image-www.youqueen.com |
මුලු ගෙදර හරියටම තිබුනේ රුපියල් 18,400 කි. එයින් හෝටල් ගාස්තුයැයි කියා හමඩ් කාරයාගෙ
ඒජන්සියට රුපියල් 15,000ක් ද, මා පලමු පඩිය එවන තෙක්, ජීවත්වීමටයයි කියා රුපියල් 3,000ක් බිරින්දෑටද දුන් විට ඉතිරිවූයේ රුපියල් 400කි. මේ 1991 මැයි මාසයයි.
රුපියල් 40ක් වූ ඩොලරය මා හට ඇමරිකන් ඩොලර් 10ක් මග වියදමට ගොනු කර දුනි.
ජීවිතයේ ප්‍රථම වරට මා දරුදෙදෙනා සහ ඇය තනිකර කටුනායකින් පියඹා ගිය දිනයයි, 1991 මැයි මස 2 වෙනිදා. හමඩ්කාරයා දුන් බ්‍රවුන් පාට ලොකු ලියුම් කවරයද, මාගේ ඇදුම් කැඩුම් බහාලූ සූට්කේසයද ගෙන මා ගෙදරදීම ඇයට සහ දරු දෙදෙනාට
සමුදී මල්ලයාගෙ මිට්සුබිෂි කෝල්ට් කටුවේ නැගී, ඔවුන් නොපෙනී යනතුරු අතවැනුවේ සිහිකල්පනාවෙන්නම්
නොවේ.
වයස තිහයි, උස පහයි නවයයි, බර කිලෝ හැටයි....කෙට්ටු පරානයක්.... ඩොලර් 10ක් සාක්කුවේ දාගෙන..... අලුත්ම අත්දැකීම්වූ ගුවන්
තොටුපොල රාජකාරි නිමවා අවසන් බොර්ඩින් ලවුන්ජය වෙත ආ මා හට ඔවුන් පස් දෙනා මුන
ගැසුනි.බ්‍රවුන් ලියුම් කවර පහ හඳුනාගැනීමේ සාධකය විය. හමඩ්කාරයාගේ ඒජන්සියෙන් රට
යන ගොබිලන්. දෙහිවල මුහුද පැත්තේවු ගෙදරක, රත්තරන් මුදු ඇඟිලි දහයටම දැමූ, නීල් නැමත්තාගෙ
ඉන්ටර්වීව් එකෙන් තේරුන හයදෙනා.
ප්‍රියන්ත - ප්‍රෝග්‍රෑමර්
චූටිමල්ලි-ඩෙටා එන්ට්‍රි ඔපෙරටර්
වැලිහිඳ - ඩ්‍රාෆ්ට්ස්මන්
නවා -ඩ්‍රාෆ්ට්ස්මන්
ක්‍රිස් - ෆිනෑන්ස් මැනේජර්
සහ
මම
හමඩ්කාරයා කී පරිදි,
අප පලමුව බහරේන් වලටත්, වීසා ලබාගැනීමෙන් පසු දහරාන් නගරයටත් ගුවනින් ගමන් කිරීමට නියමිතය. මේ
සියල්ල මා හට ග්‍රීක් වැනිය. මෙය මාගේ ප්‍රථම ගුවන් ගමනයි. වීසා ගැන කිසිම හැඟීමක්
නැත. ගුවන්යානයට ගොඩවෙනතුරු ආගිය තොරතුරු රැස්කර ගත් අප, වැලිහිඳ 1991 මාර්තු මාසයේ අහවරවූ පලමුවෙන ගල්ෆ් යුද්ධයෙන්
පීඩාවිඳ, කුවේට් වලසිට ගොඩබිමින් ජෝර්දාන් හරහා එක්සත්ජාතීන්ගේ සංවිධානයේ පිහිට
ආරක්ෂාවෙන් ලංකාවට අවුත් නැවත රට නගින බවත්, මා ඇතුලු අනෙක් පස් දෙනා කෝඩුකාරයන් බවත් හඳුනාගත්තේමු.
වැලිහිඳ නඩේගුරා බවට නිතරගයෙන්ම පත්වින. ඔහු අවුරුදු හතක් කුවේට් වල
රැකියාව කොට ඇතිබවත්, අරාබි සහ හින්දි භාෂාවන් කථා කලහැකි බවත් අපහට කීවද, එයත් ග්‍රීක්ම විය.
