුචෑස් ගාලා රිග් එක නැවතුනානේ..තව විනාඩි පහක් තියෙනවා බයවෙන්න එපා කියලා ඔපරේටර් මල්ලි ආයෙත් ස්ටාර්ට් කරලා කියලා දුන්නා වැඩේ කරන්න ඕනි ආකාරය...දකුනු අතින් රිග් එක කරකවන ජෝයි ස්ටික් එක වම්පැත්තට තල්ලු කරන ගමන්, වම් අතට තියෙන ජෝයි ස්ටික් එක පහලට තල්ලු කරනකොට ඩ්‍රිල් එක කැරකෙමින් පහලට තල්ලු වෙන ආකාරය පොඩි රිහසල් පාරක් දාලා එහෙම සමන් දෙයි හාංදුරුවනේ කියලා 9.17ට (උදේ හොඳේ ) වැඩේ කොලා..






මේ ප්‍රොජෙක්ට් එක මට හම්බ උනේ ඒ කියන්නේ මාව ආකිටෙක්ට් හැටියට තෝරගෙන තිබුනේ හරිම අපූරු විදියකට..මේ වගේ සංකීර්ණ වැඩ රාජකාරි පෞද්ගලික අංශයේ ආයෝජකයො කරන්නේ දන්න හඳුනන ආකිටෙක්ට්ලායි ඉංජිනේරු මහත්තුරුයි කොන්ත්‍රාත් කරුවොයි එක්ක සාමාන්‍යයෙන්...ඒ උනාට දශක දෙකක් මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයෙන් ඉවත්වෙලා පිටරටක හිටපු මාව දන්නේ කොහොමෙයි මෙහේ ඉන්න ආයෝජක උන්නැහේලා...
මේකේ අයෝජක උන්නාන්සේ එක දවාලක මගේ ගඟ අයිනේ තියෙන පුංචි ඔෆීසියට ආවා මගේ නමත් කියාගෙන..එයාට මගේ ගැන කියලා තියෙන්නේ මගේ ගාව වැඩ කරන්න ආසාවෙන් හිටිය සැලසුම් ශිල්පියෙක්..මම ඔහුව, ඒ කියන්නේ ඒ සැලසුම් ශිල්පියාව, මම සම්බන්ධ උන එයාපොර්ට් ප්‍රොජෙක්ට් එකේ ඉන්ටර්වීව් එකකට ආවාම තෝරගත්තේ නෑලු එක්ස්පීරියන්ස් මදි කියලා..ඊට පස්සේ මම ලංකාවට ඇවිත් ඉස් ඉස්සෙලාම සහභාගි උන ආංඩුවේ තාම කචල් ප්‍රොජෙක්ට් එකේ වැඩට ආවාම (එතකොට සෑහෙන කල් ගිහින් නිසා) එයාව තොරගත්තාලු වැඩ කරන්න...එයාගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් තමාලු මගේ ගැන විස්තර මේ ආයෝජක උන්නාන්සෙට ගිහින් තියෙන්නේ..මොනා හරි හොඳක් කියන්න ඇතිනේ ඉතින්..
මාව දැකපු ගමන් ආයෝජක උන්නාන්සේ කිව්වේ මචං මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද කියලා...හප්පේ මගේ ජාතියේම උන්නාන්සේ කෙනෙක්..ඊට පස්සේ ලංකාවෙ වැඩ කරන ආකියොන්ගේ රෙදි ගැලැව්වා මේ උන්නාන්සේ සුද්ධ හිංගලෙන්...එහෙම කියල කිව්වා මචං මගේ ඊලඟ බිල්ඩිම උඹ කරපාන්ය කියලා..හනේ ඉතින් මමත් හාය කිව්වා...එදා ඉඳන් ඒ උන්නාන්සේ මගේ හොඳම යාලු වහන්සෙත් උනා..
අවුරුද්දක් විතර කොළඹ මියුනිසිපැලිටියේයි, ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිවුන අර නාගරික සංවර්ධන අධිකාරියයි, ඒවියෙෂන් එකයි අරකයි මේකයි එක්ක හෙට්ටු කරලා කරලා යන්තං තට්ටු 12කට අවසර ගත්තා..
ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ මේ ආයෝජක උන්නාන්සේ කියපි මචං මට තට්ටු පහක උසට ඔටෝමේටඩ් කා පා‍ර්ක් සිස්ටම් එකක් ඕනිය කියලා, කොරියන් කොම්පැනියක් ගෙනත් දාපි මගේ ඇඟට..බෑ කියන්ඩයැ..ආයෙත් මුල ඉඳන් එහෙට මෙහෙට අරවා මේවා තල්ලු කොරලා දැම්ම අර ඉබේ ගිහින් පා‍ර්ක් වෙන කාර් පා‍ර්ක් කරන සිස්ටම් එක..කාර්ම 100ක් දාතෑකි, මොකෝ එලවගෙන යන්න ඕනි නෑනේ..කාර් ලිෆ්ට් දෙකක් තියෙනවා, කාර් එක ලිෆ්ට් එක ඉස්සරහට ගිහින් පා‍ර්ක් කලාම ඉබේම ලිෆ්ට් එක ඇතුලෙන් එන ට්‍රේ එකකින් කාර් එක අරන් ගිහින් කොහේ හරි පාක් කරනවා, ආයෙත් ඕනි උනාම එයාම ගිහින් හොයලා ගෙනත් දෙනවා...එහෙම උනොත් හොඳයි ඉතින්, නැත්තං මාව කාවි ඔතනට එන කස්ටමර්ලා..

