Wednesday, 25 February 2015

රෝද පුටු සහ අත්ට්‍රැක්ටර්



අල්කුවේර් ඉන්ටර්සෙක්ෂන් එකෙන් හයිවේ එකට ඇතුලුවෙනවාත් සමග රථයේ බ්ලූටූත් හරහා එන දුරකථන ඇමතුම ලංකාවෙන් බව තේරී..... නොගෙන ඉන්නත් සිතා මධුරගේ නොම්මරය තිරයේ දිස්වීම නිසා ඇති වූ කුහුල ස්ටියරින් වීල් එකේ ඇති කොල පාට බොත්තම තද කිරීමට තරම් ප්‍රබල විය.

"මොකෝ මචං උදේම...මම ගොඩබැස්සා විතරයිනේ ? "

"උදේ..? මෙහේ වෙලාව 10 යි...මේ මචං පොඩි කේස් එකක්...ආසිරි කේ බිල ආවා..."

"ඉතින් ත්‍රී මිලියන් මදි උනාද..?"

"නෑ බං..සර්ජන්ලා දෙන්නාම සල්ලි එපා කියලා..හොස්පිටල් චාර්ජස් විතරයි බිලේ තියෙන්නේ.."

.............මට මතක් වූයේ සුනිල්ගේ මුහුණයි....


--------------------------------------------------------------------------------------


එතනින් එහා කථාවූ දේවල් වලට උඩින් මගේ හිත මීට දවස් දෙක තුනක් ආපස්සට ගෙනගියේ පැයට කිලෝමීටර 120ක් වේගයෙන් දිවෙන රථය පාලනය කිරීමත්, මධුර දුරකථනය හරහා අසන දේවල්වලට උත්තර දීමත්, ඉතිරි මුදල් වලට කරන්නේ කුමක්ද යන්නත් වැනි සංකීර්ණ සිතිවිලි ජාලයක..........


------------------------------------------------------------------------------------


කොළඹ ගෙදරින් ගලෝලා අයින් කරපු යකඩ ග්‍රිල් ගේට්ටුවට අලුත් ප්‍රයොජනයක් ලැබේය යන හිතිවිල්ලෙන්, පොඩ්ඩක් වෙන්න එහාට මෙහාට වෙල්ඩින් පාරක් දාලා අරන් ගොවිපොලේ අලුතෙන් කම්බි ගහලා ගේට්ටුකනු හිටෝලා මහගේට්ටුව හදන්න තීරණය කලේ නිකන් කම්මැලි කමට වගේ.

උදේ ඉඳන් කට්ටිය අලුත් පොල් තවාන දානවා, මොකද පොල් සංවර්ධන මහත්තයා කිව්වා අය දෙන හයිබ්රිඩ් පැල වලට අමතරව වත්තේ තියෙන හොඳ පොල් ගස් වලින් ගෙඩි පන්සීයක විතර පැල හදා ගත්තොත් යටි වගාවට හොඳය කියලා. උදේම සුදු මල්ලියට කිව්වා අත් ට්‍රැක්ටරේ බෙල්ට් එක බුරුල් නිසා හදාගෙන එන්නය කියලා ගේට්ටුව පටවන්න ඉස්සරවෙලා.

දහය වෙනකොට බෙල්ටෙකත් හදාගෙන ඇවිත් පොල් ගොඩෙන් ගෙඩි තෝරල තවාන ගාවට අදිනකොට මම ආයෙත් මතක් කලා සුද්දෝ ගේට්ටුව ගෙනියන්නේ නැද්ද අද කියලා.
මගේ දිහා බලපු සුද්දා හෙමීට නන්දසේන දිහා බලලා ආයෙත් තවානට කුරේටර් ඉහින්න පටන්ගත්තා. නන්දසේන, සුද්දා සහ ගැහැනු තුන්දෙනෙක් තවානේ වැඩ.

එකොලහමාර වෙන කොට පැලගෙඩි පන්සීය නැට්ට උඩට එන්න පොඩ්ඩක් ඇල කරලා තවන් කරලා අමු පොල් අතු දාලා වහලා ඉවරකරගත්තා. ආයෙම කිව්වත් සුද්දා නෙවෙයි අත්ට්‍රැක්ටරේ ගෙනියන්න උනන්දුවක් ගත්තේ, නන්දසේන දිහා බල්ලා බිම බලා ගන්නවා. ඕන කුජීතයක් කියලා, ආයෙත් රෑවෙනකන් මෙතන කොටන්න මට බැරිය කියලා දොලහමාර වෙනකොට කොළඹ එන්න පිටත් උනා.
එන්න කලින් කිව්වා සුද්දෝ ගේට්ටුවේ වැඩේ කොහොමහරි කෙරෙන්න ඕනය කියලා.

වාහනේ ගේට්ටුව හයිකරන තැනට එනකොට සයිමන් එනවා වැනි වැනි...මේ මනුස්සයාට මම යන්න ඉස්සරවෙලා එන්න කිව්ව නේදැයි කියලා මතක් උනේ එතකොට..යංකො ආපහු.....

සයිමන් කියන්නේ නන්දසේනගේ බාප්පා. වයස 75ක් විතර ඇති. තීව් ඇස් දෙකකුත්, නියම කලු හින්ගල මූනකුත් තියෙන කොන්ඩෙ සුදුම සුදු සීයෙක්..මම ආසම මනුස්සයෙක්..හැබැයි ඉතින් නිව්ස් මල්ලක්..සමහර වෙලවට මේ මනුස්සයාගේ නිව්ස් හරිම වැදගත් ..යහපාලනයට.... හැබැයි මම කවමදාවකවත්, සයිමන්ගේ නිව්ස් වලින් මගේ තීරණ පෙනෙන විදියට වෙනස් කරලා නැහැ.. මොකද එතකොට නිව්ස් කේලාම් බවට පත්වෙන නිසා.

