Tuesday 25 October 2016

අමිල පෙම....!



උසට ගැලපෙන මහත
මවිල් පිරුන පපුව
පිරිමිකම ඉහවහා ගිය
ඔබ දැඩි දෑත...
හසුරුවන සුක්කානම පෙනේ මට ඇස්කොනින්..

මහවැහි වහී එළියේ
පොඩිත්තී ගුලිවී හීතලේ
පිටුපස අසුනේ මාතුරුලේ....
ඇය....
ඔබ මව්බිසව්...ඉදිරි අසුනේ...
මෙයයි මගේ..නැහැ..අපෙ ජීවිතේ...!






Saturday 15 October 2016

ආදරණීය නේරංජනා...!

වැවුරුකන්නල පන්සලේ බුදුමැදුර තුල දර්ශණයක්...

වප් පෝයට සඳවතී දිලිසෙන
පරෙයි වෙරළ ඔබ දෙපා නොතෙමවන

වැලිමත සිත්තම් කල වුවන
ඈත සිටි මා නොදකින

වැවුරුකන්නල  නිවෙන දෑසට
ඔබ නෙත් යොමාන

වැවුරුකන්නල ඝන්ටා නාදයට
මා දෙසවන් යොමාන

තනිවෙන්නට හෙටදින
හිරු දෙවියන් හනිකට ඉපදෙන

සයුර අද්දර අප හමුවන
සොඳුරු සැඳෑව මා සිහිනෙන් ලංවන

ආදරණීය නේරංජනා....!






Friday 14 October 2016

CONFLICT




එක්කො ත්‍රීවිල් එකක,
නැත්තං බට්ටෙක්,
ඉඳලා හිටලා ටවුන් ඒස් එකක....
අහිංසක පාට පොඩි එකෙක්ගේ..
එහෙමත් නැත්තං අම්මෙක් තාත්තෙක් වගේ කඳුළු කඩා හැලෙන මනුස්ස පරාණයක..
ඩිජිටල් ප්‍රින්ට් කරපු පොටෝ එකක් එක්ක තඩි බැනර් එකක් එල්ලලා,
කණ හිල් කරගෙන යන අනවුන්ස්මන්ට් පාරක් දාගෙන ගමේ ගොඩේ සිදාදියේ හැම අහුකොන් පාරකම ගාටමින්,
ලොකු දොස්තර මහත්තයෙක්ගෙ රෙකමදාරු ලියුමකුත් දික්කරගෙන,
පින්වත්නි, මේ අසරණ (දරු පැටියාගේ, අම්මගේ, තාත්තගේ.......)
වකුගඩු සැත්කම,
හෘද සැත්කම,
පිළිකාව....බ්ලා බ්ලා බ්ලා...සඳහා..
රුපියල් තිස් ලක්ෂයක්, හාර කෝටියක්.....
ඉන්දියාවට ගෙනියන්න අච්චරක් මෙච්චරක් කිය කියා....
මොකක්ද මේ කරන මේ විජ්ජාව....
අතේ තියෙන දෙකයි පනහ ලොතරැයි කූඩුවටද බට්ටටද..
සිතමින්...
එහාට මෙහාට වාංගු වෙන ඇටසැකිලි වන් සංහිදියාවෙන් මත්වූ බොහෝමයක් වු මිනිසුන්.....

සේනනායක හංදියේ ට්‍රැෆික් ලයිට් රතු පාටයි...
රණවිරු ටී ෂර්ට් එකේ
අත් දෙක හුළඟට වැනෙන..
අවි ගත් දෑත වන්නියේ දමා ආ..
මිල්ලගස් ආරේ රණවිරු අබේසිරිවර්ධන මාවතේ අම්මා පදිංචි වී සිටින..
අබේසිරිවර්ධන මුදියන්සේලාගේ අමිල අබේසිරිවර්ධන...
යදින්නේ කීයක් හෝ ...
යුහ එකයි හතරයි පහයි නමේ..
තරු දෙකේ ලාංජනයේ ලෙදර් වැස්ම අරන් දැමූ..
සුදු පාට ප්‍රාඩෝ එකේ ගාම්බීරව ඇස්දල්වා වාඩිගෙන සිටින..
අත් පා ඇති ඒත් සිත වන්නියේ දමා ආ..
විජේ බණ්ඩාර ගෙන්.....

කවදාද අප පතනා කොළ එළිය අප දකින්නේ....!

ඈ යන්න ගියා නොපෙනී....!


