Showing posts with label politics. Show all posts
Showing posts with label politics. Show all posts

Thursday, 5 January 2017

කුරෝලු කලටිපොල්



අපිට පොල් මුරේ වැටෙන්නේ මාස දෙකකට සැරයක් තමයි...ඒ කියන්නේ අර අවුරුදු හයකට සැරයක් චන්ද තියනව වගේ තමයි...!

ඉස්සෙල්ලාම පොඩි වපසරියක් නිසා ලේක් ෆ්‍රන්ට් එකේ තමයි පොල් කඩන්නේ...හරියට පලාත සභා මැතිවරණය වගේ...!

ඊට පස්සේ බඹරවැල්කුට්ටියේ පොල් කඩනවා...හරියට ප්‍රාදේශීය සභා ඡන්දේ වගේ...!

ඊළඟට බදුවත්තේ පොල් කඩනවා..ඒක මහ මැතිවරණේ වගේ...!

ඔය තුන්වැදෑරුම් කර්තවය ඉවර කරන්නේ අර කඩාපු පොල් ඔක්කොම බදුවත්තට ගෙනල්ලා වෙන වෙනම ගොඩවල්  ගහලා කැම්පේන් කරනවා දන්න කියන පොල් මුදලාලිලව හොයලා හොඳ ෆාර්ම් ගේට් ප්‍රයිස් එකක් ගහ ගන්න..ඒක නිකන් ජනාධිපතිවරණේ වගේ...!

ඊට පස්සේ ඒ මුදලාලිට අර පොල් ගොඩවල් ඔක්කෝම ටික විකුනනවා...!

ඊලඟ පොල් මුරේ එනකන් එයා තමයි අපේ පොල් මුදලාලි..ඒ උනාට ඊලඟ පොල්මුරෙ කිට්ටු වෙනකන් මිනිහ නෙවෙයි අපිව බලන්න පැත්ත පලාතෙවත් එන්නේ...!

ඔය කිව්ව පොල් ගොඩවල් තුනට අමතරව සරා මාස දෙක ඇතුලත දනේෂ්වයි හර්බට්වයි එකතු කරගෙන අහුලනව වේලිච්ච වැටිච්ච පොල්..ඒ ගොඩ වෙනම එකතු කරනවා..මොකෝ ඔය ගොඩේ තියෙන්නේ ඊට ඉස්සර මුරේ කැඩෙන්නෙ නැතුව ගස් වල ඉතිරි වෙච්ච ගෙඩි නිසා...ඒවා හරියට අර ජාතික ලැයිස්තුවෙන් දියවන්නා හොර ගුහාවට පාත්වෙන සෙට් එක වගේ...!

ඔය අහුලන පොල් වලයි කඩන පොල් වලයි ලස්සනට තියෙනවා හැම ගෙඩියම..එකකින් එකක් වෙන කරලා අඳුරගන්න බෑ අපිට..මොකෝ පොල් කඩාගෙන යනකොට ට්‍රැක්ටර් එකට පටවන්නේ හදිසියෙන් නිසා පුහු පොල්ද,කලටිද පැහිච්චද කියලා තෝරන්න වෙලාවක් නෑ..!

හැබැයි අර ජනාධිපතිවරණේ වෙලාවට, ඒ කියන්නේ කැම්පේන් එකෙන් සිලෙක්ට් කරන පොල් මුදලාලිනම් හොඳට හොල්ලලා බලලා, සයිස් එක බලලා තමයි ලොරියට පටෝ ගන්නේ පොල් ගොඩ...ඉතින් එහෙම කරලා ඉතිරි වෙන පොල් ටිකත් අන්තිමට එයාම දාගෙන යනවා...අපි එදා රෑට කන්නත් තව ගෙඩියක් ගහකින් වැටෙනකන් ඉන්න ඕනි..!


ඔය මාස දෙකෙන් දෙකට පොල් කඩන අතර තුරේ අපි ඉතින් අතින් සල්ලි වියදම් කරගෙන, පෝර දාන්න ඕනි, ඩොලමයිට් දාන්න ඕනි, කැලේ සුද්ධ කරන්න ඕනි..ඒ මදිවට අර ඉර කැපුවම පොලිසියෙන් දඩ ගහනව වගේ, පොල් සංවර්ධන මණ්ඩලේ මහත්තයා ඇවිත් ලෙඩ හැදිලයි කියලා පෙන්නන ගස් කපලා පුච්චලා දාන්න ඕනි..නැත්තං දඩයකුත් ගහලා, ගහත් කපලා, කැපුවට සල්ලිත් ගන්නවා...හැබැයි පොලොස් මහත්තයාලා වගේ නෙවී ලෙඩ ගහක් කැපුවාම එක ගහකට රුපියල් 2,500/- ක් ගෙවනවා..ඒ කියන්නේ අපි මාර්ග නීති කඩකලාම පොලීසිය අපිට ගෙවනවා වගේ..!


රවි කරුනානායක මේක කියවන්නේ නැති නිසා බය නැතිව ඒක ලිව්වේ, එහෙම නැත්තං මෑන්ස් ඊලඟ බජට් එකෙන් හරි, ඊට කලින් හරි ප්‍රොපෝසල් එකක් ගෙනෙයි පොල් ගස් වලට ලෙඩ හැදුනාම පොල් ගහේ අයිති කාරයා ගහේ උස දෙකෙන් වැඩි කරලා අඩි ගානට බද්දක් ගෙවන්න ඕනය කියලා..එයාව අඳුරනවා නම්, කථාබහ කරනවානං, කරුණාකරලා මේ බව කියන්නෙපා හොඳේ...!


ඉතිං අපි බොහොම මහන්සියෙන් අපේ වියදමින් මේ පොල් වගාව කරලා හැම මුරෙන්ම පස්සේ විස්සෝප වෙලා, උඩ බලාගෙන ඉන්නවා මේ පාරත් අපි අහු උනානෙව කියලා පොල් මුදලාලිලාට...එතකොට හිතාගන්නවා ඊලඟ මුරේ නම් චතුරංගට දෙන්නේ නෑ...සල්ලි පරක්කු වෙලා හම්බුනත් ගොඩ්ෆ්‍රිට කතා කරලා ඌට දෙනවයි කියලා...ඒත් පොල් මුරේ ලංවෙනකොට චතුරංග එනවා බ්‍රවුන්පේපර් කවරෙක පන්දාහේ කොල මිටියක් දාගෙන...ඕනි නෑ චතුරංග සල්ලි දැම්ම, අපි පොල් ටික කඩලම කථා කරන්නං කියලා කියනවය කියලා හිතුවට අර බ්‍රවුන්පේපර් බෑග් එක දික්කර හැටියේ ගොඩ්ෆ්‍රිව අමතක වෙනවා..ගිය සැරේ ඇනගත්තා නේද කියන එකත් අමතක වෙනවා..!