පිටරට යන්න දැනගෙන ඉන්න ඕන කඩ්ඩනේ යනු අපගේ මතය නිසාවෙනි ඒ. ඔහු වයසෙන්ද අපට වඩා ටිකාක් වැඩියැයි මට සිතුනේ මා සැම විටම සිතන්නේ අනිත්
සියලුම දෙනා මට වඩා වයසින් වැඩි ඇත්තන්ය කියා නිසාය. එයට හේතුව,
මා මද්දුමයා නිසා, ඉතාම බච්චා කාලයේදී,
ඒ කියන්නේ යන්තං අවුරුදු තුන පිරෙන කොටම අම්පාරේ මධ්‍යම කඳවුරේ වූ විජිත
මහා විද්‍යාලයට ධර්මසේන බාප්පාගේ කරේ නංවා, මා මෑනියෝ පිටත්කර යැවු නිසාමනොව. එම හේතුවෙන් මාගේ මුලු පාසැල් ජීවිතයත්,
විශ්වවිද්‍යාල ජීවිතයත් ගෙවන්නට උනේ මට වඩා වයසින් වැඩි උදවිය සමග
නිසාවෙනි. එය තවත් කථාවකි.
පැය හතරක ගුවන්ගමන් කාලයකින් පසු, බ්‍රහස්පතින්දාවක්වූ 1991 මැයි මස 2 දා,අප බහරේන් වල මනමා
ගුවන් තොටුපොලට ගොඩබසින ලද්දේ සවස දෙකට පමනය. මාර්තු මස අවසන් වු පලමු ගල්ෆ්
යුද්ධයේදී සදාම් හුසේන් විසින් දායද කර ගිය නොනැවතී ඇවිලෙන කුවේට් තෙල්ලිං වලින්
පිටවන කලු දුමාරය බහරේන් අහස වසා සිටී. ඉර ඒ කලුදුමාරය අතරින් කෙඳිරිගාමින් ලාම්පු
එලියතරම්වූ එලියක් දෙමින් මේ දවාලය යන්න කියාපායි.
අපව වහලුන් සේ ගාල් කර මොන මොනවාදෝ බනින ස්වරූපයකින් කියමින් අප ඉදිරියෙන්
සිටින මේ පර්වතයක් වැනි ගැහැනිය ඇඳ සිටින ඇඳුම මා හට සිතාගන්නවත් බැරිතරම්ය.
අප යම් වැරැද්දක් කර ඇති බවක් මා හට හැඟේ. වැලිහිඳ කියනා ආකාරයට, අපට ඇත්තේ
සවුදිඅරාබියාවෙ දහරාන් වලට යාමට ගුවන් ගමන් බලපත්‍ර නිසා, අපගේ බහරේන් ඒජන්තවරයා එනතෙක් අපට ගුවන්
තොටුපොලින් ඉවතට යාමට නොහැකි බවත්, අප ඒජන්ත වරයා නැවත එන්නේ සතිඅන්තයෙන් පසු නිසා අපහට ගුවන්තොටුපොලේ නැවතී
සිටීමට වන බවත්ය. අද බ්‍රහස්පතින්දාය. ඉතින් අප සඳුදාවෙන තෙක් ඉන්නේ ඇයි?
එවිටය මා දැනගත්තේ,
මැදපෙරදිග සතිඅන්තය යනු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බව!
කෙසේ වෙතත්, සෙනසුරාදා වෙන තෙක් කෙසේ සිටින්නද? මා අත ඇත්තේ ඩොලර් දහයකි! ටික වේලාවකින් අපහට
තේරුම් ගියේ, අප තනිවී නැත. 30කින් පමන වූ, ගෘහසේවිකාවන් රෑනක්ද අපහා ගාල් කර ඇත. ඉඳපන්කො දවස් දෙකක් එයාර්පෝර්ට්
එකේ.!!!
