Showing posts with label katubedda. Show all posts
Showing posts with label katubedda. Show all posts

Wednesday, 8 June 2016

හැලිබොරේන්ජ්, නේරංජනා සහ අසෝක වීදුරු



හප්පා...ස්ට්‍රෝබරි ජෑම් එක පැත්තක ගාලා අනික් පැත්තේ බටර් ගාලා තැටි පාන්....හැලිබොරේන්ජ් බෝතලේටම දාලා හැලිබොරෙන්ජ්...දොඩම් සුවඳ ඉහවහා යනවා...මම ඉස්කෝලෙ ගියේ ඔන්න ඔය උත්ප්‍රෙරක් දෙක නිසා, හැබැයි අවුරුදු තුනේදි ධර්මසේන බාප්පාගේ කර උඩ නැගලා, සෙන්ට්‍රල් කෑම්ප් එකේ ක්වාර්ටර්ස් වල ඉඳන් අම්පාරේ විජිතෙට..ඒ කරුමෙම තමා පල දුන්නේ..ඇයි යකෝ අවුරුදු තුනෙන් ඉස්කෝලෙ ගිහින් විභාග ඔක්කොම එක සැරේ පාස් උනාම දා හතේදි පලකෝ විස්ස විද්‍යාලේ...ඒ මදිවට තාත්තා පොලෝසියේ මහත්තැන් වෙච්ච නිසා (අපේ ආතා විතරයි එහෙම කිව්වේ..අනිත් හැමෝටම එයා කනේ මයිල් සාලහාමි..) ගියානේ ඉස්කෝල හතකට...මෙහෙමයි..
අම්පාරේ විජිතේ..
කොස්පැලවින්නේ ඉස්කෝලේ (අපෙ සාලහාමිව ඉන්ටර්ඩ්ක්ට් කරාම වෙච්ච ඇබැද්දියක්..)
අම්බලන්ගොඩ දේවානන්දේ (නාට්ටියකත් රඟපෑවා ඒකේදි නං..)
අක්මීමන ඉස්කෝලෙ
ගාල්ලේ මහින්දේ...
සත්නපුරේ ඇලෝසියස් (සබරගමුවෙන් දෙවෙනියා වෙලා ශිෂ්‍යත්වේ පාස් උනා එතෙන්දි..)
ඒ පාස් විල්ල නිසා යන්න උනා සත්නපුරේ සීවලී මධ්‍ය මහා විද්‍යාලේ ඒ කියන්නේ සීවලි සෙන්ට්‍රල් එකට...
ඉතින් හතයි ...ඉස්කෝලම...
කරුමේ කියන්නේ ...වෑසට වඩා වැඩි ඇත්තෝනේ ඉතින් හැම ඉස්කෝලෙදිම හම්බ වෙන්නේ..අර අවුරුදු තුනේ කේස් එක නිසා...ඉතින් ඕල්මොස්ට් හැම අවුරුදු දෙකකට සැරයක් ඉස්කෝල මාරු වෙලා ඒ ලෙවල් ඉවර වෙනකොට..
මොකාවත් දන්නවද දන්නෙ නෑ එහෙම ඉස්කෝල මාරු වෙනකොට පොඩි ඈයෝ..(ඒ කිව්වේ දැන් වගේ නෙවී මම පොඩි කාලේ කිරෙන් බාල වෙච්ච එකා වගේ කෙට්ටුයි....)කොච්චරක් නං මානසිකව තෙරෙපෙනෙවද කියලා..ඉතින් මාව හෝල්සේල් බයිට් වෙනවා අලුත් ඉස්කෝලෙ අලුත් පන්තියේදී..කොල්ලෝ මට තරවටු කොරනකොටම ජංගියේ චූ යන සයිස් ඕන් හයේ පංතියට විතර එනකොට..ඒ ගැන ..ඒ කිව්වේ කොච්චරක් නම් මානසිකව ආතති තත්ව්යකට පත් වෙලා ඉන්න ඇද්ද කියල..මේ මම...!

අදත් මට පොත් සාප්පුවකට ගියාම හුස්ම හිර වෙනවා..අලුත් පොත් සුවඳට..පොත් කොච්චර කියෙව්වත්, අරගත්තත්..අලුත් පොත් සුවඳ ගේන්නේම භයංකාර මතකයන්..ඇත්තමයි මේ කියවෙන්නේ හොඳේ..!

ඒක පැත්තකින් තියමුකො..ඔය ඉස්කෝල හතෙන් හිතේ ඇඳිලා තියෙන්නේ අටේ පන්තියේ ඉඳන් ගිය සීවලී සෙන්ට්‍රල් එක..මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව ඒක මිශ්‍ර පාසැලක් වීමම වෙන්න ඕනි..

ගැටවර වයසේ...මට...කොන්ඩ කරල් දෙක ගොතාපු අක්කලා (මගේ අවුරුදු තුනෙන් ඉස්කෝලේ යෑමේ ආදීනව ) සුදු සපත්තු දාලා ඉරි ඉරි ටයි දාලා පොත් ගොන්න අර පපු පෙදෙසට තුරුල් කරන් එනකොට නිකන් අනේ මටත් පොත් මිටියක් වෙන්න හිතිච්ච වාර අනන්තයි..

කොහොම හරි මගේ ජීවිතේ ආදරෙන්ම ගත කරපු කාලේ ඒ වෙන්න ඕනි...ගැල්ලලමයි යාලුවෝම හතර දෙනක් හිටියා..එයින් තුන් දෙනෙක් හවුල් සමාගමක් කලා මාත් එක්ක...එතනින් තුන්දෙනෙක්ම අක්කලා..එක්කෙනෙක් නංගියෙක් ..එයා මාව දැක්කාම සරපයෙක් දැක්කා වගේ දුවනවා ඉන්ටර්වල් එකේදී..( වෙලාවට එහෙම දිව්වෙ කියල දැන්නං හිතෙන්නේ....)

