Tuesday 31 May 2016

සමුදෙන්න අදට මට...!

www.dreamstime.com
දවාලට කන්න යැයි
අහුලා ගෙන එහෙන් මෙහෙන්
අම්මා දුන් සත හැත්තෑපහ
දකුනු සාක්කුවේ

වමත ඔබ අත පිරිමදින නියාවෙන්
දකුනතින් මා කාසි සමග
හීන් කෙඳිරිල්ලක, සිහින් මදහසක
හිත් ඔතන්නට දරන වෑයම්

සුළඟේ පාවෙන ඔබ කෙහෙරැල්
කරන්නේ ඇයි මේ සරදම්
දෙගිඩියාවෙන් පෙලන්නේ
ගැටවර මා කෝල සිතුම්

මිරිඟුවද ඒ සොඳුරු
මා පෙලෙන පිපාසෙන්
ඔබ රැගෙන පාවෙන්න
සාක්කුව බැහැ කියන...



සමුදෙන්න අදට මට...!


RIVER OF TEARS - Eric Clapton
This song was recorded very early in the Pilgrim sessions. Eric Clapton believes this song is as good as anything he’s ever done before. In fact, it became the standard for the rest of the album. “Lyrically, it is about a specific person. My impulse for writing the song was initially very manipulative. I was always toying with the idea that when she’d hear this song there would be a reconciliation or something. It had a purpose. Then it started getting vindictive and at some point I started feeling like the lyrics were becoming too melodramatic. I realized that the way to save it was to bring it back to talking about me and that maybe I’m an unavailable person. Maybe it’s me that’s unavailable. That whole thing in the song about just drifting from town to town and not really being able to fit in, takes the blame off somebody else and places in on myself.” (From May 1998 Guitar World)






Thursday 26 May 2016

game box, බෝස් ස්පීකර්ස් සමග සුප්පාගේ උපන්දිනේ...

එතකොට මගේ වයස යන්තං 32යි...ලංකාවෙන් පිටවෙලා මාස 13යි...සවුදි අරාබියෙන් බොහොම අමාරුවෙන් එක්සිට් වීසා එකක් ගහගෙන ජීවිතේ පලමුවෙනි සැරේට ලංකාවට ගොඩ බහිනකොට හෙනගහන්න වහිනවා. මාස 13ක් වැස්ස තියා ගහකොලයක් ගෑල්ලමෙක් නොදැක හිටි මට, වැස්ස, ගංවතුර ෂෝක් කියල දැනුනේ..

මේ මම කියන්නේ 92 ජූනි 5 වෙනිදා වැහපු වැස්ස....අර සිරිසේන කුරේ මහත්තයාගේ රාජගිරියේ ගේත් යටවෙච්ච දවස. එයා ගැන කිව්වේ කොළඹ නගරාධිපති වෙලා හිටියෙ මෑන්ස් නිසා, ඔය ගංවතුරට ප්‍රධාන හේතුව වැස්සම නෙවී, පොලීතීන් හිරවෙච්ච කානු පද්ධතිය..

ඉස් ඉස්සෙල්ලාම කුලියට එයාර්පෝර්ට් ටැක්සියක් (ඒ කියන්නේ වෑන් එකක් ) ගත්තෙත් එදා, මොකෝ ෆර්ස්ට් ට්‍රිප් එකනේ....

රට ගිහින් එන (විශේෂයෙන්ම මැද පෙරදිග ) හැමෝම වගේ මමත් කාගෝ පෙට්ට්යක් (එහෙමයි අපි ඒවට කිව්වේ ) ට්‍රයිකෝ එකෙන් නැවට දාලා එහෙම තමයි අහසින් ගෙදර ආවේ....අතේ පයේ එල්ලගෙන බෑග් ඇතුලේ දාගෙනත් සෑහෙන අඩුම කුඩුම ගේන්න ඇති. ඇයි ඩියුටි ෆ්‍රී එකන් ගන්න සිගරැට් සුරුට්ටු විස්කි බෝතල ටික හෙම..

ඉතින් ඔය ඔක්කොම වෑන් එකේ දාගෙන ගෙදර ඇවිත් දවස් දෙකක් විතර ගියාම තමයි ට්‍රයිකෝ එකෙන් ලියුම හරි කෝල් එක හරි ආවේ කාගෝ පෙට්ටිය ගන්න එන්නය කියලා....

මම සවුදියට යන්න ගිහින්, ඒ කියන්නේ මේ සිද්ධිදාමයට මාස 13කට කලින් වෙච්ච සංතෑසිය මෙතනට ගියාම බලාගන්න ඇහැකි...

ඒ යන්න ගිහින් වෙච්ච දේ...ඊටත් එහා කරදර ගොඩකට වගේම රසවත් දේවල් ගොඩකටත් මූන දුන්නා සවුදියේදි....ඒ ඔක්කොමත් හරි මේකත් හරි...