සයිමන් ඉපදිලා තියෙන්නේත් මේ ගොවිපොලේමයි, අවුරුදු 60ක්ම වත්ත බලාගත්ත නන්දසේගේ තාත්තට, කියන්නේ සයිමන්ගේ අයියට, සහායට ඩැනී හැටියට රඟපාලා තියෙන්නේ මෙයාවත්ත විකුනනකොට, ඒ කියන්නේ මම ගන්නකොට, සයිමනුයි, සයිමන්නෝනෙයි දෙන්නාම නෑවේ, උඩහ මුරගේ ගාව තියෙන දියබුබුල වගේ ළිං පොඩ්ඩේන්.
ලොස් ඇන්ජලීස් වල ඉඳන් ආපු සිල්වා මහත්තයාගේ පුතා, අසෝක,  මට කිව්වේ, වෙන කිසිම අවුලක් නැහැ, හරිම නිරවුල් ඉඩම, සයිමන්ලා ළිඳ පාවිච්චිකරන එක නතර කරන්න සයිමන්ගේ ගේ ගාව තියෙන වතුරබොන ජඹුර ළිඳට පොම්පයක් හයිකරලා දෙනවාය කියලා. පොම්ප හයි කිරීම කෙසේ  වෙතත්  රැපියල් පාලොස්දාහක් දීලා තියෙනවා වතුර ගන්නය කියලා. වත්තේ කම්බි ගහන දවසේ තමයි සයිමන් ඕක මට කිව්වේ, නන්දසේන, සයිමන් නාන්න එන්න වැට පනිනකඩුල්ල වහලා කම්බිය අදිනකොට.

මේ නාකි ජෝඩුව අඬාගෙන ආපි පොම්පෙටම දාහතරදාස් පන්සීයක් ගියාය, පයිප්ප ටික අරන් දෙන්නය, නන්දසේන කඩුල්ල වැහුවාට පස්සේ නාන්න විදියක් නැතිය කියලා. ඉතින් මම කිව්වා, සල්ලි දෙන්නම්, පයිප්ප ටික අරන් බිල ගෙනල්ලා දෙන්නය කියලා. නන්දසේන තමයි මතක්කලේ, සල්ලිදීලා ලියවිල්ලකට අස්සමක් ගහගන්නය ආයේත් අයිතිවාසිකම් කියන්න එන්නේ නැහැය ළිඳට කියලා. මෙන්න මේ ලියවිල්ලට අස්සන ගහන්න තමයි මම සයිමන්ට යන්න ඉස්සරවෙලා එන්න කිව්වේ.

දන්න හින්ගලෙන් බරසාර නීති වචන  මාලාවක් හෙම දාලා පොඩි ලියුම් කරදහියකුත් ලේස්ති කරලයි තිබුනේ. ඉතින් යන්න ගිය ගමනත් නවත්තලා ආපහු ආවා වත්තේ බංගලාවට, එතනම පහතින් තමයි කට්ටිය පොල් තවාන දාලා අස්පස් කර කර ඉන්නේ, ගිහින් වඩිවෙලා සයිමන්ට දුන්නා ලියුම.

මෙන්න මහත්තයෝ බිල් ටික කියලා, ලියුම අතට ගත්තට මම හිතුවේ මේ මනුස්සයා ඕක කියවන එකක් නැහැය කියලා. වැරෙන්ඩා එකෙන් එලියට බැහැලා හොඳට එලිය තියෙන තැනකට වෙලා, අකුරක් නෑර කියෙව්වා ලියුම.

"කවුද මහත්තයො සාක්කියට අස්සොන ගහන්නේ ?"

"හ්ම්...නන්දසේනටම කියමු නේද සයිමන්..."

"...න්........සේ............"

හොඳට ඇදලා එහෙම කියලා සයිමන් පාත්වෙලා බැලුවා පල්ලේහා තවාන ඉවරකර කර හිටි නන්දසේන දිහා..

මම දැනන් හිටියේ නැහැ බාප්පලා පුතාලා පරන ඇරියස් තියෙන උදවිය කියලා.

කැහැපොට ගහගෙන හිටිය සරම දිග් කරගෙන න්දසේන දුවගෙන ආවා මම එන්න කියන ඉස්පාසුවට....ගැහුවා අස්සොම...... රජා වගේ ගියේ නැද්ද ආපහු තවාන .....

මමත් එහෙනම් සයිමන් ඉක්මනටම පයිප්ප ටික හයිකරගෙන නාන්න ලේස්ති කරගන්නය කියලා ආපහු එන්න පිටත් වෙන්න එලියට ආවා. සයිමන් යනවා ඔලුව පාත් කරගෙන හරිම දුකෙන් වගේ......මට කරන්න දෙයක් නැහැ...

පැය භාගයක් විතර නාස්තිත් උනා නේදැයි කියලා, කලුවර වෙන්න ඉස්සර කොළඹට එන්නත් ඕන නිසා ඔන්න ඔහේ එන්න ආවා.

රත්නපුර පාරේ ඇවිත්, කලුඅග්ගලින්  කඩුවෙල පැත්තට හරවලා වංගුව ගන්නකොටම ඔන්න එනවා කෝල් එකක්....වෙලාව හතරහමාරට විතර ඇති...