ඔය මොන මනස්ගාත කලත්, අපේ ගෙදර තිබ්බ දුප්පත් කම මාව තල්ලු කලේම නේරංජනාවෙන් පනින්න..අස්සය තමා ඉතින් ඒ ලෙවල්..පැන්නා කිව්වට පැන්නෙමත් නැහැ කියල තමා හැමෝම හිතුවේ මොකෝ ඉන්ජිනෙරු විභාගෙට ලියන්න විස්ස විද්‍යාලේ යන්න නොතේරුන නිසා..ඒ එක්කම මුලු සන්හතියම..ඒ කිව්වේ ගුරු දෙගුරු මව්පිය නැදෑ හිතවත් සැවොම, එක හෙලා කිව්වේ පිස්සුද ඕයි තමුසෙට විස්ස විද්‍යාලේ යන්න බෑ වෑස අඩුය කියලා..

අර විමලසූරිය කියනව වගේ හුකා ඇත්ත නේන්නං...දහ අටක්ද කොහෙද වෙන්න එපැයි ඒකටත්..මට යන්තං දාහතයි නොව විස්ස විද්‍යාලෙට යන්න මග පෑදෙන කොට..

කොහොමෙන් කොහොම හරි ඉන්ගිරිසි මල පොතේ අකුරක් බැරි මම, ඒ මදිවට සංසාරෙදි සිදාදියට, ඒ කිව්වේ කොළඹට ඇවිත් නොතිබිච්ච ගිනි කූරක් වගේ කෙට්ටු උස මට එන්න කිව්වනේ කටුබැද්දෙන් වාස්තු විද්‍යා (වරහන් ඇතුලේ නිර්මිත පරිසරය)කියන හුපාධිය කරන්න සුදුසුකම් තියේදැයි කියල බලන විභාගෙකට..
හෝව් හෝව් ඒ දවස්වල ජෝන් හිටියේ නෑ ඇත්තටම (බලේ හොඳේ..)..

ඒ විභාගෙට සිංහලෙන් කිව්වේ ඇප්ටිටියුඩ් ටෙස්ට් ය කියලා...

ඒ කාලේ අපේ අයියා කාරයා (ඌ මාව දැන් මල්ලි කමෙන් අස් කොරලා ඉඩම් පලහිලව්වකට ....කපුගේ සිංදුවකුත් කියල තිබ්බා ඒ සිද්ධිය ගැන..) ඇන් ඩී ටී කරනවා කටුබැද්දේ..ඌ තමා කිව්වේ පල ඕකට ..ඔය කෝස් එක කරන්නේ මොන්ගල් පොරවල්ය කියලා..හිතාගත්තා මටම හරියන කෝස් ( කේස් ) එකක් තමයිය කියලා එකසිය විසිදෙකක නැගලා කොට්ටාවට ඇවිත් දෙසිය පනස් පහක කටුබැද්දට ගියා (ඌත් එක්ක මොකෝ සංසාරෙදි කොළඹ ඇවිත් නැති නිසා..) ඔය අංක තියෙන්නේ බස් වල..දැන් එවා නැතුව ඇති..දෙසිය පනස් පහ මරු ඕයි..පස්සේ කාලෙක අපි ගල්කිස්සෙන් රෑ දහයට නගිනවා දෙසිය පනස් පහේ පොඩි පොඩි දේවල් ඉස්ට සිද්ද කරගන්න  (අහන්නකෝ කටුබැද්දේ, ඒ කියන්නේ දැන් මොරටුවෙ හිටිය කස්ටියගෙන් අපි ජාතික ආදායම වෙච්ච ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට කොච්චර සපෝර්ට් කරල තියෙනවද කියල ඒ ආකාරයෙන්..)

බෑ අනේ හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි එහෙ මෙහෙ දිව යනවා අයියෝ..ලියන්න ඕනි එකට තාම එන්න බැරි උනා...හරි..ආවා... ඔය සුදුසුකම් පිරික්සන විභාගෙට...හප්පා ඒ විභාගේ ලිව්ව හැටි කියන්න ගියොත් හෙඩින් එක වෙනස් කරන්න වෙනවා....ඒක වෙනම පෝස්ට් එකක් කරමු...මොකා හරි රසවිඳිවි....

තේරුනා කියමුකො ඉතින් ඔය කෝස් (කේස් ) එකට...ඔක්කොම බාධක (ඒ කියන්නේ වයස් සීමා බාධකය...තව එකක් තියෙනවා මගෙ ඇස් යුගල හා සම්බන්ධ..ඒකත් තවත් පෝස්ට් එකක්ම විය යුතුයි..ඇස් දෙක පව් නිසා..) බිඳගෙන ආවා විස්ස් විද්‍යාලේ..

අම්මෝ එහෙම ලිව්වම මතක් උනේ සෙබාගේ බෝඩිම..අම්මගේ අතේම එල්ලීගෙන හිටපු  (ඒකම තමා තාමත් උයන්නේ හොඳේ අනා ගත්තාම..), සංසාරෙදි කොළඹ නොආපු (ඒ තියා ගෙදරින් එක රෑයක් පිට නිදාගෙනවත් නොතිබිච්ච මාව) ගෙනල්ල දැම්මේ නැද්ද අපේ අයියා කාරයා ඌ හිටපු සෙබාගේ බෝඩිමට....

එගොඩ උයනේ ලොකු අයියා දුන්න නිල් පාට (මම හිතන්නේ..කවදා හරි තේරෙයි ඇයි කියලා ) සූට් කේස් එකේ මොනාද අඩුම කුඩුම දාගෙන, හොස්ටල් හම්බවෙනකන් මෙතන හිටපිය කියල අයියා කාරයා තබුත්තේගම (මහවැලි නේ වැඩ කලේ..) ගියපි..