ඔය කිව්ව මාස 13දීම, පඩි ගත්ත හැටියේ රියාල්10 කඩවලට ගිහින් පොඩි පොඩි අඩුම කුඩුම එකතු කලේ කූඹි වැස්ස කාලේට කන්න කෑම එකතු කරනවා වගේ..හිතින් හදාගත්ත පෙට්ටියක සයිස් එකට ඔය බඩු අහුරන එක තමයි ජොලිම වැඩේ...බඩු ඇහිරුවේ මගේ ඇඳ ගාව බිම තියෙන ඉඩේ...ටික ටික මාසෙන් මාසෙ මේ බඩු පොදිය රෙක්ටෑන්ගියුලර් ෂේප් එකට උඩට එනකොට මට ඉතින් රටක් රාජ්ජයක් දින්නා වගේ...

දැන් කාලේ වගේ මොබයිල් ෆෝන් එහෙම යහමින් තිබුනේ නෑ ඒකාලේ..මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන් එකක්වත් නෑ..ඒකක් ගන්ඩ ඇමතියෙක් අඳුරගෙන ඉන්න ඕනි ඒ දවස්වල..දුරකථන හරි පොෂ් ඒකාලේ...ඒ නිසා ඔය ඇඳ ගාව බිම තියෙන රෙක්ටෑන්ගියුලර් ෂේප් එකට හැදීගෙන එන බඩුකන්දරාව දිහා බලාගෙන, ඇඳේ දිගා වෙලා, අල්කෝබා වලින් රියාල් 200ක් දීලා ගත්ත පොඩි කැස්ට් රෙකෝඩර් එකේ කථාව රෙකොර්ඩ් කරනවා...ඒ කියන්නේ ටෙලිෆෝන් කරනවා වගේ තනියම කියෝන එක..අරකක් ගත්තය, මේකක් ගත්තය, තව මොනාද ගන්න ඕනි ආදී වශයෙන්..ඊට පස්සේ ඔය කැසට් ටේප් එක කාර්ඩ් බෝඩ් වලින් හදාගත්ත ලියුම් කවරයක පෙනුම ඇති අසුරනයක දාලා ( ඒකේ ලිපිනය ලියන හරිය වෙනම එලියට පනින්න හදන්නේ මොකෝ මුද්දර වලට සීල් ගහන කොට කැසැට් පීස් එක කුඩු වෙන නිසා ), තැපෑලට දානවා ගෙදර උන්දෑගේ ඇඩ්ඩ්‍රස් එකට..ටික දොහක් යනකොට ඒ ජාතියේම කැසැට් පීස් එකක් එනවා ලංකාවෙන්...එක අතකට දැන් හිතෙනවා ඒ ක්‍රමේ මේ මොබයිල් වලට වඩා ලෙන්ගතුය කියලා..නැද්ද..?

සමහර දවස්වලට ඩස්ට් බින්ස් වල විසි කරලා තියෙන පොඩිපොඩි සරුව පිත්තල අරුමෝසම් කෑලිත් අහුලන් ඇවිත් ඔය ගොඩ පුරෝනවා..එහෙම අහුලපු, අර ලිපෙන් බාපු හැටියේ රස්නේ තියෙන භාජන එහෙම තියෙන ලස්සන දරණු සෙට් එකක් තාමත් මං ගාව තියෙනවා...ඒක පිත්තල වලින් හැඩ වැඩ දාලා හදපු එකක්...සමහරුන්ට නොවටිනා දේ සමහරුන්ට වටිනවා...අසරණ උනාම කොයිකත් වටිනවා...!

මට ගන්නම ඕනි , ආසාම කරපු දෙයක් තිබුනා (ඒක පස්සේ ගත්තා කොහොමහරි ) ඒ දවස්වල අල්කෝබ වල ෂොපින් මෝල් එහෙක....බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්..ඇකූස්ටිමාස් කියුබ් ස්පීකර් ඇරේ සිස්ටම් එක...ඒ දවස්වල ඒක මාරම සවුන්ඩ් සිස්ටම් එකක්..අස්ප ගනන්..කෙල හල හල වින්ඩෝ ෂොපින් කර කර ඉඳලා එක දවසක් රිංගුවා ෂෝරූම් එකට..පන ගැහි ගැහි..මොකෝ ඒ වගේ තැනකට යන්න සුදුසු ඇඳුමක් ගන්නවත් සල්ලි අතේ නැති නිසාම ඇතිවෙච්ච දුක්ක දෝමනස්සේ නිසා...