"කවුද..?"

"නොම්මරයක්..ගන්නද"

"ගන්න අරන් කියන්න මම එලවනවාය කියලා..පස්සේ කොල් කරන්නං කියන්න "

"හලෝ..."

"....."

"...මොකක්...කොහෙදිද..?....පාරේදි...?රදම්පොලදි..? කොහෙ ගිහින්ද?.."

වාහනය එලවන මට ඇසෙන්නේ බිරින්දෑගේ වචන පමනි. කිසිම ආකාරයකට තේරුම් ගත නොහැක...
දුරකථනය විසන්ධි කිරීමට තවත් විනාඩියක් පමන ඇය ගන්නට ඇත.

"අත්ට්රැක්ටර් එක ඇක්සිඩන්ට්වෙලා...පාරේදි පොල්ගහක් කඩන්වැටිලා ඒක උඩට...නන්ද්සේනට අමාරුයිලු...බතීගමින් මාතරට ගෙනිහිල්ලා.."

"නන්දසේන කොහොමද ට්රැක්ටරේ ගියේ....දැන් මොකද කරන්නේ?"

"දැන් ඔයාට ආපහු එලවන්න බැහැ..හෙට පාන්දරින් යමු..."


------------------------------------------------------------------------------------------------------


නන්දසේනගේ දිලිසෙන ඇස්දෙක කඳුලින් පිරී තිබුනත් බැල්මේ තිබුනේ ලොකු බලාපොරොත්තු. මගේ දිහා බලාගෙන සමාවෙන්න කියනවා වගේ හිමින් මගේ අත අල්ලගත්ත ගමන් කිව්වේ මාව බේරගන්න මහත්තයො කියලා. මම කොහොමද මේ මනුස්සයා බේරාගන්නේ. කකුල් දෙකටම බර එල්ලලා, හදිසි අනතුරු වාට්ටුවේ ඇඳක බාවලා ඉන්නවා, හැබැයි කිසිම තුවාලයක් පේන්න නැහැ.

ගේට්ටුව හදන්න බාර දීලා ආපහු එන ගමන් සුද්දා කිව්වාලු මාමේ බෙල්ට් එක බුරුල්ද කියල බලන්නන්ද කියලා. එහෙම කියල අත් ට්‍රැක්ටර් එක පාර මැද නවත්තලා සුද්දා බැස්සලු බෙල්ට් එක බලන්න.
න්දසේන බැහැලා නැහැ. එතකොටම පාර අයිනේ කන්ඩිය උඩ තිබුන පොල් ගහක් ලයිට් වයරුත් කඩාගෙන නන්දසේනගේ ඇඟ උඩට වැටිලාට්‍රැක්ටරේ යකඩ බාර් එකටයි නන්දසේනටයි මැදින් තමයි ගහ වැටිලා තියෙන්නේ. කොන්ද කැඩිලා කියලා තමයි වාට්ටුවේ දොස්තර මහත්තයා කියලා තියෙන්නේ.

නන්දසේනගේ බඩ උඩ එක්ස් රේ කොල ගොඩකුයි තවත් මොනවාද කොල වගයකුයි තිබුනා. දැන් කරාපිටියේ ස්නායු විශේෂඥ දොස්තර මහත්තයා එනවලු බලන්න, මට එයාට කථා කරන්නලු. කොහොමද ඒක මම කරන්නේ......

නන්දසේනගේ බිරිඳගේ මල්ලිගේ නෝනා නර්ස් කෙනෙක්. එයා ඇවිත් මට උදව් කරන්නම් කිව්වා කරාපිටියේ දොස්තර මහත්තයාට කථා කරන්න.

ටික වෙලාවකින් ටිකක් කලු, වැඩිය උස මහත නැති, අතුකෝරළ කියන (මට මතක විදියට ) දොස්තර මහත්තයා වාට්ටු රවුම යන්න ආවා. මම පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා දොස්තරලාගේ තරම දන්න නිසා.

ටික වෙලාවකින් න්දසේනගේ ඇඳ ලඟට ආපු දොස්තරට අර නර්ස් නෝනා මාව පෙන්නලා මොනවාද කිව්වා. මගේ දිහා බලලා මට අත වනලා එතනට එන්න කියපු මේ දොස්තර තැන ඉංග්‍රීසියෙන් කථා කරන ගමන් න්දසේනගේ ඇඟ උඩ තිබුන එක්ස් රේ කොල ටික පෙන්නලා කියනවා මේ මනුස්සයාගන් වැඩක් නැහැ, කොන්ද දෙකටම කැඩිලා, මේ බලන්න ස්ප්යිනල් කොර්ඩ් එක වෙන්වෙලා තියෙන්නේ, මට ඕනි නම් කරාපිටියේ අරින්න තිබුනා ඊයේ රෑ, ඒකට මේ වගේ මනුස්සයෙක්ට වැඩිකල් ජීවත් වෙන්න බැහැ, බෙඩ් සොර්ස් හැදිලා අවුරුදු දෙකක් විතර යනකොට නැතිවෙනවා.

මේ යක්ෂයා මොනාද මේ කියන්නේ..මහ තිරිසන් කථාවක්නේ..මට තරහා යන්නත් එනවා ඒත් ඉතින් ඩොකාලගේ කඩේ ඉඳන් වලි ඇදගන්නත් බෑනේ...