මොනාකරන්නද...අපි හිත හදා ගත්තේමු. හයදෙනාම කොනක වාඩිදාගෙන සිටිනා විට, මාගේ බ්‍රවුන්
ලියුම් කවරයේ ලොකුවට ලියා ඇති, දිගම දිග ටෙලිෆොන් නොම්මරය මා දුටිමි....නැවතත් වැලිහිඳ මහතාගේ පිහිට පතන්නට
සිදුවිය. හය දෙනා අතම බහරෙන් කාසි නැත. කාසි දමා ඩයල් කල හැකි ෆෝන් එකක් ලඟ අපි
අසරන වී සිටිමු. වැලිහිඳ දන්නා අරාබි හෝ හින්දි භාෂාවෙන් තටමා පොලොව මොප් කරමින්
සිටි තැනත්තාගෙන් බහරේන් ෆිල්ස් කාසියක් දෙකක් ඉල්ලාගෙන නොම්මරය කැරකැවූ විට, ඔහු කා සමගදෝ අමු
සිංහලෙන් කථා කරයි. අපට තේරෙන්නේ උත්තරය සෙනසුරාදා උදේ යන්නය.
ඒ අප හමඩ් කාරයාගේ බහරේන් ඔෆීසියේ නොම්මරය බවත්, ලංකාවේ ගැහැනුකෙනෙක් උත්තර දුන් බවත්, පී ආර් ඕ සෙනසුරාදා
උදේ අපේ වීසා සාදාගෙන එන බවත්, එතකන් අපහට ඉන්න වෙන බවත් ඇය කී බව වැලිහිඳ කීහ.
දැන් දැන් බඩගිනිවේගනද ඒ...එවිටයි අප දැක්කේ අප හා සිටි අක්කලා (අපි
අය්යලා) බත් මුල්, බනිස් සමග කෙසෙල් ගෙඩි දිග ඇරගෙන කන බව. මේ යෝදියො සීසන් සෙට් එකක්, ප්ලේන් එකේ දුන්න
ඒවා කාල ගෙදරින් අරන් ඇවිත් බහරේන් වලදි රෑට කන්න..හික්..අප හටද ඔවුන් ඒ ආහාර
පිලිගැන්නුවත් ආචාරශීලීව ප්‍රතික්ෂේප කලේ ඇයි කියා තවමත් මම අසන්නෙමි?
එවිටම වාගේ පැමිනි අර කෑගසන කාන්තාව මොන මොනවාදෝ දොඩවා අප සැමට (අක්කලාද
ඇතුලු )ගුවන් තොටුපොල ආපනශාලාවෙන් රාත්‍රී ආහාරය ගැනීමට කූපන්පත් බෙදා දී
අතුරුදහන් විනි. ජීවිතයේ පලමුවරට, ඉන්දියන් ආහාර වේලක,
මතක හැටියට, මට්න් බුරියානි, රස විඳීමට ලැබුනේ ගුවන් සමාගමේ අනුග්‍රහයෙනි.
( මට කථාවෙන් ටිකකට පැනීමට සිදුවේ. කවුරුන්හෝ මෙය කියවයිනම්, මෙතෙක් වේලා මා හට ගෙදර මතක් නොවුයේද යැයි අවලාද
නැගිම සාධාරනය. මා විශ්ව විද්‍යාලයට ඇතුලත්වුනේ යන්තම් 17 වන විය එළඹවූ සැනින්මය. ගමේ තතුදන්නො කීවේ මා තව
අවුරුද්දක් ගෙදර සිටිය යුතු බවය. මා මාගේ බිරින්දෑ දුටුවේ විශ්ව විද්‍යාලයට ඇතුලුවූ දවසේමය. මෙය සිදුවුයේ
ඇය හමුවී අවුරුදු 13කට පසුය. ඇය හමුවෙනතුරුම මා හුදකලා ජීවිතයක් ගතකල,
එකම අරමුන වූ, ගෙදරින් පිටව, ඔලුව ඇතුලේ උන් මා විසින් නිර්මානය කරගත්තාවූ, මිනිසා සොයා යාම පමනි. ඇය මට ඔහුව සොයාදෙනලදි. එදා සිට අදත්, නට් කේස් එකක් වන මා නිරතුරුවම ඇය හා සිතින් කථා කරයි. එනිසා ඉහත කී
සැමදෙයම ඇයට මා කියමින් පැවති බව කරුනාවෙන් සලකන්න...)