Bose Acoustimass

ඔය බෝස් සවුන්ඩ් සිස්ටම්ස් ඩිස්ප්ලේ කරන්නේ නැහැ...වෙනම සවුන්ඩ් ස්ටුඩියො එකක් වගේ එකක් හදලා ඒකේ ඩයස්ට්‍රේට්ස් ලගේ සල්ටන්ස් ඔෆ් ස්වින්ග්ස් වගේ මාර ඇකුස්ටික්ස් තියෙන මියුසික්ස් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ...මගේ කරුමේ කියන්නේ ඒ සිස්ටම් එක දාලා තිබුනේ ඒ ෂොප් එකේ මෙසනයින් ලෙවල් එකක..එතන්ට යන පඩි පෙල මුල, බඩ තඩි කේරළ බුවෙක් ඉන්නවා අත්දෙක හෑන්ඩ් රේල්ස් දෙකේ තියාගෙන මට උඩට යන්න බැරි වෙන ගානට...යාන්තමට සල්ටන්ස් ඔෆ් ස්වින්ග්ස් මට ඇහෙනෝ...මම ඌ ලඟට ගිහින් බොහොම බැගෑපත්ව බැලුවා නිකන් ....කැන් අයි ගෝ අප්ස්ටෙයාර්ස් ගානට...මේකා මගේ ඔලුවේ ඉඳන් දෙපතුල දිහා බලලා කියපි...බෝස් සිස්ටම්ස් අප්ස්ටෙයාර්ස්..වෙරි වෙරි එක්ස්පෙන්සිව්..යූ හෑව් මනි..? ෆී ෆුලූස්..? මාෆී ෆුලූස් නෝ අප්ස්ටෙයාර්ස්...!!!

හපොයි..මට ආත්මලැජ්ජාව කියන එකේ අඩියම පෙනුනා, ඒනිසාමද කොහෙද මලේ හොඳ එකෙන්ම පැන්නා..බැලුවෙමි වට සහ පිට..හා ඔය ඉන්නේ පලස්තීන නැත්තං ඊජිප්ෂන් මැනේජර් කාරයා...ගියා ඌ ගාවට...හොඳට හිතට ගතට ගට අරන් කිව්වා ...යුවර් ඉන්දියන් වර්කර් ඉස් ආස්කින් මනි ෆ්‍රොම් මී ටු චෙක් ද බෝස් සිස්ටම්..අය් කේම් ටු බයි ද සිස්ටම් ටුඩේ, බට් අයෑම් නොට් ගොයින් ටු බයි ඉට් බිකොස් ඔෆ් හිස් ඇටිටුයුඩ්... කියලා හැරුනා ආපහු..... පයින්ම ඇකොමොඩේෂන් එකේ..

ඒ දවස්වල කිලෝමීටර් හතක් විතර ඒ දුර පයින්ම යනවා ටැක්සියෙ සල්ලි ඉතුරු කරගන්න, අර රෙක්ටෑන්ගියුලර් ෂේප් එක පුරෝ ගන්න...



ඔහොම එකතු කරලා කරලා කුස්සියට අවශ්‍ය විදුලි උපකරණද, සාලෙට අවශ්‍ය විදුලි භාන්ඩද, සෙල්ලම් බඩුද (බබාලට කෙසේ වෙතත් මට ) කොසු කෑලි, මොප් බක්ට්, බාස්මතී හාල්, රට ඉඳි, අලුමිනියම් ෆොයිල් අරවා මේවා ඔක්කොම පුරෝගෙන එක්සිට් විසා එකකුත් ගහගෙන, කොම්පැනියෙන් දුන්න රිටර්න් ටිකට් එකේ සල්ලි ගානෙන් වන් වේ ටිකක් එකකුත් අරගෙන, කාගෝ පෙට්ටිය ට්‍රයිකෝ එකට බාර දීලා, නැග්ගා අහස් යාත්‍රාවේ ගම එන්න...


ඉතින්  ගෙදර ඇවිත් දවස් දෙකක් විතර ගියාම තමයි ට්‍රයිකෝ එකෙන් ලියුම හරි කෝල් එක හරි ආවේ කාගෝ පෙට්ටිය ගන්න එන්නය කියලා....

කොල්ලගේ උපන්දිනේ පහු වෙලා සුමානයක් විතර, කෙල්ල ගේ උපන් දිනේ පහු උනා විතරයි...ඉතින් උන් දෙන්නාට ගෙනා සෙල්ලම් බඩු  ටික (උන්ට විතරක්ම නෙවී) උන්ට දෙන්නත්, ගෙදර උන්දැට ගෙනා අඩුම කුඩුම ඒ උන්දැට දෙන්නත්, හීන මව මවා ගියා ඔරුගොඩවත්තේ ට්‍රයිකෝ යාර්ඩ් එකට..දෙයි හාමුදුරුවනේ..මුලු පලාතම යටවෙලා නොව ගංවතුරෙන්...


පෝරම පුරෝලා සල්ලි භාගේ ගෙවලා, අර දැති දෙක තියෙන පොඩි ට්‍රැකටර් කටුව පස්සේන් යනෝ මම මගේ කාගෝ පෙට්ටිය හොය හොයා අර කාර් පාර්ක් එකක තමන්ගේ වාහනේ හොයනවා වගේ..

ඔය යන අතරේ පේන ඇහෙන දේවල් අදහාගන්න අමාරුයි..එක මහත්තයෙක් ටීවී පෙට්ටියක් ගාව දණ ගහගෙන අඩනෝ...ටීවී පෙට්ටි ලස්සනට තියෙනවා, හැබැයි අල්ලපු හැටියේ, අර කිරිතේ කෝප්පෙක පොඟොපු මාර්‍රි බිස්කටෙකක් වගේ සරස් ගාල දියවෙලා යනවා..