ඩොකටර් මට මේ පේෂන්ට්ව කොළඹ ගෙනියන්න පුලුවන්ද කියල ඇහුවම අහපි, ඔයාගේ කවුද මේ පේෂන්ට් කියලා. මම ඉතින් නන්දසේන වත්තේ වැඩ කරන කම්කරුවෙක්ය කිව්වාම, පුදුමවෙලා වගේ මගේ දිහා බලන් ඉඳලා කියපි ඔය ඇම්බියුලන්ස් වලට සල්ලි වියදම් කරගන්න එපා, අර සුනාමියට ආධාර වශයෙන් හම්බවෙච්ච ඇම්බියුලසන් වගයක් අර පන්සලේ තියෙනවා, ඒකක් ගන්න, මම පැය භාගයකින් පේපර්වර්ක්ස් කරලා දෙන්නම්, මම ඔයාට කිව්වා වගේ මේ මනුස්සයාව ගොඩ ගන්න බැහැය කියලා.

--------------------------------------------------------------------------------------------------------------

පන්සලෙන් ලැබුන පින් ඇම්බියුලන්ස් එකටත් කලින් මම නාරාහෙන්පිට ආසිරි සර්ජිකල් එකේ කාර් පාර්ක් එකේ...

වෙන විටත්, මගේ මිත්‍ර මධුර ස්නායු විශේෂඥයෙකුත්, කැඩුම් බිඳුම්  විශේෂඥයෙකුත් ලේස්ති කර හමාරයි කියා දැනගත්තා. නන්දසේනව උඩ තට්ටුවක් කාමරයක දමා ඔහුගේ බිරිඳට ඔහු ලඟ ඉන්න යයි කියා අප ගෙදර පැමිනියේ නන්දසේන සුව කිරීමට හැකි සෑම දෙයක්ම කරනා බව ඇයට කියාදී,  එදා ධ්‍ය රාත්‍රියේ අපට ආපසු පිටරට යාමට යාමටද ඇති බව දන්වමිනි. මගේ මිතුරා සියලු දේ බලාගනීවිය සියලු වියපහදම් අප බලාගන්නා බවත් කියා ඈ සැනසීමටද අමතක නොකලෙමු.

---------------------------------------------------------------------------------------------------------------------

හවස හතරට පමන දුරකථනයෙන් කථා කොට, මා හට වහාම එන්නැයි රෝහලෙන් දැන්වූ විට මා ඇසුවේ ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියායි. ස්නායු විශේෂඥ මහතාට මා සමග විශේෂ දෙයක් කථා කිරීමට ඇති බැව් පමනක් පවසන ලදි.

නන්දසේනගේ වාට්ටුව සඳහා ඇති නර්සස් ස්ටෙෂන් එක ලඟ ඇති ලිෆ්ට් එක ලඟට වී මා බලා සිටියේ ස්නායු විශේෂඥයා එනකන් ඉන්න යයි කී නිසා. ලා දුඹුරු පැහැ ටී ෂර්ට් එකකින් සැරසුනු ඉතාමත් නිවුනු මුහුනක් ඇති මේ මනුස්සයා ලිෆ්ට් එකෙන් එලියට එනවිට මා නම් සිතුවේ ලෙඩෙක් බලන්න ආ කෙනෙක් කියා. කෙලින්ම ගොස් නර්සස් ස්ටෙෂන් එක පිටුඅස ඇති එක්ස් රේ බලනය වෙත ගොස් නර්ස්ගෙන් මොනාද ඇසූ නිසා මිසක් වෙන දොස්තර පෙනුමක් (අර කරාපිටියේ ලොක්කා වගේ ) නම් මේ මනුස්සයාගේ තිබුනේ නෑ.
වයසක නර්ස් නෝනා මට හිසෙන් සංඥාකොට එතනට එන්න ය‍යි පැවසූ පසු, මා වෙත ඉතා කුලුපගු ලෙස සිනාවී නම මොකක්දැයි අසා, මගේ නමින්ම මා අමතන්නට ඔහු අමතක කලේ නැහැ. අද රෑ නන්දසේනට ඔහුත්, කැඩුම් බිදුම් විශේෂඥයාත් කිරීමට සැරසෙන අතිශය සංකීර්ණ සැත්කම ගැන දීර්ඝ විස්තරයකින් පසු ඔහු ඇසුවේත් නන්දසේන මගේ කවුරුදැයි කියායි. ඔහු කවුරුන්දැයි කී පසු ඔහු කීවේ, මෙවැනි සංකීර්ණ සහ මිල අධික සැත්කම් වලින් පසු රෝගියා සහ නෑදෑ හිත මිතුරන් මිරකල්ස් බලාපොරොත්තුවෙන බවත්, සියලුම දේවල් තීරනය වෙන්නේ නන්දසේනගේ කර්මය මත බවත්, මා මෙයින් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය බවත් පැවසුවා.

නන්දසේන වයස 49ක් වන තිදරු පියෙක් නිසා අඩුම තරමින් ඔහුව රෝදපුටුවකට හෝ සීමා කිරීමට හැකිනම් මා සතුටු වෙන බව පැවසූ විට, හා එහෙනම් යං කියමින් මා සමග නන්දසේනගේ ඇඳ ලඟට ආ ඔහු,

""නන්දසේන, ඔයාට හොඳ මාස්ටර් කෙනෙක් හම්බවෙලා තියෙන්නේ, මේ මහත්තයාගේ ඉල්ලීම නිසා දොස්තර මහත්තයාල කරන්න පුලුවන් උපරිමේ කරනවා හැබැයි නන්දසේන අතේ තමයි අනාගතේදි ඇවිදින එක රැඳිලා තියෙන්නේ....මොකද කියන්නේ ඔපරෙෂන් එකට කැමතිද? "

කඳුලු පිරි දෙනෙතින් මා දෙස බැලූ නන්දසේන කැමතිය යන්න හැඟෙන අයුරින් ඔලුව වැනුවේ රටක් රාජ්‍යයක් දින්නා වගේ.