වැලිහිඳගේ අවවාද අනුසාසනා අනුව, අප හය දෙනා ගමන් මලු බදාගෙන, සපත්තු ඔලුවට තියාගෙන (ඔහු කීවේ අප
හට නින්ද ගියවිට පොලොව මොප් කරන්නා අපගේ ගමන් මලුද, සපත්තුද උස්සන බවය ) එයාර්පොර්ට් සීට් වල එදා රැය
ගත කලෙමු.
ඊලඟ දවස් දෙක, ඩොලර් දහය අතේ තියාගෙන ඩියුටි ෆ්‍රී ෂොප්ස් වල ඇති දෑ වින්ඩෝ ෂොපින්
කරමින්ද, විස්කි බොතලයක් ගත්තොත් අතේ කීයක් ඉතිරිවේවිද,තව දවසක් මෙසේ සිටින්නේ කෙසේද යනාදි සිතිවිලි වල
පාවෙමින්, වැලිහිඳගේ කුවේට් වීරවික්‍රාන්විත වලට කන් දෙමින්ද ගුවන් තොටුපොල තුලම කා
දමන ලදි.
සෙනසුරාදා උදේ සිදුවූ දෑ මෙයටත් අන්තය...ඉන් පසු දින පහක් බහරේන් වල මනමා
නගරයේ විසූ කාලය තුලවූ දෑ ඊටත් අන්තය...අපගේ රටේ මිනිසුන්
( මේ මා වැනි ), සල්ලි සොයන්න වෙන බාල්දුවත්, කොරන නෑහැදිච්ච
වැඩත් ගොඩ ගැහිච්ච ඒ කථාව ඊලඟට.....එතකන් ගිහින් එඤ්ඤං
අඩේ අපේපේ මාර අද්දැකීම් සම්භාරයක්නේ.. ලියපන් මචෝ ලියපන් මේව දිගටම. රට යන එවුන්ටත් වටිනවා කියවන අපටත් වටිනවා.
ReplyDeleteතැන්කූවේවා...ඊයේ ටිකක් විතර ෆ්‍රී නිසා ලියාගන්න පුලුවන් උනා..හැලපේගෙනුත් අකුරු කොටන්න සප් එකක් ලැබුනා...ඊලඟ කොටසින් හමුවෙමු...
Deleteඔයාකාර අත්දැකීම් කීපයක් මටත් තියෙනවා. ඒ නිසා උඹේ කතාව ඇඟට දැනුනා. ඊළඟ කොටස කියවන්න බලා ඉන්නවා
ReplyDelete\\\ ඇඟට දැනුනා //// මේ ටික කියෙව්වාම මටත් ඇඟට දැනුනා...තැන්කූ....
Deleteමැද පෙරදිග ජොබ් වලට ඉස් ඉස්සෙල්ලාම යන කොට කන කට්ට කියලා වැඩක් නෑ.. ලෙසටම ලියා තිබේ. මොනවා කලත් ඔය අන්ත අසරණ වෙලා එයාරන පෝට් වල ඉන්න උන්ට අපේ උන්ට වඩා ඒවායේ වැඩ කරණ පිල්ලෝ සලකනවා. මොකෝ මක්කා නැතත් උන් කන බොන ආතල් එකේ ඉන්න පොරවල් නිසා.. අත්දැකීම් නම් බොහෝමයි....
ReplyDeleteඔය අසරණ වෙන එක නවත්තන්න සෑහෙන දේවල් මම කලා මට හැකි පමනින් මට එහෙම කරන්න පුලුවන් වෙච්චාම. ඉස්සරහාට ලියන්නම් ඒවාත්. ඒකට මචෝ ඒවා ලියන්න ගියාම කේස් ඇදෙයිද දන්නේ නෑ. බලමුකෝ...
DeleteAwesome... Keep it up! you must be around 53 now eh? lol... lots of experience...
ReplyDeletehappy birthday...:)
Deleteලස්සන ස්වයං ලිඛිත චරිතාපධානයක්, ජයවේවා ඔහොම ලියාගෙන යමුකෝ.
ReplyDeleteහප්පා එහෙමද? තැන්කූ වේවා...සපොර්ට් එකට....සොමීව ආදරයෙන් පිලිගන්නවා....ආයෙත් එන්න..