ඔබ සුසුමන්
කළැතූ

 සිතුවිලි සයුරේ
නැගෙනා ඒ රැලි

මහද වෙරළේ
හැපී බිඳී විසිරී

නිමක් නොපෙනනා
සිතුවිලි සයුරම
සඟවාගන්නේ

අද ඔබ මා දමා
සැඟවූ විලසින්මැයි

ඔබ පිය සටහන්
පමනක්මැයි
මහද වෙරළ 
සිප ගන්නේ
සෙනෙහසින්
....... 



Tuesday 11 October 2016

ආදරණීය පරිප්පු....!

බැදපු තුනපහ මුහුවුන
හතර පාරක් හෝදපු පරිප්පු
ඔලිව් ඔයිල් වලින් තෙම්පරාදු කරපු

නැත්‍තං....

දෙපාරක් හෝදපු පෙඟවපු පරිප්පු
එවෙලේ කොටපු තුනපහ සමගින්
මිරිස් කුඩු යහමින් මුසු උන
අම්මා කෙසෙල් කොලේ ඔතන බත් එකට
හදපු පරිප්පු තෙම්පරාදුව
අමතක නැති රස නිසාම
යල් පැනගිය මගේ රස නහර


ඔයාගේ ආලවට්ටම් ඉහුම් පිහුම්
මගේ යල් පැනගිය කෑම වට්ටෝරු
කොහොමද අපි
කවදා කොහේ හරි
බෙදාගෙන රස කරමින්
වේලක් දෙකක් වත් තලු මරමින්
රස විඳින්නේ..

අපි එතරම් දුරස් නම්
අපි එතරම් වෙනස් නම්
කොහොමද ඉරේ එලියෙන් හඳ බැබලෙන බැව්
ඔබ මා පිලිගන්නේ......!











Friday 7 October 2016

අයියෝ සිරිසේන....සිරිසේනට යන්න උනාය...!


සිරිසේනගේ තරමක් සමීප රූපයක්......එයා නෙවෙයි මේ...!
සිරිසේන ආයෙත් ඇවිත්.......!

වැරෙන්ඩා එකේ හාන්සිපුටුවෙ පයිප්පේ ඇද ඇද ඉන්නකොට ඉස්සරහා පැත්තෙන් ඇහුනේ මහත්තයෝ කියන හඬ....ඒ සිරිසේනගේ..

සිරිසේන වත්තට හඳුන්නලා දුන්නේ රිටි වලින් පොල් කඩන රංජිත්..ඒ මීට පොල් මුර දෙකකට විතර කලියෙන්...ඒ කියන්නේ මාස හතරකට එහා වෙන්න එපැයි...!

"මහත්තයෝ...

"කොහොමෙයි සිරිසේන ..දැන් සනීපය..."

"හා ...දැන් සනීපයි මහත්තයො..සිංහල බෙහෙතුත් ගත්තා අර අපරැක්කේ වෙදෙක්ගෙන්..මාතර ඉස්පිරිතාලෙන් කිව්වා තව එක පාරක් බෙහෙත් බිව්වම හරිය කියලා..මට දැන් වැඩ කරන්න ඇහැකි.."

"ඔහේට මක්කැයි ඇත්තටම උනේ සිරිසේන.."

"මෙහෙමයි මහත්තයෝ...මම හැමදාම තුනහමාර වෙනකොට නානවා...( හෑ ඒ කියන්නේ මේ මනුස්සයා කිසිම වැඩක් කරන්නේ නෑ කියන කථාව ඇත්ත..තුනට නාන්නේ කොහෙමෙයි පහ වෙනකන් වැඩකරනෑයෝ...)..එදා මම නානකොට මට වෙන කවද්දවත් නොදැනිච්ච ගායක් දැනුනා වම් අතේ..මේං මෙහෙම උඩට උස්සන්න හැදුවා හ්ම්හු..බෑ...වම් කකුලත් හොල්ලගන්න බෑ බෑ වගේ උනා..මම ඔලුව අල්ලලා බැලුවා..ගානක් නෑ...දකුනතින් වතුර කරාමේ වහලා..තෙත සරම හිමීට බිමට වැටෙන්න ඇරියා...සරම ඇඳගන්න හැදුවට බැහැ වගේ...බිම වාඩිවෙලා ඔලුවෙන් දාලා සරම ඇඳගෙන අල්ලගෙන අල්ලගෙන අතගාගෙන දනගාගෙන ගියා වැට දිගේ පන්සලට..."

( මේ මනුස්සයා කියන විදියට මීටර් දෙසීයක් විතර දුරක් ගිහින් නේ...)

"කොහෙන්ද පන්සලට ගියේ.."