---------------------------------------------------------------------------------------------------------------

මා මිත්‍ර මධුර පවසන අන්දමට, ශල්‍ය කර්මයට අවශ්‍ය වූ ඉතා මිල අධික ලෝහයන්ගෙන් සෑදූ සුස්ම්නාවට සවිකරනලද යම් අවයවයක් (සුනිල් මට කිව්වේ ඉන්ස්ටෘමන්ට් එකක් කියලා ) සහ රෝහල් ගාස්තුව වූ රුපියල් දහතුන් ලක්ෂ ගාන හැර,  මේ මනුස්සකම තිබූ විශේෂඥයන් දෙදෙනාම නන්දසේනගේ පැය හතර හමාරක ඉතාමත් සංකීර්ණ ශල්‍යකර්මයට, කිසිදු ගාස්තුවක් අය කරලා නැහැ,
.
කරාපිටියේ විශේෂඥයා විසින් කසල ගොඩක් සේ විසිකිරීමට නියම කල නන්දසේනගේ ජීවිතය මේ සැබෑ මිනිසුන් දෙදෙනා විසින් අවම වශයෙන් අද රෝද පුටුවකට හෝ සීමාකර ඒ අහිංසක පවුලට තාත්තෙක්, සැමියෙක් ඉතිරිකොට ඇත.

ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා සහ විශේෂඥ ලාල් කුලරත්න, මේ සැබෑ මිනිසුන් දෙදෙනා බව මෙහි සඳහන් කිරීමට මට අවසර.

මේ පොස්ට් එක මෙච්චර දිග වැඩිවීම ගැන මෙතනටම එය කියවාගෙන ආ ඔබගෙන් මා සමාව අයදිමි.






67 comments:

  1. No words to say how i feel. Thanks Chef.....

    i am really happy to say you are one of my close friend... (even we dint see each other yet)

    ReplyDelete
  2. ජීවිතෙන් දින හතෙන් එකක් වගේ.. කෙනෙකුට නොවටිනා සුළු දෙයක් තව කෙනෙකුට තමන්ගේ ජීවිතයම.. නන්දසේනට ඉකමණ් සුවයත් ඔහු වටා සිටි මේ සොඳුරු මිනිසුන් සෑම දෙනාට නිරාමිස සුවයත් ලැබේවා!.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මිනිසුනට නොවටිනා දෙයක් තියේ නම් කියා දෙනු මැනව..!!

      Delete
    2. වැඩි දෙනෙකුට අනුන්ගේ ජීවිත.. ටික දෙනෙකුට තමන්ගේ ජීවිතෙත්..

      Delete
  3. ඔබතුමාගෙ ක්‍රියාවට ඇස් තෙත්වෙනවා....
    දික්වැල්ල සයිඩෙක ගැන නේද මේ කියන්නෙ...? හදිසි අනතුරක් වෙලා මාතරට ඇඩ්මිට් කලා මාව මේ ලඟදිම... කකුල් දෙකටම කෙල වෙලා තිබුනෙ.බල්ලෙක් තරං වත් බැලුවෙ නෑ.. තියටර් එකේදි මගෙ උවමනාවට බැන්ඩේජ් එකක් හරි දා ගත්තෙ. නෝ ප්‍රොබ්ලම්.. කියල ඔරවන්න විතරයි උං දන්නෙ.ටිකට් කපන්නැතුව හොරෙන් පැනලා ආවෙ අඬු ගොඩදාගන්න ඕනෙ නිසා.මුං අතරෙ අර වගේ ඉසිවරු ඉන්න එක කොතරම් වටිනවාද...

    ReplyDelete
    Replies
    1. ඉසිවරු මතුකරගන්න පුලුවන්කම අප සැමට එකසේ පිහිටා ඇත මචෝ..උඹ ඔය නම පුලුවන් gus lubba ලෙස වෙනස් කොරහන්..නැත්නම් කියවෙන්නෙ ගෑස් ලබ්බාය කියලා.

      Delete
    2. ඔන්න දැං හරි ඇති...අත හිතට තුති මල්...
      ජය වේවා...!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ජයෙන් ජයම වේවා..

      Delete
  4. දොස්තර දෙවිවරු දෙන්නා නැත්නම්, උඹටත් දෙයියෙක් වෙන්න බැරි වෙනවා...

    හැබයි ඉතින් කතාවේ අපි දන්න දොස්තර මහත්තයෙකුත් උන්න නිසා අවුලක් නෑ.. නැත්නම් මේ කථාව කොම්ප්ලීට් නෑ..

    මෙළෝ රහකුත් නෑ..

    අපේ ගොඩාක් දොස්තරවරු මෙඩිකල් ප්‍රැක්ටිස් වෙන්නේ දොස්තරලා උනාට පස්සේ...