Deleteකතාව නම් නියමයි ,ඇත්තටම මේ සිද්ධි වෙනකොට මං ඉපදිලත් නෑ....කාලය ගැන තව විස්තර ලියන්න පුළුවන් නම් ..ඒ කාලේ විදිය දැන ගන්නත් එක්ක
ReplyDeleteඅරූ මහත්තයා අපේ කාලේ ගැන හොඳට ලියනවානේ සහෝ....මම මෙහෙමම ලියන්නං නේද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහුටා..මේ මොකෝ...උඹ ඒ පාර කොමෙන්ට් වලට උත්තර දෙන එක හැමතැනම නැවැත්තුවද?
Deleteනට් කේස් එකක් වන මා නිරතුරුවම ඇය හා සිතින් කථා කරයි. එනිසා ඉහත කී සැමදෙයම ඇයට මා කියමින් පැවති බව කරුනාවෙන් සලකන්න.../
ReplyDeleteමේක නම් මරු..!
හැටි!
Deleteබොහොම ආසාවෙන් කියෙව්වේ.
ReplyDeleteකාලසීමා හා සිදුවීම් බලද්දි අද වෙනකොටත් මේ දේවල් වෙනස් වෙලා කියලා හිතන්න බෑ. එයාර්ෆෝට් ගානේ මිනිස්සු රස්තියාදු කරවනව නේද තවමත් ඔය ඒජන්සි කාරයෝ. ඒ විතරක්යැ අර විදේශ සේවා කාර්යාන්සේද මොකක්ද එකකිනුත් ඔය මිනිස්සුන්ව ගසා කනවා නේද?
ඔය සට කපටි කාන්තාවෝ ඉන්නවා නේද මැදපෙරදිග මැට් වෙච්ච. අම්මෝ අපේ අප්පච්චිගෙ මළගෙදර යනකොට හදිස්සියට මට යන්න වුනේ ඔය මොකක් හරි මැද පෙරදිග එයා ලයින් එකක. නැග්ග වෙලේ ඉඳන් ප්ලේන් එකේ කච කච ගාලා මල වදයක් දුන්නේ. අන්තිමට ප්ලේන් එක බාන්න විනාඩි කිහිපයකට කලින් මෙන්න එක මනුස්සෙක් කියනවා එයාගේ සල්ලි නැති වෙලාලු. කැප්ටන් කීවේ නැද්ද ප්ලේන් එකෙන් එක්කෙනෙක්වත් බස්සන්නේ නෑ චෙක් කරලා මිසක් කියලා. දැන් අර තරම් දවස් ගාණක් කට්ට කාගෙන අපේ අප්පච්චිගේ මළගෙදර යන්න මට විදියක් නෑ කොළඹටත් ඇවිත්. දැන් වගේ නෙමෙයි ඒ කාලේ ෆ්ලයිට් කනෙක්සන්ස් එහෙම අඩුයි නෙව. ඒ කාලේ මම බොහොම පොඩි එකාත් එක්ක. මගේ යක්ශයා නේද ඉතින්? මගේ යක්ශයා දැකපු ප්ලේන් එකේ ඈයෝ මාව මුලින්ම බස්සලා ගෙනත්ම ඇරියා අරයිවල්ස් වලට... ( ඒ වුනාට බෑගේග් ගන්න අර ඔක්කොම එනකම් මටත් ඉන්න වුනා කීවාම.) එදායින් එදාත් හරි මම නේ ප්ලේන් එකක යනවා නම් ඔය මිනිස්සු නැති එයාලයින් එකක් හරි ක්ලාස් එකක් හරි තමයි ගන්නේ... අනේ අම්මෝඅ එදා කාපු කට්ට. බලංගොඩට යනකොට තවත් පැය පහක් හයක් ගිහින්. අපේ ගෙදර අය මම පරක්කු වෙයි කියලා හිතලා මළගේ පහුවදාට දාගෙන හොඳ වෙලාවට.
මට හිතෙන විදියටනම් ඒජන්සි කාරයොත් අනිත් බිස්නස් කාරයො වගේම, මිනිස්සුන්ගෙ තියෙන ජරාම ප්‍රොබ්ලම්ස් පාවිච්චිකරලා හොඳම මොඩ්ල් එක හොයාගන්නවා ප්‍රොෆිට් ජෙනෙරේෂන් වලට. ඒනිසා මිනිස්සු තව ටිකාක් මොලේ පාවිච්චිකරන්න ඕනි මොනා හරි කරනකොට විශේෂයෙන්ම ජීවිතේ ප්‍රධානතම ප්‍රශ්න වලට උත්තර හොයනකොට.