"ඉස්සරහින් මහත්තයෝ ..ගේට්ටුව ඇරලා නේ තියෙන්නේ..මම වැට අල්ලගෙන ගියා...ගිහින් පොඩි හාමුදුරුවන්ට කිව්වා...මට ටිකක් අමාරුයි, වීල් එකකට කතා කරන්නය කියලා..ඊට පස්සේ ඒ ආපු වීල් එකේම ආපහු වත්තට ඇවිත් හාමුදුරුවන්ට කිව්වා මගේ කොට්ටෙ යට තියෙන සල්ලි වලින් පන්සීයේ කොළයක් මගේ සාක්කුවට දාලා ඉතිරි සල්ලි තියාගන්නය, මම ආපහු ආවාම ඒවා බේරගමුය කියලා..වීල් එකේ ලමයාට කිව්වා මාව රදම්පොල ඉස්පිරිතාලෙට ගෙනියන්නය කියලා...එතන හිටිය දොස්තර මහත්තයා මාව බලලා ඇම්බූලන්ස් එකට කතාකරලා මගෙන් ඇහූවානගින්න ඇහැකිද කියලා..මම හා කිව්වා..ඒපාර මාව ගෙනිච්චා මාතරට...දවස් දෙකක්ම ඉන්න උනා මාතර..."

"ඔය සුරුට්ටු අරක්කු බොන එක නවත්තන්න කිව්වේ නැද්ද දොස්තරලා.."

"කිව්වා..ඒ ගොල්ලෝ ඒ කියන්නේ පුරුද්දටනේ මහත්තයෝ..මට උනේ මේ කසිප්පු නැති වෙච්ච එකනේ...කසිප්පු තමයි මේ ලෙඩේට බෙහෙත..මට කිව්වේ අර රත්නපුරේ දොස්තර මහත්තයා..මහත්තයා දන්නවත් ඇති අර මාරපන් වලෙව්වෙ ලොකු දොස්තර මහත්තයා..එයා තමයි කොළඹ මහ ඉස්පිරිතාලේ ලොක්කා..එයා කිව්වේ මේකට..අර මහත්තයෝ සිංහලෙන් කියනව නේද පඩ යනවය කියලා..ලොකු දොස්තර මහත්තයා මගෙන් ඇහුවා පඩ යන්නේ නෑ නේද කියලා..මම නෑකිව්වා...කසිප්පු බීපු හැටියේ හෝ ගාලා යනවානේ මහත්තයො..එතකොට ඉහෙන් බහින ලෙඩක් නෑ..මේ ලෙඩේ පටන් ගත්තේ අර මිල්ලගස් ආර පන්සල ඉස්සරහ තියෙන අක්කර පහේ මුර කරනකොටනේ..කැකුනදුරේ කසිප්පු විස වෙලා අර ගොඩාක් ඈයෝ මැරුනැයින් පස්සෙ කසිප්පු නැති උනා.ඉතින් මම අරක්කු බිව්වා..එදා ඉඳන් ලෙඩ මහත්තයෝ.."

"සිරිසේනට දැන් වයස කීයද..? "

"72ක් නේ දැන්...."

හදිසියේම කතාව නැවැත්තූ සිරිසේන ලොකු කල්පනාවකට වැටුනා...මේ මනුස්සයා හරිම අද්භූත චරිතයක්..මම ඉස්සරවෙලාම කථා කරපු දවසේ ඒ කියන්නේ වැඩට ඇවිත් සුමානෙකට විතර පහුවෙලා ගේට්ටුව ගාවදි හම්බවෙලා මාත් එක්ක ඇවිදගෙන ආවා..අමුතුම ශාන්ත කමකුත් ඒ වගේම භයංකාර නිශ්ශබ්ද කමකුත් ඇති සිරිසේන කා සමගවත් වැඩි කතාබහක් කලේ නෑ...එකම වේගයකින් බිම බලාගෙන ඇවිදින ඔහු කිලෝමීටර් තුනක විතර දුරින් තියෙන රත්මලේ හංදියට ඇවිදිනවා අරක්කු රුපියල් සීයක බොන්න..ආපහු එනකොට ආයෙත් අරක්කු තිබහ හැදෙනවා ඉතින්...මුරකාර රස්සාව කෙසේ වෙතත් දවසේ වැඩි හරියක් සිරිසේන පාරේ...මේ ගතිගුන නිසාත්, ඈතදීම සෙරෙප්පු ගලවා මා ලඟට ඇවිදගෙන ඒමත්, කිසිමදාක කසාදයක් දරුමල්ලෙක් නොවුනු එකත් නිසා මට හිතෙන්නෙම මේ මනුස්සයා හිටපු හාමුදුරුකෙනෙක්ද කියාය. එදා ගේට්ටුව ගාව ඉඳන් ඇවිදගෙන එන ගමන් මම ඇහුවම දරුමල්ලො ඉන්නවද කියල සිරිසේන කිව්වේ, ගෑනු මට අකපැයි මහත්තයො..ඕවා හරි කරදර හිතුවිලි කියලා..මාර කථාවක් ඒක...