    ReplyDelete
    Replies
    1. මම ලියන්න නොහිතපු පෝස්ට් එකක් මේක මාතේ..හේතුව මිනිස්සු දෙවිවරු වෙන්නේම නැතිබව දන්න නිසා..මිනිසුන් මිනිසුන් මිස දෙවිවරුන් නොවේ කිසිදාකවත්..අතේ දෙකයි පනහක් තිබූ පලියට ඒක වෙන කෙනෙකුගේ උවමනාවකට වියදම් කල පලියට මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ බං..

      Delete
    2. වැරදියි මචෝ... මගේ මතය නම්..,
      මිනිස්සුයි, දෙවිවරුයි, යක්කුයි, මළපෙරේතයොයි, ඔක්කොම ඉන්නේ අපි අතරමයි කියලා.. වෙන ළෝකවල යන්න ඕන නෑ එයාලා බලන්න.. ඔක්කොම අපි අතරම ඉන්නවා..
      එකට කනවා බොනවා.. හිනාවෙනවා..

      Delete
    3. //.අතේ දෙකයි පනහක් තිබූ පලියට ඒක වෙන කෙනෙකුගේ උවමනාවකට වියදම් කල පලියට මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ බං..//

      චෙෆාකි, අතට දෙකයි පණහක් හොයාගන්න එක ගොඩක් උන්ට කරන්න පුලුවන්, ගොඩක් අය කරන දෙයක්. ඒත් ඒකෙන් කීයක් හරි තමන්ට ආර්ථික ප්‍රථිලාභ්යක් නැති බව දැන දැනම, වෙන කෙනෙකු වෙනුවෙන් වියදන් කරන්න හැමෝටම හිතෙන්නෙ නෑ මචෝ. අන්න එකයි එහෙම මිනිස්සු දෙවිවරු වගේ කියන්නෙ.

      Delete
    4. Indika Upashantha

      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. Indika Upashantha

      ++++++++++++++++++++++++++++++++

      Delete
    6. මචංස්ලා..මිනිස්සු උදේට දෙවියාය කියමින් යදින මිනිසාටම හැන්දෑවට කරන දේවල් මේ ගොං ඇස්පනාපිට දැක ඇති බැවින් එසේ ලියවුන බව සලකනු මැනව..යක්කු ගැන ලියන්නං..උඹලා භරිම අහිංසක මිනිසුන් නිසා මම සෙල්ෆ් කොන්ට්‍රෝල් දාගෙන ලියන්නේ,

      Delete
    7. ඉන්දික ගේ කතාවට මාත් එකතුවෙමි.

      Delete
    8. https://www.youtube.com/watch?v=p8-pP4VboBk

      Delete
    9. ඉන්දික ගේ කතාවට මාත් එකතුවෙමි.X 2

      Delete
  5. Replies
    1. යකුන් පමනමැයි මකසි...දෙවිවරු යනු සංකල්පයක් මිස වෙනකක් නොවේමැයි..

      Delete
  6. උබටයි දොස්තරල දෙන්නටයි මගෙ සැලුට් එක. අනික් ජතියෙ ඩොකලනම් ඔනතරම් දැකල තියෙනව.
    //ඉතිරි මුදල් වලට කරන්නේ කුමක්ද //
    මෙන්න මෙකටනම් උත්තර තියෙනව ඔනනම් කියහන්.

    ReplyDelete
    Replies
    1. මම උඹට උදේ කීවනේ..

      Delete
    2. !!!!!!!
      I'm speechless - for a change. Proud to know u. Enough said.

      Delete
  7. Machan Chefa - mama umba gena dannawa nee...... great work mate

    ReplyDelete
  8. මේ පින ඔබට මේ ආත්මයේදීම ඵල දෙනවා ඇති. නිහඬව, අධිෂ්ඨානශීලීව, කරන බොහෝ දේ වලින් සාර්ථක එසේත් නැත්නම් සතුටුදායක ප්‍රතිඵල ලැබෙනවා. 'මහත්මයාණනි' ඔබව අගය කරමි.

    ReplyDelete
    Replies
    1. \\\ මේ පින ඔබට මේ ආත්මයේදීම ඵල දෙනවා ඇති ///
      විචා...මට ඕක නිතර ඇහිලා තියෙන්නෙ ඔය "පින"කියන තැනට "පව"කියන වචනය ආදේශ වෙලා....

      පින් තකා කොරොපු දෙයක් නෙවෙයි මචෝ....ඔහේ උනා....ඉතින් ඔහේ ලිව්වා...

      Delete
  9. ඔබගේ මිනිසත්කමේ සුවඳ දැනී ඇස්දෙකට කඳුළු ආවා.
    මේ වගේ දේවල් ලියවෙන එක හොඳයි නොලිය ඉන්නවට වඩා.
    හොඳ දේවල් වැඩිපුර අහන්න දකින්න ලැබෙන තරමට සමාජයෙන් නරක ඈත් කරන්න හැකියාවක් ලැබෙනවා කියල මම හිතනවා.
    ඔබට දිගාසිරි...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් දිගාසිරි ලොකු පුතේ....!!!

      Delete
  10. සුනිල් පෙරේරා ගැන මාත් කොහේදි හරි ලිව්වා. ඇතත්ටම හොද මනුස්සයෙක්.. මුලින්ම කොළඹ මහ ඉස්පිරිතාලේ වැඩ කරේ. නමුත් දේශපාලන වශයෙන් ප්‍රශ්න ආවා එතුමාට. ඒක නිසා අයින් උනා.. අවුරුදදේ වැඩිම කාලයක් ලංකාවේ නෙමෙයි ඉන්නේ.. උඹත් හරි වටින එකෙක් නේ බලං ගියාම නාකි උනාට.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වත් වගේ වටින කෙසේ වෙතත් නාකි එකෙක්නම් තමයි සර්....