යකෝ පලවෙනි දවසෙ දවල්ට මට කෑම මේසේ ඇරලා අලි තඩි බත් එකක් දුන්නේ නැද්ද හරක් මස් එක්ක (සෙබා ක්‍රිස්තියානි )..බත් එකේ සුවඳ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ..ඒක දැක්කේ හැටියෙ මට මතක් උනේ අම්මයි මල්ලියි නංගියි මොනා කනවද දන්නේ නැහැය කියලා..මොකෝ ඒ දවස් වල වේලක් ඇර වේලක් තමා අපි කැවේ..ඒකත් එක්කො ගස්ලබු මාලුවයි ලුනු මිරිසුයි නැත්තං කොස් මාලුවයි ලුනු මිරිසුයි...දෙකම ඉතින් වත්ත පල්ලේහාන් කඩා ගත්ත ඒවා...මට මතක් උනේ ටල් අම්මා හැමදාම කැව්වය කියලා අටමා මම ඉව්වාම වට්ටක්කා කෑවෙ නැතිඋනාම මට හිතිච්ච දේ..ඒක ඌට වෙනම කියන්න ඕන දෙයක් වෙච්චි...අනේ හුකේ...

කොහොම හරි අපි විස්ස විද්‍යාලේ ගිය කාලේ අර ගෝටා කලා වගේ නායකත්ව පුහුනුව දෙනව වෙනුවට , අර සරසා විරුද්ධ වෙන රැග හොඳහැටි අනුබව කරන්න පුලුවන් ආකාරයට මාස තුනක, ( මාසෙකද දන්නෙත් නෑ මේ වෙලාවෙ මතකත් නෑ දෙයියනේ ) ඔරියන්ටෙෂන් කෝස් එකක් තිව්නා..ඕකෙදි කටුබැද්දේ තිබ්බ හැම ලැබ් එකකම, හැම පුස්තකාලෙම, හැම වර්ක්ෂොප් එකකම හඳුන්වාදීමක් කලා ඉරෙස්පෙක්ටිව් ඔෆ් කෝස් යු ෆලෝ කියලා...ඒ අස්සේ ඉන්ගිරිසිත් ගෘප් දහසයකට කඩලා ඉගෙන්නුවා. රැගත් යහමින් දුන්නා...

ඔය අතරේ තමයි හොස්ටල් දෙන්නෙත්..ඕන් ඉතින් අපි ආකියො හය දෙනකුටත් හොස්ටල් හම්බ උනා..මමත් එයින් එකෙක් වෙච්චි..ඒ උනාට මෙලෝ සංසාරයක් නොතේරෙන ( දැන් වගේමයි ) කෙනෙක් වෙච්ච මට එක දවසක් තට්ටු හතරේ බිල්ඩිමට නගින අර බ්‍රිජ් එක ගාව  තියෙන ලොබියේ තරප්පු පේලිය ගාවදි..( හප්පා තරප්පු පේලි කිව්වම තව තව ඒවා මතක් වෙනවා..ඒවා තහනම්..) එක උස කෙට්ටු බුවෙක් මගේ අතින් අල්ලලා කියපි..උඹ ආකි නේද කරන්නේ..උඹට හොස්ටල් හම්බ උනා නේද..අද ඉඳන් උඹ මගේ රූමා ය කියලා..මමත් ඉතින් හා ය කියපි..ඒ අතින් අල්ල ගත්ත විදියටම මාව ඇදගෙන ගියේ නැද්ද මූ වෝර්ඩන් ගාවට  (දෙය්යනේ ඒ වොර්ඩන් කාරයගෙ නම මතක් නැහැනේ.. )
ගත්තා යතුරු..ගියා බී දහ හතට...ඇඳන් දෙකේම මෙට්ට නැත...බැලුවා අල්ලපු කාමර...ගත්තා හොඳ මෙට්ට දෙකක්..අල්ලපන් කිව්වා මේ දෙක ගෙනියන්න අපේ කාමරේට..ගෙනාවා දැම්මා ඇඳන් දෙක උඩට..කියපි..මේක තමයි මචං අද ඉඳන් අපි දෙන්නගේ කාමරෙ...හා..හා..වෙන මොනා කියන්නද..හැබැයි මට මතක් උනා මේ ඇඳේ නිදා ගන්න ආවාම සෙබාගෙ ක්‍රිස්තියානි හරක්මස් බත් එක නං නොලැබේ කියලා..කටුබැද්දේ හොස්ටල් හිටිය ඇත්තෝ ඒ බැව් දනී...

යමන් කටුබැද්දේ හංදියට සබන් අරවා මෙවා ගන්න ඕනි...සබන්...හෑ..අනේ දෙයියනේ ඒවා දෙන්නේ සල්ලි වලට නේද..මගේ අතේ කොහෙන්ද සල්ලි....ඒවා කොහෙද..කාන්දම වගේ මම මේ කෙට්ටු සරීරය පසු පස ඇවිදගෙන ගියා මිසක්..

මගදි නම කිව්වා..මම මගේ නමත් කිව්වා..

ගම කිව්වා..මමත් ගම කිව්වා..

ඉස්කෝලේ කිව්වා..මමත් ඉස්කෝලේ කිව්වා...

නැවතුනා මූ..මොකක්..සීවලී..තොට බත් නං නැති වෙන්නේ නෑ...

ආවා කටුබැද්දේ හංදිය කියන තැනට...මගේ පපුව ඩිග් ඩිග් ගානවා..අල්ලා ගත්තා මම උගේ අතින්..ඒයි තොට පිස්සුද ..අත ඇරපන්...