එක වෙලාවකට හිතෙනව මේ පොල් වවන එකයි, ඒවා අපිව රවට්ටලා අඩු මුදලට ගන්න එකයි, ඒවා වෙන ආකාරයයි, අපි ඒ වෙලාවට හිතන ආකාරයයි, අපේ රටේ දේශපාලන සෙල්ලමට හෙන සමානයි නේද කියලා...!



මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න එක්කෝ අපි වෙන වගාවක් කරන්න ඕනි...ඒ කියන්නේ අන්නාසි හරි ඉඟුරු හරි වවනවා වගේ...ඒ උනාට ඕවා විකුනන්න අමාරුයි, ඕවට ලෙඩ බෝවෙනවා වගේ කථා කියනව සමහරු. ඒ කිව්වෙ අර ජේවීපී කට්ටිය වගේ...මොනාවත් වවන්නේ කරන්නේ නෑ වවන්න හදන එකාට කරන්න දෙන්නෙත් නෑ..!

හැබැයි ආරංචිය පොල් මුදලාලිලා එහෙම කියන අයත් එක්ක සෙට් වෙලාලු අපිව අඹරන්නේ..අනේ මන්දා හරි හිතවත් විදියට කට උල් කරලා කියනවිදියට එහෙම නෙවෙයිද කියලත් හිතෙනවා වෙලාවකට...!


ආරංචියනම් උන්ලු හොරෙන් පොල් ටික කඩාගන්නෙත්...අරියාදුවට යන්න බයයි මොකෝ කාලයක් ඒ අය ගමේ ගෙවල් ගිනි තියලා, පොල් මුදලාලිලාට පොල් විකුනන අයගේ බෙලි කපලා වැටවල් වල එල්ලලා එහෙම ගම්මුන්ව බය කරපු අය නිසා...!

මමනම් කලටිපොල් කථාවලට කැමැත්තක් ඇත්තෙම නෑ...ඒ උනාට කලටි පොල් හොඳයි සම්බෝල හදලා උදේට පාන්පිටි ඉඳිආප්ප එක්ක කන්න..ඉඳලා හිටලා එහෙම පාන්පිටි ඉඳිආප්ප කනවා මේවගේ...!

මට එක වෙලාවකට හිතෙනවා ඔය කලටිපොල් ගැන බ්ලොග් ලියන, පැරා, මාතලන්, සා රස, ඉයන් වගේ අයට දැන් කාලේ හරි පොල් මුදලාලීලාගේ පැත්ත ගන්නේ නැතුව, මේ අපි වගේ පොල් වවන, පොල් කඩන, පොල් අහුලන, පොල් කඩෙන් ගන්න අයගේ පැත්ත අරන් අපිව දැනුවත් කරනවනං හොඳයි නේදය කියලා...! 

නැත්තං වෙන්නේ පොල් මුරේ ලං වෙනකොට අර කට උල් කරගෙන අරවා මේවා අතේ ඇඟිලි වල තියාගෙන වගේ පෙන්නගෙන අපිව රවට්ටන සෙට් එක කොහොමෙන් කොහොම හරි පොල් මුදලාලිලාව පෝසත් කරන එක අපේ පිහිටෙන්...!


ඒකට හේතුව, මේ දවස්වල කොළඹ කෙසේ වෙතත් ගම් පලාත්වල නම් පාරවල් කොන්ක්‍රීට් දානවා, තාර දානවා, ඉන්ටර්ලොක් අල්ලනවා හෝගාලා...2015 ජනවාරියෙ එලවලදාපු පොල් මුදලාලි කලෙත් ඒ වැඩේමයි පොල් මුර ලංවෙනකොට..ඉතින් ඔය හතරදෙනාට බැරිද අපි ගැන අනුකම්පා උපදවලා ඇත්ත ඇති සැටියෙන් එහෙට මෙහෙට වැනී වැනී සෙරෙප්පු සපත්තු ගැන ලියලියා අපව රවට්ටන්නේ නැතුව, අනාගතේ ගැන හිතලා ලියන්න...!



ආයෙත් අපිට වරදින්න යන්නේ කියලයි හිතෙන්නේ, ඒකයි මෙහෙම ලිව්වේ හොඳේ...තරහා ගන්න කාරි නෑ ඕං...!

Tuesday, 2 August 2016

යාද පාත්‍රා









යාද පාත්‍රා
පාද යාත්‍රා
උගුල්ලමු දත්
හක්කේ දත්
සංජේ දත්

ආකේඩ් නිදහසේ
මන්දිරේ ප්‍රැන්ගිපානි
අහස උසට ප්‍රයිස්ඩ්
ජැකලීන්ගේ
ජැකාගේ
කෑමසූත්‍රයෙන් නිමවූ
කාපු බීපූ ආප්පයක් හෝ දෙකක්
කෙලෙව්වා නේද රටකට

 නෑනේ...පහයාලනේ
බළල්ලුන්ගේ බෑවූ...

කෑව නේද ඒ කොස් ඇට
ඇටනැති වලුනැති
දරුපැටැව් නැති...

ලියාපං ඒලෙවල්
යමුද අපි ගෙවා ගන්න ඩිගිරිය
ලන්ඩොන් නෙවෙයි එඩෙක්සෙල් නෙවෙයි
අමුම අමු අපේම ඒලෙවල්...

ඒ පිහිටෙන් ගෙන්නාගත්තු
බදුරහිත මොන්ටෙරෝ ස්පෝර්ට්ස්
ෆෝර් ස්ටාර් ඩීසල් පුරෝගෙන
ඩිෆෙන්ඩර් ඉස්සරහාට නැතත්
කොන්දනමාගෙන
හැරමිටි ගහගෙන
දූපත් මානසිකත්වය පුරෝගත්
සේෆ්ටි බෙල්ට් දාගෙන
දූෂිත හයිවේ එකේ
කිරිහට්ටි පොල්පැණි
බලමාලු තියලා ඇඹුල්
රතුබත් එක්ක ගිලින්නට

යාද පාත්‍රා
පාද යාත්‍රා
රතු එලි
කොල එලි
ගව්ගානක් දුර
මහ චන්දේ පතාගෙන....!