Deleteවිදේශ සේවා කාර්‍යාංශය ආරම්භ කලේ 1985 උනාට 1991 වෙනකොට මොනවාවත් කරලා තිබුනේ නෑ ඇත්තටම මයිග්‍රන්ට් වර්කර්ස් වෙල්ෆෙයාර් එක ගැන. මමත් රෙජිස්ටර් උනේ 2000දිද කොහෙද.
\\\ එදායින් එදාත් හරි මම නේ ප්ලේන් එකක යනවා නම් ඔය මිනිස්සු නැති එයාලයින් එකක් හරි ක්ලාස් එකක් හරි තමයි ගන්නේ...////
ගෘහ සේවිකාවො ගැන තියෙන මතය මගේ ටිකක් වෙනස් ඔයට වඩා...මොකද මමත් සමාජයේ බොහොම පහලයයි සලකන (මා විසින් නොව ) ස්තරයකින් නිදහස් අධ්‍යාපනය නිසා මතුවෙච්ච චරිතයක් නිසාත්, අපේ බමුනු සමාජය විසින් සංස්කෘතිකව ඇද බැඳ තියෙන ගැහැනිය එයින් මිදුන පසු නිතැනින්ම සිදුවන, නිදහස පාලනය සහ පාවිච්චිකිරීමේ නොදන්නාකම නිසා සිදුවන දෑ දෙස බලා සමාජය ඔවුන්ව ප්‍රොෆයිලින් වීමට ඉඩහැර ඇතැයි යන මතයේ සිටීමත් මා ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට හුරුකරගෙන සිටිමි.
සමා වෙන්න මට කියන්න ඕන වුන දේ ඒක නෙමෙයි. මම කොහොමටත් ඒ අයව පහත් කියලා සලකන්නේ නෑ. මේ කියන්නේ ඒ වගේ කරදරකාරි කාන්තාවන්ගෙන් ඈත්වීමක් ගැන. හැමෝම ඔය මට්ටමේ නෙමෙයිනේ.
Deleteහැමෝම එහෙම තමයි ( 99%) ඒත් ඒ අයගේ අධ්‍යාපනික මට්ටමත්, සමාජයෙන් බැට කා ඇති ආකාරයත්, මෙවැනි හැසිරීම් රටාවන්ට ඔවුන් යොමුකරලා කියන එකයි මම කිව්වේ. මෙරටින් පිටතදී අප දකින අපේම කාන්තාව සම්පූර්ණයෙන්ම වෙනස් අපිට ලංකාවෙදි පාරෙදි හෝ ගෙදරදී හම්බවෙන කාන්තාවට වඩා කියලා මම අත්විඳලා තියෙන්නේ...
Deleteමට තාම මතකයි 1992 ජූනි මාසේ මම පලමුවෙන්ම ලංකාවට නිවාඩු එනකොට, ප්ලේන් එකේ හිටිය ගැහැනුන් නටපු විකාර....හැමොම අරාබි භාෂාවෙන් කථාකලේ ලංකාවෙ උනාට..එක පිරිමි මගියෙකුට ඉවසන්න බැරිම තැනද කොහෙද හොඳටම බැන්නා උඹලාට සිංහලත් අමතකද කියලා අවුරුදු දෙකට...
රංගි......මෙන්න මෙහෙම කේස් එකක් ඕක. රංගි මිඩ්ල් ඊස්ට් නොහිටිය නිසා ඕක එච්චර දැණෙන්නේ නැහැ. හැසිරීමනම් අන්තිමයි තමයි. උන් ගෙවල්වල හිරවෙලා ඉඳලා එලියට ආවාම කිරිල්ලියෝ වගේ. කොහෙද ඉන්නේ කියලා මතක නැහැ. අති මානුෂික ප්‍රශ්නයක්. මේ කතාව යනකොට හෙමින් කතාකරමු ඒ ගැන.