එහෙම කියනගමන්ම ඌට තේරුනා මාව වෙව්ලනවා කියලා...ඇයි මචං...ඌ අහපි..මගේ කකුල් මට වාරු නැහැ..මගේ සිතිවිලි මට වාරු නැහැ...කඳුලු පිරිච්ච දෑසින් මම සුචියාට (ඌ මට නම කියල තිබ්බෙ එතකොට ) කිව්වා..මට බෑ..මොකක්ද..ඌ අහපි...මෙතනින් එහාට යන්න නං බෑ... ඌ බලනවා මගේ දිහා නිකන් මොකක් කියන්න වගේ..

ඌ හොඳ එකා..අදටත් හොඳ එකා...මූ නැවතුනා...හා පොඩ්ඩක් හිටහන්...අපි මෙතන ඉඳලා ඊට පස්සේ යමු..
මම හා වගෙ මූනක් දාල හිතනවා දැන්..

සමන් දෙයි හාමුදුරුවනේ පාරවල් දෙකක් (ගෝල් රෝඩ් එක දිහා බලන් හොඳේ..) කොහොමද එක පාරට පනින්නේ..ඒ මදිවට එක පාරක් අපේ ඇලවේල්ල වගේ තුන් ගුනයක් ඉතර පලලයි...

සුචිය කියනව..මචං..මෙහෙමයි..පාරවල් දෙකේ වාහන යන්නේ එක පැත්තකට විතරයි..අපි ඉස්සෙල්ල දකුනු පැත්ත බලලා අර මැද තියෙන කන්ඩිය උඩට දුවනවා..එතන නවතින්න ඕන ඊට පස්සේ වම් පැත්ත බලලා ඉතුරු ටික දුවලා එහා පැත්තට දුවනවා හරිය (ඌ මාතර , ඌරුගමුවෙ..)අල්ලගනින් මගේ අත..හා දැන් මා එක්ක දුවපන්..හැබැයි පුතෝ අර මැද තියෙන කන්ඩියේ නැවතින්න ඕනි හරිය..හා..........හම්මේ....
ඕක ආපහු අනිත් පැත්තටත් කරන්න උනා නේ ඉතින්...

එහා පැත්තැට ගියා (දිව්වා ) මෙහා පැත්තැට ආවා (එව්නා ) මෙන්න මෙයා රිංගනවා කඩ දෙකක් අතරේ තියෙන අඩි දෙකක විතර ගැප් එකකින් ...ඇයි..වරෙන්කෝ..හා..

දැම්මා සාක්කුවට අත..ගත්තා දෙකේ කොල වලින්ම දෙකක්..මම නෙවෙයි ..සුචියා..

ආපිට ලැබුනේ පොඩි අසෝක වීදුරු දෙකක් සමග රතු ලූනු ගෙඩි දෙකක්..අසෝක වීදුරු වල වතුර වගේ දියරයක්..බීහන්...හා..

කාහන් මේක දැන්..(රතුලූනු එක ගෙඩියක්..)

යමන්..

අද වෙනතුරු මතක නැත මා කොහොමද ආපහු බී දාහතට පැමිනියේ කියා..රුපියල් දෙකක කසිප්පු බී..

නමුදු මා මගේ ජීවිතයේ ඇද වැටුනු හැම ආගාදයකින්ම මා ගොඩ ගැනීමට ඔහු අදත් සෙවනැල්ලක්මෙන් සිටී....

කටුබැද්ද හංදිය කිව්වම මතක් වෙන්නේ මල්ලිකා බේකරියේ බිත්තර බන් එක..කොච්චර පස්සෙන් ගිහින් ඇද්ද මට බිත්තර පාන් එකක් අරන් දෙන්නය කියලා...ඒක ඊලඟට ලියන්න ඕනි...


Tuesday, 15 July 2014

පෙට්ටගම් සහ අරාබි මල් කැටයම් - 100 year Storm






අනුන්ගේ දේකට වැරදිලා ඇඟිල්ලක් වැදිලා මම හරිම අපහසුතාවයකට පත් උනා පහුගිය සුමානේ. ඒත් එක්කම වැඩ ගොඩ ගැහිලා නිසා කමෙන්ට් වලට විතරයි යොමු උනේ.
ඒත් අඩුගානේ හිතලා බලලා කොමෙන්ටුවක්වත් දාගන්න බැරි උනා මාතේ ගේ "පිවිතුරු හෙට"...මොනා කරන්නත් හිත එකලාසයක් වෙන්නත් එපැයි.

චාමි ( මස්කට් එයාර් පෝර්ට් ප්‍රොජෙක්ට් එකේ මේ දවස්වල මගෙන් ඉතිරි වෙච්ච සීනියර් ආකියෙක් ) ඊයක් විදලා තිබුනා අපේ මස්කට් එයාර් පෝර්ට් එකේ අද වෙනකොට ප්‍රොග්‍රෙස් එක ගැන කියලා.
හුඟ කාලෙකින් ඒ ගැන ලියන්න බැරි උනනිසා හිතුවා, මේ පින්තූර ටික එක්ක පොඩි විස්තරයක් ලියනවා කියලා.


කියවන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක මම හිතුවා, ඩිසයින් ඉමේජස් එක්ක අද තියෙන තත්වය පෙන්නුවොත් හොඳයි කියලා. පල්ලෙහා තියෙන තිරස් පින්තූරය ත්‍රිමාන රූපයක් (3D Image). ඒක පිලිවෙල කලේ ඩිසයින් එක එක්තරා තත්වයකට ඩිවෙලොප් කරාට පස්සේ. අපේ භාෂාවෙන් කියනවා නම් ප්‍රිලිමිනරි ඩිසයින් ස්ටේජ් එකේදි. ඒකට හේතුව ඔවැනි ත්‍රිමාන රූපයක් බිහි කරන්න විශාල තොරතුරු සම්භාරයක් ගොනු කරගන්න ඕනි. ඒ තොරතුරු විශාල ප්‍රමානයක් තියෙන්නෙ ගෘහනිර්මාන ශිල්පියාගේ මනසේ. ඒ විතරක් මදි, අනිකුත් විශේෂඥයන්ගේ තොරතුරුත් අවශ්‍යයි ඔය රූපය පිලියෙල කරන්න.
ඔටෝකැඩ්, පොටෝෂොප් සහ ත්‍රීඩීමැක්ස් (AutoCad, Photoshop & 3D Max ) කියන මෘතුකාංග පාවිච්චිකරලා තමයි ඔවැනි රූප නිමවෙන්නේ.