"මහත්තයො මට රස්සාවක් දෙනවද..?"  එක පාරටම එහෙම අහපු සිරිසේන පලමුවෙනි වතාවට මගේ මූණ බැලුවා...

"සිරිසේන ඊයේ  රෑ කොහෙද හිටියේ..."

"කඹුරුගමුවේ අපේ මලයගේ අහ...එහෙ ඉන්න බෑ මහත්තයො..මලයා මගේ උනාට ඔය ගෑනු කියනවනේ ඔය ඉතින් මැරෙන්නය අපේ ගෙදර ආවෙ කියලා...මට ඔය ගැනුන්ගේ කථා අහන්න බෑ මහත්තයො...මට රස්සාවක් දෙන්න පුලුවන්ද කියන්න මහත්තයාට..?"

"රස්සාවක් කරන්න ඉස්සර වෙලා ඔය වයසට පරිස්සම් වෙන්න ඕනි නේද සිරිසේන..තනියම මේ වතු මැද ඉන්න හොඳනෑ නේ ද...එදා හාමුදුරුවො නොහිටියනං..?"

"මට තැන් දෙක තුනකින් කථා කරලා තියෙනවා, මම එහෙනම් ඒ තැනකට යන්නං මහත්තයෝ....මට එක උදව්වක් කරන්න ඕනි මහත්තයා.."

"මොකක්ද සිරිසේන කරන්න ඕනි...?"

"මම දන්නේ නෑනේ මහත්තයෝ මෙහෙ වැඩ කොරන කට්ටියගේ නම් ගං..අර හීන්දෑරි.. මැසිමෙන් කැලෑව සුද්ධ කරන හාදයා, එයා මගෙන් එක දවසක් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා, තව දවසක් මහ හදිස්සියෙන් වගෙ ඇවිත් රුපියල් දාහක් ඉල්ලගත්තා, මහත්තයා ඒ එකදාස්පන්සීය මට දීලා ඒ හාදයගෙන් ඒ සල්ලි ඉල්ලගන්න..ඒ උදව්ව කරන මහත්තයො මට.."

"අර ට්‍රැක්ටර් එක එලවන කෙනාද..එයා අන්න එහා පැත්තේ අද පොල් කඩන තැන ඉන්නවා..සරත් මහත්තයාත් එතන ඉන්නවා..ඉස්සරවෙලා ගිහින් සරත් මහත්තයා ඉස්සරහා ඒ හාදයාගෙන් ඔය ගනුදෙනුව බේරගන්න හැටියක් කතාවෙලා එන්න එතකොට සරත් මහත්තයා සල්ලි ගෙවාවි සිරිසේනට.."

"ඒකට මහත්තයෝ එයා කියාවිනෙ සල්ලි හෙට ගෙනත් දෙන්නංය අරකය මේකය කියලා.."

"එක තමයි සිරිසේන මම කියන්නේ සරත් මහත්තයා ඉස්සරහා ඔය කතාව කතා කරගත්තම ඉවරනේ කියලා..යන්න දැන් ගිහින් ඒක් කරගෙන එන්න.."

"හොඳමයි මහත්තයෝ.."

ඈතට ඇවිදගෙන යන සිරිසේන...!
මගේ හිත තාමත් තෝන්තුවෙලා වගේ...ලංකාවට ආවාට පස්සේ අත්දැකපු දේවල් වලින් මගේ යන්තං හරි ගෑවිලා තිබුන මනුස්සකමට හෙන ගැහිලා....මම කියලා මොනාකරන්නද...මේ මනුස්සයාව මට බලාගන්න බැහැ...සල්ලි දුන්නාය කියලත් වැඩක් නැහැ..රස්සාවක් දෙන්නත් බැහැ අංශභාග රෝගියෙකුට...කාගෙද වගකීම...මට මේ වැරැද්ද හදන්න බෑ..හදන්න කියන්නත් එපා....!

ප.ලි.-මේ සිරිසේන ජීවත්වෙන්නේ දකුණුපලාතේ ඌරුගමුවෙ දන්දෙනිය ග්‍රාමයේ...පොලොන්නරුවත් එක්ක කිසිම සම්බන්ධකමක් නැත...ශිෂ්‍යත්වය පාස්දැයි නොදනිමි..!