එච්චරයි ඉතින්....නැද්ද හා...!

Wednesday, 22 June 2016

වගාව

වගාවන් වර්ග බොහෝය..පාරම්පරික, අපනයන බෝග වගේම ගෙවතු වගාවන් සහ තව තවත් වගාවන් මෙයට අයත් වේ. 



අපේ ආතා, ඒ කිව්වේ සීයා පාරම්පරික වී සහ අතුරු බෝග වගා කල ගොවියෙකි.අතුරු බෝග ගනයට වැඩුනේ කෑමට ගැනිමට ඉන්දවූ බුලත් කොරටුවත් මෑ, නිවිති, මුකුනුවැන්න, වම්බටු සහ අමුමිරිස් (අවුමිරිස්=අම්මිරිස්) යනාදී ආච්චී විසින් රොත්ත බුරුත්තක් වූ අප හට උයා පිහා දුන්න ගොඩ එළවලු වලින් පිරි කොටුවේ තිබු බව බෝගයන්ය. හොන්ඩර බතල කියා ඉතා රසවත් බතල ජාතියකුත් කොටුවෙන් හාරගෙන ඇවිත් ආච්චී උදේට තම්බලා කොච්චි සම්බෝලයක් අඹරා පොල් උලුප්පා කන්න දුන්න නිසා ඒකත් වගාවක්ය.

සබරගමුවෙ කොටුව කියන්නේ ගොඩැල්ලේ නැත්නම් කමතේ වටපිටින් පිහිටි එළවලු වවන ගොවිබිමටයි.

මීටාමතරව වෙලේ නියරේ වැවෙන තද කොළ පැහැ මුකුනුවැන්නත්, සබර වත්තේ ඇති ගොටුකොළත් වැව්වේ නැතත් වගාවන් විය, අප ඒවා නෙලාගෙන කෑ බී නිසා..බී කිව්වේ කැඳ සාදා බිව් නිසාය.අලකොල, කඩාගන්නේ ඇල අයින දිගේ තියෙන මඩ බෑවුමේ හැදෙන හබරල ගාලෙනි. කිරිහැන්ද, කිරිඇඹිලිය, තෝර කොල වගේ ඒවා කඩා ගන්නේද දං කැලේ කුඹුරු ලඟට වෙන්න තිබූ හිස් ඉඩම් වලිනි...ඉතින් ඒවාත් වගා බිම් සේම වගාවන්ය.

ගමේ නම කොස්පැලවින්න නිසා කොස් වලින් අඩුවක් තිබුනේ නැති තරම්ය. ආච්චී නිතරම කී දෙයක් තමයි කොස් කාලේට හාමුදුරුවන්ගේ සිවුරෙත් කොහොල්ලෑය කියා..මොකොට ඒක කිව්වා දැයි අසන්න විදියක් නැත්තේ ආච්චි එලොව ගිහින් ආයෙත් මෙලොව ආවෙ නැති නිසාය.දෙල් මෙන්ම (ඒ කිව්වේ රට දෙල් - පරංගි ගෙනාපු වර්ගය ) කැලෑ දෙල්ද වගාවන්ය..හේතුව ආයෙත් අපි බුක්ති විඳපු නිසාය. 

හැබැයි අහේනි කාලේ ඒ කිව්වේ සිරිමාවෝ රට කා (ර )පු කාලේ අපි කැලේ ගිහින් හොයාගත්ත හල් ගෙඩි ගාලා හීන් ඇලේ පොට්ටනි බැඳලා අරන් හල් පිට්ටුත්, ලාවුලු පැහිච්චා ගාලා ලාවුලු පිට්ටුත් කෑවාය..නෑ කැව්වේය..ඒ කාලේ අපි මයියොක්කා, කවුපි, සොයා (සෝගම් කියල මතක )එකී මෙකී පිෂ්ට ධාතුව වඩන කෑම හොයාගත්තෙත් වගා කරලාය. ඒකට හේතුව හාල් පොලු මිරිස් පොලු පාර දිග හරස් කරන්න පටන් ගත්ත නිසාය..ඉතින් සතියේ දින තුනක් බත් නැති නිසා අපි ඒ වගේ ආලපාලු කෑම කෑවේ වවාගෙන නිසා ඒවාත් වගාවන්ය.

කවුපි වගාව මුං ඇට වගාව වගේම ලස්සනය. කරල් පැහුනාම පිපිරෙන්න පටන් ගනී. ඉතින් කලු පාට වෙන කරල් කඩා පැදුරේ දා අව්වේ වෙලා ඇට බේරාගෙන තම්බා ගත් කල හෝ මිරිස් සම්බොලෙ සෑහෙන සපොර්ට් එකක් දුන්නා තාමත් මතකය. කඩෙන් දැන් ගේන කවුපි එහෙම ඒවා නෙවෙයිද කොහෙද මොකෝ ඒ රහනං එන්නේ නැති නිසා.

මමත් ඔය අහේනි කාලේ අල්ලපු වැටේ වගාවක් කල නිසාය ඒ වග දන්නේ. ඒ කියන්නේ එතකොට මමත් අපේ ආතා, ඒ කිව්වේ සීයා වගේ ගොවියෙකි.අල්ලපු වැට කිව්වේ ඇල්ලපු වත්තටය.ඒක දං කැලේ නිසා අතෑරලා තිබුන නිසා මම එලිපෙහෙලි කරගෙන බතල මයියොක්කා වලින් පටන් අරන් කව්පි දක්වා වගාව ව්‍යාප්ත කලේ ඉන්දියානු ව්‍යාප්ත වාදය මෙන්ය...අපේ ගෙවල් ලඟ ජෙප්පො හිටියේ නැති නිසා මට පංති යන්න බැරි විය. එනිසා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දන්න තරම තමයි ඒ.