full view of the muscat terminal from the apron
ගෘහ නිර්මාන ශිල්පීන් හැටියට මෙයට දායක උනේ ඕබීඑල් (ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පී-Chief Architect), මම (ප්‍රධාන නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී සහ ගෘහ නිර්මාන අධ්‍යක්ෂක-Chief Design Architect & Architectural Director ) ජමුර (නිර්මාන ගෘහ නිර්මාන ශිල්පී-Design Architect). අපි තුන්දෙනාට සහායට මේ පින්තුරු එව්ව චාමි, බ්‍රයන්, එච්බී, රෙහාන්, පියල්, ක්‍රිශාන්ත, මුනී වගේ මටත් වඩා සීනියර් ආකියො ගොඩාක් හිටියා.
arrival hall-current progress

මේ පින්තූරය අරගෙන තියෙන්නේ, අරයිවල් හෝල් (Arival Hall) එක පෙනෙන විදියට ඊට උඩින් තියෙන ඩිපාර්චර් හෝල් එකේ ඉඳන්, අද තියෙන තත්වය පෙනෙන විදියට. පින්තූරය ගත්තේ ගිය සතියේ,චාමි .

අපි මුලදි,  ඒ කියන්නේ 2004 ඩිසයින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්ත කාලේ, 2014 තමයි මේ එයාර් පොර්ට් එක විවෘත කරන අවුරුද්ද කියලා සනිටුහන් කරලා තිබ්බේ. හැබැයි 2007 ජූනි 06 වෙනිදා "ගෝනු"http://en.wikipedia.org/wiki/Cyclone_Gonu කියන සයික්ලෝන් එක ඕමාන් රාජ්‍යයට කරපු හානිය නිසා, අනාගතය ගැන හිතලා අපිට ආයෙමත් මුල ඉඳලා ඩිසයින් කරන්න උනා. ඒකට හේතුව උනේ, අපේ ඔරිජිනල් ඩිසයින් එකේ, පොලොව යටට ලෙවල් පහක බිම්මහලවල්, සිංහලෙන් කියනවානම් බේස්මන්ට් පහක ගොනු කරලා තිබුනා, ඔටෝමේටඩ් බැගේජ් හැන්ඩ්ලින් සිස්ටම් එකත් ගොඩනැගිල්ලට අවශ්‍ය කරන යටිතල පහසු කම් සියල්ලත්.
ඒකෙම ඩිස්යින් ඉමේජ් එකක් තමයි මේ පහලින් තියෙන ඊලඟ පින්තූරය.



 සාමාන්‍යයෙන් මෙවැනි  යෝජනා ක්‍රමයක් නිර්මානය කරනකොට වසර 100ක තරම් පැරණි කාලගුන වාර්ථා (100 Year Storm) සලකා බලලයි කරන්නේ. ඕමාන් රාජ්‍ය වැනි මැද පෙරදිග ස්ථානවල සුලි සුලං ගංවතුර වගේ ස්වභාවික කරදර නැති නිසා වුනත්, අපි 100 year storm එකට තමයි ඩිස්යින් කලේ..අපි කිව්වේ අපේ ඉංජිනේරු මහත්වරු..( ඩෙන්මාර්ක් රටේ නමගිය ඉංජිනේරු සමාගමක් වෙන කොවි ( COWI A/S ). නමුත්, රටකරවන අය පපුවට අත තියාගෙන කිව්වා අනේ මහත්වරුනේ, කරුණාකරලා ආයෙමත් 500 ඉයර් ස්ටොර්ම් එක බේස් කරගෙන ඩිසයින් කරන්නය, එකම බේස්මන්ට් එකක්වත් එපාය, ආකිටෙකචරල් ඩිසයින් එක වෙනස් නොවෙන්නත් ඕනය කියලා. ආයෙමත් කරනවාට අපිට ගෙවන බවත් කිව්වා කියන එකත් කියන්න ඕනි.......!


අපි තවත් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඉතිරි වෙලා තිබිච්ච කෙස් ටිකත් හැලෙනකන්, මූනේ තිබිච්ච රැවුල සෝල්ට් ඇන්ඩ් පෙපර් වෙනකනුත්, ඔක්කෝම ෆුල් ඔෆ්ෂන් ගානට ප්‍රෙෂර්ද, සීනිද වැඩි වෙනකනුත් කලා නේද ඩිසයින්.

අර තට්ටු පහක් යටට තිබුන සර්විසස් සහ බැගේජ් හැන්ඩ්ලින් පහසුකම්, මුල් පෙනුමත්, ගොඩනැගිල්ල සැලසුම් කරලා තිබුන ආකාරයත් ( ඒ කියන්නේ පැසෙන්ජර් ෆ්ලෝ එක ), එහෙමම තියාගෙන කොහොමද උඩට ගේන්නේ කියන එක තමයි තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. කරන්න පුලුවන් වෙච්ච ප්‍රැක්ටිකල්ම දේ තමයි මහා ලොකු පෙට්ටගම් දෙකක් වගේ ටර්මිනල් එකේ දෙපැත්තට ඔය කියපුවා අමුනන එක. ඇමුනුවයි කියමුකෝ, ඕමානියන්ට මාර ආකිටෙක්චරල් ටේස්ට් එකක් තියෙනවා, ඉතින් ඕක ඇපෘ කරගන්න නම් නිකම්ම නිකම් පෙට්ටගම් දාලා බෑ...

