Showing posts with label සිතිවිලි. Show all posts
Showing posts with label සිතිවිලි. Show all posts

Friday, 18 January 2019

දුම් රස හාදු













දුම් රස හාදු

අවුරුදුම තිස්පහක්
මා හද බැඳි ඔබ
හීනෙකින්වත් නොහිතූ වෙලාවක
මුවාවී   කැස්සක
සැඟවී හෙම්බිරිස්සාවක 
අතුරුඳන් උනේ ගිය උඳුවප් මහේ

අන්තිම කාටුනය ලාච්චුවේ
අන්තිම පැකැට්ටුව මේසය උඩ
ලයිටර් ගිනිපෙට්ටි ක්‍රෝධයෙන් 
අහක බලන්

හදිසියේම නින්දෙන් පිබිදෙන 
හීනයකින් පියවි සිහිය ලබන
කකුල පැටලී බිම වැටුන
සේ දැනෙනා විට
ඔබ කොහේද ගිහින් 
දුමාරයේ සුවඳවත් නොතියා මා මුව....
දුම් රස හාදුවලට 
පෙම්බැඳි
කුමරිය සේ...!

Thursday, 19 July 2018

නාඩගමේ පන්දම් පෙළපාලි නැටූ දෙවොන්දරා සන්...


යූ ටියුබ් මාධ්‍යයෙන් එළිගැන්වෙන නව යොවුන් සංගීතය අමුතු අරුමයන් ගෙන එනවා..!

පහල තියෙන්නේ තාක්ෂණය හරියාකාරව හසුරුවන්න හැකිනොහැකි කම් අපේ තරුණ සංගීතකරුවන් පෙන්නුම් කල අවස්ථා තුනක්...!

කරුණාකර හෙඩ්ෆෝන් පාවිච්චි කරමින් සවන් දෙන්න....!






පන්දම


නාඩගම




දෙවොන්දරා සං



මොනාද හිතෙන්නේ.....?

