Wednesday 21 May 2014

ටෙක්නිකල් හංදිය...මරදාන



















මා බිරින්දෑත් අවුරුදු 8ක් සහ 7ක් වයසැති දුවත් පුතාත්, හදිසියේම ගෙදර යන්නට ඕනෑයැයි කී අම්මාද නංවාගත් රථය පිටකොට්ටේ සිට පුන්චි බොරැල්ලේ හංදිය දක්වා පැදෙව්වා මතකය. 

එකවරම මට වම් පසින් ඉදිරි අසුනේ සිටි බිරින්දෑ කෑගසමින් නැගිට රිය පදවන මාවෙත ඇලවෙනු දැකීමෙන් මට පියවි සිහිය ලැබින. වම් පැත්තේ වීදුරුවෙන් පිඹගෙන මකරෙක් මෙන් අප වෙත වේගයෙන් ඇදෙන ටාටා බස් රථයේ රිය දුරාගේ රුදුරු බැල්මත්, එය දුටු පසුපස අසුනේ හුන් අම්මා දරු පැටවුන් දෙදෙනා දෑතින් තුරුලු කරගෙන රථයේ දකුනුපසට පනිනවාත් මගේ නෙතට අසුවෙනවා සමග මා රථය දකුනු පසෙට හරවන්න තැත්කලෙමි.

ඇසිල්ලකින් මා නෙත රැඳූනේ දකුනුපස පදිකවේදිකාව මත බස් රථ වලට නඟින්නට ඉවසුමක් නැතිව සිටි ජනකායයි. ඇක්සලරේටරයෙන් ඉබේම ඉවතට ආ දකුනු කකුල ඇඟේ ඇති සියලුවෙරත් සමග බ්‍රේක් පැඩලය මත තද වෙනවාත් සමගම ටොයොටා ටවුන් ඒස් වර්‍ගයේ වෑන් රථ්ය උන්චිල්ලාවක් පහලට යන්නාසේ පොලොවදෙසට පහත්වෙනු දැනුනු මා එසැනින් බ්‍රේක් පැඩලය මත තිබූ දකුනු කකුල ඉවතට ගත්තත්, දකුනට වැරෙන් කැපුනු වාහනය උන්චිල්ලාවක් සේ උඩු අතට එමින් සිටි මොහොතේම වම් පසින් ආ මකරා වෑන් රථයේ පසුපස වම් කොනේ වැදීමේන් අප සියලුදෙනාම සමගින් එය පෙරලුනේ මා මත බිරින්දෑ ද රඳවමිනි.

යකඩ තහඩු එකට වදින ඒ බියසුලු හඬවල්, බ්‍රේක් පහරේ තදට පිච්චීගිය ටයර්වලින් හමන රබර් ඇවිලුන දුමාරයේ ගඳත්, මරනබියත්, එකමුසුවූ ඒ මොහොත මා හිතේ පච්ච්කොටමින් සිටී.

මාගේ දකුනු අතින් නැගෙන ඉවසියනොහැකි වේදනාව අභිබවා මා වැර දරන්නේ දරුවන් දෙදෙනාට වූයේ කුමක්දැයි කියා දැනගැනීමටයි.

අක්කී..!!! මල්ලී..!!!..අක්කී...!.

මා ඇඟ මත සිටින බිරින්දෑද, දරුවන් දෙදෙනා තුරුලු කරගත් මවද,
 …”බබාලාට කරදරයක් නෑ..” කියාද,
එවිටම රථය වට කරගත් මහා සෙනග පද්ද පද්දා, වෙර දමමින් වාහනය නැවත කෙලින්කරන ගමන් කෑ ගසන්නේ...
”…ලමයි ඉන්නවා ඉක්මන් කරන්න..ඉක්මන් කරන්න...කියාය.