වගා කරන්නේ ගොවීන්ය. ඒ කාලේ අධාර ලැබුනේ ගොවීන් නොවොන අයටය. ඒ කියන්නේ වවන අයට දුන්න කෙංගෙඩියක් නැත. හැබැයි හාල් පොතකුත් බී කාඩ් එකකුත් අරන් වවන් නැති අයත් වවන අයත් සම්පකාරේට ගිහින් රතුලූනු පරිප්පු සැමන් ටින් පාන් එහෙම ගෙනාවාය. ඒ කාලේ අපි පාන් කෑවෙ හොරාටය. ළජ්ජාවෙන්ය. හේතුව නොදනිමි. රොටී කෑවෙත් වහං වෙලාය. ඒකට හේතුවත් නොදනිමි. හැබැයි වවන ඇත්තෝ, ඒ කියන්නේ ගොවියෝ පාන් කනවාය කියන එක ළජ්ජා හිතෙන්න ඕන දෙයකි. මොකද පාන් වගාවක් නොවන නිසාය. ඒත් පාන් හදන්නේ ඇමරිකන් පිටි වලින් කියා ඒ දවස් වල කියන නිසා, ඒ පිටි හදන්නේ තිරිඟු වලින් නිසාත්, තිරිඟු වගාවක් නිසාත්, පාන් ද වගාවක් වෙන්න ඕනය. ඉස්සර පාන් වලට වැට් බදු ගැහුවේ නෑය. දැනුත් නෑය..ඒකට බනිස් වලට  වැට් ගහන්න ඔනෑය කියා ටැක්ස් කන්තෝරුවෙ ලොකු  මහත්තයා ඊයෙත් මට කිව්වේය. ඒ නිසා බනිස් වගාවක් වෙන්නේ නැතිය.

වී වවන අයට වී ගොවියා කියා කියති. එළවලු වවන්නන් එළවලු ගොවීන් වන අතර හේන් කොටන ඈයොන්ට හේන් ගොවියන් යයි කියති. මට තාමත් හිතාගන්න බැරි රබර් වවන කෙනාට රබර් වතුකාරයාත්, තේ වවන කෙනාට තේ වතු කාරයාත්, පොල් වවන කෙනාට පොල් වතු කාරයාත් කියා කියන්නේ  ඇයි කියාය. මොකක් හරි හේතුවක් ඇතිය. 

දැන් යහපාලන දැක්ම අනුව රට නැංවීමට සහනාධාර නැවැත්විය යුතුය. එසේ නොකොලොත් ණය දෙන්නේ නෑ නෑමයි කියන නිසා පොහොර සහනාධාරේ නැවැත්තූ නිසා දැන් වී ගොවිතැන් කිරීම අතාරින්න වෙනවාය. මම කන්න දෙකක්ම කුඹුර අතෑරියාය..මට සහනාධාර නොදුන්නාට (මම ගොවි ගනයට නොවැටේ..කරුමෙක මහත ) 350 ට දෙන සහනාධාර පෝර උර ගොවිජන සේවා කාර්යාලයෙන්ම වගා නියාමක 800 ට ලබාදුන්න නිසා වි වගාව කලාය. දැන් හබක්ය. කුරුඳු පෝර හොන්ඩරේ 2650 උනාට ගානක් නැත්තේ දැන් කුරුඳු කිලෝවක් 1534 ට දිය හැකි නිසාය. අනේ ඉතින් කුඹුරේ කුරුඳු වවන්න බැරිය. වී කිලෝව 29කි...ඉතින් බෑය..


මාතලන් මහාචාර්‍ය තුමා කියන්නේ හාල් රටින් ගෙන්නපන්ය, ගොවීන්ට කංසා වවාපන්ය කියාය. දෙයි හාමුදුරුවනේ පිටරට බුවාල රතු හාල් ඒවන්නේ නෑය. බාස්මතී හැමදාම ගිලින්නත් බෑය. ජෙස්මින් රයිස් ස්ටිකී රයිස් වලට හොඳය. පකිස්තාන් සුදු හාලයි, ඉන්දියන් දෝසා රයිසුයි කකා කොහොමෙයි මේ රට කරන්නේ කියා හිටං එයත් අහනවාය. මේ වාගේ අවවාද දෙන නිසාද කොහෙද දෑවුරුද්දක් පිරෙන කාලේට හාල් නැතුව බත් කන්නං කිය කියා අපිලාට ආයෙත් පෝලිමේ යන්නය කියා දේශප්‍රිය මහත්තයා මට ටෙක්ස්ට් මැසේජ් එකක් එව්වේ ඊයේය. ෂුවර්ම නැත්තං ග්‍රාමයා හම්බවෙන්නය කියලා දේශප්‍රිය මහත්තයා ලියලා තිබුනේ හුස්මත් ඉහලට ඇදගෙනය.

හැබැයි අපේ ආතා, ඒ කිව්වේ සීයා නම් කිව්වේ, මනුස්ස හිත කියන වගා බිමේ ආගම ධර්මය ගුරුහරු කම් කියන පොහොර දාලා මනුස්සකම කියන වතුරෙන් පෝෂණය කරලා ගුණ ධර්ම වගා කෙරීම තමයි හොඳම වගාව කියලාය. උන්දෑත් ගියා ගියාමය, ඉන්න තැනක ඉඳන් බලාගෙන වත් ඉන්නවානං කියලාත් හිතෙනවාය.


Monday, 15 June 2015

නෙලුම් (නිල් මානෙල්) මලෙන් අරලිය කොලයට




ලෝකයේ අනර්ගතම ගුවන් තොටුපොල ලෙස විරුධාවලිය ලත් සිංගප්පූර්වේ චැන්ගි ගුවන් තොටුපොල එහි නවතම පර්යන්ත ගොඩනගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත්  ආරම්භ කර අති බැව් මාගේ මිතුරෙකු විසින් එවන ලද විද්‍යුත් ලිපියක සඳහන් වුනා.
මෙම පර්යන්ත ගොඩනැගිල්ල චැන්ගිහි ආභරණය ( Jewel Changi Airport ) ලෙස නම් කර ඇත්තේ, එය නිර්මානය කල මෝෂේ සෆ්දී ( Moshe Safdie ) නම් ඉතා ප්‍රසිද්ධ ගෘහනිර්මාන ශිල්පියාගේ නිර්මානය පසුබිම් කරගෙන.
Jewel Changi ගුවනට දිස්වෙන අයුරු
ශ්‍රී ලාංකික අපටත් දැන් මෙම ගෘහ නිර්මාන ශිල්පියාගේ නිර්මානයක ජීවත් වීමට මෙන්ම පාවිචිචිකරුවන් වීමට අවස්ථාවකුත් ලැබී තිබෙනවා.

altair tower colombo waterfront
එනම් දැනට කොළඹ නගරයේ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින, තට්ටු 68කින් යුත් මීටර 240ක් උසැති altair  නැමැති ඩොලර් මිලියන 250ක ආයෝජනයකින්, Indocean Developers. නමැති සමාගම විසින් හඳුන්වා දෙන යෝජනා ක්‍රමයයි.