Deleteමගෙ මල්ලි වැඩ ෆ්ලයිට් එකේ. මුල් කාලේ දෙන උපදෙස තමයි ඔය ළමයින්ට වැඩිය උදව්වට යන්න එපා.ඊට පස්සේ අනිත් වැඩ කරන්න බැහැ හරි කරදරයි කියලා. කතාව ඇත්ත. දවසක් මස්කට්-කලම්බු-මැඩ්‍රාස් ෆ්ලයිට් එකක, අපේ ගෑණු ළමයෙකුට එහා සීට් එකේ ඉඳන් ඉන්ඩියන් කාරයෙක් අත දානවාලු. වැඩේ බලා ඉන්න බැරි තැන මල්ලි කිව්වාලු සිංහලෙන්...ඔයාට ඔතන කරදර නම් වෙන සීට් එකකට මාරු කරන්නම් කියලා. අර කෙල්ල කිව්වාලු "අප්සට් එකක් නැහැ අයියා...කොළඹට යන කම් විතරනේ අල්ලන්නේ "කියලා. මල්ලිට අහපු මෝඩකම කියලා හිතුනාලු.
මට තේරෙනවා අරූ මම ගොඩක් ලංකාවේ කාන්තාවන්ටත් වැඩ කරන නිසා මට දැන් ඔය තත්වේ අවබෝධ වෙනවා. (ඉස්සර මේ කතාවේ කාලේදි එහෙම අවබෝධයක් තිබුනේ නෑ) දැන් කරන්නේ හැකි හැමවිටම මගේ සීමාවන් වෙනස් කරගැනිම. මොකද ඒවගේ දේවල් වලට තරහා ගන්න අවුල් වෙන්න උවමනා නෑ දැන්. ඒක ඒ අයටත් යම් තරමක අවබෝධයක් තියෙනවා. ඒ වුනාට කොයිවෙලේත් පිහිටට ඉන්නවා කියලා ඒ අය අතර විශ්වාසයක් හෝ මොකක් හරි දෙයක් තියෙන හින්දා සමහර වෙලාවට රෑ හෝ සෙනසුරාදා ඉරිදා කියලාවත් බලන්නේ නැතිව බොහොම හිස් දේටත් මට කතා කරනවා. වදයක් වෙන අය වගේම නොවෙන අයත් ඉන්නවා අපරාදේ කියන්න බෑ.
Deleteඒකයි උඩ කියපු කතාවේ අදහස වෙනස් වුනා කියලා ආපහු අදහස් දැක්වුවේ. අපි කෙනෙකුගේ රැකියාවමත හෝ ජාතිකත්වය මත හෝ හමේ පාට අනුව අදහන ආගම අනුව මිනිස්සු වර්ග කරන එකෙන් එහාට ඇවිත්. ඒත් එහෙමයි කියලා අපේ නිදහස හැමදේටම බිලි දෙන්නත් සූදානම් නෑ.
////ඒත් එහෙමයි කියලා අපේ නිදහස හැමදේටම බිලි දෙන්නත් සූදානම් නෑ../////
Deleteහරියට හරි රංගි.
අකුරු හරි ඇති නේද.එහෙනං දිගටම ලියාගෙන යමු.ජයවේවා!
ReplyDeleteහරි හරි මචෝ...අනිත් එක මට ගොඩාක් හුරු වෙලා තිබුනේ...දෙකෙන්ම කෙටුවා...තැන්කූ.....මොනා හරි තියේනම් ඊයක් එවාපන්...
Deleteපළවෙනි ගමනම කට්ටක් වෙච්ච එක හොඳයි කියලා උඹට හිතෙන්නේ නැද්ද? උඹ ගාව අත්දැකීම් පිරුණු කතා පෙට්ටියක් තියෙන බව පේනවා. හෙමින් හෙමින් දිග හැරපන්. කතාව උඹත් රස විඳින ගමන් ලියපන්. අපි හරි ආසයි අහන්න. චෙෆෝ..ලිපේ ගින්දර ගානට තියාගනින්. ඉක්මනට උයන්න ගියොත් මස් ඇතුලේ කුක් වෙන්නේ නැහැ. හෙමින් හෙමින් කුක් වෙන්න දීපන්.