මම නං නාඩගම් ගීයට හරි ආසයි...ඇයි මන්දා....!

~~~~~!!~~~~~



Saturday, 12 May 2018

ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...!




අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!

අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට හොඳ මස් හොද්දක් එක්ක බත් ගිලින්න පුලුවන් වෙන නිසා..තාත්තාගේ වම් අතේ ඇඟට තද කරගෙන තඩි බ්‍රවුන් පේපර් බෑග් එකක් පුරෝලා එලොලු එක්ක හැංගිලා හබරල කොලේ ඔතලා තියෙන මස්කුට්ටිය ඩෝප් මරගාතේම එයාම කපලා අම්ම දාලා දෙන තුන පහ බස බස ගාල අතගාලා දුන්නම අම්මා උයන මස් හොද්ද දිව්‍ය රහයි...ඔය මස් කුට්ටිය කිව්වට ඒකේ බ්‍රේස් කටු (තාත්තා එහෙම කිව්වට ඒවා රිබ්ස්) පීකුදු පොඩ්ඩක් එහෙමත් තියෙනවා ඉතිං...! ඒ කාලේ ඉව්වෙ දර ලිපේ..මැටි හට්ටියේ...!

ඔහොම කාල බීලා හැදිච්ච අපිට කෙලෙව්වානේ මේ තලේබාන් බුධු පැටව්..ඔය අනූව දශකයේ ටියුශන් මාස්ටර්ලා ටිකක් පෙව්වා ලමයින්ගෙ ඔලුවලට ඊෂ්වර විංශතියද මොකක්ද අට මගුලක්, ඉතින් කොල්ලො කෙල්ලො මස් නොකා ඉන්න පටන් ගත්තනේ...සිංහලෙන් මස් කියන්නේ හරක් මස් වලට..චිකන් කියන්නේ වෙජිටබල් වගේ එකක්, හාල් මැස්සො ඉස්සො එහෙම නිකන් මුකුනුවැන්න වගේ උන්ට...අනූව දශකයේ ටියුෂන් ගිය අය නොව අද ඉතිං රජ කරන්නේ..නැද්ද..?

මටනං ලෝකේ කොහේ රවුං ගහලා ආවත් මොන ජාතියේ නානාප්‍රකාර කෑම ජාති අනුභව කලත්, හරක් මස් ටිකක් උයාගෙන කනකන් ඉස්පාසුවක් නෑ..ඒ හැටි සහ පුරුද්ද....! තම්බි එක්ක තියෙන ආරෝවට පෝක් කන සිංහලයෙක් නං නෙවෙයි ඕන් මං නං....! ඒ උනාට පෝක් කනව ඉඳලා හිටලා..!

කොහොමෙන් කොහොමහරි මම හරක් මස් හදන්නේ නං අපේ අම්ම හදපු විදියටමයි...ඒ උනාට හරිහමන් මස් කිලෝ එකක් හොයාගන්න එකත් එකතරා විදියක ශාස්ත්‍රයක් වෙලා දැන්...රාජගිරියේ නං ඔබේසේකරපුර පාරේ මැද හරිය තියෙන මස් කඩේ, හැබැයි අර පොල්ගස්මුල්ල හංදියේ තියෙන මස් කඩේ නං නෝ ගුඩ්....තලවතුගොඩ ඉසුරුපාය ගාව තිබ්බ මස් කඩේ ගිය සුමානේ ඉඳන් කොහේ ගියාද නෑ..පන්නිපිටියේ මාකුඹර හංදියට කලියෙන් මහරගම පැත්තට වෙන්න තියෙන මස් කඩෙ ෂෝයි...!

තව කේස් එකක් තියෙනව, ඔය කොළඹ තියෙන මම ඔය උඩින් කිව්ව මස් කඩ බොහෝමයක් මුස්ලිම් එව්වා, ඉතිං හලාල් සීන් එකට තමා අපිට මස් හම්බෙන්නේ..ඒ උනාට වත්තලින් එහා, රාගම, කඳාන, ජාඇල, සීදූව, ලියනගෙමුල්ල, මීගමුව, කොච්චිකඩේ වගේ පැති වල තියෙන්නේ ක්‍රිස්තියානි මස් කඩ..එව්වගේ මස් වල රහ වෙනස් ඉතින් ෂෝක් විදියට...!

ඊයේ මාතර බතූතා පාරේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ගිහින් ගංජා ගන්නව වගේ බෝම අමාරුවෙන් මස් කිලෝ එකක් හොයාගත්ත...! නැත්තං ඉතින් තංගල්ලේ බස්ටෑන්ඩ් එක ගාව මස් කඩේට යන්න ඕනී..දික්වැල්ලේ වීදියේ යෝනකපුරේ මොහොමඩ්ගේ චිකන් කඩෙනුත් මම ගියාම පොඩ්ඩක් ඉන්නය කියලා මස් කිලෝ එකක් ගෙනත් දෙනව ඉතිං...!