අක්කී සහ මල්ලී බය වුන පූස් පැටවුන් දෙදෙනකු සේ වෙව්ලමින්, මිනිසුන් විසින් නැවත රෝද මතට ගැනුන රථයේ වම්පස් වු පැති දොරෙන්, නහයේ වම් පැත්තෙන් වැගිරෙන ලේ වලින් යුතු මුහුනින් මා දෙස බලාසිටින අම්මාගේ දෑතේ එල්ලී එලියට පැමිනෙනවාත්, මා විසින් වාත්තුකරගෙන රථයෙන් එලියට ගත් බිරින්දෑගේ මුහුනත් හැර මට වෙන කිසිම කෙනෙකුන් නොපෙනේ. අධික හදගැස්මත්, දෙපා පන නොමැති ගතියත් මා නැවතත් රථයේ වම් පස දොරටුවට හේත්තු කලේය.

එවිටයි මා දැනගත්තේ අප සිටින්නේ මරදානේ ටෙක්නිකල් හංදිය මැද බව...

ඒ මිනිසුන්ගේ අත්වැල් වාරුවෙන් අප පස්දෙනා ලඟ තිබූ ආපන ශාලාව වෙත වාත්තන් කරගෙන ගොස් බීමට වතුර දී අප සනසාලන අතර සරම කෙටි ගසාගෙන සිටි අයෙක් මකරාගේ දත්ගලවන්න ලෑස්තිවෙන අයුරු මට පෙනේ.
එවිටම අම්මා...

"පුතේ මගේ මාලේ නෑ..!!"

එය ඇසුන විගසින් දත්ගලවමින් සිට මිනිසා...

"ඔක්කොම අයින්වෙනවලා ඔය වාහනය ලඟින්...."

ඔහු රථය ඇතුලට යනවාත් ටිකකින් දකුනු අතේ ඇඟිලි තුඩු වලින් ඉහලට අල්ලාගත් රත්තරන් මාලයක්ද පෙන්නමින් මා වෙත එනවාත් දුටිමි.

"මෙන්න මහත්තයා මාලේ..අම්මේ මේක කරේ දාගන්න..!!!

මා දෑසට කඳුලු නැගින...

අප මරදාන පොලිසිය වෙත ගෙන ආ ඔවුන්, පිටත්ව ගියේ, බස් රථ මකරා ගෙන් අපට සිදුවූදෙය පොලිසියටද කියා අවහර වූ පසුය.

පොලිසියේ බංකුවක් උඩ වාඩිවී සිටින මා හට ඊයේ සවස සිට සිදුවූ දේවල් නැවත දිගහැරමින් පවතී.

මා හෙට ජීවිතයේ පලමුවරට මේ රට අතහැර පිටරටක රැකියාව සඳහා පිටත්විය යුතුය. දරු දෙදෙනා සහ රැකියාවට යන බිරින්දෑද තනිකර යා නොහැකි නිසා අම්මා අප පිටකෝට්ටේ ගෙදර නැවතීමට ඒමට එකඟවිය.

කැළඹී තිබූ අප සිත්වලට, තාත්තා මහගෙදර තනි කර දමා අම්මාට අප සමග ඉඳීමට නොහැකි බව හැඟුනේම නැතිතරම්ය. හදිසියේම ඇය ගෙදරයාමට අවශ්‍යබව කීවිට අපි කෙතහරම්ම කලබලවීද යත්, එන ඕන දෙයකට තනියම මූන දෙනවා යයි එක සිතින් සිතා ගත් අප දෙදෙනා අම්මාව පිටකොටුව බස් ගාලට ඇරලීමට එකඟ වූයෙමු.

ඒ කැලඹිලි සිත, පුංචි බොරැල්ලෙන් එහාට මා කෙසේ රිය පැදෙව්වේදැයි නොදැනෙන තරමටම අවුල් වී තිබින.