ලොව උසම ගෘහස්ත දියඇල්ල-Jewel Changi Airport
Jewel Changi Airport පර්යන්ත ගොඩනැගිල්ල, පොලොවෙන් උඩට තට්ටු පහකුත්, පොලොවෙන් යට තට්ටු පහකිනුත් සමන්විත, ඩොලර් බිලියන 1.2ක ඇසතමේන්තුගත වියදමකිනුත් යුත් යෝජනා ක්‍රමයක්. මෙම පර්යන්ත ගොඩනැගිල්ල නිම වූ විට, එය ගොඩනැගිල්ලක් තුල ඉදිකර ඇති ලොව උසම දියඇල්ල, ලොව විසාලතම ගෘහස්ත උද්‍යානය යන අංගයන්ගෙන් සමන්විත ඉතාමත් අලංකාර සහ සිංගප්පූරුවේ වැසියන්ට ආඩම්බර විය හැකි නිර්මානයකි.
බිම් මහල් පහකුත් පොලොව මතුපිට මහල් පහකුත් ලොව විශාලතම ගෘහස්ත උද්‍යානයත් පෙන්නුම් කරන රස් කැපුමක්
Jewel Changi Airport

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලද, මේ දිනවල පර්යන්ත ගොඩනැගිල්ලේ තුන්වෙනි අදියර සඳහා සැලසුම් නිර්මානය කරමින් පවතිනවා. ජපාන ආධාර ඇතුව, ජපන් ගෘහ නිර්මාන ශිල්පීන් සහ ශ්‍රී ලාංකිකයන් එකතුව නිර්මාන කටයුතු කරමින් පැවතුනත්, ආංඩු පෙරලිය නිසා ඇතිවූ පෙර දැක්මේ වෙනස, මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාන අලංකරනයන්ටත් බලපා ඇතැයි යන්නයි ඉහත Jewel Changi ලිපිය මා හට එවූ මිතුරා පවසා සිටියේ..
නෙලුම් (නිල් මානෙල්) මලක හැඩයෙන් නිර්මානය වූ කටුනායක පර්යන්ත ගොඩනැගිල්ල

නෙලුම් මලක  (නිල් මානෙල්) හැඩයෙන් යුක්තව නිර්මානය කොට තිබූ පර්යන්ත ගොඩනැගිලි වහලය ආංඩු පෙරලියත් සමග අරලිය කොලයක හැඩයට නිර්මානය වෙමින් පවතින්නේ ගෘහනිර්මාන ශිලිපීන්ගේ මහත් කනස්සල්ලට පාත්‍ර වෙමින්.
අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
BIA-Katunayake

අරලිය කොලයක හැඩයෙන් නිර්මානය කරන පර්යන්ත ගොඩනැගිල්ල
ගුවනට දිස්වෙන අයුරු

මා වසර 12ක් තිස්සේ ගෘහනිර්මාන අධ්‍යක්ෂක ලෙස නිර්මානයට අතදුන් ඕමාන් රාජ්‍යයේ මස්කට් සහ සලාලා ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් යුගලය කිසිසේත්ම දේශපාලන බලවේගයන්ට යටත්නොවී නිර්මානය කිරීමටත්, එම ගොඩනැගිලි අප නිර්මානය කල අන්දමටම ගොඩනැගිමටත්, 2012 අරාබි වසන්තයට හසුවීමෙන් වූ ආංඩු පෙරලිය බාධාවක් නම් නොවුනේය. අප නිර්මාන කටයුතු කල ආංඩුව වෙනස්වී ගොඩනැගීම් කටයුතු බාර වූ අලුත් කැබිනට් මඩුල්ල කිසිදා අප නිර්මාන කටයුතු වලට බධාවන් හෝ ඇඟිලි ගැසීම් හෝ කලේ නැහැ.
ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින සලාලා ගුවන් තොටුපොල
Salalah Airport-Oman

ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින මස්කට් ගුවන් තොටුපොල
Muscat International Airport-Oman

නිර්මාන කටයුතු වලට හවුල් වූ කැබිනට් මඩුල්ලේ සිටි ඇතැමුන් හිරගෙවල් වල ලැග්ගේ ඔවුන් කල දූෂණ කටයුතු ඉතා ඉක්මනින් නීතිමය මාර්ගයෙන් විසඳා තීරණ ගැනීමෙනි.

එනමුදු කිසියම්හෝ සංවර්ධන කටයුත්තකට දූෂණ විමර්ෂනයන් බාධාවක් නම් නොවිනි.

අප අවුරුදු 2500කටත් වඩා ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩමින් ගෝත්‍රවාදී යයි හංවඩු ගසා ගනිමින් මේ වලපල්ලට යන ගමන වෙනතකට හැරවීම සඳහා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෝත්‍රිකවාදීන් වන ඒකාධිපති රාජ්‍යයක් ලෙස පාලනය වන ඕමානයෙන්වත්, පොලිස් රාජ්‍යයක් වශයෙන් පාලනයවෙන සිංගප්පූරුවෙන්වත් ඉගෙන ගැන්මට දේවල් නැද්ද?

1982 වෙන විට අපටත් වඩා පසුබා සිටි සිංගප්පූරුව, කවදා හෝ කොළඹ වැනි නගරයක් කිරීම එකම ප්‍රාර්ථනය යැයි කියමින් ලී ක්වාන් යූ ඇරඹි සිංගප්පූරු විප්ලවය අද දවස වෙන විට ලොව අනගිතම ගුවන් තොටුපොල නිර්මානය සහ ඉදිකිරීම දක්වා ගෙනයන්නටත්, අප මත්තල වසා දමමින්, නෙලුම් මල් අරලිය මල් වලට හරවමින් චන්ද හිගමනේ යන විප්ලවයකට පන්සල් කෝවිල් තිරුපති අරපති පස්සේ දුවමින් හෙටක් නැති රටක් බවට පත්කරන්නේ කාගේ කරුමයකටදැයි අපට සිතේ.