පහල පින්තුරේ තියෙන්නේ පෙට්ටගම් අමුනපු ටර්මිනල් එක. ඔය කෝච්චි පෙට්ටි වගේ දේවල් ගිහින් එකතුවෙන, කර්ව්ඩ් රූෆ් එකක් තියෙන්නේ ටර්මිනල් එකේ අරය්වල් කොන්කෝර්ස් (arival Concourse) එක කියන එකට, ඒකේ දෙපැත්තෙන් පේන පෙට්ටි ටික ගැන තමයි කිව්වේ.

Terminal with පෙට්ටගම්
මම ඔය පෙට්ටගම් දෙක ඇන්දෙව්වා, අරාබි මල් කැටයම් වලින්. හැබැයි මේ පෙට්ටගමක් තට්ටු දහයක් උසයි. ඉතින් එහෙම බිත්තියකට සරිලන අරාබි කැටයමක් තමයි මම හොයාගත්තේ. ඔය පල්ලෙහා තියෙන පින්තූරෙන් අද ඒ අරාබි කැටයම දාපු පෙට්ටගම් බිත්තිය ඇත්තටම පේන හැටි චාමි පොටෝ ගහලා එවලා තිබුනාම මට හරිම ආඩම්බරයක් ආවා.
stone detailing of පෙට්ටගම්

මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට ඉවරකරන්න ඕනෑලු. ඒකට පිංතූර දැක්කාමනම් තව ලබන අවුරුද්ද වෙනකන් චාමිට ඕමාන් ඉන්න වෙයි කියලා තමයි මටනම් හිතුනේ.





මේ තියෙන්නේ පියර් (pier) එකේ පිටතින් පෙනුම. එක පියර් එකක් මීටර් 400ක් දිගයි. ඒ නිසා පියර් එකේ අන්තිම ගේට් එකකින් ගොඩ බහින ගුවන් මගියෙක් මීටර් 400ක් ඇවිදින්න ඕනි කොන්කොර්ස් එකට එන්න. එතන ඉඳන් තවත් මීටර් 400ක් විතර යන්න ඕනි එලියට එන්න. වෝර්කලේටර්ස් (walkerlators) තියෙනවා ඇවිදීම පහසුවෙන්න.


නින්ද යනවා නේ මේවා කියවනකොට. තව එකම එක දෙයක් කියන්නම් යන්න කලියෙන්.මම මේ කියන එයාර් පෝර්ට් එක තනිකරම කටුබැද්දේන් (මොරටුව විශ්ව විද්‍යාලයේ) සහ කොළඹ තියෙන සිටි ස්කූල් ඔෆ් ආර්කිටෙක්චර් (CSA-SLIA) කියන තැන් දෙකින් බිහිවෙච්ච ආකියො තමයි නිර්මානය කලේ. කාටද ආඩම්බර?
තව ගොඩාක් විස්තර තියෙනවා පස්සේ වෙලාවක කියන්නම්.
පෝස්ට් එක බ්ලොග් රොලේ අප්ඩෙට් උනේ නෑ...ආපහු පබ්ලිෂ් කලා, රංගිගේ ඇඩ්වයිස් එක අහලා...

Tuesday, 27 May 2014

කෙහෙල් ගෙඩි සහ බනිස්


image-www.youqueen.com



මුලු ගෙදර හරියටම තිබුනේ රුපියල් 18,400 කි. එයින් හෝටල් ගාස්තුයැයි කියා හමඩ් කාරයාගෙ ඒජන්සියට රුපියල් 15,000ක් ද, මා පලමු පඩිය එවන තෙක්, ජීවත්වීමටයයි කියා රුපියල් 3,000ක් බිරින්දෑටද දුන් විට ඉතිරිවූයේ රුපියල් 400කි. මේ 1991 මැයි මාසයයි. රුපියල් 40ක් වූ ඩොලරය මා හට ඇමරිකන් ඩොලර් 10ක් මග වියදමට ගොනු කර දුනි.

ජීවිතයේ ප්‍රථම වරට මා දරුදෙදෙනා සහ ඇය තනිකර කටුනායකින් පියඹා ගිය දිනයයි, 1991 මැයි මස 2 වෙනිදා. හමඩ්කාරයා දුන් බ්‍රවුන් පාට ලොකු ලියුම් කවරයද, මාගේ ඇදුම් කැඩුම් බහාලූ සූට්කේසයද ගෙන මා ගෙදරදීම ඇයට සහ දරු දෙදෙනාට සමුදී මල්ලයාගෙ මිට්සුබිෂි කෝල්ට් කටුවේ නැගී, ඔවුන් නොපෙනී යනතුරු අතවැනුවේ සිහිකල්පනාවෙන්නම් නොවේ.

වයස තිහයි, උස පහයි නවයයි, බර කිලෝ හැටයි....කෙට්ටු පරානයක්.... ඩොලර් 10ක් සාක්කුවේ දාගෙන..... අලුත්ම අත්දැකීම්වූ ගුවන් තොටුපොල රාජකාරි නිමවා අවසන් බොර්ඩින් ලවුන්ජය වෙත ආ මා හට ඔවුන් පස් දෙනා මුන ගැසුනි.බ්‍රවුන් ලියුම් කවර පහ හඳුනාගැනීමේ සාධකය විය. හමඩ්කාරයාගේ ඒජන්සියෙන් රට යන ගොබිලන්. දෙහිවල මුහුද පැත්තේවු ගෙදරක, රත්තරන් මුදු ඇඟිලි දහයටම දැමූ, නීල් නැමත්තාගෙ ඉන්ටර්වීව් එකෙන් තේරුන හයදෙනා.