ReplyDeleteකට්ට ගැන කියනකොට මතක් වෙන්නේ අරූ, කටුබැද්දේදි රැග දෙන්න ගිහින් උත්තමයො රැග් උනා මට වඩා මොකෝ කාලා තිබිච්ච කටුවල සයිස් එකට අවුරුදු 17 වෙනකොට. කකාගේ අර කාගෙද වයිෆරයක් නයා දාපු ටියුෂන් පෝස්ටුව කියවනකොට මට මතක් උනේ ඒ ලෙවල් වල කෙමිස්ට්‍රි ටියුෂන් යන්න සල්ලි නැති නිසා ගස් යට වැටිච්ච පුවක් අහුලලා විල්සන්ගේ බාරෙකේ කඩේට විකුනලා ටියුෂන් ගාස්තු හොයාගත්ත හැටි. උඹ ඒ වගේ ඒවා ලියන නිසාත් උඹත් කට්ටෙක් නිසාත් තේරෙනවා ඇති රඟේ....
Deleteමේකනේ මචො වැඩේ, උයාගෙන (ලියාගෙන ) යනකොට ලිපේ ගින්දර වලට වැඩිය වැඩියෙන් හිතේ ගින්දර පත්තුවෙනවා නේ...ඉතින් සමහර ඩිෂ්ස් වල මැද අමුවෙන් තියෙනවානම් සමාව බජනය කරන්න ඕන....
අවවාදයට ස්තූතිවේවා...
පළවෙනි ගමනම කට්ටක් වෙච්ච එක හොඳයි කියලා උඹට හිතෙන්නේ නැද්ද? උඹ ගාව අත්දැකීම් පිරුණු කතා පෙට්ටියක් තියෙන බව පේනවා. හෙමින් හෙමින් දිග හැරපන්. කතාව උඹත් රස විඳින ගමන් ලියපන්. අපි හරි ආසයි අහන්න. චෙෆෝ..ලිපේ ගින්දර ගානට තියාගනින්. ඉක්මනට උයන්න ගියොත් මස් ඇතුලේ කුක් වෙන්නේ නැහැ. හෙමින් හෙමින් කුක් වෙන්න දීපන්.
ReplyDelete!!!!!!!!!!!!!!!!!????????????????
Deleteනියමයි...... පටන් ගැන්මෙන්ම තේරුම් ගත හැකියි කතා ගබඩාවක් තිබෙන බව....
ReplyDeleteලියවිලි රටාවත් රසයි.......
දිගු ගමනකට පැතුම් මචෝ......
කෙන්ජි ජීව සාදරයෙන් පිලිගනිමි....
Deleteපැතුම් වලට තැන්කූ....
This comment has been removed by the author.
ReplyDeleteමැද පෙරදිග යෑමද, කතා කොරන්ට එපා. (කතා කොරන්ටනෙ එපා කීවෙ දිගටම ලියපං)
ReplyDeleteගිහිල්ලා එන එකද....ඒකත් කථා කරන්න එපා....
Deleteෆලෝවර් ගැජට් එක නැතිව මං නසරානි වෙලා හිටියේ. දැං අහු උනා. හරි..
ReplyDeleteබොක්කට වදින්නම දීල තියෙනවා නේ.. ඉතිරි කොටස ඉක්මනින්ම එන්න ඕන..
හැලපේ අකුරු කොටන්න ලේසි කරගන්න අවවාද දුන්නා...දැන් ටිකක් හුරුවේගන එනවා කෙටීම...ඉක්මනටම ලියමි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් ඔය කට්ට කෑවා චෙෆෝ. නියමයි. දිගටම ලියන්න, අපි එනවා කියවන්න.
ReplyDeleteඔබේ අත්දැකීම් කියවන්න ආසයි.. හිතට වදින විදියට ලියල තියෙනවා "නට් කේස් එකක් වන මා නිරතුරුවම ඇය හා සිතින් කථා කරයි" මෙන්න මේ කේස් එක මට මාර විදියට තියෙනවා මම හිතින් කතා කරනකොට තොලුත් හෙලවෙනවා ඉබේම.. හෙහ් හෙහ්..
ReplyDeleteඅපිත් ඔහොම එලිවෙනකල් එයාපෝට් එකේ හිටියා මුල වතාවට මෝල්ඩිව්ස් ආවාම. අපි පිළිගන්න ඉන්න සෙට් එකට ඒකේ ගානක් නෑ. හොඳට නිදාගෙන ඉඳලා තමන්ගේ වෙලාව අරගෙන තමයි එන්නේ. ආගන්තුක සත්කාරය තමයි ඉතින්.
ReplyDelete