රත්නපුරේ නං මාර්කට් එකේ කෙරෝලේ මාලු කඩේට අල්ලපු මස් කඩේ හොඳයි..අනික් කෙලවරේ මස් කඩේට ගියාම..ආ අප්පෝ ..කියලා එහෙන් මෙහෙන් වහලා අමුනපු මස් ටිකක් ඔතලා දෙනව..!

ඇති දැං අරහේ මෙහෙ ගියා...මේ ලියන්න හිතුවෙ අපේ අම්මගේ මස් හොද්ද මම හදන විදිය..අම්මා හැදුවෙත් මෙහෙමමයි, අම්මා අද ගියත් (ගියොත්) හදල දෙන්නෙත් මෙහෙමයි....!

එකක් මතක තියාගන්න, හැමෝටම මස් කඩේකින් නියමාකාරයට මස් ලබා ගන්න බැරි බව..හරිහමන් මස් ටිකක් ගන්න සෑහෙන කාලයක් මස් කඩ මුදලාලි සමග සම්බන්ධකං පවත්තන්න ඕනි..මම කෙටි ක්‍රමයක් හොයාගත්තා, හැබැයි ඒ ක්‍රමේ ටිකාක් වෙන්න එක්ස්පෙන්සිව්..කන බොන වෙලාවට කව්ද ඔව්වා බලන්නේ...!

මෙහෙමයි...!

මට මස් කිලෝ එකක් නම් ඕනි මම කියන්නේ මට මස් කිලෝ දෙකක් දෙන්න කියලා..ඉතිං නාන්නාදුනන මස් මුදලාලි දන්න ජාති දාලා අරහෙන් මෙහෙන් කපලා මස් කිලෝ දෙකක් දෙනවා...කපන කොට මම නෙවෙයි කියන්නෙ ඔය කෑල්ල එපා අර කෑල්ලෙන් දාන්න, තෙල් කෑලි දාන්න එපා වගේ ඕනේ නැති කථා...මුදලාලි අහනවා කටු ඕනිද කියලා..අන්න එතකොට කියන්න ඕනි මට රිබ්ස් වලින් රුපියල් දෙසීයක විතර දෙන්න කියලා..එතකොට මුදලාලි පොඩි හිනාවක් දානවා...සමහර විට ටික දවසක් යාවි ඒ හිනාව දැකගන්න.. ඒ හිනාව ආව දවසෙ ඉඳන් ඔබට හොඳ මස් ලැබේවි...කිලෝ දෙක ගෙදර ගෙනත් අනවශ්‍ය දේවල් අයින් කලාම මස් කිලෝ එකක් හරි ඊට ටිකාක් වැඩියෙන් හරි උයන්න ගන්න පුලුවන්...!

උයන්න ඉස්සරවෙලා පොඩි වැඩ ටිකක් තියෙනව කරන්න.!

මස් අරන් ගෙදර ආව ගමන් රතුලූනු ගෙඩි හයක් හතක්, සුදුලූණු බික් හතරක්, අමු මිරිස් කරල් හයක්, සේර ගහක්, රම්පා ඉත්තක්, ඉඟුරු අඟලක විතර කෑල්ලක්, කරපිංචා ඉති දෙකක්, දෙහි ගෙඩි තුනක්, ලොකු අර්තාපල් අලයක්, වතුර තියෙන භාජනයකට දාන්න...ඒ පෙඟෙන්න,දෙහි පෙඟෙන්න ඕනි නෑ, ඒ උනාට දාන්නකෝ....!

ඊලඟට මස් ටික කටු වෙනමයි මස්වෙනමයි අරන් ලොකු කෑල්ල පිටින් හෝදන්න..කටු වෙනම හොඳට හෝදලා උයන භාජනයට දාන්න..ඊටපස්සෙ මස් ටික කපන්න...කපනකොට එකම හැඩේට නොහිටින්න එක එක හැඩ වලට හැබැයි හතරැස් කියුබ්ස් වගේ නොහිටින්න, පිරමිඩ් වගේ හැඩේ හිටින්න කපන්න බලන්න...එහෙම තමයි... කරන ඕන මගුලක් ආදරෙන් ආසවෙන් කරන්න ඕනි හරිය...කපලා ඉවර උන මස් ටික තව එක පාරක් හොඳට හෝදලා අර කටු ටික දාපු මස් උයන භාජනේටම දාන්න..මම නම් පාවිච්චි කරන්නේ මැටි හට්ටි..පුරුද්ද...!!

දැන් අර වතුරට දාපු රතුලූනු, සුදුලූනු, අලගෙඩිය එහෙම සුද්ද කරල අරගෙන අලගෙඩිය අටකට කපලා, ලූනු ලියලා, සුදු ලූනූ, ඉඟුරු, සේර, කරපින්චා රම්පේ ඔක්කොම කපලා මස් වලට එකතු කරන්න...ඒකටම අඟලක විතර කුරුඳු කෑල්ලක් අතින් පොඩි කරලා දාන්න, උලුහාල් තේ හැන්දකින් භාගයක්, එනසල් ඇට තුනක්, කරාබු නැට්ටක්, අබ කුඩු තේ හැඳි බාගයක්, කහ කුඩු තේහැඳි බාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ ලුනු තේ හැඳි දෙකක් එකතු කරන්න...ඊට පස්සේ අර දෙහි ගෙඩි තුන කපලා, මස් එක උඩට මිරිකලා හොඳින් අනාගන්න...!