Jewel Changi Photo Credits to Architect Moshe Safdie
BIA photo Credits to AASL
Muscat & Salalah Terminal Photo Credits to Larsen, A&CE

ප.ලි./
කොළඹ නව පර්යන්ත ගොඩනැගිල්ලේ මූලික නිර්මානය, ගෘහ නිර්මාන්ශිල්පීන් විසින් ජාතික පුෂ්පය වූ නිල් මානෙල් ( Nymphaea nouchali) මල පාදක කොට නිමවූවත්, නෙලුම් පොකුන නෙලුම් කුලුන ආදී පසුගිය ජනවාරි 8 වෙනිදාට පෙර රට කෙරවූ ඇත්තන් පිනවීම පිනිස නෙලුම් පුෂ්පය ඇඳෑ ගත්බවත්, පලමු නිර්මානය ගැන ගෘහනිර්මාන ශිල්පීන් විසින් ප්‍රචාරය කෙරූ ත්‍රිමාන රූප සහිත වීඩියෝවේ නිල් මානෙල් මල ගැන කිසිම දැනුවත් කිරීමත් නොවීමත් ජනතාව මෙය නෙලුම් මලේ ආකෘතියෙන් නිර්මානය වූ බව තේරුම්ගෙන තිබුනා යැයි තතු දත්තෙක් මා හට දන්වා තිබුනා..

එසේම, අරලිය යනු දකුනු ඇමෙරිකානු අර්ධද්වීප්යට අවේනික වූ පෲතිගීසි ආක්‍රමනිකයන් විසින් අප දූපතට හඳුන්වා දුන් පැලෑටියක් බැවින්, අරලිය කොලය අපේ ජාතික ස්මාරකයක්වන්වූ ගුවන් තොටුපොල ගොඩනැගිල්ලකට පසුබිමක් වීම කෙතරම් වටීද යන්නත් සංවාදයට ලක්විය යුතුයැයි අපට හැඟේ....

එබැවින් ඉහත ලිපියට යම් යම් සංස්කරනයන් කිරීමට සිදුවූ බැව් කියවන්නෝ දැනගනිත්වා...

Monday, 23 February 2015

"ජීවිතෙන් දින හතක්"







අපේ කඩි බාප්පා ( එයාගේ යාළුවන්ට චන්දරේ )  මට උරුම වෙච්ච සොඳුරුම නෑදෑයැයි කීම අතිෂයෝක්තියෙන් තොරයි.

ඔහුගේ 70 වෙනි ජන්මෝත්සවයට සහභාගීවීමේ සොඳුරු අවස්ථාව මට ඊයේ හැන්දෑවේ උදා උනා.
මීවිතයි, මියැසියයි, සොඳුරු සමාගමයයි යහමින් පිරුන තරු ඇතිරුන ඊයේ සැඳැවේ හෝමාගම පොල් රුප්පාවක අපි පැය හත අටක් සමාධිගත උනා.

අවුරුදු 23ක් තමන්ගේ මිනිසුන්ගෙන් ඈත්ව දුරු රටක විසූ මට, මෙවන් දේවල් එතරම්ම නොහුරු ඌවත්, වියපත් ඔහු සහ ඔහුගේ පාසැල් හිතමිතුරන් ඔහු හා මේ සැන්ඳෑව විඳගනු පිනිස එහි පැමින සිටීමත්, යහමින් එම සැන්ඳෑව තමන්ටම අයිති කර ගැනීමත් මා ඇත්තටම මවිතයට පත් කලා.

මධු බඳුනක් පුරවා ගන්නයැයි ඔහු ගෙන් ලැබූ ආරාධනාවෙන් මද අඳුරේ සකසා තිබූ මීවිත සොයා ගිය අතර, මා අත හිස් වීදුරුව පුරවා නොගෙනම මා සතුටු සාමීචියේ යෙදී ඇති බැව් හැගුනේ අතරින් කෙනෙක් මට කී දෙයින්...

...එක වේව් ලෙන්ත් එකේ අය කොහොමත් එකට සෙට් වෙන්න ඕනි.....

මේ තවත් සොඳුරු මිනිසෙකු යන්න අවබෝධ වෙන්න මට වෙන කාරනා අනවශ්‍යයි. එතැන් පටන්, මාගේ කඩි බාප්පාගේ පාසැල් මිතුරෙකු වූ ඔහු මා සමග ඉතාමත් සංවේදී සංවාදයකට මුල පිරුවා..

කිත්සිරිගේ පැදුරු සංගීතයත්, කොත්තු මල්ලිගේ ටක ටකයත් අතරින් අපි ස්වීඩනයටත්, එංගලන්තයටත්, ඕමානයටත් අපේ පුරුදු රත්නපුරටත් සැරිසැරූ බැව් මත මතකයි.

ඔහු ආර්ථික විශේෂඥයෙක්, මා ගෘහනිර්මාන ශිල්පියෙක් යන්න අපිට බාධාවක් නම් නොවුනේමැයි...

ඔහුත් මා මෙන්ම රත්නපුර සීවලි විදුහල් මෑනියන්ගේ පහසින් හැදුන වැඩුන අයෙක්. මා ඉපදුන අවුරුද්දේ රත්නපුර සීවලියෙන් විශ්වවිද්‍යාලයට ගියත් ඊයේ රෑ නම් මට වයස් පරතරයක් නොදැනුනේ ඔහු කී පරිදි වේව් ලෙන්ත් එකේ තියෙන ගුනයක් නිසාම වියයුතුය.

මහ  රෑ ඔහු සමුගෙන තම රථයට ගොස් නැවත මා සොයාගෙන් පැමින කීවේ, ඔබ සාහිත්‍යයට ලැදි නේද, පොත් කියවනවා නේද, එනිසා මෙන්න මේ  පොත මම ඔබටත් පිලිගන්නෙමි යන්නැයි....


මාගේ එකම ඉල්ලීම වූයේ කරුනාකර පොතේ සටහනක් දා දෙන්න සහ මම මගේ බ්ලොග් පිටුවේ එම පොත ගැන ලිව්වාට කමක් නැද්ද යන්නයි.