 මරදාන පොලිසියෙන් රෝහලටත්, රෝහලින් බොරැල්ලේ හම්ඩ් කාරයාගේ ඒජන්සියටත් ගියේ හෙට මට රට යන්න වෙන්නේ නෑ කීමටයි. ඒ වන විටත්, වෙන හේතු නිසා, හම්ඩ් තව සතියකින් ගමන කල්දමා තිබිනි.

අම්මා නැවත ටික කලකට තාත්තාද සමගින් අප හා ඉන්නට කැමැත්ත ප්‍රකාශ කෙරූ නිසා අප සිත් නැවතත් සන්සිඳුනා පමනක් නොව, මාගේ දකුනු වැලමිට අනතුර සිදුවූ මොහොතේ බිම ඇනීමෙන් ලද තැලීමේ වේදනාවද දැනෙන්නට පටන් ගැනින.

මෙය ආරම්භයයි. මෙයට සතියකින් පසු, හරියටම මීට අවුරුදු 23කට කලියෙන් මැයි මාසේ 5 වෙනිදාක පිටරට යන්නට ගොස් සිදුවූ තවත් දේවල් අකුරු කරන්නෙමි.

20 comments:

  1. Replies
    1. පොඩ්ඩක් එඩිට් කරා ඇල පාතේ....මේක අතීත කථාවක් නිසා දවස ඇඩ් කරා..

      Delete
  2. අම්මෝ ඔය්න් බේරුණා ඇති බං ලියල තියන විදියට ඇග හිරිවැටෙනවානේ..

    ReplyDelete
    Replies
    1. එදා වෙච්ච බය තාමත් හිතේ තියෙනවා...මේක ලිව්වම ඒ ගතිය ටිකක් ඇරිලා ගියා.. කොමෙන්ටු දැක්කම දුකත් හිතුනා, උඹලාගේ ඇඟටත් ඒ වේදනාව දුන්නා නේදය කියලා...

      Delete
  3. ඇක්සිඩන්ට් එක අපිටත් දැනෙන්න ලියලා , රසවත් පොස්ට් කීපයක් ඉදිරියට එන බවට ඉඟි පලවෙනවා

    ReplyDelete
    Replies
    1. ඉ.පා. මේ ෆවුන්ඩේෂන් එකක් දාගෙන යන්නේ දිග කථාවකට...මුල ඉඳලාම කිව්වේ නැත්තම් තේරුම් බේරුම් නැතිවෙයි කියලා හිතෙන නිසා

      Delete
  4. නියමයි. හැප්පෙන විදිය මැවිලා පෙනුණා.......................

    ReplyDelete
    Replies
    1. හිතලා කරපු, ලියපු, දෙයක් නිසා නෙවෙයි නිසා වෙන්නැති....

      Delete
  5. /පිටරට යන්නට ගොස් සිදුවූ තවත් දේවල් /

    හ‍පොයි ‍දෙයිය‍නේ තවත් අකරතැබ්බද???

    ම්.‍හෙළවල් නගිද්දි,හරියට ලිස්සලා වැ‍ටෙනවලු.

    ReplyDelete
    Replies
    1. නැග්ග හෙලේ තරමට වෙච්ච කරදර ගනන් ගන්න බෑ මල්මී...මට හැම දේම උනේ මගේම තියෙන (තිබුන ) මෝරච්ච නැතිකම නිසා කියලා ආපහු හැරිලා බලන අද දවසෙදි මට තේරෙනවා...
      හැබැයි කිරිහොදි වගෙ ආගිය තැනක් හොයාගන්න බැරිව ඈත්වෙච්ච නැති සුවඳක් එදා ඉඳන්ම වටේ කැරකි කැරකි ඉන්නවා...ඉතින් ඒ නිසාමද කොහෙද, මගේ හෙල් නැගිල්ල තාම ඉවර නෑ....

      Delete
  6. අමතක නොවෙන අත්දැකිමක්නේ.. තව කතා ටිකක් එන්න තියෙනවා වගේ.. කෝම වුනත් ගමන් බිමන් පරිස්සමින්..