අනපු මස් භාජනේ පැත්තකින් තියලා, පොඩි සාස්පානක් ලිපේ තියලා කොත්තමල්ලි මේස හැන්දක් දාලා පුච්චගන්නේ නැතුව බැදගන්න..!

ඊට පස්සේ සූදුරු තේ හැන්දකුයි මාදුරු ඇට දහයක් විතරයි ,ගම්මිරිස් ඇට දහයක්, කරපිංචා කොල දෙකතුනක් හීනියට කඩලා ඒ වගේම බැදගන්න...ඒ බැදගත්ත දේවල් ගර්යින්ඩර් එකට දාන්න, මිරිස් කුඩු මේස හැඳි හතරක් අර සාස්පානෙම පුච්චගන්නේ නැතුව බැදගෙන ඒවත් ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු වෙනකන් අඹරගෙන මස් වලට එකතු කරගන්න, ඊට පස්සෙ බැදපු නැති මිරිස් තේ හැන්දකුත් මස් එකට එකතු කරලා,  අපේ තාත්තා අනනවා වගේ හොඳට අනලා පැත්තකින් අරන් තියන්න..!

දැන් හොඳ ලොකු පොල් ගෙඩියක් අරන් කාට හරි කියලා ගා ගන්න....:)..මොනා කලත් මට පොල් නං ගාන්න බැරිය...දැන් ගාපු පොල් ටික බ්ලෙන්ඩර් කරගෙන, මිටි කිරියි දිය කිරියි හදාගෙන කිරි ජාති දෙකම එක පාරට මස් භාජනේට එකතු කරලා හොඳට හැඳිගාලා ලිපේ තියන්න....!

ඉස්සරවෙලා විනාඩි දහයක් විතර වැඩි ගින්නේ ඉදෙන්න ඇරලා, බොස බොස ගාලා හොද්ද පැහීගෙන එනකොට මද ගින්නට අඩු කරලා තව විනාඩි වීස්සක් විතර ඉදෙන්න අරින්න..ඊට පස්සේ හොඳටම ගින්දර අඩු කරලා තෙල් පෑදිලා හොද්ද බොර වෙනකන් තියලා බාගන්න...!

ඔය මස් හොද්ද බත් එක්කත්, රොටී එක්කත්, පාන් එක්කත් කන්න ඇහැකි..අද රෑ උයපු මස් හොද්ද හෙට දවල්ට තමා ඉතින් රහම....!

මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ඔය කියපු විදියට මස් හොද්ද හදලා කැමට දුන්නම අපේ බ්ලොග් මස්තාන්, අටම් අයියා කියපි,  ටල් අම්මගේ මස් හොද්ද කෑවාට පස්සෙ මස් හොද්දක් කෑවෙ අද අයියේ කියලා...!

ඉතින් කව්ද මේ ටල් අම්මා.....!

අටමා කියන්නේ මෙන්න මෙහෙම....!

ඕක  මතක  නැද්ද හත් දෙයියනේ  , ටල්  අම්මා ගුනරත්න ගොයියගේ  අඹුව  , සීකුදුමරික්කාර්ගේ   ගෝලයගේ  ගෑණී  ,   සීකුදු මරික්කාර්  ජේ ආර්ගේ    බාප්පගේ පුතා  ,  ඌගේ  හොදම  ගෝලයගේ   ලොකු  කෙල්ල  අපේ  අම්මාඅපේ  අම්මගේ  .........  තාත්ත  ගූණරත්න බාසුන්නැහේ  ,..  එයාගේ  පවුල  පියසීලි   හාමිනේ  ........ එ් ඇවිල්ලා  කේ  , වී  රත්නපාලගේ  ගෑණිගේ  අම්මා  , කේවී රත්න පාලගේ ගෑණි  තමයි  චන්දාවති  ...... අන්න  එයාගේ  අම්මා ගේ  බාල මල්ලි  .......  ටල්ලා  ........  ටල්ලගේ  අම්මා ......... තමයි .............  අපිට  ......... ටල්අම්මා උනේ.....!

ජයවේවා....!

ප.ලි. 
අත්ගුනේ කියල දේකුත් තියෙනවනෙ..ඒක පුරුද්දෙන් එන දෙයක්..ඉතිං ඔය තේ හැඳි  මේස හැඳි වගේ ප්‍රමාන දාන එක මැනැලා කිරලා කරනකොට එන රහයි, අතේ පුරුද්දට වැටෙන ප්‍රමානයි අනුව ටල් අම්මගේ සහ අපේ අම්මගේ මස් හොද්දේ රහට කිට්ටුවෙන එක හරි ඈත්වෙන එක හරි වේවී...!
ආ...තව දෙයක් අර බ්ලොග් පත්තරයක් කරන මාතලන් එහෙම කෑමට එනව නං ලුණු වැඩියෙන් දාන්න...එයා හම්බන්තොට ලේවාය ගාව ගොඩාක් කල් ඉඳලා තියෙන්නේ..!