මගේ ඇඟ හීතල වෙලා පෙට්ටිය හොයාගන්නකොට...තව පෙට්ටි තුනක් විතර උඩ තමයි ඒක තියෙන්නේ...දැති ට්‍රැකටර් මල්ලි ඉස්සුවා දැති දෙක, දැම්මා පෙට්ටිය යට තියෙන පොලු දෙක අතරින් දැති, ඉස්සුවා පෙට්ටිය.....

දුන්හිඳ දියඇල්ල වගේ වැටුනේ නැද්ද වතුර පාරක් පෙට්ටිය අස්සෙන්...හත් දෙය්යනේ මාස දහතුනක හීන බඩු සහ භාන්ඩ....

ට්‍රයිකෝ එකේ මහත්තැන් රුපියල්ම තුන්දාහක් දුන්නා ඉන්ෂූරන්ස් එකෙන් කියලා...ගුදම ගංවතුරට යට උනාය, විදුලි භාන්ඩ වේලුවාම ආයෙමත් වැඩ කරයිය, මේකත් අරන් ගෙදරම යන්නය කියලා පෙට්ටියයි මාවයි දැම්ම එලියට..මොනා කරන්නද...ලොරි කට්ටක දුන්හිඳ දියඇල්ලත් දාගෙන ආවා ගෙදර...

පෙට්ටිය මිදුලේම බාගෙන, එකින් එක ගත්තා එලියට බඩු සහ භාන්ඩ...බාස්මතී හාල් කුනු කූඩෙට (ගඳේ බැරි නිසා..) විදුලි භාන්ඩ ටික මාරි බිස්කට් තත්වයෙන් තිබිච්ච් නිසා හෙමින් පරිස්සමින් අරගෙන වී වනනවා වගේ පැදුරු බෙඩ් ෂීට් දාලා වැනුවා මිදුල පුරාම...

මිදුල පුරා රයිස් කුකර්, වොෂින් මැෂින්, ෆ්‍රිජ් එක, අයන්, අයනින් බෝර්ඩ් වනලා ලස්සනේ බෑ..ඒත් පපුව නිකන් හෝස්ගාලා යනවා ඒවා දැක්කම..

ඔය අල්ල පනල්ලේ...ලඟදි පහු උන උපන් දිනේටය කියලා කොල්ලාට ගෙනාපු ගේම් කොන්සෝල් එක...ඒක හරි ප්‍රිමිටිව් එකක් දැන් කාලේ හැටියට....ගත්තා මෑන් ගේම් කොන්සෝල් එක හෙමීට එලියට..මාරි බිස්කට් ලෙවල් නිසා එපා කිව්වට ඇහුවෙ නෑ..පොඩි එකාට ඉතින් ඉවසීමක් තියේවියැ...බැටරි හයක් එහෙම දාලා හොඳට හරි බරි ගැහිලා, ටීවී එකට කනෙක්ට් කරලා දැම්මා ඔන් ස්විච් එක...

චූස්ස්ස්..ගාලා හීන් සද්දෙකුත් එක්ක සිගරට් දුමක් වගේ එලියට ආවා එච්චරයි..කොල්ලගේ මූන නාලු උනා...මට දුකේ බෑ....

ආපු හිතේ වේගෙට, ඔක්කොම වැඩ නවත්තලා...මැනුත් එක්කම නුගේගොඩ හංදියේ තිබුන රෙපයාර් ෂොප් එකකට අරන් ගියාම බ්ලෝ ටෝච් එකකින් වේලලා වේලලා අනේ හදලා දුන්නා ආපහු වැඩ කරන ගානට..

කොල්ලට එතකොට වයස යන්තං අවුරුදු අටයි....හෙට උගේ අවුරුදු 32 කේ උපන් දිනේ...මේකාට මොනවා අරන් දෙනවද කියල හිත හිත ඉන්නකොට මතක් වෙච්ච පල් හෑල්ලක් මේ...

සුබ උපන්දිනයක් සුප්පා....!












Wednesday 25 May 2016

සෙනෙහස


වම දකුණ
වම දකුණ

තෙත පිඟන් ගඩොලේ සිනිඳු
මතුපිට හා ගැටුන මා දෙකකුල්
වම... නෑ.. දකුණ පෙරට
සැනෙකින් නිල් තෙත පිඟන් ගඩොල්
සිප ගත් මා .....කෝ ඇය....ඈතයි...
කෝ මා පුතු....ඈතයි...
ජීවිතයම අඳුරු සෙවනැලි මෙන්
මා ඉදිරියේ දිග හැරෙමින්
කෙසේද මා නැගිටින්නේ මා දිරියෙන්ම
වම් දණ ඇයි මේ තරම් උණුසුම්

පියවි සිහිය
ඔහුගේ දයාබර මුහුණ

තෙල් එඬරු කොළ
සොයමින් ඈ...

තෙල් එඬරු කොළ
 ගෙන ආ ඔහු...