මේ බිල්ඩිම ඉන්ටර්නැෂනල් බැංකුවකට හදලා දෙන්නේ, කොළඹ 02 යූනියන් ප්ලේස් එකේ හදන්නේ, තව මාස 24කින් ආවනම් කාර් එක ඒ විදියට පාර්ක් කරගන්න ඇහැකි කැමති අයට, අනේ මට නම් ඒකට බයයි, අර කොරියන් ටෙලිනාට්ටිවත් බලන්නේ නැති මට ඔය ගැජට් හරි යන එකක් නැහැ..
ඒ පැත්තේ යනකොට බලන්න පුලුවන් පයිලින් රිග්ස් වැඩ කරනවා දිවා රාත්‍රී මොකෝ මාස තුනයි පයිල් ෆවුන්ඩෙෂන් වලට ඉඩ දීලා තියෙන්නේ...!


මේ ලඟදි මම කොළඹ 5, ෆයිෆ් රෝඩ් එකේ කරපු ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් එක පාදක කරගත් ගෙදරකුත් ලස්සනට ඉවර කරලා බාරදෙන්න පුලුවන් උනා මාස හතරක් විතර පරක්කුවෙලාහැබැයි..වහිනවනේ..ඉතින් වැඩ පරක්කු වෙනවා....පරක්කු කරනවනේ මේ කොන්තරත් අයියලා..
මේ මම පාරට පේන ආකාරය මගේ ෆෝන් එකෙන් කොටු කරගත්ත හැටි මගේ ෆයිෆ් රෝඩ් රෙසිඩන්ස් එකේ...



මේ පල්ලෙහා තියෙන පොටෝ එකේ තියෙන්නෙ ඇතුලේ මම ආසාම ස්පේස් එක ඒ ගෙදර තියෙන,
අපේ නෝනා මේ ස්පේස් එක එක්ස්පීරියන්ස් කරපු තරම පොටෝත් ගැහුවනේ ඉතින්..!





මේ දවස්වල මගේ බ්ලොග් යාලුවො තුන්දෙනකුටත් ගොඩනැගිලි නිර්මාණය කරන්න චාන්ස් එකක් දීලා තියෙනවා...ඒකත් හරිම ආස්වාදජනක වැඩක් මටනම්..මොකෝ ඔහේ නිකන් ඉන්න කෙනා වෙච්චි...


Sunday, 17 July 2016

මිරිඟුවට එහා....!







ඈත පෙනෙනා
මෑතකම හැඟෙනා
උසින් හිඳ ඉඟි කරනා
බිමින් මා වෙත ඇදෙනා
ඔබයි මිරිඟුව මා ඇදෙනා...


ඔබයි මිරිඟුව මා වෙත දුවනා....

Friday, 8 July 2016

මැණික්










තනි වෙමු
අපි
අපේ
ලොවේ

හෙටත්
අදත්
ඊයෙත්
පෙර ආත්මෙත්

කාටවත්
කවදාවත්
කොහොමටවත්
නොතේරෙනුත්

ආදර හැඟුමක්
ආදර පැතුමක්
ආදර සිතිවිල්ලක්
සෙනෙහසින් දුන්හාද්දක්

හදපත්ලෙන්
පොදිකරගත්
රැකගත්
ආදර හැඟුමක්

දුන්හිඳ
දියලුම
පිනි පොදින් තෙත්වූ
ඔබ නාඹර දෙතොලේ
රසෝගයෙන් තෙත්වූ
සියොලඟ ගැහෙනා රාවය
තියා යන්න මා අසබඩ
තනිවෙන්නට මගේ ලොවේ
හෙටත්....

55යි ඕයි....!