Tuesday, 10 April 2018

සකුන්තලා






හෙට
නෑ
අනිද්දාවත්....

මං හිටියත්
නැතත්
එන්න..

මං නැතත්
මේ රෝස ඉත්ත
පර නොවේවි
ඔබ වෙනුවෙන්...

Thursday, 8 February 2018

ගිලිහුන මලක - සුවඳ



artwork by D B Clemons









පසූවුන හෝරා හතලිහ මුලුල්ලේ මා
ඔබ කම්මුල්....වල ගැසුන ඒ කම්මුල්..
රෝසපාටදැයි නොදැනෙනා දඟකාර ඔබැ දෙතොල්..
සිය දහස් වාරයක් සිපගත්තා සේමැ...
තවමත් සිපගන්නෙමි...

සංතර්පනය නොවූ විහඟකු සේ..
සංවේදී මා නාස් පුඩු සොයනුයේ...
ඔබැ සුවඳමැය...

පිපිදෙමින් සිටි..
එහෙත්...
විහින් ගිලිහුන මලකින් කෙසේ පතම්ද...
සුවඳ...
එමල සේපාලිකා මලක් නොවන්නේම නම්.....!

Friday, 26 January 2018

අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...!




නෙලුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...?
මාතලන්ගෙ ජෙප්පොට ගමකෑමට අරාධනා කොරන කැම්පෙන් එකේ අලුත්ම සටන්පාඨය ඒ...!

ඉලංගකෝන් විවාදයකට අවස්තාවක් අරන් දෙනවා ඒ අස්සේ මෙහෙම..ඇත්තෙන්ම නෙලුම් කුලුනෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ප්‍රථිලාභ මොනවාද...?

මාතලන් කියන්නේ ජෙප්පොන්ගෙ ටිල්වින් එහෙම කියන නිසාම අපි උන්ට ගම දෙමු කියලා කන්ට..හා කියමුකෝ...!

ඇයි උන් අපෙන් මෙහෙම අහන්නේ...අපේ තියෙන චුට්ටං මිලේච්චකම එලියට ගන්නවද්ද...?
ඉලංගකෝන්ලා මාතලන්ලා ටිල්වින්ලා එකතු වෙලා අපිව අන්දනව වද්ද..?

හිතල බලමු..අපි කරන කියන හැමදෙයින්ම ලාභ ප්‍රයෝජන තියෙන්න ඕනිමද...ඇත්තටම තියෙනවද...?
ඇති සමහරවිට....!

ලංකාව රටක් හැටියට මේ මුතුඇටෙන් එහා තියෙන රටවල්වල අය කොහොමද දන්නේ ඇත්තටම..සිලෝන් ටී, බ්ලූ සැපයර්, ටී කන්ට්‍රි, ලස්සන වෙරල, ඇඩම්ස්පීක්, සීගිරියේ බිතුසිතුවම්, නුවර අසිරිය, ගාලු කොටුව ඇයි එතකොට හවුස්මේඩ්ස්, යුද්ධේ, හියුමන් රයිට් වයලේෂන්ස්, විදුලි පුටුව.....!

එව්ව මදි උනා රාජපස්සලාට....දහ අතේ ණය වෙලා අපි මිඩ්ල් ඉන්කම් කන්ට්‍රි එකක් හැටියට  ලෝකෙට පෙන්නුවා...අර අපි වෙඩින්ස් ගන්න සිස්ටම් එක කොපි කරලා එහෙම කරන්න ඇත්තේ... !

ලපයා කිව්ව වගේ හැදුවා හයිවේ මීකිරි ගේන්න හම්බන්තොටින් (තාමත් හදනවා මිස්ටර් බීන්..ඒ උනාට ගිරාමේ දන්නේ උන් ගිහින් බාගෙට හදපුවා විවෘත කරනකොට හිටං..මේ ලඟදි දොහක රාජගිරියේ කොලා වගේ...)..ඒත් මදි උනා රාජපස්සලාට...අයිකොනික් ටවර් එකක් අපි හදමුද බොස් කියලා අන්සොලිසිටඩ් ප්‍රොපොසල් එකක් අරන් ආවා කොමිස් කාක්කෙක්...උගුර බැරෑන්ඩි ඇරලා පොර හා අපේ හාමුදුරුවනේ කියලා කිව්වා......!

අටවෙනිදා ගෙදර යනකොට ගෙනියන්න අමතක වෙච්ච තවත් කුළුණක් උනා ඉතිං ඒ අන්සොලිසිටඩ් ප්‍රොපොසල් එකෙන් පටන් ගත්ත ඔය මඩෙ හිටෝපු ඉන්න...!