සෙනෙහස කුසගිනි නිවූ ඈ..
නිදිබර දෙනෙත් තෙත් කල ඔහු..
රෑ දවල් ඔවුන් දෙදෙනාගේ රැකවලේ මා..
අසරණ නෑ මා ඔවුන් ගේ සරණේ...


වම දකුණ
වම දකුණ

කවදාද ඒ නිදහස.....
පිය ගැට පෙලක

සිත්සේ පිය මැන යන්නට
මා හට

එනමුදු වම් දණහිස
මා හට ගෙන ආ
ඒ සෙනෙහසේ ගංගාව
ගැලූ ගංවතුරට මා යටවීදෝ...!





පිදුම ඔහුට සහ ඇයට...


Saturday 14 May 2016

මල්වර



හොල්මන් කරද්දි හිත ඇතුලේ
ආදරෙන්
ගොඩාක් .....

හිතින් තරුණයි
ඒ මම...

ලෙන්ගතු කමද
ආලිංගන හැඟීමද ඒ...

මල්වර අහස කියන්න මා හට
දරාගන්න බැරි එවන්
හැඟීම ආදරයම නොවේද යැයි කියා

එනමුදු එවන් හැඟුමට
කිමද නොමැත්තේ මුහුණක්..

Saturday 7 May 2016

බ්ලොග් බ්ලූක් අරූ සහ මූ.....!

බ්ලොග් බ්ලූක් අරූ සහ  මූ.....!

බ්ලොග් අවකාශය ආශ්චර්යමත් කලවුන්, අතර මා උසම කඳු මුදුනෙහි තබන්නන් අතර සිටිනා පෘතග්ජනයෙකි, අප අතහැර දමා ගිය බ්ලොග් කරුවෙකු වූ, දැන් කමෙන්ට් කරුවෙකු බවට පරිවර්තනය වී ඇත්තාවු අරූගෙ අඩවිය අප හට ගෙනා අරුණ පෙරේරා නම් වියත් ලියන්නා....!
අද ඔහු රසිකලොජිස්ට් ගේ බ්ලොගයේ යම් තරමක අසාර්ථක සංවාදයකට මුල පිරීමට දැරූ ප්‍රයත්නයක් මෙම ලිපිය ලිවීමට මා පෙළඹුවා විය හැකිය...එහෙම නොවෙන්නත් තියෙන්නාවූ ඉඩ වැඩිය...!
අරුණ පෙරේරා සංවාදයට මුල පුරන්නේ මෙවැනි ප්‍රශ්න සමුදායකයිනි..

කොළඹ ගමයා ලඟදි පත්තරයකට කියලා තිබුනා "අපි බ්ලොග් අවකාශයෙන් මහ පොලවට බැස්සා " කියලා. අපි පොඩ්ඩක් මේක සාකච්ඡා කරමුද..පෞද්ගලික මඩගැසීමෙන් වලකිමු.

මෙතනදි අජිත් කියන්නට ඇත්තේ මහපොලවේ සමාජ සත්කාරක වැඩ සටහන් ගැන යැයි මම සිතමි. එය පසකින් තබමු. නමුත් බ්ලොග්ස් තිබිය යුත්තේ සයිබරයෙ මිස මහ පොලවේ නොවන බව මගේ අදහසයි. බ්ලොග් කරුවා නම් ස්වාධීන මත පලකරන්නා හෝ ලේඛකයා , නැවතත් ඒ අදහස් හෝ සිතුවිලි සාම්ප්‍රදායික මාධ්‍ය හරහා පාඨකයාට ලබාදීම තුලින් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද? බ්ලොග්ස් යනු පොතක් ලියා පලකරගැනීමට අවශ්‍ය තවානක්ද? එසේ නොමැතිනම් බ්ලොග්ස් යනු අනන්‍ය මාධ්‍ය භාවිතයක් නොවේද?

බ්ලොග්කරුවා මහපොලව හා බද්ධවීමෙන් (චැරිටි කතා නොවේ) ඇතිකරගන්නා සම්බන්ධතා තුලින් ඔහුගෙ නිදහස් චින්තනයට බැරියර්ස් වැටීම් ඇති නොවේද?

ඒ තුලින් විවේචනයට ඇති ඉඩ අහුරා පිට කසා ගැනීම්, කඩේ යෑම් වැනි ජාතියට උරුමවූ රෝග හරහා කල්ලි ගැසීම් වැලැක්විය හැකිද? (මහ පොලවේ සම්බන්දකම් යනුවෙන් අදහස් කරේ එකතුවී අඩියක් පුඩියක් ගැසීම, මිත්‍ර ඇසුර වැනි දේ නොවේ )

බ්ලොග්කරුවා, බ්ලුක් කරුවෙක් බවට පරිවර්තනය වන්නේ බ්ලොග්ස් තුලින් ගොඩනගා ගන්නා ජනප්‍රියත්වය පිලිබඳ තක්සේරුවකින් පසුවද?