      Delete
    2. මේ ලියමනෙන් මට තිලකෙව මතක් උනා බං.. ඌ මැරිලද??

      Delete
    3. නෑ ඔය යසට ඉන්නේ...මේ ලඟදි පෝස්ට් එකකුත් දාලා තිබ්බේ..

      http://thilakasitha.blogspot.com/2015/02/blog-post_18.html

      Delete
    4. අඩෝ දේශෝ මේ දවස්වල මැරිලා වගේ තමයි බං. හිටින්කෝ මේ වැඩ කන්දරාව ඉවර වෙනකන්

      Delete
  11. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

    මම වැඩිය මොනවත් කියන්න යන්නේ නෑ චෙෆෝ , ඔබ කවුද කියන්න හොඳින්ම දන්නා නිසා. ඔබට දෙවියෙක් වෙන්න උවමනාවක් නැතුව ඇති. එත් ඒ මනුස්සයා සහ අපි එහෙම හිතන එක වලවන්නත් ඔබට බෑ .. ජය .

    ReplyDelete
    Replies
    1. මේ...පිස්සු කෙලින්නෙ නැතුව අර එවනව කිව්ව නෝට් එක එවපන් අර වැඩේට....!!

      Delete
  12. මගේ දැසත් තෙත් වුනා..
    අයියන්ඩි පිලිගන්න මම කදුලු පිහදැම්මා..
    මම යනවා සිගරට් එකක් බෝන්න..

    ReplyDelete
    Replies
    1. අර ඩිකියේ තියෙන බ්‍රා එකකින් කඳුලු පිහදාගං...

      සිගරට් බෝන්න එපා බං...බීහං..

      Delete
  13. කවුරුවත් ලේසයට තව කෙනෙක්ට විශේෂයෙන්ම තමන්නෙ නොවන කෙනෙක්ට ඔහොම කරන්නෙ කලාතුරකින් ඒ අතින් චෙෆාකි කිෙයන්ෙන දෙයියන්ට ටිකක් හරි ලං ෙවන්න පුලුවං ෙකෙනක් කියලයි මට
    නං හිෙතන්ෙනඅඩුම ගානෙ දෙය්යොත් ෙම් අහක බලන කාලෙක දොස්තර දෙන්නයි චෙෆාකියි කියන්නෙ අඩුම ගානෙ ඊට වඩා ගෞරවයක් ලබන්න සුදුසු කියල

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් නැති තැනක ලමයෙක්වෙලා ඉපදිලා, කන්න ඕන ඔක්කොම කටුකාලා තියෙන නිසා, අද වෙනකොට තමන්ගේ කියලා කිසිම දෙයක් තියෙනවා කියන තියරිය බැහැර කරන්න තරම් මුහුකුරා යාම තමයි ඕකට එකම උත්තරේ මහේෂ්....

      Delete
  14. Hats off!!

    යහපත් දොස්තර හොඳහිතට , ඔබට වගේම ඔබේ බිරිඳටත්. මොකද ගොඩක් වෙලාවට සමහර බිරින්දෑවරු 'පිස්සුද ඔයාට' කියල අහනවා ඔය වගේ දෙයක් කරන්න තමුන්ගේ සැමියා ඉදිරිපත් උනොත්.

    ඒ වගේම කරාපිටිය රෝහලේ හිටපු ඒ දොස්තරටත් ස්තුතියි. ඔහු නැත්තම් ඔබෙත්, අර දොස්තර හොඳහිත ගේත් වටිනාකම ඉස්මතු වෙන්නේ නැහැ නේ..

    පෝස්ටුව කොහෙත්ම දිග නැහැ. පොඩි දෙයක් කරලා මාගල් පෝස්ටු දාන පරිසරයක මහමෙරක් වගේ දෙයක් කරලා ( මුදල් විතරක්ම නෙවෙයි) මෙතරම් කෙටියෙන් ඒ ගැන කියන්න පුළුවන් උනේ කොහොමද කියල මම කල්පනා කරන්නේ...

    ReplyDelete
  15. මම තමයි ඉතින් පිස්සුද ඔයාට කියල අහන්නේ...!
    මේ පෝස්ට් එක නොලියන්නම හිටියේ...පහුගිය දවසක වෙච්ච සිද්දියක් නිසා මට මේක මගේ හිතෙන් අයින්කරලා දාන්න ඕනි උනා. ඇත්තටම මම දැන් නිදහස්..ගෙදර අයත් මාව කියවන නිසා උපේක්ෂාගේ සුභපැතුම් ඉබේම ලැබේවි..
    මට නම් මේ පෝස්ට් එක දිගත් වැඩියි, ගානටත් වැඩියි කියලා තමයි හිතෙන්නේ,

    ReplyDelete
    Replies
    1. මමත් මේ අත්දුටුව සත්‍යක් තමයි, හිතට වදදෙන දෙයක් නම් බ්ලොග් එකේ ලියල දැම්මම අවුල සංසිඳවා ගන්න පුළුවන් කියල කියන්නේ. හි.. හි.. ඔහොම හින්ද තමයි මම එකපාරක් කාන්ති ගැන ලිව්වේ.