ප්‍රියන්ත - ප්‍රෝග්‍රෑමර්
චූටිමල්ලි-ඩෙටා එන්ට්‍රි ඔපෙරටර්
වැලිහිඳ - ඩ්‍රාෆ්ට්ස්මන්
නවා -ඩ්‍රාෆ්ට්ස්මන්
ක්‍රිස් - ෆිනෑන්ස් මැනේජර්
සහ
මම

හමඩ්කාරයා කී පරිදි, අප පලමුව බහරේන් වලටත්, වීසා ලබාගැනීමෙන් පසු දහරාන් නගරයටත් ගුවනින් ගමන් කිරීමට නියමිතය. මේ සියල්ල මා හට ග්‍රීක් වැනිය. මෙය මාගේ ප්‍රථම ගුවන් ගමනයි. වීසා ගැන කිසිම හැඟීමක් නැත. ගුවන්යානයට ගොඩවෙනතුරු ආගිය තොරතුරු රැස්කර ගත් අප, වැලිහිඳ 1991 මාර්තු මාසයේ අහවරවූ පලමුවෙන ගල්ෆ් යුද්ධයෙන් පීඩාවිඳ, කුවේට් වලසිට ගොඩබිමින් ජෝර්දාන් හරහා එක්සත්ජාතීන්ගේ සංවිධානයේ පිහිට ආරක්ෂාවෙන් ලංකාවට අවුත් නැවත රට නගින බවත්, මා ඇතුලු අනෙක් පස් දෙනා කෝඩුකාරයන් බවත් හඳුනාගත්තේමු.

වැලිහිඳ නඩේගුරා බවට නිතරගයෙන්ම පත්වින. ඔහු අවුරුදු හතක් කුවේට් වල රැකියාව කොට ඇතිබවත්, අරාබි සහ හින්දි භාෂාවන් කථා කලහැකි බවත් අපහට කීවද, එයත් ග්‍රීක්ම විය. පිටරට යන්න දැනගෙන ඉන්න ඕන කඩ්ඩනේ යනු අපගේ මතය නිසාවෙනි ඒ.  ඔහු වයසෙන්ද අපට වඩා ටිකාක් වැඩියැයි මට සිතුනේ මා සැම විටම සිතන්නේ අනිත් සියලුම දෙනා මට වඩා වයසින් වැඩි ඇත්තන්ය කියා නිසාය. එයට හේතුව, මා මද්දුමයා නිසා, ඉතාම බච්චා කාලයේදී, ඒ කියන්නේ යන්තං අවුරුදු තුන පිරෙන කොටම අම්පාරේ මධ්‍යම කඳවුරේ වූ විජිත මහා විද්‍යාලයට ධර්මසේන බාප්පාගේ කරේ නංවා, මා මෑනියෝ පිටත්කර යැවු නිසාමනොව. එම හේතුවෙන් මාගේ මුලු පාසැල් ජීවිතයත්, විශ්වවිද්‍යාල ජීවිතයත් ගෙවන්නට උනේ මට වඩා වයසින් වැඩි උදවිය සමග නිසාවෙනි. එය තවත් කථාවකි.

පැය හතරක ගුවන්ගමන් කාලයකින් පසු,  බ්‍රහස්පතින්දාවක්වූ 1991 මැයි මස 2 දා,අප බහරේන් වල මනමා ගුවන් තොටුපොලට ගොඩබසින ලද්දේ සවස දෙකට පමනය. මාර්තු මස අවසන් වු පලමු ගල්ෆ් යුද්ධයේදී සදාම් හුසේන් විසින් දායද කර ගිය නොනැවතී ඇවිලෙන කුවේට් තෙල්ලිං වලින් පිටවන කලු දුමාරය බහරේන් අහස වසා සිටී. ඉර ඒ කලුදුමාරය අතරින් කෙඳිරිගාමින් ලාම්පු එලියතරම්වූ එලියක් දෙමින් මේ දවාලය යන්න කියාපායි.
අපව වහලුන් සේ ගාල් කර මොන මොනවාදෝ බනින ස්වරූපයකින් කියමින් අප ඉදිරියෙන් සිටින මේ පර්වතයක් වැනි ගැහැනිය ඇඳ සිටින ඇඳුම මා හට සිතාගන්නවත් බැරිතරම්ය.

අප යම් වැරැද්දක් කර ඇති බවක් මා හට හැඟේ. වැලිහිඳ කියනා ආකාරයට, අපට ඇත්තේ සවුදිඅරාබියාවෙ දහරාන් වලට යාමට ගුවන් ගමන් බලපත්‍ර නිසා, අපගේ බහරේන් ඒජන්තවරයා එනතෙක් අපට ගුවන් තොටුපොලින් ඉවතට යාමට නොහැකි බවත්, අප ඒජන්ත වරයා නැවත එන්නේ සතිඅන්තයෙන් පසු නිසා අපහට ගුවන්තොටුපොලේ නැවතී සිටීමට වන බවත්ය. අද බ්‍රහස්පතින්දාය. ඉතින් අප සඳුදාවෙන තෙක් ඉන්නේ ඇයි?  එවිටය මා දැනගත්තේ, මැදපෙරදිග සතිඅන්තය යනු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බව!

කෙසේ වෙතත්, සෙනසුරාදා වෙන තෙක් කෙසේ සිටින්නද? මා අත ඇත්තේ ඩොලර් දහයකි! ටික වේලාවකින් අපහට තේරුම් ගියේ, අප තනිවී නැත. 30කින් පමන වූ, ගෘහසේවිකාවන් රෑනක්ද අපහා ගාල් කර ඇත. ඉඳපන්කො දවස් දෙකක් එයාර්පෝර්ට් එකේ.!!!