අහිංසක ලෙස මා දිහා බලා..හා ලියන්න කියා නික්ම ගියා..

සොඳුරු මිනිසා නමින් උපාලි උබයසේකර. "ජීවිතෙන් දින හතක්" උපාලිගේ හතර වෙනි නවකථාව උනාට ඔහු පරිවර්තන කෘති පහලොවකුත් අපනයන අලෙවිකරනය සම්බන්ධ කෘතියකුත් ලමා කාව් සංග්‍රහයක් යනාදි වශයෙන් ග්රන්ථ කතුවරයෙකු ලෙස අප අතර සිටිනා වියතෙක්.

මා පොත කියවන්න පටන්ගත්තා පමනයි.










ඔබත් සරසවි පොත් හලට ගොඩ වැදුනොත්
උපාලිගේ
ජීවිතෙන් දින හතක්
විඳ ගතහැකි වේවි....


Tuesday, 17 February 2015

මාතලන් | Maathalan..... හොරෙක්ද මං පහරන්නෙක්ද..එහෙම නැත්නම් දේශප්‍රේමියෙක්ද?

වෙනස මෙතනින්ම පටන්ගන්න












මේ ගිය ඉරිදා අපේ බොක්කන්ගේ මල් සහ පැනි සාදයකදි ප්රාජේ ගෙන ආපු අයිඩියා එකක්.

අයිඩියා එකක් උනාට අපි මාතලන්ගෙන්ම මූනටම ඇහුවේ...

ඇහුවේ හොරෙක්ද, මං පහරන්නෙක්ද නැත්නම් දේශප්‍රේමියෙක්ද කියලා නෙමෙයි,
ඕක වෙනස් කරමු නේදැයි කියන ඒක.

ප්රාජේගෙ අදහස ආවාම මමනම් කිව්වේ අපි ඕක හුදී ජනයාගේ අනුමැතිය ඇතුව කළයුතුය කියලා.

මොකද දැන් මාතලන් දර දිය ඇදලා හදාගත්ත යහපාලනයක් තියෙන නිසත් ආපහු ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත වෙලා තියෙන නිසාත් විතරක්ම නෙවී,

කවුද මොනාද කියන්නේ කියලත් බලන්න ඇහැකිය කියලා හිටං.

මම මාතට කිව්වේ උඹ ඕකට පෝස්ට් එකක් දාලා කරුනු කාරනා අහපන්ය කියලා.

කොහෙද මෙයා මෙන්න මේක හරිම ඒකාධිපති විධික්‍රමයකට එක්සෙකෙටිව් පවර්ස් යූස් කරලා තනියම වෙනස් කරලා...හරිම අසාධාරනයි..ඕන්නම් ගිහින් බලන්නකෝ වෙනස...

අපි ඔක්කෝමලා වෙනසට යන එක කියන්නේ වෙනස් වෙන එක හොඳයි. ඒකට පොදු දේපල, මහජන දේපොල මේ විදියට තමන්ගේ දේවල් වගෙ පාවිච්චි කරන එකට මම නම් හිටගෙනම විරුද්ධයි.

මා ගාව ෆයිල් නැහැ, බොරුවට ෆයිල් තියෙනවා කියලා කියන්නෙත් නෑ..ඔය කවුරු මොනා කීවත් ඔය මනුස්සයා එහෙම වැරදි කරලත් නැහැ මේ වැරද්ද ඇරෙන්න..ඒත් එහෙම තමුන්ගේ හිත්මනාපෙට අපි මෙච්චර ආදරේ කරන කැච් ප්රේස් එකක් වෙනස් කරන්න දෙන්න බෑ අපිට කියන්නෙ කරන්නේ නැතුව...


කෝකටත් මම මගේ එක වෙනස් කරන්න ඕනි අර යහපාලනයට දර දිය ඇද්ද කලා කරුවෙකුගෙන් ණයට (චීනෙක් නෙමෙයි ) ඉල්ලගත්ත එකකින් මෙන්න මෙහෙම..

...ගුටි කෑමට නියමිතයි....

Tuesday, 25 November 2014

අපේ (තාත්තා) රටේ මිනිස්සු-කෙලින්නේ පිස්සු...!


       



අපේ තාත්තා ලංකාවේ උපන් හිංගල මිනිසෙකි.

එනිසා ඔහු පිස්සුකෙලීම එතරම්ම ගනන් ගතයුතු නැත.

ඔලුවට පොරෝ පාරක් කාපු පොර කිව්වා වගේ, අපේ තාත්තා කැවුම් කන්න ඇති ආසාව නිසාමද කොහේද සතියක් දෙකක් යනකොට කැවුම් කෑවාද කියා මතක නැතුව ආයේත් අම්මාට කැවුම් හදන්න කියනවාය.
මේ මිනිසා කැපුවත් කොළපාට ලේ යන ජාතියේ යූඇන්පී කාරයෙක් බව කොච්චර (ලොකු) පොඩි උනත් මටනම් හොඳටම මතකය.

අපේ තාත්තා උදේ , සිට රෑ වෙලා ටීවී චැනල් වහන තුරු ඒවාත්, රටේම තියෙන හිංගල පත්තරත් කියව, දන්න කාලේකින් චන්දයකුත් දිනාගන්න බැරි උන නායකයෙකුත් ඉන්නා යුඇන්පී කරයෙකිඒ වගේම මහින්දගේ මූන පෙන්නන හැමවිටම චැනල් මාරුකරන ගානට යූඇන්පීය. හැබැයි අපරාදේ කියන්න බැහැ කනබොන මිනිහෙකි...

මම ඉතාම පුංචි ගැටය කාලේ වෙච්ච දැක්ක සිද්ධියක් මට ආයෙත් මතක් උනේ, ඊයේ හවස මේ තාත්තා නම් යුඇන්පී කාරයාට දුන් දුරකථන ඇමතුමකට මට ලැබුන උත්තරය නිසාය.

සිද්ධිය මෙයයි...

අපි එතකොට හිටියේ ගාල්ලේ අක්මීමන තලගහ හංදිය කියන තැන කුලී ගෙයක. (ගැටයා කාලයේ එතන කරපුවා මෙතනලියන්න ගියොත් මේ කථාව ලියන්නවෙන්නේ නැති නිසා ඒවා පසුව...)

මේ 1970 අවුරුද්ද වෙන්න ඕන....