      Delete
  16. කියන්ඩ දෙයක් හිතා ගන්නවත් බෑ චෙෆාකි ... ඔයාට දෙයියෙක් කිවුවට කිසිම වරදක් නෑ. සල්ලි තිබුනත් හැමෝටම ඔය වගේ සිතුවිලි පහල වෙන්නෙ නෑ. පිනක් කරගන්නත් සිතුවිල්ලක් පහල වෙන්න පින් කරල තියෙන්ඩ ඕනෙ කියල අපේ අත්තම්මා කියන කතාව මතක් උනා .

    ReplyDelete
    Replies
    1. අත්තම්මා කියපු කතාවනම් ඇත්තටම ඇත්ත..

      Delete
  17. හොඳ පුන්‍යක්‍රියාවක්! ලියල තියන විදිය බැලුවාම මේක හොඳ තිරනාටකයක ලකුණු තියෙනවා Archi touch එක වෙන්න ඇති , හොලිවුඩ් කොම්පැනියකට දුන්නනම් තව ලුණු ඇඹුල් දාල , love story එකකුත් රින්ගවල හොඳ ෆිල්ම් එකක හදය් .

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ..මතකද ෆර්ස්ට් ඉයර් එකේ මමයි සුචියයි කරපු චාර්මින්ග් eyes..හෙක් හෙක්..මල්ලේ ප්‍රොෆයිල් එකෙන් වරෙන් බං.

      Delete
  18. මං මොනවා කියන්ඩද

    ReplyDelete
    Replies
    1. කරලම බලමුනේ...කිය කිය ඉන්න වෙලාවේ..

      Delete
  19. ඒ මනුස්සය ජීවත්වෙන තත්පරයක් පාසා ඔබට පින් සිදුවෙනවා චෙෆාකි...කියන්න වචන නෑ.. අද සිට මම ඔබේ අනුගාමිකයෙක්..

    ReplyDelete
    Replies
    1. තව දෙයක්, කාර්යබහුල වෙලාවේ දිග වැඩියි කියල මේක මගෑරලා අහක බලන් ගියා නං මේ ගැන වචනයක් නොකියා ගියා නං මං කරන්නෙ මොනා තරම් අපරාදයක්ද,

      Delete
    2. මගේ තියරිය නම් මචෝ හෙල්ප් ෆෝවර්ඩ් කියන එක තමයි....අපි හැමෝම එහෙම තියරියක් ෆලෝ කලොත් ඔක්කොම ගොඩ නැද්ද මං අහන්නේ...

      Delete
  20. දිග වැඩි නෑ මචං කතාව ඉතාම සංවේදී එකක්.එක හුස්මට කියවගෙන ආවා හැබැයි නනදසේනගේ නං කරුමේම තමා නැත්නං ඔතනදීම ඔය වගේ දෙයක් වෙවියැ.මෙතන නියම හදවතක් ඇති කෙනෙක් හැටියට ක්‍රියා කරලා තියෙන්නෙ නන්දසේනගේ හාම්පුතා.සර්ජන් ල දෙන්න සල්ලිත් එපා කියල තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හිත හොඳ හාම්පුත්තුත් ඉන්නවා නේ හැලපේ..?

      Delete
  21. චෙපාකි.. මම ඔබ ගැන කලින් අහලා තිබ්බා, සුදීකගෙන්.
    ඔබ මොනවගේ කෙනෙක්ද කියලා දැන ගත්තේ අද.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මේ පැත්තේ ආවට...ජයවේවා...
      මරු නම ඇල්බන්....

      Delete
  22. එළ බුවෙක්නේ උඹ. අර ගහ ට්‍රැක්ටරේටම කඩා වැටෙන්න තිබ්බ එක කොච්චර අහඹු සිදුවීමක්ද නේද?

    ReplyDelete
    Replies
    1. \\ අර ගහ ට්‍රැක්ටරේටම කඩා වැටෙන්න තිබ්බ එක කොච්චර අහඹු සිදුවීමක්ද නේද?///
      අදත් මට තියෙන උත්තරයක් නැති එකම ප්‍රශ්නෙත් ඒකම තමා ඩූඩ්....කර්මයම තමා...අපි නොදන්න මොකක්ද දෙයක් හරි කෙනෙක් හරි අතේ රිමෝට් එකක් තියේ බං..

      Delete
    2. Gods may throw a dice
      Their minds as cold as ice
      Someone way down here
      Loses someone dear
      -----ABBA

      Delete
  23. චෙපාකි මටනම් හිතෙන්නේ කොයි තරම් හොඳ හිත තිබ්බත් හොඳ වැඩක් කරන්න මිනිහෙක් පෙළඹෙන්නේ කොහොන් හරි ඉන්ස්පිරේෂන් එකක් ලැබුනම. උඹේ සංවේදී මනුස්ස කම නිසා තමයි දොස්තරලා ඔපෙරේෂන් එක නොමිලේ කරන්න ඉන්ස්පයර් වුනේ. මේවා කරන එක වගේම ලියන එකත් වටිනවා. කියවන කියවන කෙනාට ජීවිත් වෙනවා කියන්නේ මොකක්ද කියල තේරුම් යනවා .

    ReplyDelete
    Replies
    1. \\ මේවා කරන එක වගේම ලියන එකත් වටිනවා //
      ලොකු දෙයක් උඹ එහෙම කියපු එක. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා මගේ ඇතුලේ. ලියන්න බය මාව ගොඩාක් අය දැන් දන්න නිසා. නිර්නාමිකවම ඉන්න තිබුනානම් කියලා හිතෙන්නේ මෙහෙම වෙලාවට තමයි මචෝ...
      කවද්ද උඹ ගම රට එන්නේ..?

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....