කෙලපු කෙප්ප අපිට අමතකවෙනකන් මිස්ටර් බීන් අවුරුදු දෙකක් නිවාඩු දුන්නා අට වෙනිදා ගෙදර යනකොට අරන් යන්න අමතක වෙච්ච කුලුනු, හයිවේ, රේල්පාර්වල්, එල් ආර් ටී, පෝර්ට් සිටි අරවා මෙව්වා ඔක්කොටම...හෙමින් හෙමින් පෝර්ට් සිටියේ වැලි පුරෝගෙන එනකොට එව්වයේ නිවාඩු කැන්සොල් කලා..කමක් නෑ ලු...! 

අලුත් ආර්ථිකේලු.....සෙද්ද...!

ලෝකේ මිඩ්ල් ඉන්කම් වලින් උඩට ගිය නගර ටිකක තියෙන අයිකොනික් අයිටොම් ටිකක් ඕන් පල්ලෙහා තියෙනවා....ගෙටී ඉමේජස් වලින් බාගත්තේ....අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...පැනලා මැරෙන්න හරි..මොකෝ ආයෙත් මංගලගේ මාතර මහානාම බොරු කේබල් බ්‍රිජ් එකෙන් පනින්නයැ....!

The Gate Way Arch- St Louis, Missouri, USA

Space Needle-Seattle, USA

The Lotus Temple-New Delhi, India

One World Centre-New York City, USA

Eiffel Tower-Paris, France


Taj Mahal-India

Musée du Louvre - Paris, France



A Father Starts a Protest at Matara Mahanama Bridge
අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...!

Thursday, 25 January 2018

හෙටත් මට ආදරේ දෙන්න






ඉර හැරුන මේ ගොම්මනේ
හමුවෙන්න එන්නෙම් මා අඩ අඳුරේ
ඔද්දල් වූ....දුක් දැරූ හිත ඔබේ
සනසන්නෙම් දී හාදූ පෙරහරක්

වැගිරූ කඳුළු උඩුගං යාවී
තැලුනු පොඩිවුනු දෑස දිලිසේවී
අවුල්වුන කෙහෙරැළ් සැඳෑ සුළඟේ පාවී
හැඟවුන අප පෙම අපමනැයි අපටම කියාවී





කඳුළු ගඟෙන් එතෙර වී
ඈත දිදුලන සෙනහසේ මිටියාවතට
හාදු කන්දක් අරන් ඉතින් ඔබ එන්න
ඔබම රිදවූ හිතට ඒ හාදු දෙන්න
වැටෙන කඳුළක් ගානෙ සෙනෙහෙ තවරන්න
අද වාගෙම
හෙටත් මට ආදරේ දෙන්න

Tuesday, 16 January 2018

කිරි අම්මාවරුන්ගේ දානය - Dedicated for Twins


Gustav Klimt, Mother and Child



කිරිකෝඩු හවඩි ඉඟ වට හැඩට

නුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටට

එනමුදු

මව් නිදිවැරූ යාමයන් එමට බැව්
නොදැන බෑඟිරි ගසනා මා පුතුනි
බිඳලනු කෙසේද
තනි මා,
තිඹිරි ගෙයින් පීදුන
ඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්
මා පිය සබඳ වූ නුඹ මව්

එනමුදු

සෙව්වෙමි පීරා ගෝත්‍රය පුරා
ඔවුන් ළඟමය පිළිතුරත්.....!

මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගාන
හිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙන
කිරි අම්මාවරුන් පෙරහර
වඩින්නේ ම'පුතුනේ තුන්මහ පුරවන්නයි


තුන්මහකින්
 ගෙයි මහ උලුවස්ස නොපැන්න පෙම්බර නුඹ මවගේ දෑසත්
කිරියා මුසු රසමසුවලින් පිරි තෙල්පහන් දහයක් දැල්වූ පැදුරත්
පාර කියන්නේ අප තිදෙනාටම
අලුත් ලෝකයකටමය ම'පුතුනේ....!



කිරිඅම්මාවරු අප අතැර පිටවෙන මොහොතේ මහ උලුවස්සෙන්
තුන්මස් හිරගෙය බිඳ දමමි මා මව් සෙනෙහසින්...!

ඈ අප........
ඔබගේත් මගේත්
මව් නිසාමැයි පුතුනේ...!




පිදුම - ලොකූටත් අංජුට සෙනෙහසින්









Friday, 12 January 2018

මියැදුන ප්‍රේමය



Love is Dead by MB Henriksen

උපන්ගෙයි මියගිය
අප පෙම 
මිහිදන් කල සොහොනෙන්