මට තාම මතකයි අපේ ගෙදර ඉස්සරහින් වැටිලා තියෙන යක්කලමුල්ල පාර දිගේ ගාල්ල පැත්තට ආපු කලු පාට ලොකු කාර් එක.

තාත්තාත් මමත් පාර අයිනේ හිටියේ මොකටද කියලා මතක නැති උනාට, කාර් එක අපි ලඟටම එනකොට අපි හිටිය පැත්තට විරුද්ධ පැත්තේ කාර් එක ඇතුලේ වාඩි වෙලා හිටිය කන්නාඩි දාපු බෙල්ලේ කැමරාවක් එල්ලා ගත්ත, අපේ ගෙදර සාලේ බිත්තියේ එල්ලලා තියෙන පොටෝ එකේ ඉන්න ලස්සන මහත්තයා, අපේ පැත්තට බර වෙලා දෑත් එක් කරලා අපිට ආයුබෝවන් කියාගෙන ගියා.. 1970දී තාත්තාට වයස 39ක් වෙන්න ඕන.. කියන්නේ දැන් මට වඩා බාල වයසේ...මට දැන් එහෙම හිතුනේ, තාත්තා උඩ පැන පැන අප්පුඩි ගගහා...ඩඩ්ලි හාමු පුතේ, ඩඩ්ලි හාමු කියලා කෑ ගහපු හැටි මතක් වෙච්ච නිසා...පොලිස් කාරයෙක් මෙහෙම කෑ ගහ ගහ ජොලියේ ඉන්නවා මම දැක්කමයි. මොකද දවස්වල දැන්වගේ නෙමෙයි පොලිස්කාරයින්ට සැලකිල්ලක් තිබුනා මොකෝ ඒගොල්ලෝ අද වගේ පිස්සුකෙලියේ නැහැ...

ඉතින් මේක නෙමෙයි සිද්ධිය..

ඊට ටික දවසකට පස්සේ මට මතකයි රිවිරැස පත්තරේ මැද පිටුවේ තිබුන කොටු කොටු පිරිච්ච චන්ද කොට්ටාස නාමලේඛනයත් අරන් කඩල එහෙම තම්බගෙන තාත්තායි අය්යයි මුලු රැයක්ම රේඩියෝ එක ඇහුවා..පහුවෙනිදා උදේ තාත්තා වැඩට ගියා..හැන්දෑවේ ආවා රාමු කරපු අලුත් පින්තූරයකුත් අරගෙන..

සුදු මහත  බෝලයක්  වගේ මූන තියෙන සාරි පොටක් එක්ක නෝන කෙනෙක්ගේ පිංතූරයක්...ගැලෙව්වා අර ලස්සන කලු කෝට් කන්නාඩි දාලා හිටපු මහත්තයාගේ පොටෝ එක (අපිට මෙයා අතත් වනලානේ අයියෝ ගියේ)එල්ලුවේ නැද්ද නෝනගේ පින්තුරේ එතන....

දවස්වල මට මේක හරියටම නොතේරුනත්, මෝඩයා වගේ මම ඇහුවා තාත්තාගෙන් ඇයි මේ අලුත් මූනක් එල්ලන්නේ කියලා...මම රජයේ සේවකයෙක් ඉතින් රාජ් නායිකාවට යටහත්ව ඉන්න ඕනි...
එතකොට තාත්තේ අපිට අත වනපු හාමු..? එයා පරාදයි, නොදන්නා දේවල් අහන්නේ නැතිව ඉඳහන්..ඕන්න මට ලැබුන උත්තරය...

ඊයේ බජට් එකට චන්දේ දෙන්න විරුද්ධ පක්ෂෙට 20ක් යනවාය, එහෙම ගියොත් මහින්ද ඉවරය අරකය මේකය කියන බ්ලොග් කමේන්ට් කියව කියවා ඉන්නකොට මට මතක් උනේ මේ යුඇන්පී කාරයාට කථා කලොත් මොකක්ද වෙන්නේ කියලා තේරුන් ඇතිව අහගන්න පුලුවන්වේය කියලාහිතාගෙන  කෝල් එකක් දුන්නෙමි.

"හෙලෝ........ කොහොමද තාත්තේ ....මොනාද කරන්නේ...?"

" පුතේ...කවද්ද ආවේ....?"

"ගිය සුමානේ.. මේ ඒක නෙමෙයි, මොකො ඔයගොල්ලන්ගේ රනිල් ලොක්කාට වෙලා තියෙන්නේ?ඔන්න මේ පාරත් චන්දේ ඉල්ලන්නේ නෑලු...ඔයා දැන් කාටද චන්දේ දෙන්නේ...? කොහොමද ශ්‍රීලංකා කාරයෙකුට ඔයාගේ ඔය කොලපාට චන්දේ දෙන්නේ..."

"ඇයි..අපි මෛත්‍රීටනේ දෙන්නේ..?"

"ඉතින් එයා ශ්‍රීලංකා නේද? ගිය සැරෙත් ඔයාට දෙන්න උනේ සුදුකොඩිට නේද? අයිඅයියෝ කවද්ද ඔයා කොළපාට චන්දයක් දාන්නේ ..?

"පොඩ්ඩක් ඉන්න..මේ දවස් 100කට නේ පුතේ..ඊට පස්සේ අපි බලය අපිට ගන්නවා.."

" කොහොමද?"

"මෛත්‍රී බලය අපිට බාර දෙනවා.."

"එතකොට මෛත්‍රී මොනාද කරන්නේ? හරි දිනලා දුන්නේ නැත්නම් මොකද කරන්නේ?"

"..එහෙම උනොත් අපි ඉවරයි..? කෝ පුතේ දුව ඉන්නවද? පොඩ්ඩක් කථා කරන්න.."

අනේ මේ මිනිසාගේ වයස දැන් අවුරුදු 83කි...සමහරවිට මෙය ඔහුගේ අන්තිම චන්දය වෙන්නටත් පුලුවන...

රනිල් මහත්තයාව දන්න කෙනෙක් ඉන්නවානම් එයාට අලියා ලකුනෙන් චන්දේ ඉල්ලන්න කියන්න එතකොට අපේ යුඇන්පී කාර තාත්තාට ඔහුගේ කොළ පාට චන්දය නම්බුකාර විදියට අලියාට 8 වෙනිදා දැමිය හැකිය....