මොනාකරන්නද...අපි හිත හදා ගත්තේමු. හයදෙනාම කොනක වාඩිදාගෙන සිටිනා විට, මාගේ බ්‍රවුන් ලියුම් කවරයේ ලොකුවට ලියා ඇති, දිගම දිග ටෙලිෆොන් නොම්මරය මා දුටිමි....නැවතත් වැලිහිඳ මහතාගේ පිහිට පතන්නට සිදුවිය. හය දෙනා අතම බහරෙන් කාසි නැත. කාසි දමා ඩයල් කල හැකි ෆෝන් එකක් ලඟ අපි අසරන වී සිටිමු. වැලිහිඳ දන්නා අරාබි හෝ හින්දි භාෂාවෙන් තටමා පොලොව මොප් කරමින් සිටි තැනත්තාගෙන් බහරේන් ෆිල්ස් කාසියක් දෙකක් ඉල්ලාගෙන නොම්මරය කැරකැවූ විට, ඔහු කා සමගදෝ අමු සිංහලෙන් කථා කරයි. අපට තේරෙන්නේ උත්තරය සෙනසුරාදා උදේ යන්නය.

ඒ අප හමඩ් කාරයාගේ බහරේන් ඔෆීසියේ නොම්මරය බවත්, ලංකාවේ ගැහැනුකෙනෙක් උත්තර දුන් බවත්, පී ආර් ඕ සෙනසුරාදා උදේ අපේ වීසා සාදාගෙන එන බවත්, එතකන් අපහට ඉන්න වෙන බවත් ඇය කී බව වැලිහිඳ කීහ.

දැන් දැන් බඩගිනිවේගනද ඒ...එවිටයි අප දැක්කේ අප හා සිටි අක්කලා (අපි අය්යලා) බත් මුල්, බනිස් සමග කෙසෙල් ගෙඩි දිග ඇරගෙන කන බව. මේ යෝදියො සීසන් සෙට් එකක්, ප්ලේන් එකේ දුන්න ඒවා කාල ගෙදරින් අරන් ඇවිත් බහරේන් වලදි රෑට කන්න..හික්..අප හටද ඔවුන් ඒ ආහාර පිලිගැන්නුවත් ආචාරශීලීව ප්‍රතික්ෂේප කලේ ඇයි කියා තවමත් මම අසන්නෙමි?

එවිටම වාගේ පැමිනි අර කෑගසන කාන්තාව මොන මොනවාදෝ දොඩවා අප සැමට (අක්කලාද ඇතුලු )ගුවන් තොටුපොල ආපනශාලාවෙන් රාත්‍රී ආහාරය ගැනීමට කූපන්පත් බෙදා දී අතුරුදහන් විනි. ජීවිතයේ පලමුවරට, ඉන්දියන් ආහාර වේලක, මතක හැටියට, මට්න් බුරියානි, රස විඳීමට ලැබුනේ ගුවන් සමාගමේ අනුග්‍රහයෙනි.

( මට කථාවෙන් ටිකකට පැනීමට සිදුවේ. කවුරුන්හෝ මෙය  කියවයිනම්, මෙතෙක් වේලා මා හට ගෙදර මතක් නොවුයේද යැයි අවලාද නැගිම සාධාරනය. මා විශ්ව විද්‍යාලයට ඇතුලත්වුනේ යන්තම් 17 වන විය එළඹවූ සැනින්මය. ගමේ තතුදන්නො කීවේ මා තව අවුරුද්දක් ගෙදර සිටිය යුතු බවය. මා මාගේ බිරින්දෑ දුටුවේ  විශ්ව විද්‍යාලයට ඇතුලුවූ දවසේමය. මෙය සිදුවුයේ ඇය හමුවී අවුරුදු 13කට පසුය. ඇය හමුවෙනතුරුම මා හුදකලා ජීවිතයක් ගතකල, එකම අරමුන වූ, ගෙදරින් පිටව, ඔලුව ඇතුලේ උන් මා විසින් නිර්මානය කරගත්තාවූ, මිනිසා සොයා යාම පමනි. ඇය මට ඔහුව සොයාදෙනලදි. එදා සිට අදත්, නට් කේස් එකක් වන මා නිරතුරුවම ඇය හා සිතින් කථා කරයි. එනිසා ඉහත කී සැමදෙයම ඇයට මා කියමින් පැවති බව කරුනාවෙන් සලකන්න...)

වැලිහිඳගේ අවවාද අනුසාසනා අනුව, අප හය දෙනා ගමන් මලු බදාගෙන, සපත්තු ඔලුවට තියාගෙන  (ඔහු කීවේ අප හට නින්ද ගියවිට පොලොව මොප් කරන්නා අපගේ ගමන් මලුද, සපත්තුද උස්සන බවය ) එයාර්පොර්ට් සීට් වල එදා රැය ගත කලෙමු.

ඊලඟ දවස් දෙක, ඩොලර් දහය අතේ තියාගෙන ඩියුටි ෆ්‍රී ෂොප්ස් වල ඇති දෑ වින්ඩෝ ෂොපින් කරමින්ද, විස්කි බොතලයක් ගත්තොත් අතේ කීයක් ඉතිරිවේවිද,තව දවසක් මෙසේ සිටින්නේ කෙසේද යනාදි සිතිවිලි වල පාවෙමින්, වැලිහිඳගේ කුවේට් වීරවික්‍රාන්විත වලට කන් දෙමින්ද ගුවන් තොටුපොල තුලම කා දමන ලදි.

සෙනසුරාදා උදේ සිදුවූ දෑ මෙයටත් අන්තය...ඉන් පසු දින පහක් බහරේන් වල මනමා නගරයේ විසූ කාලය තුලවූ දෑ ඊටත් අන්තය...අපගේ රටේ මිනිසුන් ( මේ මා වැනි ), සල්ලි සොයන්න වෙන බාල්දුවත්, කොරන නෑහැදිච්ච වැඩත් ගොඩ ගැහිච්ච ඒ කථාව ඊලඟට.....එතකන් ගිහින් එඤ්ඤං