බ්ලොග්කරුවාගේ ජනප්‍රියත්වය හෝ අගය, බ්ලුක් කරුවෙක් වීමෙන් පවත්වා ගත හැකිද? බ්ලුක්ස් කියවන්නෙත් බ්ලොග්ස් කියවන පාඨකයා පමනක්ද?

මෙය සංවාදයකට ගත යුතු යැයි මට සිතුනි.
මෙම ලියවුම අරුණගේ කමෙන්ටුවට ප්‍රතිඋත්තර ලියනාකාරයට ලිවීමට මට සිත්වේ..ඒ මන්ද යත්, මෙහි යටි අරමුණ, අරුණ විසින් පටන් ගන්නා ලද, ඔහුගේ පිවිසුම තව දුරටත් රසිකලොජිස්ට් බ්ලොගයේ කමෙන්ටු කරුවන් ගෙන යන බවක් නොපෙනන නිසාම නොව...මා අදහස් මෙහි පලකිර්‍රිමට ලයිසොම බ්ලොගර් විසින් දී ඇති නිසාමත් නොව...නිකන් ඔහේ හිතුන නිසාවෙනි...

මෙහෙම පටන් ගමු..අපි.....!

අරුණ..මම හිටියෙ ඔතන..අද ඉන්නෙ වැට උඩ...මචං..රසික කියල තිබුනා වගේ බ්ලූක් එකක් එලියට දාන්නේ බ්ලොග් නොකියන අයට කියවන්නය කියලා නම්, බ්ලොග් කරුවන් පොලොවට බාන්නේ මොකටද කියන එක ප්‍රශ්නයක්...මොකද අරමුණ තම අදහස් විකාශණය කිරීම විතරක්ම නම් බ්ලොග් බ්ලූක් නැත්නම් කයි කොලයකින් හරි ඒක කරන්න පුලුවන්...ඒ වගේම බ්ලොග් කරුවන්ට අයුතු ජනරාශියක් වී චැරිටි කරන්න ඕනි නම් ඒක කරන්නත් පුලුවන් සාමන්‍ය මිනිසුන් හැටියට...මම ඉන්න වැට උඩ පොසිෂන් එකේ ඉඳන් බලනකොට නම් බ්ලොග් කරුවා (ඒ කියන්නේ ඔහුගේ නිර්මාන ) සිටිය යුත්තේ සය්බර් අවකාශයේ..නමුත් සිංහල බ්ලොග් කරුවා නම් වෙනස්..මොකෝ මචං හිංගලෙන් කෙටුවාම සයිබරේ උනාට වැඩිදෙනෙක් ඉන්නේ ලංකාව ඇතුලේ නිසා වෙන්ටැති..

අරුණ සංවාදයට භාජනය කිරීමට තැත් කෙරූ අංග එක එක ගත්තොත්...!


  • බ්ලොග් කරුවා නම් ස්වාධීන මත පලකරන්නා හෝ ලේඛකයා , නැවතත් ඒ අදහස් හෝ සිතුවිලි සාම්ප්‍රදායික මාධ්‍ය හරහා පාඨකයාට ලබාදීම තුලින් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
 මෙයට එක්තරා අන්දමක උත්තරයක් අරුණ ගේ තුන්වෙනි ප්‍රශ්නයේ ගැබ්වී ඇත්තේද? එනම් බ්ලොග් යනු අනන්‍ය මාධ්‍ය භාවිතයක් නොවේද යන්නයි...බ්ලොග් යනු සියයට සීයක් අනන්‍ය මාධ්‍ය භාවිතයක්ද යන්නම පුලුල් මාථෘකාවක් නොවේද...?

මටත් කළහැක්කේ ප්‍රශ්න ඇසීම පමනක්මයි..නමුත් සංවාදය ගෙන යාම අප සැමගේම බැඳීමයි..

  • බ්ලොග්ස් යනු පොතක් ලියා පලකරගැනීමට අවශ්‍ය තවානක්ද?