 පිපිදුන මිනී මල
එබෙමින් පාලු පඳුරු අතරින් අරලිය
එළිය දෙන විට 
මේ හීතල සුසානයට
ඔබ සියුමැලි දෙතොලේ උණුසුම් මතකයන්
හාදු දේ 
මහද මල් වඩමට





Monday, 4 December 2017

(සේපාලිකා) - Nilwella Blues






සිඹින්නට බැරි දුරක පිපුණු 
නිල්කටරොල්ල...
කිමද ඔච්චම්පපා
මේ හැටිම දැඟලිල්ල...

සේපාලිකා මලක්වී
අද හැන්දෑවට
පිපෙන්න මගේ කවුළුව ඇද්දර
සුවඳට...

පිපුණ කටරොළු මලෙක සුව අහිමි
මැදියමක...
නිවාලයි මහද ගිනි
සුවඳ සේපාලි
 කුසුම...


හිමිදිරි පාන්දරින් අහුලමි
එගිනි නිවු
සේපාලි කුසුමන්
නැමුනු 
සිතින්....


Thursday, 2 November 2017

වැල් - ගැට



එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම

ගලවමි
ලිහමි
විසඳමි
අවුලක් නොවෙන්නම

යලිත්

එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම
:)



Tuesday, 31 October 2017

ධීවරී

















ඊයේ හවහා වැල්ලේ පිපුන
වැටකෙයියා මල් ගාලම
ලැජ්ජ හිතිලා අහක බැලුවෙ
කොණ්ඩේ පුරා විසේ කරපු
සිප්පි කටුවේ හැඩ නොබලම
වැලි නාගෙන මා නලවන
කළුමිටි ඔය ඇඟ දැකලද..

විසේකාර කළුමිටි ඔබෙ
අනඟ රැගුම් සිහිනෙන් විත්
දෙකකුල් මැද හිරකරාන
නිදාගන්නේ කොහොමෙයි මං
ඒ හින්දම ඇඟපුරාම 
ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..

හිරි අරින්න ගත පුරාම
අරන් එන්න පාන්දරම
කරිජ්ජ සුවඳෙන් ඉපිලෙන
මිටි කළු ඇඟ මහමූදෙන්...

Friday, 13 October 2017

දියවන්නා blues




Diego Rivera
(Motherhood, Angelina and the Child Diego),
August 1916, oil on canvas, 






















සිඟිති දූ සුළැඟිල්ලේ එල්ලී
යන්නී පසුපස මව් හා උරනව
දියවන්නාව සූරා එන මද සුළඟෙන් නෑවී
සිඟිත්තී හඩන්නී
මන්ද ගෙදර නොයා මහමග නැවතුනේ යැයි අසමින් මව්ගෙන්...

රාජගිරියේදී ආ දස්කොන්ගේ ඇමතුමට
හිරිවැටුන මව්ගේ සියොලඟ
සනහාලන්නට
ඌබර් මාතලීට නාහෙන් අඬා
අඩක් වූ ගාස්තුව ගෙවා
අප්පච්චීගේ නිවහනට තව දුර නොවේදමැයි සිතමින්
දියවන්නා ඉවුරෙන් පාර පනින්නේ මව්...

දස්කොන්ගෙ දඬුමොනරය
කුමන තව්තිසාවෙකට ගෙනයන්නද මව්...

රාගයෙන් උද්දාමව
හදිසියේ ගත් තීරණ
මොන්ටිසෝරි දෝනිට කියාදෙන්නම ඕනිද...

Saturday, 23 September 2017

දැන නොදැන





රාත්‍රිය මෙතරම්ම අඳුරු බැව්
රාත්‍රිය මෙතරම්ම රුදුරු බැව්
රාත්‍රිය මෙතරම්ම ගැඹුරු බැව්


ඒ මදිවට


රාත්‍රිය මෙතරම්ම සොඳුරු බැව්


කියා දුන්
සොඳුරියේ


කිම නිහඬ මේ රාත්‍රියේ

අදත් එදා මෙන් 
බලා සිටිමි.....!


ඔබ නො එනා බැව්
දැන නොදැන..!


Monday, 18 September 2017

නල දත






photo courtesy ~- SSDS 

දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන්    (ද )
කාන්‍තියෙන් දිදුලන තුරුණු දෙනෙතින්  (ද )
මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන් (ද)
පාට පාට කුඩයෙන් (ද)
හැංගු (න)
|
|
|
|
|
|
|

නල දත