Wednesday 5 October 2016

IDIOT






දිගු කල මා දෑත
නැවතත් අත් හරිනුයේ ඇයි......

මේ නරුමයා තරම් ඔබ හා බැඳි
වෙනත් ආත්මයන් නොමැති බැව්
කවදා හෝ වෙවුලන ඔබ දෑතින් ලියවේවිද....


ජීවිතයේ තනිමංසල අතරමංවෙලා.....
ඒ අමරදේව.....

සෙනේහයේ සත් පියුමන් නැවත පිපේවා...
ඒත් අමරදේව....


පොඩ්ඩක් ඉන්න..කෝ ඔයා කිව්ව තණකොල පිරිච්ච, අර ඔයා බිම පෙරලි පෙරලි මනෝ ගහනව කිව්ව තණබිස්ස නෑනේ ඔයාගෙ මිදුලේ...මහා අපිළිවෙලට එහාට මෙහාට වෙච්ච කුරුබිලියක් වගේ ගාඩ්න් පොඩිත්තක්නේ මම දැක්කේ එදා.....කිව්ව තරම් මල් ගස් වත්, ඔයා කතාකර කර පෝර දානවා කිව්ව ගස්වත් නෑනේ තිබුනේ ඔයාගෙ ගාඩ්න් එකේ..මාව වෙන තැනකටද එක්කන් ගියේ, නැත්තං ඔයාගේ මනෝ විකාරද හැබෑට..

පොඩ්ඩක් ඉන්න......හරි හරි........ අමානුෂික විදියට මම අවලාද කීවයි කියලා, ඔයා ඔෆිස් එක ඇතුලේ සිහිනැති උනා කියන එකයි, ඊට පස්සේ මයිනර් ස්ට්‍රෝක් එකක් හැදුනායි කියන එකයි කොහෙන්ද හොයාගත්තේ..එහෙම අහන්නේ මම නරුමයෙක් නිසාද..?

පොඩ්ඩක් ඉන්න..නරුමයෙක් කියන්නේ මොනවගේ කෙනෙකුටද හැබෑටම....?

මම ඇඹරල්ලා කන්න එච්චර ආසා නැති උනාට ඔයා ආසා නිසා ගෙනල්ලා දුන්න අඹරැල්ලා අච්චාරු ඔක්කොම තනියම කැව නිසාද නරුමයෙක් වෙන්නේ හැබෑට....?

When we're hungry...love will keep us alive
ඒ Don Henley...ඊගල්ස් ලගේ ඩ්‍රමර් අනේ...


I was standing
All alone against the world outside
You were searching for a place to hide
Lost and lonely
ඒත් Don Henley....ඔව් ඔව් ඊගල්ස් ලගේ ඩ්‍රමර් තමයි....

පොඩ්ඩක් ඉන්න....ඔයා තමයි මට කියල තේරුම් කරල දුන්නේ මතුපිටින් පෙනෙන රූපෙට වඩා ඇතුලාන්තයට ආදරේ කරන්නය කියන දේ..ඉතින් එහෙමනේ මම ආදරේ කරන්නේ...ඒත්...ඇයි මේ නාඩගං හැබෑට....

අනික..ඇයි හිතන්නේ the world rotate around you කියලා...අනිත් අයටත් ජීවිතයක් තියෙනව නේද කියල හිතන්න බැරි ඇයි ඔය තරමට.....

ඔයා one way street එකක් කියලා කී පාරක් නං කියල ඇත්ද....?


දිගුකල මා දෑත
නැවතත් අත් හරිනුයේ ඇයි.....?


Sunday 2 October 2016

Confused breakfast


උදේ ආහාර වේලක්...මිනිත්තු හතරේ බාගෙට තැම්බූ බිත්තර දෙකක් සහ පාන් ටෝස්ට් පෙති දෙකක පින්තූරයක්


කටු අනෝදා වගේද
මුරුසි අන්නාසි වගේද
වැලි ආතා වගේද
පැණි වරකා


තම්බපු මුං ඇට
තම්බපු කව්පි
තම්බපු බතල
වගේද බාගෙට තම්බපු බිත්තර හැන්දෙන් කනකොට...උදේට..


පොල් සම්බල්
සුදුබත්
කිරිහොදි එතුනු
හාල් පිටි ඉඳි ආප්ප
වගේද ටෝස්ට් පාන් එක්ක මාමයිට්

ඔය ඔක්කෝටම වඩා
නරක නැද්ද හැබෑට
කිඹුලා බනිස් එක්ක
ආනමාලු....