තවානක් නොවුනත්..පොතක් ලිවීම ගත් කතුවරයෙක්ගෙ කර්තව්‍යයයි අප සිතනා බැවින්, අපි වැනි දෙකේ කොළ වලට කල හැක්කේ (මාතලන්ගෙන් ටියුෂන් ගෙන අටම්ගෙන් ගුරුහරුකම් ලබා ) බ්ලොගක් අමුනා ගැනීම පමනි.
ඊලඟ ප්‍රශ්නය වන්නේ බ්ලොග් කරුවන් පොත් එලිදැක්වීම පඩ ෂෝ ගනයට වැටීමද යන්නය..පොත් පලකල බ්ලොග් කරුවන් පිළිතුරු දේවි...( මාව මරාගෙන කෑම සපුරා තහනම්..)...පෘතග්ජන මිනිසුන් ලෙස අප ඇදගෙන යන කාලකන්නි නියොරොසියාවන් නිසා අප හට උදේ සිට පඩ ෂෝ දැමීමට සිදුවීම නෝමල් යයි උපකල්පනය කරමි..මම නම්...
එනිසා පඩ ෂෝ උනාට පොත් එළි දැක්වීම අරහං නොවිය යුතුය..මාතලන් කියනාකාරයට කමෙන්ට් සමග උවද මාගල් වැනි පෝස්ට් එකතුවක් එළිදක්වීම ෂෝක්ය..ඔහුට..ඌ මදාවියා නිසා කෙළවෙන එකකුත් නැතිය...
ඒත් රසිකලොජිස්ට් විසින් ප්‍රධානය (කෙලින්ම ගෙදරටම ) කරන ලද "සිව් වසරක් මරදානේ "කියෙව්වම නං හිතුනේ, සඟරා ලිපි එකතු, පත්තර කොළම, බ්ලූක් වගේ ඒවා පල කොරන්න කලියෙන් කම්මැලි කම් කුස්සියෙ මුල්ලෙ ඉන්න බැළළිට දමා එඩිට් කරනවා නම් කියවන එකාට මල පනින්නේ නැතිය කියාය...හේතුව එකම දේ හෝ ගාල රිපීට් වෙනකොට ගතිය පල්ලම් බහින නිසාවෙනි...කියවපු ඈයෝ දනී මා කියන්නේ මොකක්ද කියා...

  • බ්ලොග්කරුවා මහපොලව හා බද්ධවීමෙන් (චැරිටි කතා නොවේ) ඇතිකරගන්නා සම්බන්ධතා තුලින් ඔහුගෙ නිදහස් චින්තනයට බැරියර්ස් වැටීම් ඇති නොවේද?
සෑහෙන්න ඇතිවේ....වෙන මොනා කියන්නද...දන්නෝ දනිති...අනාගත්තාට පසු එක්ස්ප්ලනේෂන් පෝස්ට් දැමීමෙන් වැඩක් වෙයි කියා මේ ලියන මට නම් නොතේරේ...( පෞද්ගලික මඩ ගැසීමක් නොවේ....)
  •  තුලින් විවේචනයට ඇති ඉඩ අහුරා පිට කසා ගැනීම්, කඩේ යෑම් වැනි ජාතියට උරුමවූ රෝග හරහා කල්ලි ගැසීම් වැලැක්විය හැකිද? (මහ පොලවේ සම්බන්දකම් යනුවෙන් අදහස් කරේ එකතුවී අඩියක් පුඩියක් ගැසීම, මිත්‍ර ඇසුර වැනි දේ නොවේ )
ජාතියට උරුම වූ රෝග සුව කිරීම බ්ලොග්කරුවන්ට සහ කමෙන්ට්කරුවන්ට තියා ප්‍රභාකරන් මහත්තයාටත් බැරි විය..පැරා කියා තියෙන ආකාරයට ඒ මහත්තයා සහ පැරාගේ ඉස්සෙල්ලා බොස් විසින් මරා දැමීමෙන් පසු ඉතිරිවී ඇති දේශපාලුවන්ටත් බැරිය...ඉතින් කුමන කථාද..?
  • බ්ලොග්කරුවා, බ්ලුක් කරුවෙක් බවට පරිවර්තනය වන්නේ බ්ලොග්ස් තුලින් ගොඩනගා ගන්නා ජනප්‍රියත්වය පිලිබඳ තක්සේරුවකින් පසුවද?

ජනප්‍රිය බ්ලොග් කරුවන් සැවොම බ්ලූක්කරුවන් වී නොමැති නිසා කිය හැක්කේ නියොරොසියාවම හේතුපාදක වෙනවා කියාය..දොස්තර රුවන්ගේ චාරිකාවෙන් පසු වෙලා ඇතොත් ඔහු එය පහදා දේවි..ඔහු මේ දවස් වල පිස්සු චාරිකාවක නිරතව සිටිනා බැව් දන්නෙමි...

  • බ්ලොග්කරුවාගේ ජනප්‍රියත්වය හෝ අගය, බ්ලුක් කරුවෙක් වීමෙන් පවත්වා ගත හැකිද? බ්ලුක්ස් කියවන්නෙත් බ්ලොග්ස් කියවන පාඨකයා පමනක්ද?

දීහල්ලකො ඇහැකි නං උත්තර....!

මෙතනට ප්‍රාජේ ගේ කමෙන්ටුවකුත් අටමාගේ පෝස්ටුවකුත් උදව් කරාවි යයි සිතමි....



තාම දත් කඩාගෙන නැතත්..නල දත් වලට මම හරිම ආදරෙයි කියල ඔබ දන්නවා යැයි උපකල්පනය කරමි...!!!!!

Wednesday 4 May 2016

සංස්කෘතික මිනිසා සොයා යෑම.....


ඇය මට හමුවුනේ සොඳුරු සැඳැවක, සොඳුරු මිනිසුන් ගැහුනුන් ගෙන් පිරුන රූපවාහිනී පටිගත කිරීමකදී....දිනය මැයි මස තුන් වෙනිදා...ඇත්තටම ඊයේ....!