~~~~~~

Saturday, 15 July 2017

පාර්වතී

A 12th century sculpture of Parvati




හැට හතරක් මායම්
මා නම්
නොකරමි මායිම්

මගේ තරමටම උසනම්
ඇයි මේ කෝලම්

පිච්ච මල් දම්
කෝවිල අද්දර විකිනෙයි නම්

ගනේශ්ටත් හොරෙන්
ඔය කෙහෙරැලි සරසමි මං

පාර්වතී
මා හිත ගත්තී
ශිවා නොවුනත් මා
ඔබමැයි
ලක්ෂ්මී
ඔබමයැ
සරස්වතිය
ඔබමැ නොවේදෝ
ත්‍රිදේවිය


දනුන් වඳිනා කල්
ශිව ලිංගය නහවා කිරිදියෙන්
කවුරුන්ද
දන නමස්කාරයෙන් පිදුවේ
අර්ගා


ස්වර්ගයේ සිට හිමවන්
අතවනයි කඳුකරයට සොයමින්
මීනා ඔබැ මව්
සිහිකරමින් ඔවුන්
නවතමු අපි
මේ කෝළං....!







Friday, 30 June 2017

ඇසළ එරබදු


            Lorenzo E. Gabutina: The Late Blooming



වැට දිගටම රතට රතේ එල්ලුව
එරබදු මලේ ලස්සන පොහොට්ටුව
බක්මහට පිපෙන්නයි අපෙ පොරොන්දුව
ඇසළ මහේ පිපුනේ ඇයි පරක්කුව

කොවුලන් හඬ නොඇසුන
බක්මහ අකුනින් දෑස නිලංකාරව
වෙසක් මලක දසුනෙන් සිල් බිඳගත්
වැට දිග රතෙන් සැරසුව 
ඇසළ එරබදු පොහොට්ටුව
සොයන්නී කෙහෙරළ පළඳින
 සමන් පිච්ච මල් වැල
කෝවිල අද්දර....!







Saturday, 17 June 2017

ඈ ලියූ කව - 2




Leidenschaft in der Kunst: Bilder von Küssen

නිර්මානයකට හිත් දෙන්නී..
ඈ...
සැඟවී සිට වලාකුළු අතර...
නොහිතූ සේ මතුවී කරනා දඟද මේ...!



හැන්දෑ අහස
ගතු කියනා අයුරු
ඉර බිමට දාගෙන
පාට බිම හලාගෙන
ගම ගියපු නුඹම
මට සිහි කැඳෝන

කේලම් කියන ඉඳ හිට
උඹ කියනවද ⁣ඔහුට
ඉර ඉහිරවපු පාට කඳම්බ
මට වැඩක් නැතිම වග

ඔච්චර කේ⁣ලමෙක් නම්
හිත හිත ඉන්නෙ බැරැවද?
සුදුපාට ඇතිරිල්ල යට
හංගන්න පුලුවන්ද
පණිවිඩ?

Tuesday, 14 March 2017

බාල අපරාධයක නුඹ මාව කොටුකරලා



එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

හෙව්වේ බැලුවෙ නැත්තේ
නුඹ තාම පොඩි නිසා

හිතේ දොලදුක නැත්තෙ
අඹගහේ ගැට පිරිලා

මාස පහෙන් ගැබ් ගත්තේ
නොදැනීම වැට පැනිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා

තණපිස්සේ දුවන්නෙපා
මේසෙන් පනින්නෙපා

පුරු පුරු ගගා දැවටෙන්නෙපා
පෑගුනොත් මම පව්කාරයා

එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා





Wednesday, 8 March 2017

අවසරයි....!!







Baby smiling up at her mother impressionism Mothers children by  Mary Cassatt


අතක්
පයක්
ඇසක්
කණක්

ගෙයක්
දොරක්
ගහක්
කොළක්

නොව මා
දන නවාන
දෑස් වසාන
යදින්නේ

අවසරයි
මා 
යදින්නේ

තව එකම එක
සීතල රැයක්
ඔබතුරුලේ
නිදන්න ආයෙත්

තව එකම
එක වතාවක්
සියුමැලි ඔබ දෙතොලින්
සිඹගන්න
ආදරෙන්
ආඩම්බරෙන්
රැලි නැගෙනා
පටු
නළල් තලය
මගේ