    ReplyDelete
  7. ඇඟ හිරිවැටෙන්නම ලියලා තියෙන්නේ. මමත් දැන් ගොඩක් වෙලාවට ඉන්නේ පාරේ නිසා. ඇක්සිඩන්ට් කීපයක්ම ලයිව් දැකලා තියෙනවා. අපේ මිනිස්සුන්ගේ මනුස්සකම හොඳින්ම පෙනෙන වෙලාවක් ඒක. විශේෂයෙන් පොඩි මිනිස්සුන්ගේ. උන්ගේ හදවත් හරි විශාලයි. ඩුබායි වලදි ඉන්ටර්වීව් එකකදි මගෙන් සුද්දෙක් ඇහුවා. උඹ වැඩට එනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා දැක්කොත් මොකද කරන්නේ කියලා. මමත් ඉතින් දිගටම කුවෙෂ්ෂන් කරලා අන්තීමට කිව්වා. මට නම් ඒ වෙලාවට අහක බලාගෙන යන්න බෑ. වාහනේ නවත්තලා ඒ වෙලාවට ගන්න තියෙන පියවර ගන්නවා කියලා. මම ඉන්ටර්වීව් ෆේල්.

    ReplyDelete
  8. උඹ හෙමින් හෙමින් කතාවට ඇතුල්වෙනවා. නියමයි. සිදුවීම් ලයිව් වැඩිවෙන්න වැඩිවෙන්න කතාව රසවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ..උඹ ඕමාන් එනකන් මම හෙමින් යන්නම් කියලා...

      Delete
  9. හප්පේ අවුරුදු විසිතුනකට පස්සේ කොහොමද මේ තරම් සජීවීව ඔය හැම දෙයක්ම ප්‍රතිනිර්මාණය කරන්නේ ? එළ !!

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියෙ මට මතක නෑ කියලා....හැබැයි ටිකක් හිතනකොට මතක් වෙනවා මචං...ඔලුවෙ තියන් ඉන්න බැරිම තැන තමයි ලියන්න හිතුවේ..හරාකිරි තමයි ඉතින්...

      Delete
  10. අරූගේ ආරට ලියවෙන කතාවක් වගේ.
    බොහොම කැමැත්තෙන් කියවන්න බලාගෙන ඉන්න යන්නෙ අඔන්න මාත්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි.... අරූගේ ආරට..මම ඒක කොම්ප්ලිමන්ට් එකක් හැටියට ගන්නේ, මොකද අරූ වගේ භාෂාව හැන්ඩ්ල් කරගන්න බැහැ මට..අනික අරූගේ අවුල්වෙන්න පෙර සීරිස් එකම තමයි මට දිරිදුන්නේ මෙහෙම ලියන්න...මාතේ දුන්න සහ දෙන සපොර්ට් එක බ්ලොග පවත්වා ගැනීමට ලොකු දෙයක්..ඒ වගෙම ඔයගොල්ල වගෙ වෙටරන්ලා අපිව විසිට්කිරීම....තැන්කූ ආවට ආයෙත් දිගටම එන්න...

      Delete
  11. නියමෙට ලියා ඇත..

    ReplyDelete
  12. මචං ඔය ගුවන් ගමනක් යන්න කලින් දවසෙයි එදා උදෙයි වාහන එලවන එක මාර රිස්ක් එකක්. නමුත් මටත් ඕක කරන්නම වෙනවා. මේ පාර මගේ පස්සෙ රෝදේ ඇලෝයි හබ් එක තැලෙන්න එකෙක් ඇවිත් හැප්පුවා. නඩු කතාකරන්න වෙලාවක් නැති හන්දා මට ඌට ඉස්සරහ මඩ් ගාඩ් එකක් අරන් දෙන්න වුනා වැ‍රැද්ද උගේ අතේ තිබුනත්.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....