ස්වභාවිත ගීතයේ වියමනට දර දිය ඇද්දවුන්, 70 දශකයටත් එහා යන, එහෙමත් නැත්නම් සිංහල ස්වභාවිත ගීතයේ ස්වර්නමය යුගයේ බිහිවූ ඒ සොඳුරු මිනිසුන්ගේ අද දවස දීප්තිමත් කිරීමට නොපිරිහෙලා දර දිය අදින ඇය, ඇයගේ ගෝල බාලයන් සමගින්, රාජ්‍ය අනුග්‍රහයෙන් වසර 2010 සිට කරගෙන එන්නාවූ ඒ සධ් කාර්යයට ඈ කරන්නාවූ කැපවීම මා දෙඇසින් දුටුවෙමි...

රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි


ඇයගේ එකම අරමුණ, සංස්කෘතික මිනිසා සොයා යෑමයි....නිදා සිටි මාගේ ඇස් ඇරවන්නට ඈ සමත් උනා කිව්වොත් නිවැරදියි...අප හිටංගේ පත්තරෙන් රාජ්‍ය කිරීම, මාරාගේ ගැහිලි, අයවැය පරතරය අරක මේක පටලවාගෙන අපහට කිරීමට තියා සිතාගන්නවත් නොහැකි මිරිඟු පසුපස හඹා යද්දී,
ඈ සංස්කෘතික මිනිසා සොයමින් ඇවිදියි...

අප එක වසරේ සිටින සනුල බබාව ටියුෂන් ගෙනියන විට, උදේ පාන්දර පහට තව දරුවෙක්ව අරගෙන පහේ ශිෂ්‍යත්ව පන්තියට දුවන විට, ඉවසීමක් නැතුව කෘමිනාෂක ඉසමින් අපටම වස කවාගන්නා අතර,
ඈ සංස්කෘතික මිනිසා සොයමින් ඇවිදියි...

ඇය හඹායන්නේ, මේ තරඟ කරුවන් මග දමා යන ඔවුන්ගේ සතුට නම් වූමහා භාග්‍යසම්පන්න සම්පත නැවත ඔවුන් හටම ගෙන ගොස් බාරදීමටයි..

ඇය දකින්නේ අප නොව, අප සොයනා සතුටයි. ඇය හඳුනන්නේ අප  සොයනා සතුට විනිවිද යන සත්‍යයයි...අප සතුට දකින අයුරේ ඇත්තාවූ නොමග ගිය සිතිවිලි ජාලයයි...

ඇය හඹා යන්නේ සංස්කෘතික මිනිසායි...

රූපා, දයා, පුන්‍යා සහ පියුමි
රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි

ඇයගේ දැක්ම නම්, මෙ කුඩා දිවයිනේ සිටින්නේ මිනිසුන් දෙවර්ගයක් පමනක්ම යන්නයි..ඔවුන් දෙවර්ගය නම් කලා කෘතීන් බිහි කරන්නාවු සියලුම නිර්මාන ශිල්පීන් සහ එම කලාවන් විඳිනා ඔබ සහ මා යන්නයි..

ඇය හඹා යන්නේ ඒ සංස්කෘතික මිනිසායි...

ඇයගේ මේ ප්‍රයත්නයේ එක් පලයක් නම් ස්වභාවිත ගීතයේ වියමන ප්‍රසංගයයි..දැනැටමත් දිවයින පුරා විසිරී ඇති දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ඇය සංස්කෘතික සභාවන් ද, දෙස් විදෙස් ජන්ප්‍රියත්වයට ආරූඩ වූ අග්‍රගන්‍ය කලා කරුවන් එම සංස්කෘථික සභා මගින් අංකුර කලාකරුවන් වෙත පනරය ලබාදීම උදෙසා මම ප්‍රසංගය වාහනයක් කර ගනිමින් භාරදූර කාර්‍යයක් ස්වෝත්සාහයෙන් කරගෙන යමින් සිටී...

එයට උර දිමට මෙන්ම සතුට සොයා යන ගමනේ දී කවදා හෝ හමුවෙන සංස්කෘථික මිනිසා  අපට හඳුන්වා දීම ඇගේ ඒකායන ප්‍රාර්ථනයයි..

ඇය ඔවුන් සමග
රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි
ඇය සංස්කෘතික කටයුතු රාජ්ය අමාත්‍යාංශයේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා, අනුෂා ගෝකුල ප්‍රනාන්දු නම්වූ මිනිස් පැතුමන් ඇති දිරිය ගැහැනියයි....

ඇයට සවන් දෙන්න....ලබන සෙනසුරාදා සවස තුනට හැකි නම් රූපවාහිනී නාලිකාව වෙත දෙනුවන් දෙසවන් යොමු කරන්න, මන්ද යත් ඔබ තුල ඈ හඹා යන සංස්කෘථික මිනිසා සැඟවී සිටිනා බැවිනි...

පිදුම....ඒ සොඳුරු රාත්‍රිය පුරාවට මට නොපෙනී, නමුත් දැනී, තරප්පු පෙලක් යට සැඟවී මා හට සෙනෙහස දුන් ඔබට...